රාවය

වරද කාගේද? අපේද? මහින්දගේද?

වරද කාගේද? අපේද? මහින්දගේද?

 

මොන මොන හේතු නිසා හෝ රට ප‍්‍රචණ්ඩ මාවතට යොමුවීමෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී හා සාහසික අපරාධවලදී අප රටක් වශයෙන් ඉන්නේ අසමසම තත්ත්වයකය. ජනගහනයේ සංඛ්‍යාවට අනුපාතිකයක් වශයෙන් ගත්විට සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතනවල හා සාහසික අපරාධවල අනුපාතිකය තිබෙන්නේ ඉහළම මට්ටමකය. ඒවා කෙටි කාලයකට සීමාවූ දෙයක් නොවීය. දීර්ඝ කාලයක් එක දිගට සිදුවූ ක‍්‍රියාදාමයක් විය. නිදහස ලබා මේ දක්වා ගතවී ඇති කාලය අවුරුදු 66ක් ලෙස සැලකුවහොත් ඉන් හරි අඩකට ආසන්න කාලයක් විවිධ වයස් තලවලට අයත් මේ රටේ මහජනයා ජීවත්ව තිබෙන්නේ ප‍්‍රචණ්ඩත්වය හා කෲරත්වය රජ කළ බිහිසුණු සමාජ පරිසරයකය.

තමන්ට අවනත නැති තමන්ගේ පාක්ෂිකයන් නොවන ජනයා භීතියට පත් කොට රට පාලනය කිරීමේ අයිතියක් තමන්ට ඇතැ’යි එක්තරා කාලවකවානුවකදී රජයේ විශ්වාසය බවට පත්වීයැ’යි කිව හැකිය. තමන්ට අවනත නොවන හා එකඟ නොවන සියලූදෙනා වධහිංසාවට ලක්කිරීමේ හා මරා දැමීමේ අයිතිය තමන්ට ඇතැ’යි ඊට පසු තවත් කාලවකවානුවකදී ආයුධ අතට ගත් කැරලිකරුවෝ විශ්වාස කළෝය. ඒ සමග බලයේ සිටින හා බලයට පත්වන ආණ්ඩුද කැරලි ගසන හා කැරලිකරුවන් ලෙස පෙනෙන සියලූදෙනා වධහිංසාවට ලක්කිරීමේ හා මරාදැමීමේ අයිතියක් තමන්ට ඇතැ’යි විශ්වාස කළේය.

මෙම දෙපාර්ශ්වයම තමන්ගේ විශ්වාසයන් සිතුවිලිවලට සීමා කළේ නැත. ඒවා තරගකාරී ලෙස මහා පරිමාණයෙන් හා දීර්ඝ කාලයක් තිස්සේ ක‍්‍රියාවට නගන තත්ත්වයක් ඇති කිරීම තුළ ශ‍්‍රී ලංකාව මහා පරිමාණයෙන් ලේ හලන රටක් බවට පත්වූයේය. ඒ සමග නීතියේ පාලනය මුළුමනින් බිඳ වැටී නීතියෙන් පරිබාහිරව මිනිසුන් තොග වශයෙන් මරා දමන එසේ මරා දමන මිනිසුන්ගේ මළ සිරුරු ප‍්‍රදර්ශනය කෙරෙන බිහිසුණු සමාජ වටාපිටාවක් ඇතිවීයැ’යි කිව හැකිය. දීර්ඝ කාලයක් තිස්සේ පැවති එම බිහිසුණු කාලවකවානුවේදී ජාතියේ ප‍්‍රධාන අවධානය යොමුවී තිබුණේ මිනිසුන් වදහිංසාවට ලක්කිරීමට හා මැරීමට ධෛර්යය ඇති මිනිසුන් තැනීමටය. රජයේ ආරක්ෂක හමුදා වශයෙන් හෝ විමුක්ති හමුදා වශයෙන් පුහුණුව ලැබූවන් තමන් විසින් කරන කෲර හා අමානුෂික ක‍්‍රියා සලකන ලද්දේ රටේ යහපත, පන්තියේ යහපත හෝ වර්ගයේ යහපත වෙනුවෙන් කරන ක‍්‍රියා ලෙසය. සිදුවූ මේ ක‍්‍රියාදාමය සමාජයේ පුංචි තීරුවකට සීමාවූ දෙයක් නොවීය. එය එක් ආකාරයකට හෝ තවත් ආකාරයකට බෙදී සිටි ජාතියේ සියලූදෙනා විශේෂයෙන්ම එම බෙදී සිටි ජාතියේ සමස්ත තරුණ පරපුරම ක‍්‍රියාකාරී ලෙස දායක කරගනිමින් ඉදිරියට ඇදී ගිය මහා ව්‍යාපාරයක් විය. ආරක්ෂක හමුදාවල හෝ අවි අතට ගත් සටන්කාමී සංවිධානවල පාද සෙබළුන් ලෙස ක‍්‍රියා කිරීම බෙදී සිටි ජාතියේ තරුණ පරපුරේ ප‍්‍රධාන ජීවන මාර්ගය බවට පත්ව තිබුණේයැ’යි ද කිව හැකිය.

කැරැුල්ල හා ප‍්‍රචණ්ඩත්වය දකුණේ සිංහලයන්ට අදාළව පැවති කාලයේදී දකුණේ සිංහල ජනතාව ප‍්‍රධාන පාර්ශ්ව තුනකට එනම්, රජයට විරුද්ධ- කැරලිකරුවන්ට පක්ෂ, කැරලිකරුවන්ට විරුද්ධ – රජයට පක්ෂ හා පැහැදිලි මතයක් නැති- මේ දෙපැත්තටම වැනෙන යනාදී වශයෙන් බෙදී සිටියේයැ’යි කිව හැකිය. එම තත්ත්වය උගතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් කෙරෙහි පමණක් නොව ආගමික පැවිද්දන් කෙරෙහිද බලපෑවේය. කැරලිකරුවන්ට එරෙහිව සටන් කරන ආරක්ෂක හමුදාවක් වෙනුවෙන් පෙනී සිටි බෞද්ධ භික්ෂූන්වහන්සේලා සිටියා සේ ම කැරලිකරුවන් සමග ආයුධ අතට ගෙන සටන් කළ බෞද්ධ භික්ෂූන් වහන්සේලාද සිටියෝය. එය එකම ජන වර්ගයකට අයත් මිනිසුන් විවිධ හේතු මත දෙකට බෙදී කරන මාරාන්තික සටනක් වූ අතර දෙපිරිස එකිනෙකාට එරෙහිව උපරිම මට්ටමේ වෛරයක් කෲරත්වයක් හා ප‍්‍රචණ්ඩත්වයක් මුදාහරිමින් තිබුණේය. එකල සිංහල තරුණ කැරලිකරුවන්ට, ඔවුන්ට පක්ෂපාත භික්ෂූන්වහන්සේලාට හා ජනතාවට ආරක්ෂක හමුදා රණවිරුවන් ලෙස පෙනුණේ නැත. ඒ වෙනුවට ඔවුන් පෙනුණේ සිත්පිත් නැති මස්වැද්දන් පිරිසක් ලෙසය. සිංහල තරුණ කැරලිකරුවන් හා ආරක්ෂක හමුදාවල භටයන් එකිනෙකා කෙරෙහි වෛරයෙන් හා ක්‍රෝධයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක සිටියද මේ දෙපිරිසේ පන්ති මූලයන් බොහෝ දුරකට එක සමාන විය. කැරලි ගසන ජනතා විමුක්ති පෙරමුණට සේ ම එම කැරැුල්ලේ මර්දකයන් ලෙස ක‍්‍රියා කළ ආරක්ෂක හමුදාවන්ටද ඔවුන්ට අවශ්‍ය මිනිස් සම්පත් ලබාදෙන ප‍්‍රභවය ලෙස ක‍්‍රියා කළේ ග‍්‍රාමීය දුප්පතුන්ය.
ආණ්ඩුවේ ආරක්ෂක හමුදාවන්ට සිංහල තරුණ කැරැුල්ල පරාජය කිරීම සඳහා කැරලිකරුවන් මුදාහරින ලද හිංසනය හා කෲරත්වය ඉක්මවා ගිය හිංසනයක් හා කෲරත්වයක් මුදාහැරීමට සිදුවිය. සිංහල තරුණ කැරලිකරුවන් අවුරුදු දෙකහමාරකට ආසන්න කාලයක් කැරැුල්ල අල්ලාගෙන සිටීමට සමත් වූ අතර අවසානයේ කැරැුල්ල පරාජය කෙරුණේද කැරැුල්ල ජයගැනීමට ආසන්න තත්ත්වයකට පැමිණ සිටියදීය. දකුණේ සිංහල තරුණ කැරලිකරුවන් හා උතුරේ දෙමළ තරුණ කැරලිකරුවන් එක්ව ක‍්‍රියාකරන තත්ත්වයකට පැමිණියේ නම් මෙම කැරලි දෙකම පරාජය කිරීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබුණා සේ ම ඒ වනවිට ලංකාවේ ඉන්දියානු සාමසාධක හමුදාවක් නොවී නම් දකුණේ සිංහල තරුණ කැරැුල්ල පරාජය කිරීමට ආරක්ෂක හමුදාවන්ගේ පූර්ණ ශක්තිය යොදාගැනීමට නොහැකිවීම තුළ දකුණේ සිංහල තරුණ කැරැුල්ල පරාජය කිරීමද කළ නොහැකි දෙයක් වන්නට ඉඩ තිබුණේය. අවසානයේ දකුණේ සිංහල තරුණ කැරැුල්ල පරාජය කරන අවස්ථාව වන විට මෙම දෙපාර්ශ්වය අතින් වධහිංසාවන්ට හා ඝාතනයට ලක්ව සිටි සිංහල ජනයාගේ සංඛ්‍යාව විශාලය. එම කැරැුල්ලට අදාළ උත්ප‍්‍රාසජනක කාරණා දෙකක් වනුයේ එම කැරැුල්ල පරාජය කළ වීරයා ලෙස සැලකිය හැකි පේ‍්‍රමදාස ජනාධිපතිවරයා ජාතිය ගලවාගත් වීරයකු ලෙස සිංහල ජනතාව නොසැලකීම හා එම සිංහල තරුණ කැරැුල්ල පරාජය කළ ආරක්ෂක හමුදාද එහිදී සිංහල ජනතාව රණවිරුවන් ලෙස නොසැලකීමය. කැරැුල්ල ඇති කර තිබූ අතිවිශාල පීඩාවන් නිසා කැරැුල්ල පරාජය වනවා දකින්නට සිංහල ජනතාව තුළ කැමැත්තක් තිබුණද කැරැුල්ල පරාජය කරන ලද කුරිරු ආකාරය නිසා ආරක්ෂක හමුදාවන් පිළිබඳව සිංහල ජනතාව තුළ පැවතියේ බලවත් අප‍්‍රසාදයකි.

ඉන්පසු දෙමළ තරුණ කැරැුල්ල කැරැුල්ලේ මහා සාධකය බවට පත්වීමත් සමග එතෙක් සිංහල තරුණ කැරැුල්ලට ලැබී තිබුණු පන්ති හා කුල සාධකයට ලැබෙන වැදගත්කම යටපත් වී එය වාර්ගික පෙනුමකින් යුතු කැරැුල්ලක් බවට පත්විය. එහෙත් උතුරේ දෙමළ තරුණයන්ගේ මූලයත් දකුණේ සිංහල තරුණ කැරලිකරුවන්ගේ මූලයන්ට සමාන විය. විජේවීර කරාව කුලයේ අයකු වන විට ප‍්‍රභාකරන් අයත්වූයේ කරයාර් කුලයටය. විජේවීරගේ ව්‍යාපාරයේ පාද සෙබළුන් වැඩි වශයෙන් සිංහල පීඩිත කුලවලට අයත් වන විට ප‍්‍රභාකරන්ගේ ව්‍යාපාරයේ පාද සෙබළුන් වැඩි වශයෙන් අයත් වූයේද පීඩිත කුලවලටය. විජේවීරගේ කැරැුල්ලේ ගොවිගම විරෝධී අන්තර්ගතයක් තිබුණා සේ ම ප‍්‍රභාකරන්ගේ කැරැුල්ලේද වෙල්ලාල විරෝධී අන්තර්ගතයක් තිබුණි. විජේවීරගේ කැරැුල්ල පන්ති භේදය ඇතුළු වෙනත් කාරණාවලට අතිරේකව සිංහල සමාජයේ පවත්නා කුල පීඩනය පෙන්නුම් කරන කැරැුල්ලක් ලෙස සැලකිය හැකිවා සේ ම ප‍්‍රභාකරන්ගේ කැරැුල්ලද වර්ග පීඩනයට අතිරේකව දෙමළ සමාජයේ පවත්නා කුල පීඩනය පෙන්නුම් කළ කැරැුල්ලක් ලෙස සැලකිය හැකිය. විජේවීර කරාව කුලයේ කෙනකු වනවිට ඔහුගේ ව්‍යාපාරයේ දෙවැන්නා වූයේ ඔලී කුලයේ කෙනෙකි. ප‍්‍රභාකරන් කරයාර් කුලයේ සාමාජිකයකු වනවිට ඔහුගේ දෙවැනියා වූයේ බාබර් කුලයේ කෙනෙකි. මෙම තරුණ කැරලි දෙක ජනවර්ග දෙකකට අයත් වුවත් වෙනස්කම් තිබියදීත් ඒ දෙක අතර මහා සමානකම් තිබුණු බව ඉන් පෙනීයයි. විජේවීර මහ ජාතියේ කෙනෙකු වීම නිසා ඔහු උත්සාහ කළේ රාජ්‍ය බලය අල්ලා ගන්නටය. ප‍්‍රභාකරන් සුළු ජාතිකයකු වීම නිසා ඔහු උත්සාහ කළේ වෙනම රාජ්‍යයක් ඇතිකර ගන්නටය.

උත්ප‍්‍රාසජනක ඊළඟ වැදගත් දේ ලෙස සැලකිය හැක්කේ දකුණේ සිංහල තරුණ කැරැුල්ල මර්දනයේදී ආරක්ෂක හමුදා රඟපෑ භූමිකාව පිළිබඳව සිංහල ජනයා අතර පැවති විවේචනාත්මක මතය දියවී උතුරේ දෙමළ තරුණ කැරැුල්ලට එරෙහිව සටන් කරන ආරක්ෂක හමුදා රටේ ආරක්ෂාව පිණිස සටන් කරන රණවිරුවන් ලෙස දකින තත්ත්වයක් දකුණේ සිංහල ජනතාව තුළ ඇතිවීමය. මෙම ආකල්පමය වෙනස දකුණේ සිංහල කැරැුල්ලට උරුමකම් කී සිංහල තරුණයන් කෙරෙහිද බලපෑවේය.

විජේවීර ඇතුළු කැරැුල්ලේ නායකයන් සැලකිය යුතු පිරිසක් මරා දමන ලද්දේ අත්අඩංගුවට ගැනීමෙන් පසුවය. ඒ ගැන වන මහා අප‍්‍රසාදයක් ආරක්ෂක හමුදාවන් පිළිබඳව එම කැරැුල්ලට පෙම් කළ සිංහල තරුණයන් අතර ගොඩනැගී තිබුණි. එහෙත් ප‍්‍රභාකරන්ට හා ඔහුගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදී ව්‍යාපාරයට එරෙහිව ආරක්ෂක හමුදාවන් කරන ලද අවසන් යුද්ධයේදී ඔවුන් තමන් තුළ ඇති කරගෙන තිබූ එම අප‍්‍රසන්න හැඟීම් අත්හරිමින් ආරක්ෂක හමුදා වීරයන් ලෙස සලකන මානසිකත්වයකටද පරිවර්තනය වී තිබුණි.

විජේවීරගේ ව්‍යාපාරය මර්දනය කිරීමට ගත් කාලයට වැඩි දීර්ඝ කාලයක් ගැනීමෙන් පසුව ප‍්‍රභාකරන්ගේ කැරැුල්ලද අවසාන වශයෙන් පරාජය කිරීමට ආරක්ෂක හමුදා සමත් විය. නිල බලයෙන් ජනාධිපති ත‍්‍රිවිධ හමුදාවට අණදෙන ප‍්‍රධානියා වීම හේතු කොටගෙන ප‍්‍රභාකරන් පරාජය කිරීමේ පූර්ණ ගෞරවය හිමිවූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂටය. ඊට සමාන ආකාරයකට ජනාධිපති රණසිංහ පේ‍්‍රමදාස පරාජය කරන ලද්දේ සිංහල තරුණ කැරැුල්ලක් වීම හේතු කොටගෙන එම කැරැුල්ල පරාජය කළ නායකයා සිංහල ජනතාවට වීරයකු ලෙස නොපෙනුණේය. විජේවීරගේ කැරැුල්ල පරාජය කළ ආරක්ෂක හමුදාද වීර හමුදාවක් ලෙස ඒ අවස්ථාවේ සිංහල ජනතාවට නොපෙනුණේය. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නායකත්වය යටතේ එන ආරක්ෂක හමුදා විසින් පරාජය කරන ලද්දේ දෙමළ කැරැුල්ලක් වීම හේතු කොටගෙන ඒ සියලූදෙනා සිංහල ජනතාවට පෙනුණේ රට ගලවාගත් වීරයන් ලෙසය.

අවසානයේ මෙම කැරලිකාර ව්‍යාපාර දෙක පරාජය කර අවසන් වනවිට රට ඒ වෙනුවෙන් ගෙවා තිබුණු වන්දියේ ප‍්‍රමාණය අතිවිශාලය. මෙම කැරලි දෙකම විවිධ හේතු නිසා ඉරි තැලී තිබුණු ජාතිය අභ්‍යන්තරයෙන්ම ඇතිවූ කැරලි මිස පරසතුරු ආක‍්‍රමණ නොවීය. මෙම කැරලි හා කැරලි මර්දනය කිරීම සඳහා යොදාගත් ප‍්‍රතිප‍්‍රචණ්ඩ ක‍්‍රියාමාර්ග නිසා ලක්ෂයකටත් වැඩි පිරිසකගේ ජීවිත විනාශ වූයේය. ඊටත් වැඩි පිරිසකට තුවාල වී හෝ වධබන්ධනවලට මුහුණ දී තිබුණි. විශාල දෙමාපියන් පිරිසකට සිය දරුවන් අහිමි වී තිබූ අතර සැමියන් අහිමි වීම නිසා වැන්දඹුවන් බවට පත්වූ කාන්තාවන්ගේ සංඛ්‍යාවද විශාලය. වෙනත් කවර රටකින්වත් අසන්නට නොලැබෙන තරමේ දේශපාලන නායකයන් සංඛ්‍යාවක් ඝාතනයට ලක්වීම ඒ නිසා ඇතිවූ තවත් බිහිසුණු ප‍්‍රතිඵලයක් විය. ඒ නිසා මුළු රටටම අවුරුදු තිහකට වැඩි කාලයක් ජීවත් වන්නට සිදුවී තිබුණේ ප‍්‍රචණ්ඩත්වය, අමානුෂිකත්වය හා කෲරත්වය රජ කළ බිහිසුණු පරිසරයකය. එම විශේෂ පරිසරය විසින් සමාජ ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය හා ආර්ථික ක‍්‍රමය පමණක් නොව සමස්ත සමාජයේ විඥානයද විකෘති කිරීමට හේතුවී තිබුණි. සමස්ත ආයතන ක‍්‍රමයට ඉදිරියට යා නොහැකි තරමට ගරාහැලෙන තත්ත්වයකට පත්ව තිබුණු අතර රට අපරාධවලින් පිරුණු, අපරාධකරුවන්ගෙන් පිරුණු, මහා පරිමාණයෙන් සමාජ පාදඩකරණයකට ලක්වූ පාදඩ රටක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. අන්තර් වර්ග, අන්තර් ආගමික හා අන්තර් කුල සම්බන්ධතා විකෘති කොට සමස්ත ජාතියම විකෘති වූ ජාතියක් බවට පත්කිරීමට හේතුවී තිබුණි.

පෙනෙන්නට තිබෙන ඉතාම ඛේදජනක දේ වනුයේ සිදුවී තිබුණු මහා විනාශය හා ඒ ආශ‍්‍රයෙන් ඇතිව තිබූ මහා විකෘතිය පිළිබඳ සන්තාපයක් සමාජය තුළ ඇතිවී නොතිබීමය. ඒ හැඟීම දේශපාලන නායකයන් තුළ පමණක් නොව ආගමික නායකයන්, බුද්ධිමතුන් හා කලාකරුවන් තුළද ඇති නොවීමය. පරාජිතයන් සේ ම ජයග‍්‍රාහකයන්ද මෙම අර්බුදයේදී තමන් අතින් සිදුවූ ම්ලේච්ඡුකම් තවමත් සලකනුයේ වීර ක‍්‍රියා ලෙසය. ඒ කිසිවකු තුළ තමන් අතින් සිදුවූ ම්ලේච්ඡුකම් ගැන බරපතළ පසුතැවිල්ලක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට නැත.
චණ්ඩ අශෝක ධර්මාශෝක කෙනකු බවට, ඔහුගේ චණ්ඩ රාජ්‍යය ධර්මය රජ කරන ධර්ම රාජ්‍යයක් බවට පත්වූයේද තමන්ගේ යුද්ධ ව්‍යාපාර තුළ සිදුවූ මහා විනාශය ගැන අශෝක රජු තුළ ඇතිවූ මහා පසුතැවිල්ල නිසාය. එළාර පරාජය කළ දුටුගැමුණු තුළද ඒ හා සමාන පසුතැවිල්ලක් ඇති වුවද එය වර්ධනය වන්නට ඉඩ නොදුන්නේ භික්‍ෂූන් වහන්සේලාය. උන්වහන්සේලා එසේ මැදිහත් නොවන්නට සමහරවිට ධර්මාශෝක තරමින්ම නොවූවත් පුංචි ධර්මාශෝක කෙනෙකු වීමට දුටුගැමුණු රජුද සමත්වන්නට ඉඩ තිබුණි. එහෙත් පුදුමයට මෙන් ප‍්‍රභාකරන් පරාජය කළ වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපති මහින්ද රාජපක්ෂ තුළ සුළු ප‍්‍රමාණයකින් හෝ පසුතැවිල්ලක් ඇතිවී තිබෙන බවක් පෙනෙන්නට නැත. යුදමය තත්ත්වයක් විසින් ඇති කරන ලද මහා විනාශයකින් පසුව ඒ නිසා ඇතිවූ මහා විකෘතිය වෙනස් කිරීමට හේතුවන ප‍්‍රඥාව ලබාදෙන මහා උල්පත ලෙස ක‍්‍රියාකරන්නේ පසුතැවිල්ලය. ඞී කලර්ක් හා මැන්ඩෙලාට ලෝක අවමානයට හේතුවී තිබුණු වර්ණ භේදවාදී දකුණු අප‍්‍රිකාව ලෝකයාගේ ගෞරවයට හේතුවන රටක් බවට පත්කිරීමට අවශ්‍ය ප‍්‍රඥාව හා ආවේගයන් ලබාදෙන ලෙස ප‍්‍රධාන උල්පත ලෙස ක‍්‍රියා කළේද එම පසුතැවිල්ලය. එහෙත් ධර්මාශෝක කෙරෙන් විශාල ප‍්‍රමාණයකටද දුටුගැමුණු කෙරෙන් ඊට අඩු ප‍්‍රමාණයකටද ප‍්‍රකාශ වූ පසුතැවිල්ල ජනාධිපති මහින්ද රාජපක්ෂ කෙරෙහි බලපා නැත. එම්බාම් කරන පිළිවෙතකින් එහාට ගිය ගැඹුරු ප‍්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ආවේගයන් හා ප‍්‍රඥාව ඔහු අහිමි කරගෙන තිබෙන්නේ මහා විනාශයකින් පසුව ඇතිවිය යුතු පසුතැවිල්ල ඔහු තුළ ඇතිවී නැති නිසාය. සමහරවිට ඔහු ඒ මගින් පිළිබිඹු කරන්නේද පුද්ගල අධ්‍යාශය නොව සමස්ත ජාතියේ අධ්‍යාශය විය හැකිය. පොදුවේ ජාතියට පසුතැවිල්ලක් නැති නිසාම ජාතියේ නායකයාටද එය අදාළ නොවන දෙයක් බවට පත්ව තිබෙනවා විය හැකිය.

වළක වැටීම මොළයට ලාබයක් බව කියා ඇත්තේ මා ඕ සේතුංය. පුදුමයට මෙන් අප එක වළක නොව වළවල් ගණනාවකට වැටී ඇතත් තවමත් එය අපේ ජාතියේ හෝ ජාතියට නායකත්වය දෙන නායකයන්ගේ මොළවලට ලාභයක් වී නැත. ත‍්‍රස්තවාදය අවසන් කිරීමට හැකිවී ඇතත් ජාතිය තවමත් ජීවත්වන්නේ රිදී රේඛා නැති ඝන අන්ධකාරයකය.