ලංකාව ගැන ලංකාවේ දෙබිඩි ප‍්‍රතිපත්තිය

 

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය දැන් කෙටි නිල නිවේදනයක් නිකුත් කොට තිබේ. ඉන් කියැවෙන්නේ, ලෝකයේ රටවල ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයට පත් වූ රාජ්‍ය නායකයන් සමග කටයුතු කිරීමේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිපත්තිය අනුව, යුක්රේන ජනාධිපති වික්ටර් යනුකොවිච් ව්‍යවස්ථා විරෝධී ලෙස බලයෙන් පහ කිරීම තමන් අනුමත නොකරන බවයි. එසේ ම, යුක්රේනයේ හට ගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා රුසියානු සමූහාණ්ඩුව ගන්නා ප‍්‍රයත්නයන්ට සහයෝගය පළ කරන බව ද ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සිය කෙටි නිවේදනයෙන් තවදුරටත් කියා සිටියි.

යුක්රේනයේ සිදු වන්නේ කුමක්දැ’යි මේ වන විට සියල්ලෝ ම දනිති. එහි ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ හිතුවක්කාරී පාලනය පෙරළා දැමීමට මහමඟට බට එරට ජනතාවගේ සටන්කාමී ක‍්‍රියාකාරිත්වය නිසා යනුකොවිච් ජනාධිපතිවරයාට පාලනය හැර දමා රටින් පිට ව යන්නට සිදු විය. ඔහු බලයෙන් පහ කැරුණු පසු, මහජන මුදල් වැය කරමින් ඔහු ගෙවූ අත්‍යන්ත සුඛෝපභෝගී ජීවිතය ගැනත්, ඔහුගේ ව්‍යවස්ථා විරෝධී හිතුවක්කාර පාලනය ගැනත් බොහෝ තොරතුරු අනාවරණය වන්නට විය. යනුකොවිච් ද මහජන බලයෙන් පාලනයට පත් වී, එම බලයට සපුරා එරෙහිව තම සුඛ විහරණය වෙනුවෙන් කටයුතු කළ, ලෝකයේ සාම්ප‍්‍රදායික අත්තනෝමතික පාලකයන්ගේ වර්ගයේ ම තවෙකකු මිස වෙනස් අයෙක් නොවේ. එවැන්නන් බලයෙන් පහ කිරීම සඳහා, කවර සීමිතකම් තිබියේ වා ජනතාව පෙළ ගැසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අර්ථයෙන් යහපත් දෙයකි. එහෙත් වික්ටර් යනුකොවිච් යනු රුසියානු හිතවාදියෙකි. සිය රටේ ජනතාව විසින් ඔහු බලයෙන් පහ කැරුණු පසු ඒ වාඩුව ගන්නට මෙන්, රුසියාව යුක්රේනයේ කොටසක් වූ ක‍්‍රිමියාවට තම සන්නද්ධ හමුදා එවී ය. ඒ සඳහා සාධාරණීකරණ තර්කය ලෙස යොදා ගැනුණේ ක‍්‍රිමියාවේ සිටින ජනගහනයෙන් සියයට පනස් අටක් වූ වාර්ගික රුසියානුවන්ගේ ආරක්‍ෂාව තමන් වෙත පැවරී ඇති වගකීමක් ය යන්නයි. සිය සන්නද්ධ හමුදා ක‍්‍රිමියාවට එවීමෙන් නොනැවතුණු රුසියාව, ක‍්‍රිමියාවේ ව්‍යවස්ථාදායකය ලවා, තමන් සමග එක් ව වැඩ කිරීමේ යෝජනාවක් සම්මත කරගත් අතර, එම යෝජනාව ක‍්‍රිමියානු ජනතාව ලවා අනුමත කරවා ගැනීමට ජනමත විචාරණයක් පැවැත්වීමට ද පියවර ගත්තේ ය.

දැන් ශී‍්‍ර ලංකාව රුසියාවේ මේ ක‍්‍රියාමාර්ගය එකහෙළා අනුමත කිරීමෙන් කර ඇත්තේ ක‍්‍රිමියාවට රුසියානු හමුදා ඇතුළු කිරීම ද නොවළහා පිළිගැනීමයි. එහෙත්, ලංකාව රුසියාවේ පිළිවෙත පිළිගන්නා විට, ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ තමන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් මෙතෙක් පවත්වා ගෙන යන තර්ක ද නිශේධනය වන බවක් පෙනේ.

විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාවට එරෙහි ව පැන නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් ලංකාව කියන්නේ, ඒ ගැන ජාත්‍යන්තර මැදිහත් වීමක් සිදු නොවිය යුතු බවත්, එවැන්නක් ලංකාවේ ස්වෛරීභාවයට කරන අනිසි මැදිහත් වීමක් බවත්, ලංකාවේ ප‍්‍රශ්නය ලංකාව තුළ ම විසඳා ගන්නට තමන්ට ඉඩ හළ යුතු බවත් ය. රුසියාව ද එහි දී ලංකාව වෙනුවෙන් සහායට එමින් කියන්නේ ලංකාවේ ප‍්‍රශ්න විසඳා ගන්නට ලංකාවට ම ඉඩ දිය යුතු බව ය. එහෙත්, ඒ තර්කය යුක්රේනයට යෙදුව හොත්, යුක්රේනයේ ජනතාව තම පාලකයාට එරෙහිව වීදි බැස ඔහු ඉවත් කිරීම වනාහි යුක්රේනයේ අභ්‍යන්තර ප‍්‍රශ්නයකි. ක‍්‍රිමියාව ද ඒ යුක්රේනයේ ම කොටසක් වන අර්ධද්වීපයකි. ක‍්‍රිමියාවේ සිටින බහුතර රුසියානුවන්ගේ ආරක්‍ෂාව ගැන සලකා බලා රුසියාව එහි ඇතුළු වීම වනාහි යුක්රේනයේ භෞමික අඛණ්ඩතාව හා ස්වෛරීභාවය උල්ලංඝනය කිරීමකි.

එක් අතෙකින් තම ස්වෛරීභාවය ගැන කතා කරමින් එම න්‍යායට සපුරා ම පටහැනි ක‍්‍රියාකාරිත්වයක යෙදෙන රුසියාව සමග එක පෙළට සිට ගැනීමෙන් ලංකාව පෙන්වන විදේශ ප‍්‍රතිපත්තියේ හරය කුමක් ද?