ගෝඨාභය රජයේ නිලධාරියෙකි විනයට දඬුවමට ඔහුද යටත්ය

 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බස්නාහිර පළාත් සභා අපේක්ෂක උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප‍්‍රචාරක ව්‍යාපාරයේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් නාගරික සංවර්ධන හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගිවීම සම්බන්ධයෙන් සමහරුන් කරන විග‍්‍රහයන් ගැන සලකන විට ඒ පිරිස් රටේ පවතින නීතිරීති විකෘති කර මහජනයාට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බවක් පැහැදිලිවම පෙනේ.

විශේෂයෙන්ම ආණ්ඩුවේ මැති ඇමතිවරුන් ඒ සම්බන්ධයෙන් කරනු ලබන ප‍්‍රකාශත් ආණ්ඩුව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින ප‍්‍රකාශකයන්ගේ ප‍්‍රකාශත් රටේ පවතින නීතිරීති විකෘති කරන බවට පැහැදිලි නිදසුන්ය.

මේ බොහෝ අයගේ ප‍්‍රධානතම තර්කය වන්නේ වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව අමාත්‍යාංශ ලේකම්වරයා යනු ජනාධිපතිවරයා විසින් පත්කරනු ලබන පුද්ගලයකු බැවින් ඔහු රජයේ නිලධාරියකු නොවන බවය. පැහැදිලිවම එම ප‍්‍රකාශ සත්‍යය විකෘති කිරීමකි.
ඔවුන් උපුටා දක්වන 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවම රජයේ නිලධාරියා යන්න කවුරුන්ද වශයෙන් අර්ථ දක්වා ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ නිලධාරියා ගැනෙන්නේද රජයේ නිලධාරියකු වශයෙන්ය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඞඞෂෂ වන පරිච්ෙඡ්දයේ අර්ථ නිරූපණ යටතේ මේ බව පැහැදිලිවම දක්වා ඇති අතර එහි ‘රජයේ නිලධරයා’ යන්නෙන් අධිකරණ නිලධාරියකු හැර ජනරජය යටතේ වැටුප් ලබන ධුරයක් දරන තැනැත්තෙක් අදහස් වේ’ යනුවෙන් සඳහන්ය.
ඒත් ඊට, ජනාධිපතිවරයා, කතානායකවරයා, අමාත්‍යවරයෙක්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙක්, මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙක්, ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජිකයෙක්, මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා, මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණ කොමිෂන් සභාවට පත් කරන ලද නිලධරයෙක්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සාමාජිකයෙක්, නියෝජ්‍ය අමාත්‍යවරයෙක්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් අයත් නොවන බව සඳහන්ය.

ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා යනු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුවම රජයේ නිලධාරියකු බව පැහැදිලිය. එහෙත් එය එසේ නොවන බව කියන්නේ රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට හා රටේ නීතියට අනුකූලව අවංකව කටයුතු කරන බවට හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට දිවුරුම් දී තනතුරු භාරගත් මැති ඇමතිවරුන් වීම, රටේ මූලික නීතියට සිදුවී ඇති අකරතැබ්බය හැඳිනගැනීමට හොඳ නිදර්ශනයකි.

රජයේ නිලධාරියා යන්න එසේ පැහැදිලි කරගැනීමෙන් පසු මේ රජයේ නිලධාරීන්ට ප‍්‍රසිද්ධ දේශපාලන අයිතිවාසිකම් තිබෙනවාද නැද්ද යන්න කරුණ ගැන තවදුරටත් සැකහැර දැනගැනීම සඳහා රාජ්‍ය සේවකයාගේ විනය පාලනය සඳහා ඇති ආයතන සංග‍්‍රහයට අවධානය යොමු කළයුතු වේ.

ආයතන සංග‍්‍රහයේ XXII පරිච්ෙඡ්දයට අනුව දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට හිමිකම් නොමැති නිලධාරීහු පිරිසක් සිටිති. ඒ අනුව අධිකරණ නිලධාරීන්ට, සන්නද්ධ සේවාවල නිලධාරීන්ට පොලිසියේ නිලධාරීන්ට, සාම නිලධාරීන්ට, (උදා: ග‍්‍රාම නිලධාරී) බන්ධනාගාර නිලධාරීන්ට රජයේ සේවයේ මාණ්ඩලික හෝ අධීක්ෂණ නිලධාරීන්ට, මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට දේශපාලන අයිතිවාසිකම් භුක්ති විඳීමට නොහැකිය. ඔවුන්ට කළහැක්කේ ඡුන්ද අවස්ථාවක ඡුන්දය දීම පමණය.
ඒ අනුව දේශපාලන අයිතිවාසිකම් නොමැති එම පිරිස මැතිවරණයකට සහභාගිවීම, මැතිවරණයකට සහභාගි වන අපේක්ෂකයකුට මොන ආකාරයකින් හෝ ආධාර කිරීම සේවයෙන් පහකිරීමේ දඬුවමට භාජනය විය යුතු වරදක් බව ආයතන සංග‍්‍රහය දක්වයි.

එහෙත් අමාත්‍යාංශ ලේකම්වරයා පත්කරනු ලබන හා ඉවත් කරනු ලබන බලය ඇති ජනාධිපතිවරයා කොතෙක් පැමිණිලි ලැබුණද එම විනය විරෝධී ක‍්‍රියාව සම්බන්ධයෙන් ඔහුගේ සහෝදරයා වන ගෝඨාභය රාජපක්ෂට එරෙහිව කටයුතු කරනු ඇතැ’යි අප සිතිය යුතු නැත. මන්ද රටේ නීතිරීති ඇත්තේ රාජපක්ෂවරුන්ට නොවන බව පසුගිය කාලය පුරාම විවිධ ක්ෂේත‍්‍රවලදී අවස්ථා ගණනාවකදී අපට පෙන්වා ඇති බැවින්ය.

ආයතන සංග‍්‍රහය සඳහන් කරන්නේ දේශපාලන අයිතිවාසිකම් නොමැති නිලධාරීන් තම කලත‍්‍රයා එසේ තහනම් කර ඇති ක‍්‍රියාවල නොයෙදෙන බවට වගබලා ගැනීම සම්බන්ධයෙන්ද වගකිවයුතු බවය. කලත‍්‍රයා එම කටයුතුවල යෙදුණහොත්, නිලධාරියාද එම විනය කඩකරන ලදැ’යි සලකනු ලබන බව ආයතන සංග‍්‍රහය දක්වයි.

නිලධාරීන් ගැන පියවර නොගන්නා රටක කලත‍්‍රයන් ගැන මොන පියවරදැ’යි ඒ අනුව රටේ සාමාන්‍ය ජනයාට සිතෙන්නට පුළුවන. එහි අසාධාරණයක් නැත.