නාගරික දේපොළ කොල්ලකෑම

 

ලංකාවේ අයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කොල්ලකරුවන් රජකරන සමාජ වටාපිටාවකය. කොල්ලකරුවන්ගේ ස්වභාවය විවිධ වනවා සේ ම ක‍්‍රියාත්මක වන කොල්ලකෑම්වල ස්වභාවයද විවිධය.

නාගරික ඉඩම් හා දේපළ සංවිධාන්තමකව කොල්ලකන කල්ලි ගැන දීර්ඝ කාලයක් තිස්සේම විටින් විට රටට අසන්නට ලැබුණි. එවැනි කොල්ල කල්ලිවල ක‍්‍රියාකාරීත්වය වඩා ප‍්‍රබල ලෙස පළමුව අසන්නට ලැබෙන්නේ 1983 කළු ජූලියෙන් පසුවය. ජූලි කලබලවලින් භීතියට හා කම්පනයට පත් කොළඹ නගරයේ ජීවත් වූ සමහර මධ්‍යම පාන්තික දෙමළ පවුල් විදේශ රටවලට සංක‍්‍රමණය වූහ. එවැනි බොහෝ අය රට අතහැර ගියේ තමන් සතුව තිබූ නාගරික දේපළ නොවිකුණාය. එවැනි පුද්ගලයන්ගේ නාගරික දේපළ ව්‍යාජ ඔප්පුවලින් තමන් වෙත හිමිකර ගනිමින් ඒවා වෙනත් පුද්ගලයන්ට විශාල මිල ගණන්වලට විකුණන සංවිධානාත්මක ව්‍යාපාරයක් ඒ කාලයේ ක‍්‍රියාත්මක විය. ඉන්පසුව ජේවීපී දෙවැනි කැරැුල්ල කාලයේදී හා ඉන්පසුවද තමන්ගේ නාගරික දේපළ නොවිකුණා ඒවා බදු දී හෝ තෝරාගත් භාරකරුවන්ට දී රට අතහැර යන දෙමළ හා සිංහල හා මධ්‍යම පාන්තික පවුල්වල දේපළ අත්පත් කරගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙමින් තිබෙනු දැකිය හැකිය.

කොල්ලකෑම්වල ස්වභාවය

නාගරික ඉඩම් හා දේපළ කොල්ලකෑම අරමුණු කරගෙන ක‍්‍රියාත්මක වන කල්ලි ඉතාමත් සංවිධානාත්මක වනවා සේ ම සිය කොල්ලකාරී අරමුණු සපුරාගැනීම සඳහා ක‍්‍රියාවට නගන ක‍්‍රියාකාරකම් ඉතා සාහසික වේයැ’යිද කිව හැකිය. එක කොල්ලයකින් උපයන ආදායම ඉතා විශාල වන නිසාම වෙනත් ආකාරවලින් කොල්ලකෑම්වල යෙදෙන කොල්ලකරුවන් අබිබවා යන බලයක් තමන් වෙත හිමිකර ගැනීමට ඔවුන් සමත්ව තිබෙන්නේයැ’යි ද කිව හැකිය. ඔවුන්ට තිබෙන අතිවිශාල ධන බලය නිසාම දේශපාලකයන්, පොලිසිය, අධිකරණය හා වෙනත් රාජ්‍ය නිලධාරීන් කෙරෙහි බලපෑමට ඔවුන්ට තිබෙන හැකියාව ඉහළම මට්ටමක පවත්නේයැ’යි කිව හැකිය.

වටිනා නාගරික දේපළ කොල්ලකන කොල්ල කල්ලිවල පහසු ගොදුරු බවට පත්වන්නේ තමන් සතු නාගරික නිවාස හෝ දේපළ නොවිකුණා වෙනත් හිතවත් පුද්ගලයකුට බලාගැනීමටදී හෝ මුදලට බදු දී වෙනත් රටවල පදිංචියට යන නාගරික මධ්‍යම පාන්තික පවුල්ය. හිමිකරුවා වෙනත් රටක පදිංචියට ගිය පසු ඔහුගේ නාගරික දේපළ බලාගන්නා පුද්ගලයා හෝ බදුකරුවා බියගන්වා එම දේපළ සඳහා ව්‍යාජ හිමිකරුවකු ඉදිරිපත් කොට ඒ දේපළ හිමිකර ගැනීමට බොහෝවිට එම කොල්ලකරුවෝ සමත්වන්නෝය. තමන්ගේ නාගරික දේපළ නොවිකුණා භාරකරුවකුට භාරදී හෝ බදුකරුවකුට බදු දී වෙනත් රටක පදිංචියට යන පුද්ගලයකුට නැවත ලංකාවට ඒමට තිබෙන හැකියාව සීමාසහිතය. වෙනත් රටක පදිංචියට ගිය පුද්ගලයා ඒ රටේ රස්සාවක් කරන පුද්ගලයකු නම් ඔහුට ලංකාවට පැමිණ මෙවැනි ආරාවුල් බේරාගැනීම සඳහා දීර්ඝ කාලයක් ලංකාවේ ගතකිරීමේ හැකියාවක් නැත. තවත් බොහෝ දෙනකුට වෙනත් රටක ජීවත්වීමට යෑම පිණිස දරන ලද වියදම විශාල වීම නිසාම මෙවැනි ආරාවුල් විසඳාගැනීම සඳහා විශාල අතිරේක වියදමක් දැරීමේ හැකියාව නැත. දේපළ බලාගන්නා පුද්ගලයා හෝ බදුකරුවා එම දේපළේ හිමිකරුවා නොවන නිසාම ඔහුට එහිදී ඇතිවන අර්බුදයට මුහුණදීමේ ශක්තිමත් නෛතික පදනමක් ඇත්තේ නැත. අනෙක් අතට අනුන්ගේ දේපළක ආරක්ෂාව වෙනුවෙන් දිවි පරදුවට තබා ක‍්‍රියාකරන ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන්නට භාරකරුවා හෝ බදුකරුවා සාමාන්‍යයෙන් කැමතිවන්නේ නැත. අවසානයේ එවැනි ආරාවුලකදී එම දේපළ හිමිකර ගැනීමේ වැඩි වාසිය හිමිවන්නේ කොල්ල කල්ලියටය.

එවැනි ආරාවුල්වලදී ඊට වෙනස් ප‍්‍රතිඵල ඇති කළ අවස්ථාද කලාතුරකින් අසන්නට ලැබෙන්නේය. එස්ටීඑෆ් බලකායේ හිටපු ප‍්‍රධානියකු රට අතහැර ගිය පුද්ගලයකුගේ දේපළ භාරකරුවී එම දේපළ කොල්ලකාරී ලෙස හිමිකර ගැනීමට ප‍්‍රකට දේශපාලකයකුගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක කොල්ල කල්ලියක් දරන ලද උත්සාහයකදී එස්ටීඑෆ් බලකායේ හිටපු ප‍්‍රධානියා කොල්ල කල්ලිය එම දේපළ අත්පත් කරගැනීමට දරන ලද සාහසික උත්සාහය අවසානයේ පරාජය කිරීමට සමත් විය. එහෙත් එවැනි ජයග‍්‍රහණයක් ගැන අසන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. වැඩියෙන්ම අසන්නට ලැබෙන්නේ කොල්ල කල්ලි ලබන ජයග‍්‍රහණයන් ගැනය.

කුරුඳු වත්තෙන් නිදර්ශනයක්

මෙම විෂයේදී සිදුවන කොල්ලයන්ගේ තරම හා ස්වභාවය තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් කතාවක් මෙසේය. කොළඹ හතේ ජීවත් වූ විශාල ධනවත් පුද්ගලයකු (ඔහු වර්ගය අනුව දමිළයෙකි.) තමන්ගේ මරණයෙන් පසු ඒ දේපළවල අයිතිය පැවරීමට සුදුසු පවුලේ පුද්ගලයකු නොසිටීම නිසා හෝ විවිධ හේතු නිසා හෝ කෝටි සිය ගණනක් වටිනා තම දේපළ මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කිරීමට සුදුසු බව කල්පනා කොට මහා භාරකාර දෙපාර්තමේන්තුවේ දූෂිත තත්ත්වය දැන සිටීම නිසා හෝ වෙනත් හේතු නිසා හෝ එම දේපළ විකුණා මහරගම පිළිකා රෝහලට භාරදීමේ වගකීම තමන් දන්නා හඳුනන පුද්ගලයන්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලයකට නීත්‍යනුකූලව පවරා මිය ගියේය.

මගේ මතය අනුව මහරගම පිළිකා රෝහල සැලකිය හැක්කේ ලස්සන තැනක් ලෙස නොව අවලස්සන තැනක් ලෙසය. සමහරවිට එම රෝහලට රජයෙන් ලැබෙන ප‍්‍රතිපාදන ප‍්‍රමාණවත් නොවනවා විය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ රෝහලට ලැබෙන සීමිත ප‍්‍රතිපාදන පවා ප‍්‍රශස්ත හා කාර්යක්ෂම ලෙස යොදාගැනීමට රෝහල් බලධාරීන් අසමත්ව තිබෙන බවය. පරමාණු හා විකිරණ විෂය පිළිබඳව ලංකාව මෙතෙක් බිහිකර තිබෙන එකම මහාචාර්යවරිය ලෙස සැලකිය හැකි කෙනකු පිළිකා රෝගයට ගොදුරුවීම නිසා මීට කිසියම් කලකට ඉහතදී ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා එම රෝහලේ නේවාසික ප‍්‍රතිකාර ලබන රෝගියකු බවට පත්විය. ඇය ප‍්‍රතිකාර ලබා නැවත සිය නිවසට ඒමෙන් පසුව මහරගම පිළිකා රෝහලේ තත්ත්වය පිළිබඳව ඇය සමග කෙරුණු කතාබහකදී ඇයගෙන් අසන්නට ලැබුණු එක දෙයක් මාගේ පුදුමයට සේ ම මහත් කනගාටුවද හේතුවූ බව කිවයුතුය.

‘‘මා මෙම විෂය හදාළ මහාචාර්යවරියක බව ඔවුන් දැන සිටියේ නැහැ. ඔවුන් එය දැනගත යුතු දෙයක් ලෙසද සැලකිය නොහැකියි. එහෙත් මා විෂය හොඳින් දන්නා කෙනකු වීම නිසා නියම කරන ලද ඖෂධ අතර අවශ්‍යයෙන්ම දියයුතු විශාල වටිනාකමක් ඇති ඖෂධ ඖෂධහලෙන් මට දෙන ලද බෙහෙත් පෙති හා කරල් අතර නැති බව මට පෙනී ගියා. මම ඒ ගැන ප‍්‍රශ්න කළා. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් අවසානයේ ඒ ඖෂධය මට ලැබුණා. එහෙත් සාමාන්‍ය පිළිකා රෝගීන් තමන්ට ලැබිය යුතු ඖෂධ මොනවාද කියා දන්නේ නැහැ. මා විෂය දන්නා නිසා මගේ ප‍්‍රශ්නය විසඳාගැනීමට මා සමත් වුවත් මෙම විෂය ගැන කිසිම අවබෝධයක් නැති අහිංසක සාමාන්‍ය පිළිකා රෝගීන්ට හිමි ඉරණම කුමක්දැ’යි ඇය මගෙන් හැඟීම්බර ස්වරයකින් ඇසුවේය.

මහරගම පිළිකා රෝහලේ එවැනි ගැටලූ තිබියදීත් මා ඉහත විස්තර කළ දානපතියා එම රෝහලට පරිත්‍යාග කළ එම දේපළේ නියම වටිනාකම එම රෝහලට ලැබුණේ නම් ඒ ධනය රෝහල දෙගුණයකින් නොව සමහරවිට දහ ගුණයකින් පමණ වැඩි දියුණු කිරීමට එම ධනය ප‍්‍රමාණවත් වන්නට ඉඩ තිබුණි. එහෙත් එවැනි දැවැන්ත පරිත්‍යාගයක් රෝහලට ලැබී ඇති බව රෝහල් බලධාරීන් තබා රටේ සෞඛ්‍ය බලධාරීන් පවා දැන සිටියේද යන්න සැකසහිතය.

මෙම දානපතියා මරණයට පත්වූ විට කෝටි සිය ගණනක් වටිනා එම දේපළ දෙස ඇස ගසාගෙන සිටි දේපොළ කොල්ල කල්ලියක් භාරකාර මණ්ඩලයට තිබෙන අයිතියට අභියෝග කරන හා ඔවුන්ට තර්ජනය කරන තැනකට ගියේය. ඒ ආශ‍්‍රයෙන් ඇතිවූ අර්බුදය තවමත් අවසන් වී නැතත් එහිදී පොලිසියේ අනුග‍්‍රහය ලැබෙමින් තිබෙන්නේ කොල්ල කල්ලියටය. පොලිසියේ ක‍්‍රියාකාරීත්වය තේරුම් ගැනීමට අමාරු නැත. රජයෙන් ඔවුන්ට ලැබෙනුයේ ඔවුන් කරන රාජකාරිය සඳහා වන නිශ්චිත වැටුපක් පමණය. දානපතියා සිය දේපළ සඳහා පත්කරන භාරකාර මණ්ඩලයෙන් හෝ පිළිකා රෝහලෙන් ඔවුන්ට විශේෂ දීමනා ලැබෙන්නේ නැත. එහෙත් මෙවැනි කොල්ල කල්ලිවලින් ඔවුන්ට ලබාගත හැකි ආර්ථික වාසි අතිවිශාලය. ඒ නිසා අවසාන විග‍්‍රහයේදී පොලිසියේ අනුග‍්‍රහය ලැබෙන්නේද කොල්ල කල්ලිවලටය.

සමහර දේශපාලන බලවතුන්ගේද අනුග‍්‍රහය ඇතිව සිදුවන මෙවැනි දේපළ කොල්ල එක ස්වරූපයකින් නොව විවිධ ස්වරූපවලින් ක‍්‍රියාත්මක වේ. එය ක‍්‍රියාත්මක වන තවත් ස්වරූපයක් තේරුම් ගැනීමට ප‍්‍රයෝජනවත් කරුණු රැුසක් පසුගිය සතියේදී හෙළිදරව් විය.

මාලබේ කොල්ලය

එම කොල්ලයේදී මිලදී ගන්නා මිලදී ගෙන තිබුණේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමකි. මාලබෙන් මිලදී ගත් එම ඉඩම වෙනුවෙන් ගැනුම්කරුවා ගෙවා තිබුණු මිල රුපියල් ලක්ෂ 420කි. ඉඩම මිලදී ගන්නට පෙර ගැනුම්කරුවා ඉඩමේ ඔප්පු තිරප්පු ගැන හොඳින් සොයා බැලූවේය. පරීක්ෂා කළ තොරතුරුවලට අනුව එහි විකුණුම්කරු එහි නියම අයිතිකරුවා විය. එහෙත් ඉඩම මිලදී ගැනීමෙන් පසු එම ඉඩමට නාගරික සංවර්ධන අධිකාරිය අයිතිවාසිකම් කීම හේතු කොට තමන් මහා වංචාවකට අසුවී තිබෙන බව ගැනුම්කාරිය තේරුම් ගත්තාය. ඇගේ පැමිණිල්ල මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විකුණුම්කරු හා එම වංචාවට සම්බන්ධ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත්තේය. වංචාකරුවන් ළඟ තිබී ඉඩම් රෙජිස්ට‍්‍රාර් කාර්යාලයෙන් සොරකම් කළ නීත්‍යනුකූල පත් ඉරු 56ක් ඉඩම් ඔප්පු 110ක්ද විවිධ වර්ගවලට අයත් පැරණි මුද්දර තොගයක් හා ව්‍යාජ සීල් ගණනාවක්ද සොයා ගන්නා ලදි.

අල්ලා ගන්නා ලද මෙම සිද්ධියෙන් පොලිස් මූලස්ථානය කොතරම් උද්දාමයට පත්වූයේද කිවහොත් පොලිස් මූලස්ථානයේදී මාර්තු 12 වැනි දින දේපළ වංචා පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සඳහා විශේෂ ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක්ද පවත්වන ලදි. එම ප‍්‍රවෘත්ති සාකච්ඡුාව අමතා කතා කරන ලද්දේ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතාය.

එම මාධ්‍ය සාකච්ඡුාවට ජනමාධ්‍යවලින් විශාල ආවරණයක් ලබා දුන්නද මහජනතාවට ඒ මගින් දැනගන්නට ලැබුණේ නියම කතාව නොව නියම කතාවෙන් එක්තරා කොටසක් පමණය. එහිදී පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණේද නියම කොල්ලකරු නොව එම වංචාවට ඔහුට සහාය වී ඇති පුද්ගලයන් දෙදෙනකු පමණය.

ඇත්ත කතාව

ගැනුම්කරු විද්‍යාඥවරියකි. ඇයට විකල්ප බලශක්ති තනන ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවශ්‍ය වී තිබුණේය. ඒ සඳහා සුදුසු ඉඩමක් ඇය සොයමින් සිටියාය. මාලබේ තොරතුරු තාක්ෂණ ආයතනය අවට තිබෙන අක්කර 2ක ඉඩමක් විකිණීමට තිබෙන බව ඇය දැනගත්තේ එම ඉඩමේ කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ ප‍්‍රදර්ශනය කෙරෙමින් තිබූ විශාල දැන්වීම් පුවරුවක් නිසාය. එම ඉඩම මිලදී ගැනීමට උනන්දුවක් දක්වන අය විමසීම් කළයුතු පුද්ගලයාගේ කෙටි නම හා දුරකතන අංකයද එහි සඳහන් වී තිබුණි. ඇය එම ස්ථානය පසුකොට යන හැම අවස්ථාවකම එම දැන්වීම් පුවරුව දැක්කේය. මාස ගණනකට පසුව එහි මිල ගණන් දැනගැනීම සඳහා දැන්වීම් පුවරුවේ ඇති දුරකතන අංකයට ඇය කතා කළාය. ඉන්පසු හිමිකරුවා හමුවී ඉඩමේ මිල ගණන් කතා කළාය. පිළිගත හැකි මිලක් ලැබුණු විට මෙම ඉඩම තමන් අරමුණු කර තිබෙන ව්‍යාපාරය ආරම්භ කොට පවත්වාගෙන යෑම සඳහා සුදුසු ඉඩමක්දැ’යි ඒ ගැන කරන පරීක්ෂණ මගින් සොයා බැලිය යුතුව තිබෙන බවත් එම පරීක්ෂණ කටයුතු සම්පූර්ණ කිරීම සඳහාද මාස කිහිපයක් යා හැකි බැවින් ඉඩම මිලදී ගන්නට පෙර ඒ කටයුතු කරගෙන යෑමට අවසර දිය හැකිදැ’යි ඇය හිමිකරුගෙන් අසා සිටියේය. හිමිකරු ඇයට ඊටද ඉඩ දුන්නේය. ඇය බුල්ඩෝසර් යොදා ඉඩමේ තිබෙන ගස් කොළන් ඉවත් කොට සිය පර්යේෂණ කටයුතු එහි කරගෙන ගියාය. ඒ සමග ඉඩමේ ඔප්පු තිරප්පු ගැනද ඇය සොයා බැලූවාය. වීථි රේඛා ගැන සොයා බලන ලද අතර ඉඩම වටේ තාප්පයක් ඉදිකිරීම සඳහා අවශ්‍ය අනුමැතියක්ද නාගරික සංවර්ධන අධිකාරියෙන් හා ප‍්‍රාදේශීය සභාවෙන් ලබාගත්තාය. හැම දෙයක්මත් ඇගේ සිතැඟියාවන්ට ගැළපෙන ලෙස සම්පූර්ණවෙමින් තිබුණේය. අවසානයේ ඇය අක්කර දෙකක වපසරියකින් යුතු ඒ ඉඩම රුපියල් ලක්ෂ 420කට මිලදී ගත්තාය. ඉඩම මිලදී ගැනීමෙන් තවත් කලයකට පසුව තමන්ගේ ව්‍යාපෘතියට හානි ඇති කරන වෙනත් ව්‍යාපෘතියක් ඊට අල්ලපු ඉඩමේ කොළොන්නාව ප‍්‍රාදේශීය සභාව විසින් ආරම්භ කරන්නට යන බව දැනගන්නට ලැබීම නිසා ඇය ඒ ගැන ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා සමග කතා කළාය. එය රජයේ ව්‍යාපෘතියක් වන නිසාත් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කර තිබෙන නිසාත් එම ව්‍යාපෘතිය අත්හැරීමේ හැකියාවක් නැති බව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇයට කීවේය. ඒ අනුව තෝරාගැනීමට වෙනත් විකල්පයක් නැති නිසා තමන් මිලදී ගෙන තිබුණු එම ඉඩම විකිණීමට ඇය තීරණය කළාය.

මීට පෙර ඉඩමේ හිමිකරුවා ක‍්‍රියාකර තිබුණු ආකාරයටම ඇයද ඉඩම විකිණීම සඳහා වන දැන්වීම් පුවරුවක් සකස් කොට එය එම ඉඩමේම ප‍්‍රදර්ශනය කළාය. ඇගේ විස්මයට හේතුවන සියලූ දේවල් සිදුවූයේ ඉන්පසුවය. එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් වන බවට නාගරික සංවර්ධන අධිකාරිය අයිතිවාසිකම් කීම නිසා ඉඩමේ හිමිකම්වලට අදාළ ඔප්පු තිරප්පු නැවත පරීක්ෂා කරන තැනකට යන්නට ඇයට සිදුවූ අතර තමන්ට ඉඩම විකුණන ලද පුද්ගලයා තමන් විශාල රැුවටීමකට ලක් කර තිබෙන බව ඒ සමග සොයාගැනීමට ඇයට හැකිවිය. තමන්ගේ සියලූ ඉතිරි කිරීම් අහිමිවූ තත්ත්වයක් තුළ ඇය විශාල කම්පනයකට පත්වී ඒ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් පමණක් සීමා නොවී ඇය තමන්ට සිදුවූ අලාභය කෙසේ හෝ ලබාගත යුතුයි කියන අධිෂ්ඨානයෙන් යුතුව තමන්ට ඉඩම විකුණූ පුද්ගලයා සොයා ඔහු පසුපස ලූහුබැන්දාය. ඇගේ ශිෂ්‍යයන් හා කාර්ය මණ්ඩල සාමාජිකයෝද ඇයට ඒ සඳහා උදව් කළහ.

අල්ලා ගැනීම

අවසානයේ දරන ලද බලවත් උත්සාහයක ප‍්‍රතිඵලයක් වශයෙන් ඉඩම විකිණූ පුද්ගලයා අල්ලා ගැනීමට ඔවුහු සමත් වූහ. නියම කතාව ඔවුන්ට දැනගන්නට ලැබෙන්නේ ඉන්පසුවය. ඔහු කරන ලද පාපෝච්චාරණය ඔවුහු වීඩියෝගත කළෝය. ඒ අනුව ඔහු මෙම මහා වංචාවේ පුංචි කොටස්කරුවකු පමණක් බවත් මෙම මහා වංචාව පසුපස සිටින නියම මිනිසා කවුද යන්නත් දැනගැනීමට ඔවුන්ට හැකිවිය. මේ ගනුදෙනුවෙන් ඔහුට ඔහුට ලැබී ඇත්තේ රුපියල් මිලියනයක් පමණය. ඉතිරි සියලූ මුදල් හිමිකරගෙන ඇත්තේ මෙම මහා වංචාව තිරය පිටුපස සිට මෙහෙයවන ලද පුද්ගලයාය.
ඔහු මේ ආකාරයෙන් කරන ඉඩම් වංචා මගින් ප‍්‍රකෝටිපතියකු බවට පත්වූ ඉඩම් වංචා නඩු විශාල ගණනකට පැටලූණු බලවත් දේශපාලන සබඳතා ඇති පුද්ගලයෙකි. 

මෙම පුද්ගලයාගෙන් ප‍්‍රකාශයක් ලබාගෙන ඔහු මුදාහැරීමෙන් පසු මෙම මහා වංචාව පිටුපස සිටින සැබෑ පුද්ගලයාගෙන් විද්‍යාඥවරියට මරණ තර්ජන එල්ලවන තත්ත්වයක් ඇතිවීම නිසා ඇයට සැඟවී අප‍්‍රසිද්ධ ජීවිතයක් ගතකිරීමට සිදුවිය. මේ අතර ඉඩම විකුණන ලද පුද්ගලයාගෙන් ඇය පාපෝච්චාරණයක් ලබාගෙන ඇති බව පොලිසියට දැනගන්නට ලැබී එම පාපෝච්චාරණය තමන් වෙත භාරදෙන ලෙස පොලිසිය ඇගෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම ඇය දැක්කේ මෙම වංචාව පිටුපස සිටින බලවතාගේ උපදෙස් මත තමන් අත තිබෙන එකම සාක්ෂිය තමන්ගෙන් උදුරා ගැනීමට පොලිසිය දරන කූට උත්සාහයක් ලෙසය. ඒ නිසා ඇය එම වීඩියෝ පටය හෝ එහි පිටපතක් පොලිසියට ලබාදීම ප‍්‍රතික්ෂේප කළාය. ඒ අතර ඇගේ ඥාති හිතවතුන් මගින් පොලිස් ලොක්කන්ට එල්ලවෙමින් තිබූ බලපෑම් නිසා ඉඩම විකිණූ පුද්ගලයා සමග ඔහුගේ තවත් සහායකයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. එහෙත් ඒ හැරුණු කොට මෙම වංචාව පිටුපස සිටින නියම බලවතා අත්අඩංගුවට ගැනීමක් සිදු නොවීය. බැලූ බැල්මට පෙනෙන්නේ මේ වංචාවට නාගරික සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරීන්ද සම්බන්ධ බවය. නාගරික සංවර්ධන අධිකාරිය සතු වටිනා ඉඩම් ඉඩම් කොල්ලකරුවන්ට වංචාසහගත ලෙස විකුණා ගන්නට ඉඩදී එසේ ලැබෙන මුදල් බෙදාගනිමින් විකිණීම හමාර වූ පසු එම ඉඩම් නැවත නාගරික සංවර්ධන අධිකාරියට අත්පත් කරගැනීමේ ක‍්‍රියාදාමයක් ක‍්‍රියාත්මකවෙමින් තිබෙන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. ඉන්ද පෙනෙන්නේ අපේ රට ක‍්‍රම ක‍්‍රමයෙන් අපරාධකාරයන්ගේ හා කොල්ලකරුවන්ගේ රාජ්‍යයක් කරා තල්ලූවී යමින් සිටින බව නොවේද?