තුන්නානට මර බිය

 

දැන් මේ ගම්වල පිරිමි පුළුටක් නැහැ. ඔක්කෝම බයට ගමෙන් පිටවෙලා හැංගිලා ඉන්නේ. ගම හැමතැනම සීඅයිඞීකාරයෝ. මේ කතා කරන්නෙත් බයෙන්. නම්, ගම් මුකුත් දාන්න එපා. අපිව ත‍්‍රස්තවාදීන්ට අන්ත කරලා තියෙන්නේ.’’

මේ තුන්නාන ගමේ ඇත්තෙකි. වයසක උන්දෙකි. මේ ගම් හතර අතේම ගෙවල්වල සිටිනුයේ වයසක පිරිමි සහ ගැහැනුය. පහළොව දහසයේ තරුණයාගේ සිට සියල්ල ගම හැර ගොස්ය. ඒ ගමේ ප‍්‍රශ්නයට විසඳුම් සොයන්නට ගොස් නැති ප‍්‍රශ්නයක් ඔවුන්ගේ හිස මත කඩා වැටී ඇති නිසාය. බොරැුල්ල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ප‍්‍රසාද් සිරිවර්ධන මහතාගේ මරණයත් සමග සියල්ල කණපිට පෙරළී ගොස්ය. කොටින්ම තුන්නාන අවට ගම්මානවල ජනයාට අද සිදුව ඇත්තේ ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්නාටත් වඩා අකරතැබ්බකි.

පහත්ගම, හංවැල්ල, තුන්නාන ප‍්‍රදේශවල මේ දිනවල රජ කරනුයේ අන්ධකාරය මුසු බියකි. හැම නිවසක්ම තම පිරිමි දරුවා, ස්වාමියා රැුගෙන යාදෝ බියකින් වෙලී වෙව්ලයි. අපේ අනන්‍යතාව තුන්හතර පොළකින්ම තහවුරු කොට බැලූවේද එබැවිනි.

‘‘තරහවෙන්න එපා. දැන් අපිට කාවවත් විශ්වාස නැහැ. ඒකයි මාධ්‍ය හැඳුනුම්පත ඉල්ලූවේ.’’ තරුණියක් අපෙන් සමාව අයැදීය.
සැබැවින්ම පහත්ගම අවට ගම්මානවල මේ බිය ලොකු අනතුරක සේයාවක් බව එහි ගිය අපට තහවුරු විය. ගම්මු එදිරි වූ ෆැක්ටරිය ආරක්ෂා කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය පුරවා ගත් ට‍්‍රක් රථයක්ද, පොලිස් කැරලි මර්දන ඒකකයේ දස දෙනකුගෙන් පමණ යුක්ත කැබ් රථයක්ද, පොලිසිය පුරවාගත් පොලිස් රථ දෙකක්ද ෆැක්ටරිය දොරකඩ පාර මුර කරයි. මේ සාමකාමී උද්ඝෝෂණයක නියැළි පෙදෙසක්ය. එය එක්වරම යකා නටා සුණුවිසුණු කළේද මේ පිරිසමය. අද ඔවුන් ඒ බිම්කඩ බදුගෙන ඇත. ටික දුරක් එනවිට වත්තේ කඬේ පහුකරන සැණින් හමුවන රබර් වත්තෙහි කපා බිම හෙළුෑ රබර් ගස් දෙකක කඳේ යට කොටස්ය. ඒ පොලිස් නිලධාරියා මතට පතබෑවුණු ගස් දෙකය. එහි ඉහළින් මියගිය පොලිස් නිලධාරියාගේ රුව රැුගත් ලොකු දැන්වීමකි.

‘‘ඔය ගස්දෙක කපලා දාලා තිබුණේ. ඒත් වයර්වලට බරවෙලා බිමටම වැටිලා නැහැ. මිනිස්සුන්ට ගහලා එලවලා පාර සුද්ද කරනකොට ඔය ගස් දෙකේ අතු කපලා තියෙන්නේ පොලිසියේ අයමයි. එතකොට මියගිය රාළහාමි ඒ කඳ යටින් රිංගලා. රිංගන කොටම අර කපන ගහ රාළහාමිගේ ඇඟට වැටිලා. මේ කපන වෙලේ ඇතැම් පොලිස් කට්ටිය යන්න එපා කියලත් තියෙනවා. ඒත් මේ රාළහාමි අහන්නේ නැතිව යටින් රිංගලා. ඕක එතන හිටපු රාළහාමිලා දන්නවා. තව දෙන්නෙක් තුවාල වුණා කියනවා. ඒ අතු කප කපා හිටපු දෙන්නා. ඒ දෙන්නාට ලොකු තුවාලයක් වෙලා නැහැ කියලයි ආරංචි. මේ මුකුත් අද කියන්නේ නැහැ. අද කියනවා ගමේ මිනිස්සු ගහක් කපලා පොලිස් නිලධාරියාගේ ඇඟට දැම්මා කියලා. මේවා හෙණ ගහන කතා මහත්තයෝ. අපේ කොල්ලෝ බිලිගන්න කියන කතා.’’ ඔහුගේ වයසට වේදනාව ඔරොත්තු නොදෙන ගාණය. සැබැවින්ම සිදුවූයේ මියගිය පොලිස් නිලධාරියා කඳ යටින් රිංගීම බව ඇසින් දුටු සාක්ෂිකරුවන් කිහිපදෙනෙකුම අපට කී මුත් මොවුන් එකී රහස තමා සන්තකයේම තබාගන්නේ පොලිසියට අවශ්‍ය පොලිස් නිලධාරියාගේ මරණයට අදාළව බිලි කිහිපයක් ගැනීම පමණක් බව හොඳාකාරවම දන්නා නිසාය.

‘‘අපි ෆැක්ටරියෙන් යන එන සේවකයකුටවත් අවහිර නොවන විදිහට උපවාසය කළේ. ඒ බව පාදුක්කේ පොලිසියත් දන්නවා. ඒත් ඉහළින්ම ආපු නියෝගයකට එකපාර පොලිසියයි විශේෂ කාර්ය බලකායේ කට්ටියයි කැරලි මර්දන අයයි ඔක්කොම පලයන් කියලා කෑගහලා කුණුහරුපයෙන් බැන්නා. පොඩි අය වඩාගෙන හිටපු ගෑනු හිටන් තල්ලූ කරලා එකපාරම ගහන්න පටන් ගත්තා. මිනිස්සු ඔළුව හැරුණු අතේ දිව්වා. ගෑනුන්ට විතරක් නෙමෙයි පොඩිවුන්ටත් ගැහැව්වා. ගෑනුන්ට ගහනකොට එක රාළහාමි කෙනෙක් කෑගැහැව්වා ගෑනුන්ට ගහන්න එපා කියලා. ඇහැව්වේ නැහැ. පන්න පන්න ගැහැව්වා. සමහරුන්ට අමාරුයි. ඒත් ඉස්පිරිතාලයටවත් යන්න බෑ අත්අඩංගුවට ගත්තොත්. එදා කට්ටියක් පන්සලට දිව්වා. දුවලා බුදුගෙයි හැංගුණා. බුදුගෙයි දොරට පයින් ගහලා ඇරගෙන ඇවිත් ඇතුළේ අයට එතනදීම ගැහැව්වා. ඔය මියගිය රාළහාමිත් බුදුගෙට රිංගලා මිනිස්සුන්ට හොඳටම ගැහැව්වා.’’

ඇය කර්මය ගැනද සිහිකරන්නට වූවාය. එදා රතුපස්වලදී පල්ලියේ සැඟවුණු මිනිසුන් සොයා පල්ලියට පැන දොරගුළු බිඳ පල්ලියටද වෙඩි තබා එහි හැංගී සිටියවුන්ට නොසෑහෙන්නට පහරදී යකා නැටූවුන් මෙදා තුන්නාන ගමේදීත් එසේම කළෝය. මේ පල්ලිය වෙනුවට පන්සලය.

වතුර

රතුපස්වල නම ලංකාවම දැනගත්තේ වතුර ඉල්ලා මියැදුණු මිනිසුන් විසූ ගමක් ලෙසය. තමන් ස්වාභාවිකව ලද පානීය ජලය කර්මාන්තශාලාවක් නිසා අපිරිසිදු වූ කල ලෙඩ රෝග බෝවන්නට පටන් ගත් කල මිනිස්සු තම ජීවිතයට අත්‍යවශ්‍ය වූ පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂණය කළහ. එහි ප‍්‍රතිඵල ලෙස ජීවිත තුනක්ද බිලිවිය. ඒ මේ වත්මන් ආණ්ඩුවේ මර්දනීය ස්වභාවයේ වෙඩි උණ්ඩවලටය. කොටින්ම අවම බලය පාවිච්චි කිරීම නිසාය.

තුන්නාන සිදුවන්නේද එයමය. එනම් කර්මාන්තශාලාව නිසා තම ස්වාභාවික ජලය අපවිත‍්‍ර වීමය. බැලූ බැල්මට එකම ගැටලූවය. එපමණක්ද නොව මේ කර්මාන්තශාලාවද නිවුන් සොහොයුරන්ය. රතුපස්වල වෙනිග්‍රෝස් කර්මාන්තශාලාව ඉවත් කරන්නට සිදුවිය. එය තුන්නාන ගමෙත් සිදුවුවහොත් කුමක් සිදුවේද? එනිසා වෙනම උපායකින් මැදිහත්වීමට ආණ්ඩුව සිතීය. වයස් භේදයක් නොසලකා පන්න පන්නා පහරදීමෙනි. එයට ප‍්‍රතිචාර ලෙස ගම්මුන්ද ගල්මුල් එල්ල කොට ඇත. එක පේළියට පාර අද්දර රබර් ගස් පිරුණු මේ පෙදෙසේ රබර් ගස් කපා පාරට හෙළනුයේ උද්ඝෝෂණයේ රඟ රටට පෙන්වන්නටය. එය නිවැරදියැ’යිද වැරදියැ’යිද අපි නොකියමු. කිසිදු උද්ඝෝෂණයක් සාමකාමී නොවන බැවිනි. ජිනීවාවලට බැණ වදිනමෙරට උද්ඝෝෂණ සාමකාමීද? පානීය ජලය ඉල්ලා උපවාසයේ නියැලෙනවුන්ට පන්න පන්නා පහරදෙන කල කට අයා අතපය හකුළුවාගෙන සිටිත්ද? 

අද මාධ්‍ය ඔස්තාද්ලා ජනතාවට ප‍්‍රශ්න විසඳන්න (උද්ඝෝෂණ හරහා) දී සිටීම උචිත නැතැ’යි යන තැන සිට ලියති. එදා රතුපස්වල මියගිය තිදෙනාට නොහෙළුෑ කඳුළු මෙදා පොලිස් නිලධාරියා වෙනුවෙන් හෙළති. මේ ලියවිලි කාටද? අපට ජනතාවගේ ලේ කෝප කිරීමේ යටි අරමුණක් නැත. එහෙත් මේ ලෙස ජනයා පීඩාවට පත්කිරීම නම් අනුමත කළ නොහැකිය. ජනතාවගේ මූලික අවශ්‍යතාව ජලයය. තම ස්වාභාවික ජලය අපිරිසිදු වන්නේ නම් එයට සාධාරණයක් ඉල්ලීම වරදක්ද? වතුර ඉල්ලූ ජනයාට පොලිස් කැරලි මර්දන ඒකකය අධි පීඩන ජල ප‍්‍රහාර එල්ල කිරීම අනුමත කළ හැකිද? වතුවලට පැන කඳුළු ගෑස් ප‍්‍රහාර එල්ල කළ හැකියැ’යි ඇත්තේ කුමන නීතියකද යන්න ප‍්‍රශ්න නොකර සිටිය හැකිද? පොලිස් නිලධාරියා මිය ගියේය. ඔහු එම ස්ථානයට ආවේ මේ ගම්මුන්ට නොසෑහෙන්න බැටදී එලවන්නටය. කපා දමා තිබූ ගහක් ඉවත් කිරීමේදී මේ සිද්ධිය වී ඇතැ’යි ප‍්‍රසිද්ධ රහස වුවත් එය වෙනතකට ගෙන ගම්මුන් දඩයම් කොට කර්මාන්තශාලාව බේරාගැනීමේ තැතක් හීනියට ක‍්‍රියාත්මක වන බව පැහැදිලිය. අද තුන්නාන ජල ප‍්‍රශ්නයක් නැත. ඇත්තේ මියගිය පොලිස් නිලධාරියකුගේ ප‍්‍රශ්නයකි. ඒ තුන්නානෙන් පිට ප‍්‍රශ්නය ව්‍යාප්ත වී ඇති සැටිය.

ෆැක්ටරිය

ලෝකයේ බොහෝ රටවල් අතර මෙරට රබර් අත්වැසුම් නිෂ්පාදනයට හිමිව ඇත්තේ 5%ක කොටසකි. එයද අයත් වනුයේ හේලීස් සමාගමටය. එය මෙරට සුප‍්‍රසිද්ධ ව්‍යාපාරික ධම්මික පෙරේරාගේය. ඔහු සහ ආණ්ඩුව අතර ඇත්තේ දැඩි බැඳීමකි. එබැවින් හේලීස් සමාගමට අයත් රබර් ආශ‍්‍රිත නිෂ්පාදන කරන ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම රැුකගැනීම ආණ්ඩුවේද පරමාර්ථය වී ඇති බව බැලූ බැල්මට පැහැදිලිය.

වැලිවේරිය රතුපස්වල, පහත්ගම තුන්නාන සහ කොට්ටාව බ‍්‍රාහ්මණගම මේ ඩිප් ප්‍රොඩක්ට්ස් ආයතනයේ කර්මාන්තශාලා ඉදිව ඇත. මේවා හරහා ලොකු ආදායමක් මෙරටට ගෙන එනවාද විය හැකිය. ඒ ගැන විවාදයක් නැත. මේ හරහා රැුකීරක්ෂා විශාල ප‍්‍රමාණයක් නිර්මාණය වී ඇතැ’යි යන්නද ගැටලූවක් නොවේ. එය වෙනත් දෑකට වුණත් එසේමය. එසේ කියා අතිබහුතර මිනිස් ප‍්‍රජාවකගේ අයිතීන් අහිමි කළ හැකිද? ඕනෑම සමාගමක් මුලින් ආරම්භ කරනුයේ පරිසර හිතකාමී ස්වභාවයකිනි. එහෙත් කල්යත්ම එවැනි ක‍්‍රමවලින් හීනියට ලිස්සා යනුයේ එවැනි ක‍්‍රම මිල අධික බැවිනි.
මධ්‍යම පරිසර අධිකාරිය තුන්නානේදී කියනුයේ මේ ජලය අපිරිසිදු වන්නේ ෆැක්ටරිය නිසා නොව වැසිකිළි හරහා මතුවන ඊකොයිල් බැක්ටීරියාව නිසා බවය. වැසිකිළි වළවලින් එන බැක්ටීරියාවට පවා කර්මාන්තශාලාව බියවනුයේ ඇයි? රතුපස්වල තත්ත්වය තුන්නානට උදාකර නොගන්නටය. මේ පරිසර අධිකාරියේ තීන්දු ගම්මු පිළිනොගනිති. ගම්මු කී කල ගම්මුන් කවුදැ’යි පරිසර අධිකාරියට විමසිය හැකිය. ගම්මු වූ කලි ඔය හැම ක්ෂේත‍්‍රයකම පිරිස්වල එකමුතුවකි. ඔවුන් කළ බාහිර පරීක්ෂණවල තීන්දුව පරිසර අධිකාරියේ තීන්දුවලට පටහැනිය. එබැවින් තම පරම්පරා වෙනුවෙන් ජලය රැුකගැනීමට මිනිස්සු පාරට බැස්සෝය.

දේශපාලනය

ජනතාව මුලින් මේ ගැටලූවට එකතු වන විට එහි පෙරමුණ ගෙන තිබුණේ ගමේ පන්සලේ හාමුදුරුවන් බවත් ඒ හිමිද රතුපස්වල තෙරිපැහැ හිමි මෙන් මරාගෙන මැරෙන තැන සිටි බවත් පවසන ගම්මු අද හාමුදුරුවන් ෆැක්ටරිය වෙනුවෙන් අදහස් ප‍්‍රකාශ කරන තැනට පත්ව සිටින බවත් කියතිි. කෙසේ වෙතත් මුල් රැුස්වීම පාදුක්ක පොලිසියේ සහභාගිත්වයෙන් ගමේ දේශපාලකයන්ගේ ප‍්‍රධානත්වයෙන් පවත්වා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී මේ සඳහා නඩුවක් ගොනු කළයුතුයැ’යි ඉල්ලීම ඉදිරිපත් කොට ඇත්තේ දේශපාලකයන්ය. ඒ පක්ෂ පාට භේදයකින් තොරවය. ඒ සඳහා (නඩුවට) මුල් ගාස්තුව ලෙස රු. 10,000 මුදලක් පිරිනමා ඇත්තේ අවිස්සාවේල්ල ආසනයේ ආණ්ඩුවේ සංවිධායක සාලිය සොයිසාය. (විජිත් විජයමුණි සොයිසාගේ සහෝදරයාය.) ගම්මු පෙරට එන්නේ ඒ හයියෙනි. පොලිසියේ රැුකවරණයෙනි. මුල් උද්ඝෝෂණය මීට මාස කිහිපයකට පෙර කර්මාන්තශාලාව ඉදිරිපිට සිදුකරද්දී එයටද පාට පක්ෂ භේදයකින් තොරව දේශපාලකයන් සහභාගි වී ඇත. එහිදී ජවිපෙ ක‍්‍රියාධරයකු වන ලාල්කාන්ත මහතාද එක්වී ඇත. අද මේ උද්ඝෝෂණ පිටුපස කුමන්ත‍්‍රණයක් ඇතැ’යි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කෑමොර දෙන්නේ එබැවිනි. ගම්වල මිනිසුන් විවිධ දේශපාලන අදහස් දරනු ඇතිමුත් ජලය අවශ්‍යතාව වෙනුවෙන් පෙනීසිටීමේදී ඔවුන් සිටිනුයේ එක මතයකය. එනම් සැමට පිරිසිදු ජලය අවශ්‍යය යන තැනය. එහෙත් දැන් සිදුව ඇත්තේ වතුර වෙනුවට ඇෙඟ් ලේ වතුර කරගෙන ජීවත්වීමටය. ඒ පොලිස් නිලධාරියාගේ මරණය පෙරට විත් මොවුන් දඩයම් කරන බැවිනි.

එක් පොලිස් නිලධාරියකු පවසා තිබුණේ ඔවුන් බලා සිටියදීම ‘චේන් සෝ’ (ගස් කපන ස්වයංක‍්‍රීය යන්ත‍්‍රය) එකකින් තුන්දෙනෙක් ගස් කැපූ බවය. එසේ නම් එය දැක දැක එතනට ගියේ මන්ද? අනෙක් අතට මෙතරම් පොලිස් බලකායක් ඇස්පනාපිට එවැනි චණ්ඩිකමක් කළහැකි නම් ඒ තිදෙනා අද ජීවතුන් අතරය. ජල ප‍්‍රහාර, කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර සියල්ලට මුහුණදීගත නොහැකිව සී සී කඩ දිවූ පන්සලේ සැඟවුණු මිනිසුන් අතර මේ යෝධයන් තිදෙනා පොලිසිය සතයකට මායිම් නොකොට ගස කපා දැමුවා යන බේගල් කාට ඇදබාන්නේද? මේ බේගල් හරහා මෙල්ල කරනුයේ බියවද්දනුයේ තුන්නාන ජනයාය. ඒ හරහා යටපත් කරනුයේ ඔවුන්ගේ ජල ප‍්‍රශ්නය නොවේද? පොලිස් ආරක්ෂාව මතින් ෆැක්ටරිය වැඩය. ඊට සහායට කැරලි මර්දනයද විශේෂ පොලිස් බලකායද සිටිති. පොලිස් රථ නිතර නිතර එහාට මෙහාට තුවක්කු රැුගෙන රථවලින් ඉගිලෙයි. මේ මෙහෙයුම හරහා ෆැක්ටරිය සුරැුකි ගම්මු අනාරක්ෂිතව වල්වැදී ඇත්තෝය. ආණ්ඩුවේ අභිප‍්‍රාය දැන් ඉටුවී හමාරය. රතුපස්වලට අණ දුන් අයකු නැතිවා සේම තුන්නානටද අණදුන් කෙනකු නැතුවා විය හැකිය.

දඩයම

පොලිස් දේහය ඉදිරියට ගෙන තුන්නාන දඩයම පටන් ගෙන ඇත. දැන් සොයනුයේ උද්ඝෝෂකයන් නොව ගස් කැපූවුන්ය. ඇතැම් පුවත්පත් තවත් ගස් තිහක් බාගෙට කපා ඇතැ’යි කෙප්ප ලියති. ඇසින් දැක බලා ලියන්නේ නම් මෙවැනි දේ නොලියනු ඇත. ඇතැම්විට අප එහි ගියද අප නොදැක්කා විය හැකිය. එවැන්නක් ඒ පැත්තේ මිනිස්සුද නොදනිති. කපා දැමූ ගස් කපා දමා අහවරය. ඒවායේ යටි කඳ ඒ තැන්වලමය. මේ කෙප්ප හරහා ගස් කැපූවුන් යන සැකය මුල්කරගෙන ගම්මුන් පැහැර ගන්නට නියමිතය.

ආණ්ඩුවේ එකම පරමාර්ථය ෆැක්ටරිය රැුකගැනීමය. එය මේ ගම් කිහිපයක ජනයාට වඩා මිල අධිකය. කොටින්ම වටිනේය. එබැවින් රතුපස්වල පරාජය තුන්නාන තුළ ආණ්ඩුව අත් නොවිඳනු ඇත. එයට පොලිස් නිලධාරියාගේ මරණය ආණ්ඩුව ආශිර්වාදයක් කරගෙන ඇත.

තුන්නාන, පහත්ගම අවට වැසියන්ට සැඟවෙමින් දිවිගෙවන්නට සිදුව ඇත. එළිපිටට එන කලටද මුනිවතින් සිටින්නට සිදුවනු ඇත. දැන් ෆැක්ටරිය ජයගෙන ඇත. ආණ්ඩුව ජයගෙන ඇත. එහෙත් රතුපස්වල ජනයා කළ දේ තුන්නාන ජනයාට කළහැකිදැ’යි යන්න ගැටලූසහගතය. ජලය කෙසේ වෙතත් ඔවුන් මේ දිනවල ඉන්නේ පණ බයෙන්ය.