ජනාධිපතිගේ වාග් ප්‍රහාරය

තරිඳු උඩුවරගෙදර

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් බලයට පත්කළ ලක්ෂ 62ක ජනතාව මෙන්ම ජීවිතය අවදානමේ දමා කටයුතු කළ සිවිල් සමාජයත් සම්පූර්ණයෙන් නොතකා හරින ආකාරයේ කතාවක් කළේ පසුගිය 12 වැනිදා පදනම් ආයතනයේදීය. එය ජනාධිපතිවරයා කෝපයෙන් කළ කතාවක් බව පෙනුණි. කෝපවන්නට ප්‍රධාන හේතුව බව පෙනුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණය ඉදිරියට ගෙනයෑමත්, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කරවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින බුද්ධි අංශ නිලධාරීන් රිමාන්ඞ් භාරයේ තබාගැනීමත්ය.
එදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්නට අසනීප නොබලා වෙහෙස වූ මාදුළුවාවේ සෝභිත හිමියන් මේ කතාව ඇසුවා නම් කුමක් සිතෙනු ඇතිද?

ලියුම්කරු මේ කතාව ඇසූ 13 වැනිදා උදෑසන ප්‍රථමයෙන් කතා කළේ සන්ධ්‍යා එක්නැළිගොඩට මහත්මියටයි. ඒ ඇගේ අදහස විමසන්නටය. සියල්ලන්ටම වඩා කැළඹී ඇත්තේ ඇය විය යුතු නිසාය. එහෙත් ඇය සිටියේ කතාකළ හැකි තැනක නොවේ. ඒ වනවිටත් ඇය සිටියේ බස්රියෙන් නඩු වාරයක් සඳහා යමින්ය. ප්‍රගීත්ගේ දරුවන්ද, සන්ධ්‍යා එක්නැළිගොඩද ඇතුළුව ඝාතනයවූවන්ගේත් පහර කෑ අයගේත් කතා පසුබිම මත ජනාධිපති ධුරයට පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා මෙවන් අකෘතඥ කතා කියන්නේ හරිහමන් රැකියාවක්වත් නැතිව සන්ධ්‍යා එක්නැළිගොඩලා තවමත් උසාවිවලට ජීවිතය දියකරන පසුබිමකයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා රාජපක්‍ෂ ආණ්ඩුව ඇතුළේ සිටියදී එයට එරෙහිව පාරට බැස කෑගැසුවේ සිවිල් සමාජයයි. පොදු අපේක්ෂකයෙකු අවැසි බවට සංවාදයක් නිර්මාණය කළේ සිවිල් සමාජයයි. ජීවිතය පරදුවට තබා පුළුල් බලවේගයක් හැදුවේ සිවිල් සමාජයයි. බලයට පත්වූ ඔහු වසර එකහමාරක් තිස්සේ අඩුවැඩි වශයෙන් ක්‍රියාකළ ආකාරය ගැන අපි ප්‍රසාදයත් අප්‍රසාදයත් වරින්වර පළ කළෙමු. ු

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත්කළ සිවිල් ක්‍රියාකාරීහු කිහිපදෙනෙක් ඔහුගේ කතාව පිළිබඳව මෙසේ අදහස් දැක්වූහ.

අපි ඉන්නේ වේදනාවෙන් | මහාචාර්ය සරත් විජේසූරිය
සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු
ජනාධිපතිවරයා කළ ඒ කතාව සිවිල් සමාජය නියෝජනය කරන අප තුළ විශාල තිගැස්මක් ඇති කළා. එසේ වන්නට ප්‍රධාන හේතුව ඔහු තම කතාව තුළ තමන් කිසිකෙනෙක් සමඟ වගකීමෙන් බැඳෙන්නේ නැති බවට කළ ප්‍රකාශය. එය පැහැදිලිව ඒකාධිපති ලක්ෂණ සහිත ප්‍රකාශයක්. ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතිකවෙලා තියෙන්නේ තමන්ගේ වුවමනාවට වැඩකරන්න නෙවෙයි ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්න. ඒ වගේම එතුමා ජනාධිපති ධුරයට පත්කළ ලක්ෂ 62ක ජනතාව එක්ක ඔහුට බැඳීමක් තියෙනවා. ඒ බැඳීම් නොතකා හරින බවයි ඔහු කීවේ.

ඔහු කෝපයට පත්වෙලා තිබුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට කැඳවීම සම්බන්ධයෙන්. අපි ජනාධිපතිවරණයේදී දූෂණ වංචා පිළිබඳව වගේම ප්‍රධාන වශයෙන් කතාකළා අපරාධ, ඝාතන පිළිබඳව. තාජුඩීන්, එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංග ගැන දේශපාලන වේදිකාවල කතාකළා. ඒ වගේම තර්ජන නිසා විදේශගත වෙලා ඉන්න මාධ්‍යවේදීන් ගැන කතාකළා. මේ හැම දේකටම වගකියන්න ඕනෑ පුද්ගලයා තමයි ගෝඨාභය රාජපක්ෂ. එක්කෝ ඔහු මේවා කෙරෙව්වා. නැත්නම් මේවා කරන අය දැනගෙන ඔවුන්ව ආරක්ෂා කළා. මොකද, මේවා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා නම් ඒකට වගකීම තිබුණේ ගෝඨාභය රාජපක්ෂට. එහෙත් එහෙම ක්‍රියාත්මක කළේ නැහැ. රාජපක්ෂ ආණ්ඩුව සමයේ විරුද්ධවාදීන්ට මරබිය ගෙනාවේ ගෝඨාභය. මෛත්‍රීපාල සිරිසේන කිපිලා තියෙන්නේ ඒ ගෝඨාභයව උසාවිය ඉදිරියට ගෙනඒම සම්බන්ධයෙන්.
මේ වෙනකොට සමාජ ජූරියෙන් ගෝඨාභය රාජපක්ෂ වැරදිකරුවෙක් වෙලා ඉවරයි.

යම් පුද්ගලයෙක් දිගු කාලයක් බන්ධනාගාරගතව ඉන්නවා නම් වැරැද්ද උසාවියේ විනිසුරුවරුන්ගේ හෝ පරීක්ෂණ කරන අයගේ නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක ඇමතිවරයා විදියටත් සේනාධිනායකයා විදියටත් ඔහුට වගකීමක් තියෙනවා මේ පරීක්ෂණ කඩිනමින් කරන්න කියා ආරක්ෂක අංශවලින් සහයෝගය ඉල්ලන්න. රණවිරුවන් කියන අය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවිය යුතු බවද මෛත්‍රීපාල සිරිසේන කියන්නේ?

මේ අපරාධ චෝදනා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ අතළොස්සක් සම්බන්ධයෙන් විතරයි. හමුදාවල බොහෝ දෙනෙක් කැමතියි ඒ අය සම්බන්ධයෙන් ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරලා හමුදාවේ නම පිරිසිදු කරගන්නට. ජනාධිපතිවරයාගේ කතාවෙන් ගම්‍ය වෙන්නේ මේ අපරාධ කළ අයව ආරක්ෂා කරන්න ඔහුට ඕනෑ බවයි. එය ජනවාරි අටවැනිදා ඔහුව බලයට පත්කළ සිවිල් සමාජය සහ ලක්ෂ 62ක ජනතාවගේ බලාපොරොත්තු බිඳවැට්ටවීමක්. මේ ගැන වචනවලින් ප්‍රකාශ කරන්න බැරි තරම් වේදනාවෙනුයි අපි ඉන්නේ.

ජනවාරි අටවැනිදා අපි ඉතා අසීරුවෙනුයි ඔහු බලයට ගෙනාවේ. නොසිතූ විරූ ජයග්‍රහණයක් අපි එදා ලැබුවේ. එය ලිස්සන ගහකට අමාරුවෙන් නැග්ගා වගෙයි. අපි ඔහුව ලිස්සන ගහේ උඩට ගෙනාවේ කොඩිය අරගෙන ආපහු බහින්නයි. ඔහු මෙතෙක් කාලයක් කොඩිය අතගගා හිටියා. දැන් පෙනෙන්නේ ඔහු ලිස්සන ගහේ පහළට කොඩියත් නැතිවම රූටමින් සිටින බවයි.

 

ඔහුගේ න්‍යාය පත්‍රය අනුවයි ක්‍රියාත්මක වෙන්නේ
නිර්මාල් රංජිත් දේවසිරි

මම ඒ තරම් පුදුම වෙන්නේ නැහැ ඔහු මේ වගේ කතාවක් කිරීම ගැන. මම පොදු අපේක්ෂක සංවාදයේදීත් ඉතා තදින් යෝජනා කළේ පොදු අපේක්ෂකයා ලෙස නිර්පාක්ෂික අපේක්ෂකයෙකු පත්කරන්න ඕනෑ කියන එකයි. විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත හිමියන්වයි මම යෝජනා කළේ.

පක්ෂ දේශපාලන න්‍යාය පත්‍රයක් හෝ දේශපාලනයේ රැඳීසිටීමේ අභිලාෂයක් තියෙන කෙනෙක්ව පොදු අපේක්ෂකයා ලෙස තෝරාපත්කරගැනීම අවදානම් සහගත වැඩක් වුණා. මුලින් රනිල් වික්‍රමසිංහව යෝජනාවෙලා තිබුණු අවස්ථාවේදීත් මම ඒක කිව්වා. එහෙම කෙනෙකුට වෙනම න්‍යාය පත්‍රයක් තියෙනවා. වෙනම අභිලාෂයක් තියෙනවා. දැන් වෙලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේනගේ ඒ න්‍යාය පත්‍රය අනුව ඔහු ප්‍රකාශයක් කිරීම.

කොහොම වුණත් සිවිල් සමාජය මෛත්‍රීපාල සිරිසේන තෝරාගත්තේ වෙන විකල්ප නොතිබුණු හින්දා. විශේෂයෙන් ඔහුට තිබුණා මැතිවරණය ජයග්‍රහණය කිරීමේ ලොකු ශක්‍යතාවක්. ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ පරාජය කරන එක මූලික අවශ්‍යතාව වුණ නිසා ඔහුට අපි සහයෝගය දැක්වූවා.

ඒ මැතිවරණයෙන් පස්සේ අපට කේවල් කිරීමේ ශක්තියක් පවත්වාගෙන යන්න තිබුණා. ඒත් ඒ ශක්තිය අපට නැතිවුණා. විශේෂයෙන් සිවිල් සමාජය විවිධ අරමුණු එක්ක බෙදුණා. සමහරු තනතුරු ගත්තා. ඒකෙන් කේවල් කිරීමේ ශක්තිය ගිලිහුණා.

මේ වෙලාවේ අපි තීරණයක් ගන්න ඕනෑ ජනවාරි අටවැනිදා අපේ අභිලාෂයන් මොනවාද කියන එක ගැන. මෛත්‍රීපාල සිරිසේන විතරක් නෙවෙයි රනිල් වික්‍රමසිංහ පවා මේ වෙලාවේ ඒ අභිලාෂ එක්ක කටයුතු නොකරන බවයි පේන්නේ. මේ වෙනකොට රනිල් වික්‍රමසිංහ ආර්ථික වශයෙන් ක්‍රියාත්මක කරන දේවල් පවා ජනවාරි අටවැනිදා එකඟතා අනුව නෙවෙයි ක්‍රියාත්මක වෙන්නේ.
ඒ අතරේ ආණ්ඩුවේ දෙපාර්ශ්වය අතරේ සීතල යුද්ධයක් ඇතිවෙලා තියෙනවා. ඒක අනුව තමයි මේ අයගේ ප්‍රකාශ නිකුත් වෙන්නේ. ඒ සීතල යුද්ධයේදී එක පැත්තක් සුද්ධ කරන්නවත් එක පැත්තක් වෙනුවෙන් පෙනීසිටින්නවත් අවශ්‍ය නැහැ. ඇත්තටම ගත්තොත් ආණ්ඩුවේ පාලන බලය රනිල් වටේ තමයි කේන්ද්‍රවෙලා තියෙන්නේ. ජනවාරි අටවැනිදා බලාපොරොත්තු ඉටුනොවීම ගැන ඔහුත් වගකියන්න ඕනෑ.

 

ජනතා බලය පෙන්වන්න වෙනවා | සුදන්ත මාධව
අලුත් පරපුර

අපි මහින්ද රාජපක්ෂ පාලනය වෙනස් කරන්න හේතු ගණනාවක් තිබුණා. එක් ප්‍රධාන හේතුවක් තමයි ඔහු තීන්දු තීරණ ගත්තේ පුරවැසියන් නොතකා හරිමින් ජනාධිපති තනතුර වටා කේන්ද්‍ර කරගත්ත අසීමිත බලයක් මත වීම. ඔහු රාජ්‍ය ආයතන මත විශාල බලයක් නඩත්තු කළා. ඒ නිසා තමයි සිවිල් සමාජය විසින් පොදු අපේක්ෂකයෙකුව ගෙනාවේ.
මෛත්‍රීපාල සිරිසේන ඒ වෙද්දී හිටියේ මහින්ද රාජපක්ෂ ළඟයි. එහෙත් ඔහු තෝරාගත්තේ ඔහු තමන්ගේ ගෞරවය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තුළ වුණත් ආරක්ෂා කරගත්ත නිසා. ඔහු දැනගන්න ඕනෑ ඔහු පොදු අපේක්ෂකයා ලෙස තෝරාගත්තේ ඇයි කියන එක. ඒ වගේම පාලනය කළයුත්තේ කොහොමද කියන එක.
මේ වෙලාවේ එජාප, ශ්‍රීලනිප ඒකාබද්ධ ආණ්ඩුවක් තියෙනවා. ඒ අතරේ බලය ඩැහැගැනීමේ අරමුණින් මහින්ද රාජපක්ෂ කණ්ඩායම කටයුතු කරනවා. මේ කණ්ඩායම් අතරේ ගනුදෙනු වගේම අරගලයක් තියෙනවා. සීතල යුද්ධයක් තියෙනවා. ඒ අනුව හැමෝම අනෙකාව අබිබවා යන්න උත්සාහ කරනවා. ඒ ඕනෑකම උඩයි මේ තීන්දු ගැනීම සහ ප්‍රකාශ කිරීම සිද්ධවෙන්නේ. අපට ගැටලුව තියෙන්නේ ඒ බලය පාවිච්චි කිරීමෙන් ජනතා පරමාධිපත්‍යයට, නීතියට, අධිකරණයට, ආයතන ස්වාධීනත්වයට අභියෝගයක් වෙනවාද කියන එකයි. මෙතැන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ප්‍රකාශය ඒ විදියේ අභියෝගයක්.
මේ ප්‍රකාශයත් එක්ක අපට දැනෙන්නේ ජනතා පරමාධිපත්‍යය සහ ජනතාව සතු බලය ගැන ආණ්ඩුවට ඉඟිකිරීමක් කරන්න වෙනවා කියන එකයි. ඔවුන් එන්නේ ජනතා පරමාධිපත්‍යයට අත තියන්න නම් ඕනෑම වෙලාවක ජනවාරි අටවැනිදා එක්වෙලා හිටපු සිවිල් චරිත, සංවිධාන යළි එක් කරන්නත් අභියෝග කරන්නත් පුළුවන් බව කියන්න ඕනෑ. ජනාධිපති තේරුම් ගන්න ඕනෑ ඔහුට වඩා බොහෝ බලවත්ව හිටි අයට අපි ජනතා පරමාධිපත්‍යයේ බලය පෙන්වූ බව.

 

දැන්වත් ඇස් අරින්න වෙනවා| ජෝසෆ් ස්ටාලින්
ලංකා ගුරු සංගමය

ලසන්ත වික්‍රමතුංග, එක්නැළිගොඩ වගේ ඝාතන ආරක්ෂක අංශවලින් ඝාතනය කළ බව මුළු රටම පිළිගන්නවා. ඒ වගේම මේ ඝාතන කළ අය හිටපු ආණ්ඩුව විසින් විවිධ ඝාතන කරන්න යොදාගත්ත අය බවත් තර්ක බුද්ධියක් තියෙන ඕනෑ කෙනෙක්ට වැටහෙනවා. ඒත් මෛත්‍රීපාල සිරිසේන කියන්නේ මේ අපරාධ කළ අය ගැන සහනශීලී පිළිවෙතක් අනුගමනය කරන්න කියලායි. මේ ප්‍රකාශය මෛත්‍රීපාල සිරිසේනව බලයට පත්කළ අයගේ අපේක්ෂා නැතිකිරීමක්.

ඇවන්ගාඞ් අවි ජාවාරම ලංකාවේ ඇතිවුණු විශාල වංචාවක්. ඒ ගැන පරීක්ෂණ කළ යුතුමයි. ඒත් මේ සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභයලාට නඩු පැවරීමේදී පුපුරන ද්‍රව්‍ය ආඥා පනත හෝ අවිආයුධ සම්බන්ධ චෝදනාවක් එක්ක ගෙනල්ලා නැහැ. ආයුධ ගැන නැතිව තමයි නඩු පවරලා තියෙන්නේ. ආයුධ සම්බන්ධයෙන් නම් මේ වෙද්දී ඔවුන් රිමාන්ඞ් කරලා තියෙන්න ඕනෑ. හරි නම් මෛත්‍රීපාල සිරිසේන කලබල වෙන්න ඕනෑ මේ නඩු පැවරීමේදී කරලා තියෙන වැරැද්ද ගැනයි. එහෙම තත්ත්වයක මෛත්‍රීපාල සිරිසේන මේ අය වෙනුවෙන් පෙනීසිටීම ලැජ්ජාසහගතයි.

මහින්ද රාජපක්ෂත් යුද හමුදාව විශේෂ තැනක තිබ්බා. ඒ වගේම ඔවුන් කාණු සුද්ධ කරන තැන ඉඳන් සාරි කට්ට ගහන, බල්ලෝ නාවන තැන වෙනකන් වැඩ කළා. විදේශ සමුළුවලටත්, තානාපති තනතුරුවලටත් දිස්ත්‍රික් ලේකම් තනතුරුවලටත් හමුදාවෙන් පත්කළා. ඒ ක්‍රියාවලියටම තමයි මෛත්‍රීපාල සිරිසේන සහයෝගය දෙන්නේ.

ජනවාරි නවවැනිදා ඉඳන් මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප බල අරගලයට වැටුණා. ගෝඨාභය රාජපක්ෂ එක්ක සාකච්ඡා කළා. ඒත් සිවිල් සමාජයේ නායකත්වය බලයෙන් ආරූඪ කරගත් සමහර අය මෙයාලාට කඬේ ගියා. දැන්වත් අපට ඇස් අරින්න වෙනවා. තවමත් සටන අවසන් නැහැ.

 

මහින්දට වඩා තුච්ඡයි| ගාමිණී වියන්ගොඩ
පුරවැසි බලය සමකැඳවුම්කරු

මේ ප්‍රකාශයෙන් පැහැදිලි වෙන්නේ ජනවාරි අටවැනිදා පුරවැසියන් ලක්ෂ 62ක් පාවිච්චි කරලා බලයට පත්වුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ ජනතාවගේ නොවන, ලක්ෂ 58ක මහින්ද රාජපක්ෂ යටත්වැසියන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරමින් සිටින බවයි. මහින්දගේ න්‍යාය පත්‍රයම මහින්ද නැතිව ක්‍රියාත්මක කිරීමයි මෛත්‍රීපාල සිරිසේන කරන්නේ. අඩුම තරමේ මහින්දට ඡන්දය දුන්න මිනිස්සු ඒ න්‍යාය පත්‍රයට අනුමැතිය දුන්නා. හැබැයි මෛත්‍රීපාල සිරිසේනට එහෙම අනුමැතියක් ලැබුණේ නැහැ. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මේ කරමින් සිටින දේ මහින්ද කළාටත් වඩා තුච්ඡ විදියේ ක්‍රියාවලියක්. මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හිතුමතේට තමන්ගේ නොවන ඡන්ද ලක්ෂ 62ක් නොමඟ යවලා.

මෛත්‍රීපාල සිරිසේන කියනවා ස්වාධීන කොමිෂන් සභා පත්කරන්නේ තමන් නිසා ඒවා කරන දේ තමන් දැනුවත් කරලා කරන්න ඕනෑ කියලා. මහින්ද කළේත් ඒකම තමයි. මහින්ද රාජපක්ෂ සමයේත් අධිකරණ කොමිසමක් තිබුණා. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමක් තිබුණා. ඒවා වැඩකළේ මහින්දගේ අනුදැනුම ඇතිවයි. එහෙම ගත්තාම මහින්ද කළ දේවල්වලත් මෛත්‍රීපාල සිරිසේන කියන දේවල්වලත් වෙනසක් නැහැ. එකම වෙනස මහින්ද තමන්ගේ ඡන්දවලින් කිරීමත් මෛත්‍රී නින්දිත විදියට අනුන්ගේ ඡන්දවලින් ඒක කිරීමත් විතරයි.

මේ හැසිරීම දීර්ඝ කාලයක් තිස්සේ ආ එකක්. මේ කතාවෙන් ඒක එළියට පැනීමයි සිද්ධ වුණේ. දැන් අපට පැහැදිලියි. මෛත්‍රීපාල සිරිසේනට අධිකරණ ස්වාධීනත්වයක් හෝ පරීක්ෂණ ක්‍රියාත්මකවීමක් අවශ්‍ය නැහැ. තමන්ට ඕනෑ විදියට මේක ක්‍රියාත්මක වෙන්නයි ඕනෑ. එෆ්සීඅයිඩී, රහස් පොලීසිය, අල්ලස් කොමිසම වගේ මේ වෙලාවේ තීරණාත්මක ආයතන තමන්ට ඕනෑ විදියට ක්‍රියාත්මක වෙනවා දකින්නයි ඕනෑ.

මම යෝජනා කරනවා මේ වෙලාවේ වෙනම පොලිස් කාර්යාලයක් පිහිටුවන්න ඕනෑ. පහුගිය වසර එකහමාර තුළ මේ පුද්ගලයාගෙන් අල්ලස් කොමිසමට, පොලිස් විමර්ශන අංශවලට කී පාරක් මෙයා කෝල් කළාද කියලා බලලා ඒ ගැන පරීක්ෂණ කළාද කියලා හොයන්න. එහෙම වුණොත් හෙළිදරව් කරගන්න පුළුවන් මේ පුද්ගලයා කොච්චර පරීක්ෂණවලට බලපෑම් කරනවාද කියන එක ගැන. අපි දන්නවා මේ ආයතනවලට මොනතරම් බලපෑම් සිද්ධ වෙලා තියෙනවාද කියන එක ගැන.
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඔහුට අනුව රණවිරුවන්ට වෙනම නීතියක් බවද? ඔහු මෙහෙම අද කතාකළාම හෙට ඉඳන් පොලීසිය ස්වාධීනව වැඩකරයි කියලා බලාපොරොත්තු වෙන්න බැහැ. මේක ඉතාම නින්දිත, කැත, අකෘතඥ ප්‍රකාශයක්. ඔහු කියනවා ඔහුට අනුව රණවිරුවන්ව මාස දාසයක් තිස්සේ තියාගෙන ඉන්නවාලු. ඔහු මේ තරම් කේන්තියෙන් කතාකළාද කිසි චෝදනාවක් නැතිව දෙමළ දේශපාලන සිරකරුවන් අවුරුදු 15ක් තිස්සේ තියාගෙන හිටපු එක ගැන. මේ අයට චෝදනා ඔප්පු කරන්න තරම් සාක්ෂි තිබියදී මාස දාසයක් විතරයි මේ තියාගෙන ඉන්නේ. දෙමළ සිරකරුවන් නඩුවක්වත් නැතිව අවුරුදු පහළොවක් තිස්සේ ඉන්නවා. මේක යහපාලන ජනාධිපතිවරයෙකුගෙන් හීනෙන්වත් බලාපොරොත්තු වෙන්න බැරි විදියේ කුහක, තුච්ඡ, වංචනික ප්‍රකාශයක්.