රාවය

මේ දහම යහපාලනය නොවේ

මේ දහම යහපාලනය නොවේ

ලසන්ත රුහුණගේ

දේශපාලන බලය අවභාවිතවීම පිළිබඳ පසුගිය රාජපක්‍ෂ පාලනයට අදාළ සිදුවීම් ලංකාවේ සම්මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය විසින් වාර්තා කරමින් සිටින්නේ දැන්ය. බොහෝ විට ඒවා එම සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ආයතන අධිකරණයට ඉදිරිපත් කරන සැලකිරීම් වශයෙන්ය. එම සිදුවීම් සිදුවූ අවධියේදී එම සිදුවීම් පිළිබඳව විමර්ශනාත්මකව වාර්තා කරන්නට ලංකාවේ සම්මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය මැළිකමක් දැක්වූයේය. කොටින්ම ඔවුහු එම සිදුවීම් පිළිබඳව ස්වයංවාරණයක ගැලී නියැලී සිටියෝය. එකී බලය අවභාවිත කිරීමේ සිදුවීම් බොහෝ විට එකල වාර්තාවූයේ විකල්ප මාධ්‍ය ඔස්සේ හා සමාජ මාධ්‍ය ඔස්සේ පමණය. ඒ නිසාම පසුගිය රාජපක්‍ෂ පාලනයට විකල්ප මාධ්‍ය අරහං විය. සමාජ මාධ්‍යද අරහං මෙන්ම එම මාධ්‍යවලට එල්ලකරන ලද නීත්‍යනුකූල හා නීත්‍යනුකූල නොවන බාධා තර්ජන අපමණ විය.

ප්‍රජාත්‍රන්තවාදී පාලන යක අත්‍යවශ්‍ය අංගයක් වූ නිදහස් මාධ්‍ය පැවැත්මකට රාජපක්‍ෂ ආණ්ඩු තත්ත්වය කිසිසේත් ගැළපුණේ නැත. එසේ වුවද එම ප්‍රජාතන්ත්‍රවාදී නොවූ පාලනය පෙරළා දමා මේ රටේ දැනුවත් පුරවැසි සමාජය බලයට පත්කරන ලද වත්මන් යහපාලන ආණ්ඩුකරණය තුළදීද බලය අවභාවිත කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සම්මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නිහඬතාවක හෝ ස්වයංවාරණයක නියැලී සිටින අයුරක් මේ වන විට ප්‍රදර්ශනය කරමින් සිටී. ඒ විශේෂයෙන්ම යමකුගේ දේශපාලන බලය ඔහුගේ පවුලේ සාමාජිකයකු විසින් අවභාවිත කරන අවස්ථාවලදීය.

ඊට අදාළ උණුසුම්ම සිදුවීම අපට හමුවන්නේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මධ්‍යම රාත්‍රිය පසුවී ඊළඟ දිනයට පහන්වෙමින් තිබියදී අලුයම 2-3 අතර කාලයේදී කොළඹ ටවුන්හෝල්හි, යුනියන් පෙදෙසේ පිහිටි ‘ක්ලික්’ නමැති රාත්‍රි සමාජශාලාවට එල්ලවූ මැර ප්‍රහාරය හා සම්බන්ධයෙන්ය. එම සන්නද්ධ මැර ප්‍රහාරයෙන් ආයතනයේ දේපළවලට හානි සිදුවී ඇති අතර එහි ‘බවුන්සර්වරයෙකු’ (ආරක්‍ෂකයෙකු) ලෙස කටයුතු කළ ජීවන් ප්‍රේමදාස නමැති පුද්ගලයෙකු දරුණු ලෙස පහරකා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ප්‍රතිකාර ලැබීමෙන් පසු රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඇතුළු විකල්ප මාධ්‍යවල චෝදනාව එල්ලවී ඇත්තේ ජනාධිපති පුත් දහම් සිරිසේනටය. ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇත්තේ ඔහු සමඟ පැමිණි ජනාධිපති ආරක්‍ෂක අංශයේ සාමාජිකයන්ටය. රාත්‍රී සමාජ ශාලාවකට සන්නද්ධ මැර ප්‍රහාරයක් එල්ලවීත්, එහි දේපළවලට හානි සිදුවී තිබියදීත් එහි සේවකයකු දරුණු ලෙස පහරකා ජාතික රෝහලෙන් ප්‍රතිකාර ලබා තිබියදීත් සම්මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුළ මෙම සිදුවීමේ යම් වැඩිදුර කරුණු දිනපතා වාර්තාවන්නේ නැත.

ඒ ඇයි? සම්මත මාධ්‍යයේ පොලීසිය හෝ ආරක්ෂක අංශ සම්බන්ධ යෙන් වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදීන්ට එම තොරතුරු නොලැබීමද? නැතහොත් ලැබෙන තොරතුරු පළ නොකිරීම පිළිබඳව එල්බගෙන සිටින්නාවූ ස්වයං වාරණයක්ද? තොරතුරු නොලැබීම යන්න නම් කෙසේවත් විශ්වාස කළ හැකි දෙයක් නොවන්නේය. එම සිදුවීම පිළිබඳව පොලීසිය විමර්ශනය කරනවාද නැද්ද යන්න පිළිබඳව මෙන්ම විමර්ශන නොකරනවා නම් ඒ සඳහා ඇති බලපෑමද එකී වාර්තා කරුවන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතුය. එහෙත් සිදුවෙමින් පවතින්නේ එම කරුණු හෝ වාර්තා නොකිරීමේ ස්වයං වාරණයකට සම්මත ජනමාධ්‍ය පිවිස සිටීමය. දේශපාලන බලය අවභාවිත කර මැර සංදර්ශන පැවැත්වීම් සම්බන්ධයෙන් වූ මෙවැනි සිදුවීම්වලට අදාළව වන මෙම නිහඬතාව වූකලි යහපාලන ආණ්ඩුවකට නම් කෙසේවත් යහපත් නැත. ඒ අනුව ජනාධිපති පුත් දහම් සිරිසේනලා ගැන අනාගතයේ අපට කථා කරන්නට වන්නේ වර්තමානයේ රාජපක්‍ෂ පුතුන් ගැන කථා කරන ආකාරයටය. පොදුවේ යහපාලනය ගැන අපට කථා කරන්නට සිදුවන්නේ එදා රාජපක්‍ෂ පාලනය ගැන අද කථා කරන ආකාරයටය.

‘ක්ලික්’ රාත්‍රී සමාජ ශාලාවට සන්නද්ධ මැර ප්‍රහාරයක් එල්ලවීමත් ඉන් එහි දේපළවලට අලාභහානි සිදුවීමත්, එහි ආරක්‍ෂකයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් ප්‍රතිකාර ලැබීමත් කිසිවකුටත් බැහැර කළ නොහැකි වාර්තා කළ යුතු සිදුවීමක්ය.

එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් වෙන වෙනම විමර්ශන සිදුකරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පොලිසියට හා ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයට නියෝග කර ඇති බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය කරූ පරණවිතාන ප්‍රකාශ කර තිබුණේ කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදියෙකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් ඔක්තෝබර් 12 වැනිදාය. එදින වනතෙක් හෝ මෙම සටහන ලියන මොහොත වනතෙක් ජනාධිපති මාධ්‍ය අංශය ජනාධිපතිවරයාගේ එම නියෝගය පිළිබඳව සඳහන් කරමින් මාධ්‍ය නිවේදනයක් හෝ නිකුත්කර තිබුණේ නැත.

කෙසේ වෙතත් ජනාධිපති ආරක්‍ෂක අංශයට සම්බන්ධව අපගේ ආරංචි මාර්ග ප්‍රකාශ කරන ආකාරයට ජනාධිපති පුත් දහම් සිරිසේනගේ ආරක්ෂාවට යොදවා තිබූ ජනාධිපති ආරක්ෂක අංශ සාමාජිකයන් එම සිදුවීමෙන් පසු ඉවත්කර ජනාධිපති ආරක්ෂක අංශයේම වෙනත් පිරිසක් ඔහුගේ ආරක්ෂාවට යොදවා තිබේ. ‘ක්ලික්’ රාත්‍රි සමාජ ශාලාවේ සිදුවීමට ජනාධිපති පුත් දහම් සිරිසේනගේ හෝ ඔහුට ආරක්ෂාව සපයන ජනාධිපති ආරක්ෂක අංශයේ කිසිදු සම්බන්ධයක් නැත්නම් එවැනි ආරක්ෂකයන් මාරු කිරීමක් අවශ්‍ය වන්නේ නැත. හරියටම ගින්නක් නැතිව දුමක් නොනගිනවා යන්න සිහිපත් කරමින්ය.

ජනාධිපතිවරයාට මෙන්ම ඔහුගේ පවුලේ සාමාජිකයන්ටද ආරක්ෂාව අවශ්‍ය නම් ආරක්ෂාව ලබා දිය යුතුය. එහි කිසිදු වරදක් නැත. මෙවැනි ආරක්ෂාවක් ජනපති පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ එදිනෙදා වැඩකටයුතු සාමාන්‍ය පරිදි ආරක්ෂා සහිතව කරගෙන යෑම සඳහාය. එහෙත් එළිවෙනකම් රාත්‍රි සමාජ ශාලාවල පිස්සු කෙළීම සඳහා මේ රටේ පොදු මහජනයාගේ මුදලින් ප්‍රභූ ආරක්ෂාවක් ඔවුන්ට ලබාදිය යුතුද යන්න සාකච්ඡාවට ලක්විය යුතු කරුණකි. මන්ද රාත්‍රී සමාජ ශාලාවල ගෝරි දාගැනීම ගැන ජනපති පුත් දහම් සිරිසේනගේ නම කියවෙන පළමු අවස්ථාව මෙය නොවන නිසාය. රස්තියාදුකාර ලෙස විනෝදවීමට ගොස් ඔහු ගෝරි දාගත් පළමු අවස්ථාව මෙය නොවන නිසාය.

දහම් සිරිසේන සම්බන්ධයෙන් එවැනි ආන්දෝලනාත්මක පළමු සිදුවීම වාර්තා වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රාජපක්‍ෂ ආණ්ඩුවේ අමාත්‍යවරයකු ලෙස කටයුතු කළ 2013 වර්ෂයේදීය. ඒ නැගෙනහිර වෙරළේ නිවාඩු නිකේතනයකදී ඔහු හා ඔහුගේ මිතුරන් පිරිසක් වත්මන් එෆ්සීඅයිඩී ප්‍රධානී රවී වෛද්‍යාලංකාරගේ පුත් අසේල වෛද්‍යාලංකාරට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්ය. ඉන්පසු දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කිස් බල්තසාර්ගේ ඔළුවට පිස්තෝලයක් තබා ඔහුට මරණීය තර්ජන කිරීම සම්බන්ධයෙන්ය. යහපාලන සඳහා සිය පියා බලයට පත් වූ 2015 ජනවාරි 8 දිනෙන් දින දෙකක් පසුවී එම ජනවාරි 10 දින රාත්‍රි සමාජ ශාලාවක පිස්සු නැටීම සම්බන්ධයෙන්ය.

නැගෙනහිර වෙරළේ 2013 සිදුවූ සිය පුත්‍රයාගේ පළමු සිදුවීමේදී එදා අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේනගේ දෑසට කඳුළු ඉණුවේය. ඒ නවයොවුන් වියේ කොල්ලන් විසින් සිදුකරන සාමාන්‍ය දඩබ්බරකමක් තමාට එරෙහිව මාධ්‍ය මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. ඔහු එදා නොකියා දොස් කීවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂටය. සිය පුත්‍රයා සම්බන්ධයෙන් පොලිසියේ පරීක්‍ෂණවලට කිසිදු බලපෑමක් සිදුනොකරන බව ජනාධිවරයා එදා කීවේය.

කෙසේ හෝ යහපාලනය බිහිවීමෙන් පසු ඇතිවූ රාත්‍රී සමාජ ශාලා සිදුවීමේදී හොඳටම කලබල වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පුත්‍රයා උසස් අධ්‍යාපනයට යැයි කියමින් බකිංහැම් සරසවියට පිටත්කර යැවීය. ඔහු බකිංහැම් සරසවියට ඇතුළත්ව අධ්‍යාපනය හැදෑරුවේ දැයි අප නොදන්නා නමුත් දහම් සිරිසේන එක් අවස්ථාවකදී ඔහුට හා ඔහුගේ මිතුරන් පිරිසකට බි්‍රතාන්‍යයේ සංචාරය කිරීම සඳහා විදේශ අමාත්‍යංශය හරහා වීසා ඉල්ලුම් කළ බව අපි දන්නෙමු. එමෙන්ම පසුගිය වසරේ පැවති එක්සත් ජාතීන්ගේ සමුළුව සඳහා සිය පියා සමඟ ශ්‍රී ලංකාවේ නියෝජිතයෙකු වශයෙන් ඔහු සහභාගි වූ බවද අපි දන්නෙමු.

කෙසේ වෙතත් අප නොදන්නා කරුණු කිහිපයක් තිබෙන්නේය. එකක් වන්නේ ජනාධිපති පුත් දහම් සිරිසේනට රාත්‍රි සමාජ ශාලාවල රස්තියාදුගෑමට මෙතරම් සල්ලි කොයින්ද යන්නය. සාමාන්‍යයෙන් රාත්‍රී සමාජ ශාලාවක කාබී පිස්සු කෙළමින් රාත්‍රිය ගතකිරීම සඳහා එක් රාත්‍රියකදී රුපියල් ලක්ෂ ගණනින් මුදල් වියදම් කළ යුතුය. අප දන්නා අයුරින් දහම් සිරිසේන රැකියාවක් කරන්නේ නැත. ව්‍යාපාරික කටයුතුවල නියැලෙන්නේද නැත. ඔහුගේ සහෝදරියන් වන චතුරිකා හෝ අනෙක් සහෝදරියද රැකියා හෝ නිල වශයෙන් ව්‍යාපාරික කටයුතු කරනවා දැයි අප දන්නේ නැත. ජනාධිපතිගේ බිරිඳද රැකියාවක් කරන්නේ නැත. ජනාධිපතිවරයාටද ජනාධිපතිධුරයට ලැබෙන වැටුප හා දීමනාවලට අමතරව ඔහුට ඇති ව්‍යාපාරයක් ගැන අප දන්නේ නැත. පොළොන්නරුවේ ඇති වී වගාකරන කුඹුර ගැන නම් අපි දන්නෙමු. අතිවිශාල කුඹුරු ඉඩම් සමඟ සැසඳූ කළ එය මහා ව්‍යාපාරික ලාභයක් ලැබිය හැකි දෙයක් නොවේ.

අනෙක් අප නොදන්නා දෙය නම් දහම් සිරිසේනට ජනාධිපතිවරයාටත් නැති මෙතරම් ආරක්ෂාවක් අවශ්‍ය වන්නේ ඇයිද යන්නය. රජයේ ප්‍රතිපත්තිමය තීරණයකට අනුව ප්‍රභූ ආරක්ෂාව ජනාධිපති ආරක්ෂක අංශය හා අමාත්‍ය ආරක්ෂක අංශය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී තිබියදී යුද හමුදා කොමාන්ඩෝ ආරක්ෂාව ලබාදී ඇත්තේ පුද්ගලයන් සිව් දෙනෙකුට පමණය. ඒ හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා, හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, කේ.පී. හෙවත් කුමරන් පත්මනාදන් සහ දහම් සිරිසේනය. කෙසේ වෙතත් ‘ක්ලික්’ රාත්‍රි සමාජ ශාලා සිදුවීම වන විට දහම් සිරිසේනගේ කොමාන්ඩෝ ප්‍රභූ ආරක්ෂාව ඉවත්කර තිබී ඇති අතර ඒ වෙනුවට පොලිස් විශේෂ කාර්ය බලකාය ඔහුට ආරක්ෂාව සපයා තිබී ඇත.

තවත් අප නොදන්නා කාරණය නම් මෙම ‘ක්ලික්’ රාත්‍රි සමාජ ශාලා සිදුවීමෙන් පසුද එහි කළමනාකරුවකු යැයි කියන පුද්ගලයෙකු විසින් එකී සිදුවීමට දහම් සිරිසේනගේ හෝ ජනාධිපති ආරක්ෂක අංශයේ කිසිදු සම්බන්ධයක් නැතැයි ස්වෙච්ඡාවෙන් ප්‍රකාශ කරන වීඩියෝ පටයක් මුදා හැර තිබීමය. මෙය මෙතෙක් රාත්‍රි සමාජ ශාලාවල ප්‍රභූ පුතුන් විසින් ඇතිකරගත් ගැටුම්වලදී එළිනොදුටු වින්දිත පාර්ශ්වයේ භය පක්ෂපාතිත්වය දක්වන ‘අපට කවුරුත් ගැහුවේ නැහැ’ පන්නයේ කට උත්තරයක් ය.

එය එසේ වන්නේ ඇයි? විධායක බලය ඇති ප්‍රභූ ඉහළ බලපෑමක්ද? නැතහොත් ප්‍රභූ ඉහළ අය වෙනුවෙන් වෙනත් පාර්ශ්වයක් කළ බලපෑමක්ද? කෙසේ වෙතත් නිවැරදි අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරනවා නම් ‘ක්ලික්’ රාත්‍රි සමාජ ශාලාවට පහරදුන්නේ කවුද හා එයට අණ ලබාදුන්නේ කවුද යන්න සොයාගැනීම ශ්‍රී ලංකා පොලිසියේ විමර්ශන නිළධාරීන්ට අපහසු නැත. අවශ්‍ය වන්නේ ඒ සඳහා අවශ්‍ය දේශපාලන අනුමැතිය ලබාදීම පමණය. යහපාලන දහම යනු ඒ සඳහා අනුමැතිය ලබාදීමය. නොඑසේ නම් ‘මම දන්නේ නැහැ’ ‘මගෙන් ඇහුවේ නැහැ’ ‘මට කිව්වේ නැහැ’ ‘මගේ අනුමැතියක් නැහැ’ වැනි තර්ජනාංගුලි පොලිස් හා අනෙකුත් විමර්ශන අංශවලට යොමු කිරීම නොවේ.