චෝදනා ඔප්පුකරන චූදිතයා

 

ලංකාවේ සාමාන්‍ය නීතිය අනුව නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයයැ’යි කියා මූලධර්මයක් තිබේ. එනම්, චෝදනා ඔප්පු කරන තුරු චූදිතයා නිර්දෝෂීය’ යන්න ය. ඒ අනුව, චූදිතයා වැරදි බවට ඔප්පු කිරීමේ බර පැවරෙන්නේ චෝදනා කරන්නා වෙත ය. එහෙත්, චෝදනා කරන්නා පසෙක සිටියදී චූදිතයා තම කැමැත්තෙන් ම චෝදනා ඔප්පු කර ගැනීම සැලකිය හැක්කේ කවරක් ලෙසද?ශී‍්‍ර ලංකාව එවැනි රටකි.

මේ දිනවල ලංකාවට එරෙහිව ජිනීවාහි ඇති චෝදනා පත‍්‍රය දැන් බොහෝ දෙනා දනිති. යුද්ධයේ අවසාන භාගයේ දී පමණක් නොව පශ්චාත් යුද කාලයේදී ද ලංකාවේ සිදු වූ හා සිදු වෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනයන් හා නීතියේ ආධිපත්‍යයේ බිඳ වැටීම් ගැන එහි සඳහන් ය. ඉන් එක් වැදගත් චෝදනාවක් වන්නේ ලංකාවේ සිටින මානව හිමිකම් ක‍්‍රියාධරයන්ට කරන විවිධාකාර බිය ගැන්වීම්, තර්ජන හා ඔවුන්ට එරෙහිව දියත් කරන මර්දනයන් ය. මානව හිමිකම් ක‍්‍රියාධරයන් යනු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වැඩපිළිවෙලෙහි අංක එකේ ලා සැලකෙන පිරිසකි. සාමාජික රටවලට එරෙහිව මානව හිමිකම් චෝදනා නැගෙන විට, ඒ ඒ රටවල් තමන්ගේ සත්‍ය තත්ත්වය එක්සත් ජාතීන් හමුවේ නොපෙන්වන නිසා, ඒ රටවල රාජ්‍ය නොවන සංවිධාන හා මානව හිමිකම් ක‍්‍රියාධරයන් විසින් ඉදිරිපත්කරනු ලබන තොරතුරු ද නිල වශයෙන් ම ලබාගෙන සසඳා බැලීම එක්සත් ජාතීන්ගේ ව්‍යුහයන්හි පිළිගත් පරිචයයි. එනිසා, ලංකාවේ පමණක් නොව, ලෝකයේ ඕනෑම රටක මානව හිමිකම් ක‍්‍රියාධරයන්, රාජ්‍ය නොවන සංවිධාන, එක්සත් ජාතීන්ට අනුව දේශද්‍රෝහීහු හෝ කුමන්ත‍්‍රණකරුවෝ හෝ නොවෙති. 90 දශකයේ මුල් භාගයේදී ලංකාවේ තරුණ සංහාරය ගැන රහසේ එක් කරගත් තොරතුරු රැුගෙන අභියෝගාත්මක ලෙස ජිනීවා ගොස් කරුණු කිවූ මහින්ද රාජපක්‍ෂ හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන්ද එනයින් කිසිදු දිනෙක දේශද්‍රෝහීන්, කුමන්ත‍්‍රණකරුවන් වන්නේ නැත. අවාසනාවකට බලලෝභය නිසා තමන්ගේ ම අතීතය අමතක කර සිටින ජනාධිපතිවරයාත් ආණ්ඩුවත්, ඒ කාලයේ තමන් කළ දේම මේ කාලයේ කරනවුන් දකින්නේ දේශද්‍රෝහීන්, කුමන්ත‍්‍රණකරුවන් ලෙසය.

රජයේ එම චින්තනයට අනුව යමින්, ඉතා ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනකු වූ රුක්‍ෂාන් ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේසන් පියනම ආණ්ඩුවේ ත‍්‍රස්ත විමර්ශන අංශය පසුගිය දා අත්අඩංගුවට ගත්තේ ලංකාව ගැන එම චෝදනාව ම ජිනීවාහිදී ඉහළ තාපාංකයකින් යුතුව වාදවිවාද වෙමින් තිබියදී ය. ඔවුන් අත්අඩංගුවට ගැනීමට අදාළව පොලිසිය නිකුත් කළ රිසිට් පතෙහි සඳහන් එක් චෝදනාවක් හැටියට කියැවෙන්නේ, ‘තොරතුරු එකතු කිරීම’ය. ඔවුන් දෙදෙනා කළේ රටේ සිදුවන මානව හිමිකම් උල්ලංඝනයන් ගැන තොරතුරු එකතු කිරීම ය. හිමිකම් උල්ලංඝනයන් ගැන තොරතුරු එකතු කිරීම කවර වරදක් ද? එය කළ යුතු ම ය.

ඉතින්, ලංකාවට එරෙහි ව චෝදනා නගන අමෙරිකාව ප‍්‍රමුඛ රටවලට කරන්නට ඇත්තේ, ලංකාවේ මේ සිදුවීම ගැන පළවන ප‍්‍රවෘත්ති වාර්තා ඡුායා පිටපත් කොට සාමාජිකයන් අතර බෙදාහැරීම පමණ ය. ලංකාව විසින් ම තමාට විරුද්ධ ව ඇති චෝදනා ඔප්පුකොට ගෙන ඇති බව එම වාර්තාවලින් පැහැදිලිවනු ඇත්තේ ය.

පසුගිය වසරේ වැලිවේරියේ ජල අයිතිය වෙනුවෙන් පැවැති මහජන නැගිටීමට එරෙහි ව හමුදාව යොදවා තිදෙනකුට ජීවිත අහිමි කිරීම ගැන පරීක්‍ෂා කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව මෙතෙක් ප‍්‍රසිද්ධ නොකිරීම ද ලංකාවේ නරක චරිතය ගැන ජිනීවාහි චෝදනා පත‍්‍රයේ ඇති චෝදනා අතරින් එකකි. එවැනි ජාත්‍යන්තර අවදානමකට මුහුණ දී සිටියදී හංවැල්ලේ තුන්නානේ දී ආණ්ඩුව කළේ කුමක් ද? එවැනි ම සාමකාමී උද්ඝෝෂණයක නියැලී සිටි ජනතාවක් අතරට පොලිසිය යොදවා ඔවුන් කුපිත කරවීම ය. මෙවර ඉන් මියගියේ පොලිස් නිලධාරියෙකි. වැලිවේරියේ සිදු වූ අත්තනෝමතික ක‍්‍රියාව ගැන ජාත්‍යන්තර චෝදනාවක් සහිත ව සිටින ආණ්ඩුව, දැන් තුන්නානේ දී ද ඒ අත්තනෝමතික ක‍්‍රියාව ම කරමින් කර ඇත්තේ තමන්ගේ චෝදනා තමන් විසින් ම ඔප්පු කර ගැනීම නොවේ ද?

එහෙත්, මේවා ආණ්ඩුව නොදැන කරන වැරදි හෝ අත්වැරදීමෙන් සිදුවන වැරදි හෝ නොවේ. ඊට එහා යන, ලෝකයේ පිළිගත් ශිෂ්ට මූලධර්ම අනුව අපි කටයුතු නොකරන්නෙමු’යි යන සංඥාව දීම සඳහා වුවමනාවෙන් ම කරන ඒවා ලෙස සැලකිය යුතු ය. එහෙත්, පාලකයන්ගේ ඒ මුරණ්ඩුභාවයත්, ජාතික අශිෂ්ටභාවයත් නිසා දුක් විඳින්නට සිදු වන්නේ ද්විත්ව පුරවැසිභාවය ඇති සුපිරි පන්තියේ අයට නොව කෝටි දෙකක් වන එදා වේල හොයාගෙන ජීවත්වන රටේ සාමාන්‍ය වැසියන්ට බව ද දත යුතු ය.