Untitled-1

Untitled-1

ජනාධිපතිවරයාගේ අම්ල පරීක්‍ෂාව


kathu

කොළඹ පිහිටි රාත්‍රී සමාජ ශාලාවකට කඩා වැදුණු පිරිසක් ඊට පහර දීමේ සිද්ධියට ජනාධිපතිවරයාගේ පුත්‍රයාගේ ද නම ඈඳී තිබේ.
ප්‍රහාරය සිදුවීමට පෙර තමා එම සමාජ ශාලාවට ගිය බව ජනාධිපති පුත්‍රයා පිළි ගෙන ද තිබේ. සිද්ධිය හැටියට වාර්තා වන්නේ, මේ පිරිස සමාජ ශාලාවට ඇතුළුවීම එහි ආරක්‍ෂකයන් විසින් ප්‍රමාද කිරීම හෝ වැළැක්වීම නිසා උරණ ව, පළමු ව පිටත් ව ගොස්, පසුව පැමිණ එයට ප්‍රහාරයක් එල්ල කළ බව ය. ජනාධිපතිවරයා තායිලන්තයේ සංචාරයක යෙදී සිටියදී වූ මේ සිදුවීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්‍ෂණයක් පවත්වන ලෙස තායිලන්තයේ සිටියදී ම ජනාධිපතිවරයා පොලිසියට නියම කර තිබේ. එය ඉතාමත් අගය කළ යුතු පියවරකි.

මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජය වීමට, රාජපක්‍ෂ පාලන කාලය තුළ ඔහුගේ පුතුන් කළ කී දේවල් විශාල ලෙස බල පෑ බව අමුතුවෙන් කිව යුතු නොවේ. දේශපාලන මහන්තත්වයේ ඌෂ්ණය සියොලඟ ගා ගත් මේ පුත්තු ඒ කාලයේ හැසිරුණෝ, ලංකාව යනු තම පියාට අයත් නින්දගමක් වන බැවින්, ඕනෑ ම තැනක, ඕනෑ ම ආකාරයකට හැසිරීමට තමන්ට ප්‍රවේණික උරුමයක් ඇති බව සිතන පරිද්දෙනි. මේ පුත්‍රයන් සමඟ, ඔවුන්ට රිසි සේ අවලකෙළියෙහි යෙදෙන්නට හරියට ම ගැළපුණු හිත මිත්‍ර සමාගමක් ද ඔවුන් වටා රොක් වී සිටියෝ ය. කිසිවකු සමඟ ගැටුමක් ඇති කර ගත් විට, තමන් ම ඉදිරිපත් වී පහර දෙනවාට අමතර ව, තමන්ගේ ආරක්‍ෂාවට සිටි ප්‍රභූ ආරක්‍ෂක සේවාවන්හි සාමාජිකයන් ලවා එවැනි ප්‍රහාරයන් එල්ල කිරීම ද ඒ කාලයේ යහමින් අසන්නට දකින්නට ලැබිණි. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා, මේ සියල්ල හොඳින් දැන ඒවා ඉවසා සිටියා පමණක් නො ව, අවශ්‍ය තන්හි දී පුතුන් නීතියෙන් ආරක්‍ෂා කරන්නට අවශ්‍ය සෑම පියවරක් ම ද ගත්තේ ය. පුතුන්ගේ ඕනෑ ම අපචාරයකට සිය අනුමැතිය දුන්නේ ය. හැකි තරම් පහසුකම් සැපයී ය. කොළඹ නගරය මධ්‍යයේත්, මහනුවර නගරය මධ්‍යයේත් මහාමාර්ග වසා දමා සාමාන්‍ය ජනතාව බරපතළ විදියට අපහසුවට පත් කරමින් කාර් රේස් පදින්නට ඔවුන්ට අවකාශය සැලසෙන්නේ මෙලෙස පියාගෙන් ලද ආශීර්වාදයත් අනුමැතියත් නිසා ය.
ජනවාරි 8 වැනිදා වෙනස කළේ මේ තත්ත්වය ආපසු හරවනු පිණිස ය.

එහෙත්, ජනාධිපතිවරයා පත් වී අවුරුදු දෙකක් ඉක්ම යන්නටත් පෙර ඔහුගේ පුත්‍රයා සම්බන්ධ බරපතළ චෝදනාවක් නැගී තිබේ. චෝදනාවට අදාළ මූලික සිදුවීමක් වී ඇති බව පැහැදිලි ය. ජනාධිපතිවරයාගේ පුත්‍රයා එහි ගිය බවට ද පැහැදිලි ය. ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී ඔහු එහි සිටියා ද යන්න පැහැදිලි නැති නමුත්, ප්‍රහාරය එක ම ක්‍රියාවලියක අවස්ථාවක් බව වටහා ගන්නට, සිදුවීම දෙස විචාර බුද්ධියෙන් බලන්නකුට අපහසු නොවේ. ලැබෙන තොරතුරු අනුව, හමුදා සාමාජිකයන් හෝ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ සාමාජිකයන් හෝ ප්‍රහාරයට සහභාගි වී තිබේ.
දැන් ඇත්තේ, පුත්‍රයා එතැන ප්‍රහාරය සිදුවන අවස්ථාවේ සිටියා ද යන තාක්‍ෂණික ප්‍රශ්නය විසඳා ගැනීමට තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් නොවේ. තේරුම් ගත යුත්තේ ජනාධිපතිවරයාගේ පුත්‍රයාත් සම්බන්ධ වී සිටි එක ම ක්‍රියාදාමයක අවස්ථාවක් ලෙස සමාජ ශාලාවට ප්‍රහාරයක් එල්ල වී ඇති බව යි.

තමාගේ දරුවන් යහපත් දරුවන් ලෙස හදා වඩා ඇති බවත්, ඔවුන් රාජපක්‍ෂ දරුවන් මෙන් සෙල්ලක්කාරයන් නොවන බවත් සිරිසේන ජනාධිපතිවරයා ආඩම්බරයෙන් කියා ඇත්තේ වරක් දෙවරක් නොවේ. එහෙත්, දැන් ඒ තත්ත්වය අභියෝගයට ලක් වී තිබෙන බව පැහැදිලි ය.

දැන් අම්ල පරීක්‍ෂාවට ලක් වී සිටින්නේ ජනාධිපති පුත්‍රයා නොව ජනාධිපතිවරයා යි. මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා ක්‍රියා කරන අන්දම දෙස මුළු රටෙහි ම යුක්තිගරුක ජනතාව බලා සිටිති.
රටේ නීතිය සෑම තරාතිරමක ම අය සඳහා සමාන ව ක්‍රියාත්මක කිරීම, තමන්ගේ දරුවන් රාජපක්‍ෂ දරුවන් මෙන් රටට විනයක් වන තත්ත්වයට පත් වීම වළක්වා ගැනීමට වග බලා ගැනීම වැනි ජනාධිපතිවරයාගේ ම අතීත පොරොන්දු සමඟ ජනාධිපතිවරයාගේ වත්මන් ක්‍රියා පිළිවෙත සමපාත වන්නේ ද යන්න එහි දී පරීක්‍ෂාවට ලක් කෙරෙනු ඇත්තේ ය.