උසාවිය නිහඬයි යුක්තිය වෙනුවෙන් පුරවැසියන් ගත යුතු මඟ


sarath

මහාචාර්ය සරත් විජේසූරිය

සිවිල් බලයක් නැතිකම නිසා අසරණ වූ කාන්තාවකට යුක්තිය ඉටු කරදීමේ පරමාර්ථයෙන් වික්ටර් අයිවන් මහතා අප්‍රමාණ කැපවීමකින් සිදු කළ මාධ්‍ය මෙහෙවර විශිෂ්ටය. එනමුත් රටේ සියලු පුරවැසියන්ගේ යහපත වෙනුවෙන් සාධාරණව යුක්තිය පසිඳලන තැනකට අධිකරණය ඔසවා තබා ගැනීමට රටේ වෙනත් ජනමාධ්‍ය ආයතනයක් හෝ ඒ අවධියේ නිසි සහයෝගයක් නොදැක්වීය. ඒ වෙනුවට ඇතැම් ජනමාධ්‍ය සිදු කළේ අධිකරණයට අපකීර්තියක් ගෙනදුන් පුද්ගලයන්ට රැකවරණය ලබා දීමය. යළිත් උදා වෙමින් පවතින්නේ ඒ අවලස්සණ ක්‍රියා කලාපයම හිස ඔසවන තත්වයක් බව පෙනේ.

පොදු ජනතාව වෙනුවෙන් කැපවී කටයුතු කරන බවට උදම් අනන ඇතැම් විද්‍යුත් මාධ්‍ය අන්ත දූෂිතයන්, විශේෂයෙන්ම අධිකරණය අපකීර්තියට බඳුන් කළ පුද්ගලයන්ගේ නිරුවත වැසීමට තමන් සතු මාධ්‍ය බලය ඉවහල් කර ගන්නා අන්දම, ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කළ ‘උසාවිය නිහඬයි’ නමැති වාර්තා චිත්‍රපටියට ලබා දී තිබෙන වාරණ නියෝගය සමඟින් පැහැදිලි වෙමින් තිබේ.

ජනමාධ්‍ය සාමූහිකව හා පුළුල් ලෙස සිදු කළ යුතුව තිබුණ කටයුත්තක් සිදු නොවුණ බැවින්, ප්‍රසන්න විතානගේ ස්වකීය ප්‍රකාශන මාධ්‍යයෙන් උත්සාහ කරන්නේ රටේ ජන විඥානය අවදි කිරීමටය. ඒ ප්‍රයත්නය, ජනමාධ්‍යවල නිසි සහායක් නොලබමින් ප්‍රසන්න හිතුවාටත් වඩා හොඳින් ඵල දරන්නට පටන් ගත් බව මගේ පිළිගැනීමයි. මේ චිත්‍රපටිය පුළුල් ලෙස මහජනයාට ප්‍රදර්ශනය කිරීම අවශ්‍යම බව ද මගේ මතයයි. ඒ කුමට ද?

මහජන මුදල්වලින් නඩත්තු වෙන රටේ උත්තරීතර අධිකරණ පද්ධතිය පිළිබඳ අවශ්‍ය සංවාදයකට අවශ්‍ය බුද්ධි කලම්බනයක් ඒ ඔස්සේ සිදු කළ හැකි බැවිනි. ඒ බව අවධාරණය කරන පුද්ගලයන් අතර විනිසුරුවරුන් මෙන්ම නීතිඥවරුන් ද සිටින බව ගෞරවයෙන් සඳහන් කළ යුතුය.

නොනිමි අරගලය

වික්ටර් අයිවන්ගේ ‘නොනිමි අරගලය’ නම් වූ කෘතිය ප්‍රථමයෙන් ප්‍රකාශයට පත් වන්නේ 2002 වසරේදී ය. පිටු 477කින් සමන්විත මේ ග්‍රන්ථය පළ වී දැන් වසර දාහතරකි. මේ ග්‍රන්ථයෙන් අගවිනිසුරුවරයාගේ සිට පහළට, අධිකරණ ක්ෂේත්‍රයේ චරිත ගණනාවක් ද, අධිකරණයට හා ජන මාධ්‍යයට සම්බන්ධ චරිත ගණනාවක් ද, පාඨකයා අබිමුව නිරුවත් කොට ඇත. මේ ග්‍රන්ථය පළ වන විට එහි තියුණු අන්දමින් විවේචනයට ලක් වෙන ප්‍රධාන පුද්ගලයා රටේ අගවිනිසුරුවරයා වන්නේය. ගත වුණ කාලය තුළ මේ ග්‍රන්ථය තහනම් කරන ලෙසට මෙහි විවේචනයට ලක් වෙන කිසිවෙකු කටයුතු කළේ නැත. ඒ මන් ද?

ඊට ප්‍රධාන හේතුව මෙහි විවේචනයට බඳුන් වන කිසිවෙකුට අධිකරණයක දී තම තමන්ගේ නිර්දෝෂීභාවය සනාථ කිරීමට නොහැකි බව නිහඬව පිළිගැනීම නොවන්නේ ද?
‘නොනිමි අරගලය’ කෘතියෙන් වික්ටර් අයිවන් එදා යෝජනා කළ ප්‍රධාන කටයුත්ත අදටත් වලංගුය. ඒ යෝජනාව මෙසේය.

“සරත් සිල්වා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීම ඉතා අවශ්‍ය වුවත්, එයින් පමණක් ප්‍රශ්න විසදෙන්නේ නැත. සරත් සිල්වා අගවිනිසුරු ධූරයෙන් ඉවත් කිරීමෙන් නොනැවතී ඉන් ඔබ්බට ගැඹුරට දිව යන ප්‍රතිසංස්කරණයක් අධිකරණයට අවශ්‍ය වී තිබෙන බව ඉන් පෙන්නුම් කරයි. අධිකරණය පිරිසිදු කිරීම, විනය පාලනයක් ඇති කිරීම වැනි කාරණාවලට අතිරේකව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයක් තුළ අධිකරණයේ වගකීම කුමක් විය යුතු ද යන්න විවරණය කරමින් ඒ අරමුණුවලට ගැළපෙන ලෙස ක්‍රියා කරන අධිකරණ ක්‍රමයක් ඇතිකර ගැනීම ඉතා අවශ්‍යය.”

පුරවැසි වගකීම

වත්මන් ආණ්ඩුවේ ඛේදය වන්නේ හැට දෙලක්ෂයකට වැඩි පුරවැසියන්ගේ ඇස්වලට වැලි ගසමින් රාජපක්ෂවරුන් රැක බලා ගන්නා තැනකට සේන්දු වෙමින් සිටීමයි. පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කොට ජනාධිපති පදවියට පත්වුණ වහාම සිදුව තිබෙන දෙයක්, පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලකගේ ‘මා දුටු ජනවාරි 08’ නමැති කෘතියේ මෙසේ සඳහන්ය. ඔහු මේ සඳහන් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, දිවුරුම් දුන් වහාම එතුමා මුණ ගැසෙන මහින්ද අමරවීර නමැති අමාත්‍යවරයා සම්බන්ධවය.

“.. අමරවීර මන්ත්‍රීතුමා සාකච්ඡාවට ප්‍රවේශයක් ලැබෙන පරිදි සිය කතාව ආරම්භ කළේය. ‘ඔබතුමාට විරුද්ධව වැඩියෙන්ම වැඩ කළේ මම. තංගල්ල ඡන්ද ප්‍රතිඵලයෙන්ම ඒ බව පේනවා. ඔබතුමාට අඩුවෙන්ම ඡන්දෙ දීලා තියෙන්නෙ තංගල්ලෙ ජනතාව. මගේ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න රාජපක්ෂ පවුල ආරක්ෂා කරලා දෙන්න..”
මේ අවස්ථාවේ දී ජනාධිපතිවරයා තනි තීරණයක් ගෙන ඇත. එය නම් මහින්ද අමරවීර මන්ත්‍රීවරයාගේ ඉල්ලීම ඉටු කිරීමට ගැළපෙන අන්දමින් ප්‍රතිඥාවක් ලබා දීමයි. එය වඩාත් සනාථ කෙරෙණ කරුණක් මෙසේය.
“…ඉන් අනතුරුව සිදුවූ සියල්ල අමරවීර මන්ත්‍රීතුමා, නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ද දැනුම් දුන්නේය. ඒ අනුව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ද අමරවීර මන්ත්‍රීතුමාගේ නිවසටම එම රාත්‍රියේම පැමිණියේය..”
මෙතැන සිදුව තිබෙන්නේ ඒක්ෂණයකින් හැට දෙලක්ෂයකගේ අහිංසක ප්‍රාර්ථනා එක පොදියට පොළොවේ ගැසීමක් නොවේ ද?
මින් අනතුරුව පාර්ලිමේන්තුවේදී, ආණ්ඩුවේ අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතා පවසා තිබෙන කරුණක් හැන්සාඞ් වාර්තාවෙන් කියවීමට පුළුවන. එතුමා අවධාරණයෙන් පවසන්නේ ‘තමා සිටින තුරු රාජපක්ෂවරුන් ආරක්ෂා කර ගන්නා’ බවයි.
මේ මොන තරම් අවාසනාවන්ත තත්වයක් ද? මොන තරම් ඛේදවාචකයක් ද? අධිකරණය තුළ සිදු වෙමින් පවතින දේවල් තව දුරටත් ජනවාරි 08 වෙනිදා වෙනසට දායක වූ නීති ගරුක පුරවැසියන් ‘අමන තකතීරු පොල් බූරුවන්’ ලෙස ඔහේ බලා සිටිය යුතු ද?
තතු කෙසේ වෙතත් අද දවසේ නීති ගරුක පුරවැසියන් අබිමුව විවරව තිබෙන අවකාශය තුළ ‘යුක්තිය වෙනුවෙන් අරගලය’ පටන් ගත හැකිය. එය පටන් ගත යුතුය.

විචාරශීලී වීම

මහින්ද රාජපක්ෂ ඉතා පැහැදිලිව සම්බන්ධ ගනුදෙනුවක් ලෙස ‘රාඩා ආයතනය’ හරහා සිදු කළ අයථා ගනුදෙනුව සඳහන් කළ හැකිය. රාඩා ආයතනය මහින්ද රාජපක්ෂ ගොඩනඟන්නේ ඒ තාක් කල් රට තුළ පැවති සුභසාධනය සඳහා කටයුතු කිරීමට තිබූ ආයතන වෙනුවටය. මේ ආයතනයේ ප්‍රධානියා වන්නේ ටිරාන් අලස් මහතාය. ‘රාඩා’ ආයතන ඔස්සේ අවභාවිත කර තිබෙන ධනස්කන්දය සුළුපටු නොවේ. මේ සම්බන්ධ නඩුවට ප්‍රධාන චූදිතයෙකු වී සිටින ටිරාන් අලස්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලමින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක් ලබා දෙන්නේ ටිරාන් අලස් අත්අඩංගුවට නොගන්නා ලෙසටයි.

2016 අගෝස්තු 23 වෙනිදා කොළඹ මහාධිකරණයේ දී ටිරාන් අලස් ඇතුළු පිරිසට අධිචෝදනා පත්‍ර භාරදීමට කටයුතු කර ඇත. එහෙත් එදින විත්තිකරුවන් අධිචෝදනා භාරගන්නේ නැත. ඔවුන් දන්වා තිබෙන්නේ 2015 සැප්තැම්බර් 02 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව ටිරාන් අලස්ට එරෙහිව වරදක් නොපෙනෙන බව පවසා ඇති බැවින් මහාධිකරණයයේදී වරදක් කළ බවට අධිචෝදනා ලබා දීම පිළිගත නොහැකි බවයි. 2015 අප්‍රේල් 07 සිට 2015 මැයි 19 වෙනිදා දක්වා ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලා ඇත. 2015 මැයි 19 වෙනිදා ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට නීතිපති උපදෙස් ලැබී තිබේ. එහෙත් ඔහු අත්අඩංගුවට නොගන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලීසියට නොතීසි ලැබිණි. 2015 මැයි 27 වෙනි දින අධිකරණයේ කරුණු දක්වන ලද බවත්, 2015 අගෝස්තු 05 වෙනිදා ලිඛිත දේශන බාර දුන් බවත් පවසමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් විසින් අතුරු තහනම් නියෝගයක් ලබා දෙමින් ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීම වලක්වන ලදි. 2016 අගෝස්තු 23 වෙනිදා නැවතත් මහාධිකරණයේ නඩුව කැඳවන අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නොමැති බැවින්, 2016 අගොස්තු 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය අනුව අධිචෝදනා පත්‍ර භාර ගැනීමට කටයුතු කරන බව ටිරාන් අලස් ඇතුළු විත්තියේ පාර්ශ්වය දන්වා ඇත. 2016 අගෝස්තු 29 වෙනිදා ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා තිබෙන්නේ 2016 ඔක්තෝබර් 05 වෙනිදා නියෝගය ලබා දෙන බවය. ඒ අනුව මහාධිකරණය 2016 ඔක්තෝබර් 06 වෙනිදා නඩුව ඇසීමට නියෝග කළේය. එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණ ඔක්තෝබර් 05 වෙනිදා නඩුව ඔක්තෝබර් 10 වෙනිදාට කල් තැබීම සිදු කළ අතර නියෝගයක් ලබා දුන්නේ නැත. 2016 නොවැම්බර් 02 වෙනිදාට නඩුව කල් තබන ලදී.
මේ සිදු වන්නේ කුමක් ද? මේ වූකලි කළු සල්ලිකාරයන් වෙනුවෙන් සේවය කිරීම ද? ධනයට හා බලයට අධිකරණයෙන් වැදගත් අන්දමට සැලකීමක් ද? නැතහොත් මහින්ද රාජපක්ෂ ආරක්ෂා කිරීමේ පිළිවෙත ක්‍රියාත්මක වීමක් ද? ඔහු නැවත බලයට පැමිණේවි යැයි අපේක්ෂාවෙන් හෝ බියෙන් කටයුතු කිරීමක් ද?

ජනවාරි 08 වෙනිදා මේ රටේ නීති ගරුක පුරවැසියන් අපේක්ෂා කළේ අධිකරණයේ ස්වාධීනත්වයයි. කාටත් සාධාරණව යුක්තිය පසිඳලීමයි. ඒ වෙනුවෙන් තවමත් ආණ්ඩුවට න්‍යාය පත්‍රයක් නැත.

ධනයට හා බලයට අධිකරණය හැසිරවීමට හැකි තත්වයක් පවතින බවය පෙනී යන්නේ. එබැවින් නීති ගරුක පුරවැසියන් යුක්තිය වෙනුවෙන් ආණ්ඩුව සමඟ අරගලයක් පටන් ගත යුතුය. ඒ අරගලය පටන් ගැනීම සඳහා ‘උසාවිය නිහඬයි‘ මාවතක් විවර කර දී තිබේ. මේ චිත්‍රපටිය ප්‍රදර්ශනය කිරීම සඳහා අවසර ලැබුණා හෝ නොලැබුණා හෝ මේ අරගලය වෙනුවෙන් නීති ගරුක පුරවැසියෝ කොන්දේසි රහිතව කැපවිය යුත්තාහ.

ප්‍රජා අයිතිය

ජනවාරි 08 වෙනිදා මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම්, කරන්නට සැලසුම් කර තිබුණ කටයුත්තක් ලෙස දැන ගන්නට ලැබුණේ, ප්‍රථමයෙන් මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමය. ඒ වෙනුවෙන් අවශ්‍ය චරිතය ඒ වන විට ද රාජපක්ෂවරුන්ට සේවය සලසමින් සිටි අතර, ඡන්දයේ ප්‍රතිඵලය නොසලකා හැර යළි බලයේ රැඳෙන්නට අවශ්‍ය නෛතික රාමුව සකස් කර දෙන්නට ද අලුයම අරලියගහ මන්දිරයේ සිටි බව ලෝක ප්‍රකට කුප්‍රකට රහසකි.
මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම් කරන්නේ එපමණක් නොව, රාජද්‍රෝහී කුමන්ත්‍රණයක් සැලසුම් කළ චෝදනාව මත චන්ද්‍රිකා බණ්ඩාරනායක ජීවිතාන්තය දක්වා සිරගත කිරීමට ද තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කළේ නම්, නිසැකව හා නිර්භීතව මේ තීන්දු තිරණ අදාළ සැලසුම් ඔස්සේ ක්‍රියාත්මක කරන බවට අබමල් රේණුවක තරම් සැකයක් නැත. පොදු අපේක්ෂකයාගේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇද්ද සියලු දෙනා ගැනම ගෝඨාභය රාජපක්ෂ වැඩි කාලයක් නොගෙන වගබලා ගන්නා බව ද සක්සුදක් සේ පැහැදිලිය.
ජනාධිපති විශේෂ විමර්ශන කොමිෂන් සභාව පත් කළේ අන් කිසිවකට නොව මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් ජනාධිපතිවරයාට කරන ලද බලපෑමක ප්‍රතිඵලයක් නිසා යයි කලබලයට පත්වූ, පොදු අපේක්ෂකයා පරාජය කිරීමට දිවි හිමියෙන් කැපවුණ, අවසන එක දවසකින් නව ජනාධිපතිවරයාට සමීප වුණ රාජපක්ෂ ගැත්තෙකු කටමැත fදාඩවා තිබෙන්නේ ‘අපි සේරටම කලියෙන් ගෑනිට වැඬේ දුන්නා’ යන්න ආඩම්බරයෙන් පවසමිනි. උත්ප්‍රාසය වන්නේ මහින්ද රාජපක්ෂ ඒ පුද්ගලයාට ඡන්දය නොදෙන ලෙස පවසමින් සිටින පසුබිමක දී ඒ පුද්ගලයාගේ ජයග්‍රහණය වෙනුවෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇය සතු හැකියාව මෙන්ම සැලකිය යුතු ධනයක් ද ඔහුට ලබා දීමය.
ජනාධිපතිවරයා කෙසේ වෙතත් අගමැතිවරයා මොන විදිහකටවත් විශ්වාස නොකරන දේ වන්නේ තමන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට මහින්ද රාජපක්ෂ කටයුතු නොකරන්නේය යන්නයි. මේ අන්දමට කල්පනා කරන අන්දම ඔස්සේ අපට සැකයක් උපදින්නේ මහින්ද රාජපක්ෂගේ ගුප්ත වැඩ හා අවිiාව සතු බලයකුත් තිබේද යන්නයි.

දෙවියනි ඔබ කොහි ද?

ජනවාරි 08 වෙනිදාට පෙර දවස සිට අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කැපවුණ පුද්ගලයෙකු ලෙස පෙනී සිටින හේමන්ත වර්ණකුලසූරිය, දෙවියන් වහන්සේ මේ රටේ දිළිඳු ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කර දීම පිණිස මහ පොළොවට ප්‍රාදූර්භූත කරන ලද උතුමෙකු විය යුතුය. එතුමන් සතු ලේඛන කුසලතාව ද නොමසුරුව කැප කර තිබෙන්නේ අසාධාරණයට අයුක්තියට බඳුන් වන පුද්ගලයන්ගේ යහපත වෙනුවෙනි. ඒ වෙනුවෙන් සියලු දෙවිදේවතාවුන් වහන්සේලාගේ ආශීර්වාදය හා රැකවරණය එතුමන්ට ලැබෙනවා ඇත.
හේමන්ත වර්ණකුලසූරිය උතුමන් මහින්ද රාජපක්ෂගෙන් තානාපති පදවියක් ලබා ගත්තේ රටට වැදගත් සේවාවක් ඉටු කිරීමටය. ඒ පදවිය දරමින් ඔහු මුදල් අවභාවිත නොකළ විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස සේවය කර තිබෙන බවට අලංකාර ප්‍රවෘත්තියක් ද අසන්නට තිබේ.

හේමන්ත වර්ණකුලසූරියට වත්මන් ජනාධිපතිවරයා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ තනතුරක් ප්‍රදානය කර තිබෙන්නේ එතුමන්ගේ මහා බුද්ධි මහිමයෙන් රටට යහපත් සේවාවක් අපේකෂාවෙන් බවට ද සැකයක් නැත. එය නම් එක අතකින් කෘතගුණ සැලකිමක් ද විය හැකිය. හේමන්ත වර්ණකූලසූරිය අධිකරණයේ පාරිශුද්ධතාව වෙනුවෙන්, විනිසුරුවරුන්ගේ අභිමානය රැකදීම වෙනුවෙන් සිදු කරගෙන යන සටන විශද කරන්නේ එතුමා සතු උත්තම චරිතයේ තවත් පරමාදර්ශී පැත්තකි. එතුමා නිතරම පෙනී සිටින්නේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් වීම සියලු දෙවිදේවතාවුන් වහන්සේලා බලා සිටින බවට සැකයක් නැත.

දුමින්ද සිල්වා, මෙන්ම ලෙනින් රත්නායක වැනි පුද්ගලයන් ගැන නිර්භීතව ඉදිරිපත්වීම විශද කරන්නේ යුක්තිය හා සාධාරණත්වය ගැන අගනා පාඩම්ය.
හේමන්ත වර්ණකුලසූරිය වෙනුවෙන් නීති ගරුක පුරවැසියන් භාරහාර විය යුතුය. ඒ මන් ද? උඩ සිටින දෙවි දේවතාවන්ට නින්ද ගිය මොහොතක යම් අතපසුවීමකින් වැරදි තීරණයක් ගතහොත් එය අප දරා ගන්නේ කෙසේ ද? තතු කෙසේ වෙතත් අප කවුරුත් අද දෙවියන්ට භාර හාර විය යුත්තේ හේමන්ත වර්ණකුලසූරියට දෙවියන්ගේ පිහිට ලැබෙන්නට කියාය. ඒ ගමන්ම අප සියලු දෙනාම සියලු දෙවි දේවතාවන්ගෙන් අසා දැන ගත යුතු දෙයක් ද තිබේ. ඒ කුමක් ද?
ජනවාරි 08 වෙනිදායින් පසුව සියලු දෙවි දේවතාවන් වැඩිපුර නිදා සිටින්නේ මන්ද? යන්නයි.
ධර්මසිරි රාජපක්ෂ නමැති කවියා කලකට පෙර ජන කවි රීතියෙන් ලියා තිබෙන කවියක් මගේ සිහ‘යට නැඟෙයි. කතරගම රූප සුන්දරිය දූෂණය කොට මරා දැමීම පිළිබඳ සසල වන කවියා සිවිල් බලයක් නැති අසරණියක් වෙනුවෙන් හඬා වැළපෙයි. එහි තැනක මෙසේ සඳහන්ය.

“මහතුන් නැති රට ඇයි උන් අවසර දෙවියෙක් නිදි නම් ඇහැරී වර වර”

මගේ හැඟීම වන්නේ එදා කතරගම රූපසුන්දරිය වෙනුවෙන් කිසියම් අන්දමකට යුක්තිය පසිඳලීමක් සිදු වුණ බවයි. සාධාරණයක් ඉටු වුණ බවයි. ප්‍රසන්න විතානගේ “උසාවිය නිහඬයි” නිර්මාණය කරන්නේ, ‘නොනිමි අරගලය’ කියවා සසලවූ හදවතිනි. එදා මෙදාතුර වෙනස නම්, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණයක් ඉටු නොවීමයි. ඒ ඇයි? අධිකරණයේ ඉහළ සිට පහළට මහත්තුරුන් ඉතා අඩුවෙන් වැඩ වාසය නොකර නිසා නොවේ ද?