තාජුඩීන් ඝාතනය ගැන තවදුරටත්


THadujeen

කේ. සංජීව

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය රිය අනතුරක් බවට පෙරළීමේ පොලිස් නාටකයේ යම් ප්‍රමාණයක් පසුගිය සතියේ තාජුඩීන් ඝාතනයේ මෙතෙක් කතාව නමින් ලීවෙමු. මේ එහි තවත් දිගුවකි. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ට සාධාරණය ඉටුවේදැ’යි කියන්නට තවම කල් වැඩිය. එහෙත් ලංකාවට මෙවැනි ඝාතන ඉතිහාසයක් තිබුණායැ’යි සටහන් කර තැබීම හොඳය.

අනුර සේනානායකගේ ප්‍රකාශය

කොළඹ දිසාව භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන අනුර සේනානායක දැන් සිටින්නේ රිමාන්ඞ් බන්ධනාගාරයේය. ඒ මෙම ඝාතනයේ සැකකරුවෙකු ලෙසය. රහස් පොලිසිය ඔහු අත්අඩංගුවට ගන්නට ප්‍රථම ඔහුගේ ප්‍රකාශයක් සටහන් කරගත්තේය. ඒ ප්‍රකාශයේදී ඔහු කියන්නේ මෙම රිය අනතුර පිළිබඳව තමාට කිසිම අවස්ථාවක වාර්තාවක් නොලැබුණු බවය. මෙම අනතුරින් මියගිය අයගේ මුදල් පසුම්බිය කිරුළපන ප්‍රදේශයෙන් හමුවූ පසුව මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නට තමා නියෝග නිකුත් කළ බවක් ඔහු එහිදී කියා ඇත. මෙම අනතුරට අදාළව අංක 134/12 දරන මාරක රිය අනතුරු ගොනුව තමා රහස් පොලිසියට කටඋත්තරයක් දීමට පැමිණි විට දුටු බව ඔහු ප්‍රකාශ කරයි. අනතුරුව ඔහු කියන්නේ එම ගොනුවේ අඩුපාඩු රැසක් ඇති බවය. එම ගොනුව එකල තමා අතට පත්වූවා නම් එය කිසිසේත් වසා නොදමා නැවත ප්‍රගතිය කැඳවන බවය. එම ප්‍රකාශය තුළම ඔහු වැඩිදුරටත් කියන්නේ මෙම අනතුර සිදුවූ පසුව පැමිණි පළමු අඟහරුවාදා දින තමා මේ සිද්ධියට අදාළව පොලිස් අධිකාරී රණවීර දුන් වාර්තාව අනුව යමින් මේ ගැන ආරක්ෂක මණ්ඩලයට කරුණු ඉදිරිපත් කළ බවය.
ඔහු මෙම ප්‍රකාශය තුළ තාජුඩීන්ගේ පියා මුණ නොගැසුණු බවද ප්‍රකාශ කරයි. එහෙත් පසුගියවර ලිපියෙහි එම අදාළ හමුවීම පිළිබඳව තිබෙන සාක්ෂි සහ කරුණු අපි ලීවෙමු.

මෙම අනතුර සිදුවූ මුල් අවස්ථාවේදීම තමාට ඒ පිළිබඳව ස්ථානාධිපති, හදිසි ඇමතුම් අංශය විසින් දැනුම් දුන් බව ඔහු ප්‍රකාශ කළත් ඔහුගේ 0777755950, 0112867816 යන දුරකතන අංකවලට ලබාගෙන ඇති ඇමතුම් වාර්තා පරීක්ෂා කිරීමේදී 2012.05.17 වැනි දින උදෑසන පොලිසි හදිසි ඇමතුම් අංශයේ ස්ථානාධිපතිගෙන් ඇමතුමක් ලැබී ඇති බවට වාර්තා නොවෙන බව රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළව අනුර සේනානායකගේ හැසිරීම පිළිබඳව මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පොලිස් නිලධාරීන් කියන්නේ කුමක්ද? මෙම සිද්ධිය පිළිබඳව ස්ථානාධිපති හදිසි ඇමතුම් අංශයෙන් දුරකතන ඇමතුමක් නොලැබුණේ නම් ඒ දැනුම්දීම කාගෙන්ද? මේවා ප්‍රශ්නාර්ථයන්ය.
අනුර සේනානායක ගැන තවදුරටත්

මෙම සිද්ධියට අදාළව රහස් පොලිසියට ප්‍රකාශයක් ලබාදෙන විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරී කෝරලේවත්ත ගමරාළලාගේ ධර්මවර්ධන කියන්නේ හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක නඩු කටයුතු සම්බන්ධ ලිපි සහ පොලිස්පතිතුමා වෙත යොමුකිරීමට ඇති ලිපි ලේඛන තමා වෙත (අනුර සේනානායක වෙත) ඉදිරිපත් කිරීමටත් අනෙකුත් ලිපි ලේඛන වලට තමන්ගේ නිගමනයකට පැමිණ අත්සන් කිරීමටත් වාචිකව උපදෙස් දී තිබුණු බවය. ඒ අනුව ඒ.ආර්. 134/12 දරන මෙම සිද්ධියට අදාළ මාරක රිය අනතුරු ගොනුව වසා තැබීමට ඔහු නියෝග කළ බවත්ය.

එවැනි වාචික නියෝග තමා වෙත ඊට කලින් අනුර සේනානායකගේ රාජකාරි ආවරණය කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද නිකුත් කර තිබූ බවත් ඔහු ඒ ප්‍රකාශයෙන් වැඩිදුරටත් කියා ඇත.

අනුර සේනානායක ඊට පහළ සිටි නිලධාරීන්ට නිකුත් කළ වාචික නියෝගවල තරම සහ ඒවා ක්‍රියාත්මක වූ ආකාරය මෙම ප්‍රකාශය තුළින් පැහැදිලිව පෙනේ. අනුර සේනානායක තමාගේ ප්‍රකාශය තුළ තමාට වාර්තාවක් නොලැබුණු බවද, තමා මෙම සිද්ධියට අදාළව වාර්තාවක් එවක ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළ බවද කියයි.

එවක කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා (රණවීර) විසින් ලබාදී තිබුණායැ’යි කියන මෙම සිද්ධියට අදාළ විමර්ශන වාර්තාව පරිශීලනය කරන රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියන්නේ එම වාර්තාවට ඇතුළත් කර තිබූ කරුණු අසත්‍ය බවය.

මෙම වාර්තා කටඋත්තර එකිනෙක සංසන්දනය කරමින් රහස් පොලිසිය කියන්නේ දිගු සේවා පළපුරුද්දක් ඇති අනුර සේනානායක (දෙවන සැකකරු) අදාළ එම වාර්තාව තමන් අත තබා ගනිමින් තමාට මෙම සිද්ධියට අදාළව කිසිවෙකුත් වාර්තාවක් ඉදිරිපත් නොකළ බව පවසා ඇති බවය. එයට අමතර ලෙස අනුර සේනානායක විමර්ශන නිලධාරීන්ට සිය විමර්ශන නිසි අයුරින් ඉටු නොකරන ලෙසට බලපෑම් කළ බව අනාවරණය වී ඇති බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරයි.

මෙලෙස රහස් පොලිසිය අනුර සේනානායක පිළිබඳව අධිකරණයට වාර්තා කරන කරුණු කියන්නේ කුමක්ද? තාජුඩීන් ඝාතනය රිය අනතුරක් ලෙස සැලකීම අනුර සේනානායකගේ සැලසුමක් බවද? ඒ සැලසුමට අණ දුන් ප්‍රබලයෝ කවුරුන්ද? මෙම පරීක්ෂණවල ප්‍රගතිය විසින් සහ ඉදිරි නඩු විභාගවලින් මේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත. එහෙත් බැලූ බැල්මට චිත්‍රය කියන්නේ එවක පොලිසිය කුණුවී තිබුණු තරමය. එය ක්‍රියාත්මක වූ පාතාල ස්වරූපයය.

පොලිස් ප්‍රකාශ

මෙම ඝාතනයට අදාළව රහස් පොලිසිය මේ වනවිට විශාල පොලිස් නිලධාරීන් සංඛ්‍යාවකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
පොලිස් කොස්තාපල් ගුණසේකරගේ පියසේන (80106) කියන්නේ තමා 2012.05.16 දින නාරාහේන්පිට පොලිස් ස්ථානයේ ප්‍රධාන දොරටුවේ අවි සහිතව රාත්‍රී 22.00 පැයට රාජකාරි වාර්තා කළ බවය. එලෙස රාජකාරි වාර්තා කර සිටියදී 2012.05.17 දින උදෑසන 1ට පමණ නාරාහේන්පිට උද්‍යාන පාරේ කාර් රථයක් ගිනිගන්නා බව දැනගන්න ලැබුණු බවය. එලෙස රාජකාරි කරමින් සිටියදී තමන් මුත්‍රා කිරීමට පොලිසිය පිටුපසට ගොස් නැවත පැමිණ බලන විට පොලිසියට ඇතුළුවන දොරටුව ඉදිරිපිට කළුපාට කාර් එකක් නවතා තිබුණු බවය. පසුව ඒ ගැන සොයා බැලීමේදී ඩී.අයි.ජී. සර් ආ බව දැනගන්නට ලැබුණු බවය. පසුව පොලිසියේ ප්‍රධාන දොරටුව ළඟ රාජකාරියේ යෙදී සිටින විට එම කාර් රථයෙන් අනුර සේනානායක පිටවගිය බව දුටු බවය. මේ රහස් පොලිසිය අධිකරණයට වාර්තා කරන පොලිස් නිලධාරීන්ගේ ප්‍රකාශවලින් එකක් පමණි.

සාක්ෂිකරුවන්ට බලපෑම්

රහස් පොලිසිය 2016.05.21 වැනි දින දුරකතන ඇමතුමක් පොලිස් කොස්තාපල් අනුර නිශාන්ත වීරසිංහට ලබාදෙමින් කියන්නේ 2016.05.23 වැනි දින උදේ 9ට රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසය. ඒ අනුව රහස් පොලිසියට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන අනුර නිශාන්ත කියා සිටින්නේ තමාට ඉහත දැනුම්දීම ලැබෙන්න දින දෙකකට පමණ පෙර අනුර සේනානායක මහතා දුරකතනයෙන් කතා කර ‘ඔයාට සීඅයිඩී එකට උත්තරයක් දෙන්න වෙයි. තාජුඩීන්ගේ සිද්ධිය ගැන තමයි. එදා ඔයා තමයි මාත් එක්ක ඩියුටි ඉඳලා තියෙන්නේ. අපි එහෙම ගියාද? අපි එහෙම ගියේ නැහැනේ…” කියා කියූ බවත්ය.

ඊට අමතරව එම ප්‍රකාශයෙන් ඔහු තවදුරටත් කියා ඇත්තේ (2012.05.17 දිනට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසයෙන් භාරගන්නා ලද දෛනික තොරතුරු සටහන් පොත පරීක්ෂා කර) පොලිස් කොස්තාපල් රණතුංග (74056) විසින් පදවන ලද කේ.එච්.1086 දරන ඩිෆෙන්ඩර් රථයෙන් අනුර සේනානායක මහතාගේ රාජගිරියේ නිවසට ගිය බවය. එදින නාරාහේන්පිට ප්‍රදේශයේ සංචාරය කළ බවත්ය. අනුර සේනානායකට ආරක්ෂාව සැපයූ බවත්ය.

මෙම ප්‍රකාශය මෙලෙස වුණත් ඒ අතරතුරේදී රහස් පොලිසිය අසන ප්‍රශ්නයක් මත ඔහු කියා ඇත්තේ තමන් ඩිෆෙන්ඩර් රථයේ ගොස් අනුර සේනානායකට ආරක්ෂාව සැපයූ බව ප්‍රකාශ කළත් එය එසේ නොවුණු බවය. ඔහු තවදුරටත් කියා ඇත්තේ අදාළ ජීප් රථය අනුර සේනානායකගේ නිවසේ වැඩවලට භාර කර තමා අනුර සේනානායකගේ කාර් රථයෙන් ගමන් කළ බවය. එහෙත් ජීප් රථයෙන් ගමන් කළායැ’යි කියමින් තමන් ධාවන සටහන්පත් සකස් කළ බවත්, එලෙස අසත්‍ය සටහන් යෙදීමට කිසිවෙකු තමාට උපදෙස් නොදුන් බවත්ය.

අනුර නිශාන්තගේ 0772019921 දරන දුරකතන අංකයට අදාළව 2016.02.26 දින සිට 2016.05.25 දින දක්වා ඇමතුම් වාර්තාවක් ලබාගෙන එය රහස් පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කර ඇත. එහිදී අනුර සේනානායක සහ අනුර නිශාන්ත අතර 2016.05.20 දින සවස් කාලයේ සිට නිතර නිතර දුරකතන සම්බන්ධතා පැවැත්වී ඇති බව රහස් පොලිසිය සොයාගෙන ඇත. එම නිරීක්ෂණවල ප්‍රතිඵල සමඟින් අනුර නිශාන්ත නැවත ගෙන්වා නැවත ප්‍රශ්න කර ඇත. එම ප්‍රශ්න කිරීම් සහ ඒවාට දෙන උත්තර පිළිබඳව දළ සටහනක් අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය අධිකරණයට කියා සිටින්නේ අනුර නිශාන්ත නමැත්තා අසනු ලැබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීමට අපොහොසත් වූ බවය. ඒ අනුව අනුර සේනානායකගේ උපදෙස් පරිදි ප්‍රකාශයක් ලබාදීමට සූදානමින් මෙම පුද්ගලයා පැමිණ ඇති බව නිරීක්ෂණය කරන බවය.

මෙම ප්‍රකාශයටම සමානව ප්‍රකාශයක් කරන පොලිස් කොස්තාපල් රියැදුරු (74056) චමින්ද කුමාර රණතුංගගේ එම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව පිළිබඳව සොයාබැලීමට ඔහුගේ 0715873632 දරන දුරකතනයේ ඇමතුම් දත්ත පරීක්ෂා කරන රහස් පොලිසියට හෙළිදරව් වන්නේ අනුර සේනානායක හා මෙම පුද්ගලයා අතර බොහෝ සම්බන්ධතා පැවතී ඇති බවය.

අනුර සේනානායක මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වීමට ප්‍රථම හැසිරීම මෙපරිදිය. දැන් ඔහු ඇප ලබා ගැනීම සඳහා අධිකරණයට අභියාචනා ඉදිරිපත් කර ඇත. පැමිණිල්ල පාර්ශ්වයෙන් කියන්නේ ඇප ලබාදීම සාක්ෂිකරුවන්ට බලපෑමක් විය හැකි බවය.

තව තවත් තොරතුරු ඉදිරියේදී විවෘත අවකාශයට පැමිණෙනු නියතය. අනුර සේනානායකගේ මේ හැසිරීමටම නොදෙවැනි හැසිරීමක් දොස්තර ආනන්ද සමර සේකර පිළිබඳවද ලිවිය හැකිය. ඒ ඉදිරි සතියක දීය.