රාවය

දයාසිරිගේ සලකුණ හා කෝටි ගණන් ගිය ජාතික මහා ක්‍රීඩා උළෙල

දයාසිරිගේ සලකුණ හා කෝටි ගණන් ගිය ජාතික මහා ක්‍රීඩා උළෙල

ඒ. වික්‍රමසිංහ

නොබෝදා සලකුණ ලකුණු කරන්නට සලකුණ නම් ටීවී වැඩසටහනකට එන ක්‍රීඩා ඇමති දයාසිරි ජයසේකර හතර අතේ වළං බිඳිනුයේ තමන්ගේ සලකුණද රටටම පෙන්වමිනි. අහම්බෙන් කතා කොට එදා ඔහුට ඇමතිකමක් පිරිනැමූ ජනපති ඇරෙන්නට ඔහු නොබැණ හිටියේ ඔහුට පමණය. මේ නොඉවසිල්ල කුමක්ද? මේ වීරත්වය, කුලප්පුව ඇයි? දයාසිරි ජයසේකර මහතා එජාපයෙන් ඉවත් වන විට ඇතැම් අය ලියා තැබුවේ එජාපයේ අනාගත නායකයා වීමට වුව ඔහු සුදුස්සෙකුව සිටි බවය. කිසිවකු ගැන හදිසියේ නිගමනවලට එළැඹිය නොයුතු බව අද දයාසිරි ජයසේකර ඇමතිවරයා ඇමතිකමක් කරන්නට ගොස් ඔප්පු කොට හමාරය. නැවත ඔහුට ඇමති ධුරයක් පවා පිරිනැමිය යුතුද යන්න දෙවරක් සිතන තැනට ඔහුගේ ලකුණු ඔහුම කපාගෙන හමාරය. එක් අතකින් අපරාධයකි. මන්ද කෙනෙකු ජනතාව වුව ඕනෑවටත් වඩා උඩ දමනා විට සිදුවන තත්ත්වය මෙබඳුය. මේ දේශපාලකයන් නොව සුපර් ස්ටාර්ස්ලාය. මෙය අප ලීවේ මීට බොහෝ කලකට පෙරය.

මෙරට ක්‍රීඩාව ගැන අවංක අධ්‍යයනයක් කරන කෙනෙකුට දකින්නට ලැබෙන ඇත්ත කතාව නම් අද දවසේ මෙරට ක්‍රීඩාවක් නැති බවය. එය සෑම අංශයකින්ම විනාශ වී ඇත. එය ගොඩගැනීම ලේසි නැත. දයාසිරි ඇමතිවරයා ක්‍රීඩාව ගොඩනගනු වෙනුවට ඔහු ක්‍රීඩකයා වන්නට වලිකනු පෙනේ. මේ කැපීපෙනීමේ ආශාව ඔහුට වැළඳී ඇති රෝගයකි. එය සුවකිරීම ජනපති හෝ අගමැති කළ යුතුව ඇත.

ඉන්දියාවේ පැවති සාග් තරගාවලියත් රියෝහි පැවති ඔලිම්පික් තරගාවලියත් හරහා අපට වැටහෙන ක්‍රීඩා ඇමති නම් රිටි පැනීමේ දක්ෂයෙකි. තරගාවලියෙන් අනතුරුව මෙරටට පැමිණෙන ඔහු මාධ්‍ය හරහා කතා සාප්පුවක් දමමින් කියනුයේ ඔලිම්පික් පදක්කම් දිනන බවය. එයට සුසන්තිකා තමන්ට උපදෙස් දෙන බවද ඔහු ආඩම්බරයෙන් කියන්නේය. ජාතික මහා ක්‍රීඩා උළෙලේදී මෙරට ජාතික තලයේ වාර්තාවක් බිඳ දැමෙන විට ඒ ක්‍රීඩිකාව බිත්තියට හේත්තු කොට එම වාර්තාව ඇගේ නම ඉදිරියෙන් කපා දමන්නට වලිකන සුසන්තිකා ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරන්නට මගපෙන්වනු ඇතිද? රාජපක්ෂ සමයේ තම වත්තට අහළ පහළ කොලුකුරුට්ටන් බෝල එවන බැවින් නිවස ළඟ පිට්ටනිය ඉවත් කර දෙන්නැයි එකල ජනපති රාජපක්ෂට කී සුසන්තිකා ඔලිම්පික් යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකරනු ඇත්ද? හිටපු ජනපති ලුණු ඇඹුල් ඇතිව එහිදී ඇයට පහදා දුන් බවද එකල පත්තරවල ගොසිප් වාර්තා කොට තිබුණි. අප අමතක නොකළයුත්තේ සුසන්තිකා හිටපු ජනපතිගේද ක්‍රීඩා උපදේශකයා බවය. ඇය උපදේශක ශක්තිය කරට ගෙන එකල රාජපක්ෂ මහතා සිටි වේදිකාවල කීවේ සිරිසේනට අටවැනිදාට වන්නේ ආච්චිට හාල් ගරන්නට කියාය. දයාසිරිද හිටු කියා එදා හිටන්ට සමච්චල් කළේය. අද මේ දෙපළ දකින අපට කිසිම අපුලක් නැත්තේ මෙරට දේශපාලනය එසේම වන බැවිනි.
මේ අනවශ්‍ය දෑය. එය ක්‍රීඩාවට අදාළ නොවන්නේද නොවේ. මන්ද ක්‍රීඩාව කරනුයේ මේ අයම වන බැවිනි.

යාපනයේ මහ ඉහළින් ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වූ බව කයිවාරු ගැසීය. එහෙත් ඉන් ඉදිරියට යන වැඩපිළිවෙළ සකස්වන්නේ කවදාද? 2020 ඔලිම්පික් දිනනවායැ’යි කී පමණින් ඔලිම්පික් දිනිය හැකිද? සාග් කලාපයවත් දිනිය නොහැකි අප ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය පවා අතහැර එකවර ඔලිම්පික් දිනන්න පිඹුරු හදති. මේ දයාසිරි ඇමතිවරයාගේ නොදන්නාකමට වඩා මෝඩකමට කියන කතා විය යුතුය.

ජීවන් කුමාරතුංග ක්‍රීඩා ඇමතිව සිටි කල ඔහු කාබාසිනියා කළ සමන් අමරසිංහ අද දයාසිරි ඇමතිවරයාගේද පුරෝහිතය. එදා ක්‍රීඩාවට යමක් කරන බව පෙන්වමින් එවැනි දසදහස් ගුණයකින් ක්‍රීඩාව විනාශ කළ විනාශකාරයෝ සියල්ලෝම අද දයාසිරි ළඟය. මිල්ටන් අමරසිංහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ලෙස යම් මෙහෙවරක් කළ බව සැබෑය. එහෙත් ඔහු ඉන් ගො නැගුණු ආකාරයත් අපට රහසක් නොවේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු ක්‍රීඩා ඇමති කාලයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා පසුව ජොන්ස්ටන් යන යන තැන යන කීකරුවෙකු වූයේ කෙසේද? මේ හැම සෙල්ලමට හපනෝය. ඒ ක්‍රීඩාව නොවන බව කිව යුතුය.

සුනිල් ජයවීරගෙන් තොර පාසල් ක්‍රීඩාවක් එජාපයට නැත. අද පාසල් ක්‍රීඩාවක් නැත. එය බලෙන් ඇති කරන්නට අකිල විරාජ් ඇමතිවරයා වලිකමින් සිටී. ක්‍රීඩාව බලහත්කාරයෙන් කළ නොහැකි බව ඇමැත්තන්ට කිව යුතුය. එයද ආශාවෙන් කැපවීමෙන් කළයුත්තකි. අකමැත්තෙන් ක්‍රීඩාව ළමුන්ගේ ඇඟේ ගැසිය නොහැකිය. එය බරපතළව කතා කළයුත්තකි. ඒ ජයවීර අද දයාසිරිගේ ජාතික ක්‍රීඩා සභාවේත් සාමාජිකයෙකි. නිකං යන එන තැනක් වන ජාතික ක්‍රීඩා සභාව පැන්ෂන් ගිය මහල්ලන් නඩත්තු කරන ගුබ්බෑයමක් බවට පත්වී ඇත. මෙයම අභාග්‍යයකි. මීට පෙරද ඒවායේ ලැගගෙන දෙන කීය හෝ ගෙන පාන්පෙත්තක් කා සිටි පසුව වැඩක් නැතැයි කියා බැරිම තැන ඉවත් වූ අය අද නැවත ඒවාට රිංගා මහාකෙරුමන් ලෙස වැජඹෙති. මේ ක්‍රීඩාවේ අප දකින විකාරය කෝටි 5යි.
යාපනයේ ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට කෝටි පහක පමණ වියදම් වී ඇතැයි පැවසේ. දින තුන හතරක ෂෝර්ට්ඊට්ස් බිල පමණක් ලක්ෂ 50 ඉක්මවන බව සැලය. නවාතැන්, ආහාර මේ සියල්ලෙන් බොහෝ අයගේ හෙට දවස සරු වී ඇති බව සහතිකය.

ජාතික මහා ක්‍රීඩා උළෙලට නිර්මාණය කළ ඔලිම්පික් පහනට ගිය මුදල ලක්ෂ 35ක්යැ’යි ක්‍රීඩා අමාත්‍යාංශය ඇතුළතින්ම එන කතාබහය. මේවා ජාතික අපරාධය. මේ රටේ මුදල්ය. ජනතාව බදු පිට බදු ගෙවමින් ගෙවන මුදල්ය. එසේ නම් මේවා දෙස නිසි අවධානය යොමුකරනුයේ කවුද? ජනපතිට අගමැතිට ඇමැත්තන් කරන වැඩ සොයාබැලීමේ යාන්ත්‍රණයක් සකස් කළ නොහැකිද? ඒවාට එරෙහිව ක්‍රියාකරන ක්‍රමවේදයක් සකස් කළ නොහැකිද? ඒවා වන්නේ කවදාද? සාග් ක්‍රීඩා උළෙලට ක්‍රීඩා අමාත්‍යාංශය වියදම් කළ මුදල අතිවිශාලය. අදත් ඒවා ගැන වගේවගක් නැතිය. ඔලිම්පික් සවාරියත් එබඳුය. ජාතික මහා ක්‍රීඩා උළෙලත් එබඳුමය. මේ කිසිවක් පිළිබඳ සොයා බැලීමක් නැත. රටේ මුදල් ඕනෑපදම් අවභාවිත කළ හැකිය. මේවා වැරදි රාජපක්ෂ කාලයේ නම් විතරද?

දයාසිරි ජයසේකර ඇමතිවරයාගේ සෙල්ලමත් දැන් පිට්ටනි සෑදීමය. පිට්ටනි සෙල්ලමේ රහගුණ අලුත්ගමගේගෙන් අසා දැනගත හැකිය. එදා අලුත්ගමගේගේ කොන්ත්‍රාත්කරුවන් ඉවත් කරමින් දැන් ඒ තැන්වලට දයාසිරි ඇමතිවරයාගේ කොන්ත්‍රාත් කරුවන් ඇතුළත් වනු ඇත. කට්ටිය මාරු වුවද සෙල්ලම එකම වනු ඇත. අලුතින්ම එළිබහින පූල් හදන කතාවත් එබඳුමය. පිහිනුම් තටාක ඉදිකිරීමට විශාල මුදලක් අවශ්‍යය. මෙයත් අපූරු මුදල් මැවිල්ලකි. සල්ලි සියල්ල වතුරේ ගියායැ’යි හැමටම අත පිහිදාගත හැකිය.

ලංකාවේ අද පාසල් අතර බහුතරයකම පිහිනුම් තටාක ඇත. එහෙත් බිහිවන පිහිනුම් ක්‍රීඩකයෝ නොමැත. මේ කිසිවක් නොදන්නා ක්‍රීඩා ඇමති කයිවාරු ගසමින් පිට්ටනි මතම නැහෙමින් සිටී. ඒ නැහිල්ල ක්‍රීඩාවට කෙසේ වෙතත් ඒ ඒ අයට හොඳ වනු නියතය. දැන් හෝ ක්‍රීඩාව ගැන සිතා මඳක් නම්‍යශීලී වී ක්‍රීඩාව දියුණු කරන්නට අවංකව මැදිහත්වන්නැ’යි අපි ක්‍රීඩා ඇමතිවරයාට කියමු. එසේ වූ කල මාධ්‍ය ආයතන පස්සේ ගොස් හඬා වැටෙන්නට ඕනෑ නොවනු ඇතිය.