රාවය

වෙනුෂාගේ මරණයෙන් හොල්මන් වූ කුරුණෑගල

වෙනුෂාගේ මරණයෙන් හොල්මන් වූ කුරුණෑගල

 

මරණයකට යාහැකි දුර කොතෙක්දැ’යි  ප‍්‍රත්‍යක්ෂ වූයේ ඇගේ මළගම දා ය. කටකතා තටු ලද්දේ එදා ම ය. අප කුරුණෑගලට යනුයේ එකී කටකතා තටු ලබා ඉගිලී පැතිරී විසිරී යන වටාපිටාවකය. කොටින්ම ඇය වැළලී ගියද ඇය නිසා උපදින කතාවල කෙළවරක් නැති කොටය.

තොණ්ඩුව

වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය මියැදුණේ ගෙල වැල ලාගෙනය. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ එකොළහ වසරේ ඉගෙනුම ලැබූ ඇය ගෙල වැල ලා ගැනීමට හේතුව ලෙස මුලින් ප‍්‍රචාරය වූයේ ෆේස්බුක් (මුහුණුපොත* හුටපටයක් බවය. කොටින්ම මාධ්‍ය එය හැඳින්වූයේ ෆේස්බුක් දැරියක බිලිගනී යන තැනට ලඝුව ය. එහෙත් එය අබිබවා එකවර කරළියට එනුයේ වෙනුෂාගේ මරණයට හේතුව විද්‍යාලයේ විදුහල්පති බවය. එය කොතෙක් ප‍්‍රබලවීද යත් ඇය සියදිවි හානිකර ගැනීමේ තොණ්ඩුව කිසිදු වගවිභාගයකින් තොරව විදුහල්පතිගේ ගෙල මතට දැමීමට වෙනුෂාගේ පවුලේ අය ක‍්‍රියා කොට තිබිණි. වෙනුෂාගේ මරණ දැන්වීමේ අනිච්චාවත සංඛාරා යන්නට පහළින් ‘කුරුණෑගල සර් ජෝන් විද්‍යාලයේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න විසින් අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ’ යනුවෙන් දැක්වුණේ ඒ නිසාය.

අවසන් ලිපිය

වෙනුෂා සියදිවි හානිකර ගැනීමට පෙර ලියා තැබූ ලිපියෙහි සර් ජෝන් විද්‍යාලයේ විදුහල්පතිට නගන චෝදනාද ඇතුළත්ය. ලිපිය සීරුවට කියවන කල බොහෝ දෑ එළියට පනින්නේය. ප‍්‍රශ්නයක දෙපැත්තක් නොව පැති ගණනාවක් ඇති බව හෙළිවන්නේය. වෙනුෂාගේ පවුලේ අය එකී ලියුමෙහි දකිනුයේ විදුහල්පතිගේ වරදම පමණය. ලිපිය ෆොටෝ කොපි කොට බෙදාහරින සැලැස්මක් ක‍්‍රියාත්මක වනුයේ විදුහල්පති පෝරකයට යවන අදහසින්ය. එහෙත් එය හරහා සමාජය විවිධ දේ කියවන්නට පටන් ගත්තේය. විදුහල්පති තමාට දිගින් දිගටම චෝදනා නගන බව වෙනුෂා කියන විට ඇයගේ පියා ගෙවන හුදකලා ජීවිතය ගැනද ලියා තබන්නීය. ඇය තමාගේ ඇවෑමෙන් අසරණ වන පියාට යන කල දවස ගැන දුක්වන්නීය. එවිට ගම්මු ඉතිහාසයම පිරික්සමින් වෙනුෂාගේ පවුලේ ආගිය තැන් අවුස්සමින් කුණු රසයක් විඳින්නෝය. වෙනුෂාගේ ඉතිහාසයද මුමුණන්නට පටන් ගන්නා අතර ඇය ලිපියේ ලියන ෆොටෝ හතර ගැනද විමසිලිමත් වන්නෝය. ඇය එම පින්තූරවල සිටිනුයේ තම පෙම්වතායැ’යි සැලකිය හැකි තරුණයකු සමග වැළඳගෙනය. විදුහල්පතිගේ සාම්ප‍්‍රදායික ඔළුගෙඩිය ගිනිගෙන දැවෙනුයේ මේ පින්තූර දුටු විටය. සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ පමණක් නොව මෙරට  ඕනෑම පාසලක විදුහල්පතිවරයකු අඩු වැඩි වශයෙන් මෙවන් දසුනකදී හැසිරෙනුයේ ඔයාකාරයෙන්ම බව කිව හැකිය. එපමණක් නොව දෙමාපියන් වුව එවැනි ඡුායාරූපයක් හරි ෂෝක් කියා අනුමත කරනු ඇතැ’යි සිතිය නොහැක්කේ මේ අපොස සාමාන්‍ය පෙළ ළමයෙකු වුවත් මේ ඡුායාරූපවල ඉතිහාසය ඊටත් එහා ගිය හත වසර දක්වා දිවෙන නිසාය. ඇය මිතුරුව සිටි තරුණයා හෝ ඇගේ යහළුවන් මේ ඡුායාරූප ෆේස්බුක් එකට ඇතුළත් කොට ඇත. එය ඇය නොකළ බව ඇය සිය ලිපියෙහි සඳහන් කරයි. ඇය කළද නොකළද මේ සියල්ල ඇත්තේ ඇගේ මුහුණු පොතේය. ඒ තුළ පාසලේ ලාංඡුනය තියෙනවාද නැද්ද යන්න නොව වැදගත් මේවා බලන අය තේරුම් ගන්නා ආකාරයය. ඇගේ මුහුණු පොත බලන ගුරුවරුන් එය විදුහල්පතිටද පෙන්වන අතර එකී මුහුණු පොතට එකතු වී සිටින අනෙක් අයගේ තොරතුරුද සොයන්නේ එහි ඇතැම් ඒවා සෙවීමට තරම් කුහුලක් දනවන බැවිනි. ඒ අතර ව්‍යාජ නමක් වන මර්ලින් කෙනකු වෙනුෂාට එකතු වී ඇත්තේ තම නමට ඉදිරියෙන් විදෙස් නිරුවත් රූප දමාගෙනය. එය පෙරළුෑ සැණින් එළියට එන දෑය. අද මේවා මකා දමා ඇතිමුත් මේ සියල්ල මීට පෙර මිටි ගණන් මුද්‍රිත කොළවලට ගෙන හමාරය. එසේ නම් විදුහල්පතිට යකා ආවේශවීමේ හේතු  ඕනෑවටත් වැඩිය.

විදුහල්පතිගේ හැසිරීම

අප බොහෝ මාපියන් ළමුන් සමග කතාබහ කිරීමේදී හෙළිවූයේ විදුහල්පති සැරපරුෂ බවය. ඔහු විද්‍යාලයට පැමිණ වසර දෙකක් පමණය. මීට පෙර මේ පාසලේ විනය අන්තිම අඩියක තිබූ බවත් මොහුගේ දරදඬු ප‍්‍රතිපත්තීන් එය ශීඝ‍්‍ර ලෙස සමනය කළ බවත් සැමගේ එකම අදහසය. හමුදාකාරයෙකු, හමුදා නීති යනු අද සරල කතාවකි. මෙය වැඩිපුර පාසලට රිංගුවේ ආරක්ෂක ලේකම් පිරිනැමූ කර්නල් පදවි හරහාය. එහෙත් මේ විදුහල්පති එවැනි කර්නල් පදවි ලැබූවෙක් නොවේ. ගුරුවරයකු ලෙස ශිෂ්‍යභට බලකායට බැඳී ඒ හරහා තනතුරු ගත්තෙකි. එබැවින් විනය අංක එකට ලා සැලකීමේ පුරුද්දක් ඔහුටද තිබී ඇත. හමුදා විනයට අපද විරුද්ධය. එහෙත් විනය සමාජයට අත්‍යවශ්‍ය නොවේද? විනය පිරිහුණු සමාජයක් පෙරළා ආපස්සට බණිනුයේද ඔවුන් අකුරු කළ පාසල්වලටම නොවේද? කොතලාවල විද්‍යාලය ළමුන් පන්දහසකට අධිකව අකුරු කරන තැනකි. මිශ‍්‍ර පාසලකි. එවැනි ළමුන් පිරිසක් මෙල්ල කිරීමට විනය අවියක් කරගත යුතු නොවේද? ඒ අතර විදුහල්පති ළමුන්ට බැණ වැදීමේදී ‘වේසි’ යන වදන පවසන බව පැවසේ. මේ ගැහැනු දරුවාද සිය ලිපියෙහි ලියනුයේ එයය. එය කිසිවකු අනුමත නොකරන බව සැබෑය. විදුහල්පති කර්නල්ලා කරන්න වෙර දරන ආණ්ඩුව කළ යුතුව තිබුණේ මේ විදුහල්පතිවරුන්ට ළමුන්ගේ මානසිකත්වයන් තේරුම් ගැනීමට මනෝ සායන පැවැත්වීමය.

 විදුහල්පති ආ දෙවසරට විද්‍යාලයේ භෞතික සංවර්ධනය ඉහළට යන්නට පටන් ගෙන ඇත. වෙනුෂාගේ සිද්ධිය හරහා කුපිත වන විදුහල්පති සිතන්නට ඇත්තේ තමා ගොඩනගන සුපිරි පාසලට වෙනුෂාගේ සිද්ධිය ලොකු අවැඩක් බවය. වෙනුෂාගේ සිද්ධිය වන තෙක් මේ විදුහල්පති හොඳය. නියමය. දැන් මේ යකෙකි. ළමා රක්ෂණ අධිකාරියට පැමිණිලි නැති පාසල් මෙරට ඇත්දැ’යි සොයා බැලීම වෙනම වැඩකි. මේ කිසිවක් හරහා අප විදුහල්තිගේ ක‍්‍රියාව හරිමයැ’යි නොකියනමුත් මේ තත්ත්්වයන් වෙනස් කළයුත්තේ විදුහල්පතිවරුන් සාම්ප‍්‍රදායික තත්ත්වයෙන් මුදාගැනීමේ ක‍්‍රමවේද හරහාය යන තැන සිටගන්නෙමු. විදුහල්පති වෙනුෂා ඉදිරියේ හැසිරී ඇත්තේ කෙලෙසද යන්න අප නොදන්නා අතර ඇය ලියා ඇති ආකාරයට පරුෂ වචන කියා බැණවැදීමෙන් නම් දැරියක ලෙස ඇය අපහසුතාවට පත්වීම අමුතුවෙන් කිවයුතු නැත. එහෙත් ප‍්‍රශ්නය වී ඇත්තේ එයට වඩා සිය පියා පාසලට රැුගෙන එන්නටයැ’යි කැඳවුම බව ඇගේ ලිපියෙන් හෙළිවේ. එහිදී විදුහල්පති පියාටද දොස් නගතැ’යි බියක් ඇයට හටගෙන ඇත. එය ගෙල වැළලාගන්නට හේතුවූවායැ’යි සිතමු. එයට වගකිවයුත්තේ විදුහල්පතිද? දරුවකු ගැන දැනුම් දෙන්නට දෙමාපියන්ට එන්නට කීම වරදක්ද?

පවුලේ මැදිහත්වීම

වෙනුෂා සැබැවින්ම පාසල තුළ දැඩි පීඩවාට ලක්වූයේයැ’යි සිතමු. එවැනි පරිසරයක සිට නිවසට එන ඇයට නිවස සිරිවිමනක් නොවුණු බව පැහැදිලිය. ඒ බව ඇගේ ලිපිය පරිස්සමට කියවන කෙනකුට  ඕනෑවටත් වඩා ඒත්තු යන්නේය. ඇය පීඩාවට පත්වුණි නම් ඒ දුක බෙදාගන්නට කෙනෙක් නැතිය. ඇගේ ෆේස්බුක් පිටුව කියවන විට ඇය විරහවෙන් පෙළෙන තරමද මනාව වටහාගත හැකිය. ඇයට ආදර සම්බන්ධතා තිබුණු බවත් ඒවා කැඩුණු බවත් ෆේස්බුක් සටහන් පුරාවට ඇත. අන් තැනක ජීවිතය සෙවූ ඇයට නිවස තුළ තමා බලාපොරොත්තු වූ සැනසුම නොතිබුණු බව ඇගේ ලිපිය කියාපායි. සියල්ල ඇය කිවයුත්තේ පියාටය. ඇය සිය ලිපියෙහි ලියා ඇත්තේ ඇගේ මරණින් පසු පියා තනිවන දුක ගැනය. තාත්තාගේ කප්පරක් දුක් කන්දට ඇහුම්කන්දී ඇති බවද ලියා ඇත. ළමයකු පාසලේ ගතකරනුයේ දවසින් පැය හයකි. ඉතිරි කාලය නිවසේය. දරුවා යනු මාපියන්ට අයිති සම්පතකි. එය රැුකගැනීම මාපිය යුතුකමකි. එය මගහැරුණු කල තවකෙකු පිට පටවා අතපිහදා ගැනීම නොකළ යුත්තකි. ඇය පාසලේ වරදකට සියදිවි හානිකර ගත්තේ නම් ඇයට ඉතිරිව තිබී ඇති එකම විකල්පය පාසලය. ගෙදර ඇයට මගහැරී බොහෝ කල් වියයුතු නොවේද?

අවසානය

එවන් තැනකට නොයන ලෙස දරුවන් ශක්තිමත් කිරීම පවුල, පාසල, සමාජය යන සෑම තැනකින්ම විය යුතු යුතුකමකි. එයින් එකක් හෝ සියල්ල කඩා වැටුණද එහි වගකීම දැරිය යුත්තේ මේ සමාජයමය. වෙනුෂාගේ මරණින් පසු මතුවන එකිනෙක කතා හරහා තව තවත් ඝාතනයට ලක්වන්නේ වෙනුෂාම බව වෙනුෂාගේ මාපියන් වටහාගෙන නැත. එපමණක්ද නොව වෙනුෂා ඉලක්ක කොට විද්‍යාලයට එල්ල කරන ප‍්‍රකාශ හරහා විනාශ කරනුයේ එකී පාසලේ කීර්තිනාමය බව මේ කිසිවකු හිතන්නේ නැත. ළමුන් පන්දහසක් සිටින පාසලක ළමුන් ලක්ෂ ගණන් අකුරු කළ පාසලක ඉදිරියේදී ළමුන් ඉගෙනුම ලබන්නට සිටින පාසලකට වින කැටීම නොවැඩකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ගල් රෝලකට දරුවකු යටව මියගිය පසු ගොළුවූ මාධ්‍ය වෙනුෂා සියදිවි හානිකර ගත් පසු විදුහල්පති ඉදිරියට දමාගෙන සර් ජෝන් විද්‍යාලය කුඩු පට්ටම් කරති. මේ අවසානය හරහා පළිගන්නේ පාසලෙන් නොවේද?

පොහොර දැමීම

වෙනුෂාගේ මරණයට පොහොර දැමීම අරඹනුයේ ළමාරක්ෂණ අධිකාරියය. කාලෙන් කාලෙට තමන් සිටින බව රටට කියන්නට තතනන සභාපතිනිය එක පිම්මේ කුරුණෑගලට දුවනුයේ විදුහල්පතිට ඇණ ගසන්නටය. පාසලට රිංගන ඇය 1974 පටන් ගත් පාසලේ කවුරුත් සොයා නොගත් කළුවර කාමරයක්ද සොයාගන්නීය. ඒ හරහා අමුතුම මාදිලියේ ගෝනිබිල්ලකු මවාපාන්නීය. ළමාරක්ෂක අධිකාරිය යනු මෙරට ඇති හනුමා පන්නයේ ආයතනයක් බවට පත්ව ඇත. එහි සභාපතිනිය බොහෝ ප‍්‍රශ්න රියැලිටි ෂෝ බවට පත්කරනුයේ තමාගේ නිගමනය නිවැරදිම නිගමනය යන තැන පිහිටාය.  ඕනෑම දෙයක් ලද පමණින් කටේ දාගන්නා මාධ්‍ය නඩයක්ද ඇයට ඊට උපකාරී වනු දක්නට ලැබේ.

කළුවර කාමරය

ළමාරක්ෂක අධිකාරිය සොයාගන්නා කළුවර කාමරයේ පුවත මේ වනවිට මුළු කුරුණෑගල ළමුන් පන්දහසකගේත් මාපිය දස දහසකගේත් හදවත්වලට බිය කැන්දා ඇති නමුත් මේ කළුවර කාමරය යනු මීට පෙර විදුහල්පතිවරුන් නිල නිවස ලෙස පාවිච්චි කළ බංගලාවය. මෙහි අතීතයේ ලක්දාස් ද මැල් නමැති බිෂොප්වරයකු විසූ බවද, පසුව සර් ජෝන් කොතලාවල මහතාගේ නිවස ලෙසද, මිනිරන් ස්ටෝරුවක් ලෙසද භාවිත කළ බවද, ඔහු මෙම ඉඩම පිරිනැමීම හරහා ඉදිකළ පාසල කොතලාවල විද්‍යාලය වූ බවද, මෙම නිල නිවස විදුහල්පතිවරුන්ගේ නිල නිවස වූ බවද පැවසේ. චූදිත විදුහල්පතිද කලක් මෙහි වාසය කොට පසුව එහි කාමර කිහිපය පාසලේ අවශ්‍යතා සඳහා වෙන් කොට එක් කාමරයක් තමාගේ ප‍්‍රයෝජනයට තබාගෙන ඇත්තේ පාසලේ උදේ සිට සවස් වනතුරු රැුඳෙන බැවිනි. එහි පිහිටීම අනුව දහවලෙහි අඳුරු ස්වභාවයක් ගන්නා බව පැවසේ. මේ සියල්ල නොදැන ළමාරක්ෂක අධිකාරිය කළුවර කාමර භූතයා නිර්මාණය කළායැ’යි අපි නොකියමු. ළමාරක්ෂක අධිකාරිය මේ සිද්ධියේදී විදුහල්පති ඍජුවම වැරදියැ’යි අමුතු කතාවක් නිර්මාණය කරයි. විදුහල්පති බැණ වැදීම නිසා ඇය සියදිවි හානි කරගත්තේ නම්, ඇයට පසු මව බැණවැදීම නිසා සියදිවි හානි කරගත් දැරියගේ මවද අත්අඩංගුවට ගතයුතු නැද්ද? මේ නම් විකාරයකි. ළමාරක්ෂක අධිකාරිය සොයාගන්නා තුරු උප විදුහල්පතිද මේ කාමරය දැක නැත්නම් ඔහුද සිහිවිකල් වී සිට ඇති බව අපගේ හැඟීමය. මේ විදුහල්පති මේ පාසලට පැමිණ වසර දෙකකි. මේ කාමරය ඔහු හොරාට රැුගෙන ආවේද? මන්ද බුද්ධිකයන්ට කිවයුතු ප‍්‍රකාශ  ඕනෑතරම් ළමාරක්ෂක අධිකාරිය මෙරට ජනයා මෝඩයන් කිරීමට යොදා ගනියි. කුණු ගොඩවල් රසකර වළඳන මාධ්‍ය මේවා කඳු පිටින් මිනිස්සුන්ට කවති.

විදුහල්පති වැරදි බවත් ඔහු පන්නාදැමිය යුතු බවත් අපට ඇතැම්හු කීහ. එසේම වෙනුෂාගේ මාපියන් මීට වගකිවයුතු බවත් තවත් අය කීහ. මේ දෙපිරිසම නිසා පාසල විනාශවන්නේයැ’යි පාසල රැුකගැනීම මූලික දේ බව ඇතැමුන්ගේ අදහසය. විදුහල්පතිට චරිත සහතික දෙන්නට අපි ඉක්මන් නොවෙමු. එහෙත් ඔහු මේ මරණයට ඍජුව වගකිවයුතුයි කියන තැන අපි නොසිටිමු. එය වටහා ගැනීම සමාජයට භාරය. වෙනුෂාගේ නිවසේ පවුල් ආරාවුල් තිබුණාද නැද්ද අපට වැඩක් නැතිය. තම දියණිය අහිමි වූ පසු ඔවුන් පෙළෙන දුක, සමාජය ඔවුන්ට විසිකරන මල් මෙන්ම ගල් මුල්ද කොතෙක්ද යන ප‍්‍රමාණය දන්නේ ඔවුන්මය. වෙනුෂාගේ අඩුව සැබැවින් ඇත්තේ දැනෙනුයේ එකී මව්පියන්ටය. එබැවින් එකී දුක ඔවුහු කෙසේ හෝ කාට හෝ බැර කරති.

වෙනුෂා සිය ලිපියෙහි තමා රැුස්වීමේදී ඉදිරියට ගෙනා පුවතක් ලියා ඇත. එය අද ඊයේ එකක් නොව මීට වසරකට පෙර සිද්ධියකි. එහෙත් මේ අද ඊයේ වූ ඒවා සේ මාධ්‍ය තලූ මරති. ළමාරක්ෂක අධිකාරියේ සභාපති කියනුයේ දැනට තාවකාලිකව පාසලෙන් ඉවත් කොට කලාපයේ රැුඳී සිටින විදුහල්පති ගෙදර යැවිය යුතු බවය. සැමට නින්ද යනුයේ විදුහල්පති කුරුසියේ තබා ඇණ ගැසූ පසු බව පැහැදිලිය. පාසලකට විනය අත්‍යවශ්‍යය. විනය නොතකන තැන සමාජයට තොණ්ඩු  ඕනෑතරම් හෙට දවසේ  ඕනෑවනු ඇත. එබැවින් මේ ප‍්‍රශ්නය දෙස මනා බුද්ධියෙන් කටයුතු කොට තීන්දු ගැනීම බලධාරීන්ගේ වගකීමකි.

සාධාරණයක් වෙන්න  ඕනෑ – එම්.ඒ. ශිරාණි, වෙනුෂාගේ මව

වෙනුෂාගේ මරණයට විදුහල්පති වගකියන්න  ඕනෑ කියලා ඔබ කියන්නේ ඇයි?

මේ විදුහල්පති ඉතාම නරක විදියට අපේ දරුවාට සලකලා තියෙන්්නේ. මේ ළමයගෙන් කාලෙක ඉඳලා පළිගන්නවා. බොරු චෝදනා නගලා පළිගන්නවා. මේ ළමයා ලස්සනයි. හැමෝම ඉරිසියා කරනවා. විදුහල්පතිට වෙන වැඩක් නැහැ වගේ මෙයා පස්සෙම පන්නලා. මේ ළමයාට ගැහැව්වා කියලාත් දැන් අපිට ආරංචියි. අනෙක කළුවර කාමරයටත් ගෙනිහිල්ලා තියෙනවාලූ. ඒ අවස්ථාවල මොනවාහරි වෙලා ඒවා කියාගන්න බැරිව මේ ළමයා මෙහෙම කරගත්තාද දන්නෙත් නැහැ කියලා අපට හිතෙනවා.

වෛද්‍ය පරීක්ෂණවලින් දරුවාට මුකුත් වෙලා නැහැ කියලා ඔප්පු වුණා නේද?

එහෙම්ම නොවුණාට වෙන කරදර වුණාද කවුද දන්නේ? ඔයගොල්ලොත් දැක්කා නේද කළුවර කාමරයක් තියෙනවා කියලා ළමාරක්ෂක අධිකාරිය හොයාගෙන තියෙනවා. ඒකේ මොනවා වුණාද කවුද දන්නේ?

ඇය ලිපියේ එහෙම දෙයක් ලියලා නැහැ නේද?

එහෙම ලියලා නැහැ. දැන්නේ ඒවා ආරංචි වෙන්නේ. ළමයාට ගහලාත් තියෙනවා. ගොඩක් ළමයින්ට ගහලා කළුවර කාමරයට ගෙනිහිල්ලා තියෙනවා. ඒ සාක්ෂි අද  ඕනෑතරම් තියෙනවා
.
මීට පෙර මේ ළමයාට චෝදනා තිබිලා නැද්ද?

නැහැ.

ඔබ විදුහල්පතිව කවදාවත් මුණගැහිලා නැද්ද?

දවසක් දුව පාසල් කට් කරලා චිත‍්‍රපටියක් බලන්න ගියා කියලා ගෙන්නුවා. එදා මේ ළමයා ගෙදර ඉඳලා චිත‍්‍රපටිය බලන්න ගියේ. නවය පන්තියේදී. එදා අපිටත් හොඳටම බැන්නා. මේ මිනිහා කතා කරන්න දන්නේ නැහැ. කුණුහරුපෙන් බනින්නේ. මව්පියන්ටත් බනිනවා. ආමි නීති තියෙන්නේ.

ළමයගේ ලිපියේ පවුල සම්බන්ධයෙන් කලකිරුණු බවක් පේනවා නේද?

ඒ බොරු. අපිට විරුද්ධව ඉරිසියා කට්ටිය කියන කතා. අපේ එහෙම ප‍්‍රශ්න නැහැ.

දැන් අනෙක් ළමයා පාසල් යනවාද?

නැහැ. දවස් දෙකක් ගියා. ළමයි විහිළු කරනවා කියලා යන්න බෑ කියනවා. තදින් මුකුත් කියන්නත් බෑ. එක සිද්ධියක් වෙලා තියෙද්දී. අපි ළමයිට තදින් කතා කරන්නේවත් නැහැ.

වෙනුෂා සියදිවි නසාගත්තේ ඇයි කියලාද ඔබ හිතන්නේ?

විදුහල්පති බැන්න හින්දා. මේ ළමයා හරිම සංවේදියි. පුංචි දේටත් අඬනවා. මේ ළමයාට මේ බැණපු එක දරාගන්න බැරිවුණා. ඒකයි මේ දේ කරගත්තේ.

දැන් ඔබ බලාපොරොත්තුවන්නේ මොකක්ද?

මේ ළමයාව මරාගත්තේ විදුහල්පති. එහෙම නම් මේ මිනිහට දඬුවමක් දෙන්න  ඕනෑ. මේ විදුහල්පති තාවකාලිකව පාසලින් මාරු කරලා කලාප කාර්යාලයට දාලා තියෙනවා. මේ විදුහල්පතිවරයා කළුවර කාමරයක් දාගෙන කරපුවා  ඕනෑතරම් තියෙනවා. එහෙමනම් මොහුට දඬුවම් දෙන්න  ඕනෑ. අපිට සාධාරණයක් වෙන්න  ඕනෑ කියන තැන අපි ඉන්නවා.

කළුවර කාමරයේ කතාව බොරු – දයාසිරි ජයසේකර, වයඹ මහ ඇමති

ඔය ප‍්‍රශ්නයේ පැති දෙකක් තියෙනවා. මව්පියෝ වුණාම දැනගන්න  ඕනෑ දරුවන්ව මීට වඩා රැුකගන්න. ඒ වගේම විදුහල්පතිවරයාත් දරුවන්ට සැර පරුෂ වෙනකොට ළමයින්ගේ මානසිකත්වය තේරුම් ගෙන කටයුතු කිරීම වැදගත්. ඒ නිසා බොරුවට එකිනෙකා පිට වරද පටලවලා හරියන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිද්ධ වෙනවා. ඉතා ඉක්මනින් තීන්දුවක් ලැබෙයි.

කළුවර කාමරයේ කතාව ගැන යමක් කියන්න  ඕනෑ. මහ ඇමතිවරයා වගේම වයඹ අධ්‍යාපන ඇමතිවරයා විදිහට මම ගියා ඔය කියන කළුවර කාමරය බලන්න. එහෙම කිසිම කළුවර කාමරයක් ඔය පාසලේ නැහැ. මේ වගේ අභූත චෝදනා නිසා මව්පියෝ බයවෙනවා. මේ විදුහල්පතිවරයා හෘදය රෝගියෙක්. හවස් වෙනකම් පාසලේ ඉන්න නිසා මහන්සියට ඇලවෙන්න ඇඳක් එක කාමරයක තියෙනවා. ඒක මේ රහසිගත කාමරයක් නෙමෙයි. මෙට්ටයක් කිව්වට නිකං කුෂන් කෑල්ලක් තියෙන්නේ.

මේ සිද්ධියේදී ඇතැම් මාධ්‍ය ඉතාම නරක විදිහට හැසිරෙනවා විතරක් නෙමෙයි ප‍්‍රශ්නය වවාගෙන කනවා කියලත් කියන්න  ඕනෑ.