නීතිය වල්වැදුණ රටක පොලිස් අත්අඩංගුවේ ඝාතන

 

මේ දිනවල ජිනීවා හිදී මානව අයිතිවාසිකම් උල්ලං ඝනයන් ගැන චෝදනාවන්ට ලංකාව ලක්ව සිටින බව සියල්ලෝ දනිති. එහිදී ලංකාව සම්බන්ධයෙන් නැගෙන එක් බලවත් චෝදනාවක් වන්නේ යුද්ධය අවසන්වීමෙන් පසු රට තුළ නීතියේ පාලනය පවත්වාගන්නට ආණ්ඩුව අසමත්වීමයි. නීතියේ පාලනය යනු සමාජයක් නීතියට අනුව පාලනය වන බවයි. හෙවත් නීතිය සමාන ලෙස ක‍්‍රියාවේ යෙදවෙන බවයි. අවාසනාවකට පසුගිය අවුරුදු හත අට තුළ ලංකාවේ නීතියේ පාලනය බලවත් ඛාදනයකට ලක්වූ බව හැම අතින්ම පෙනෙන්නට තිබේ. නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක නොකෙරෙනවා පමණක් නොව, එය ක‍්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ හිතවතුනට එක් විදියකටත් එසේ නොවන අයට වෙනත් විදියකටත්ය. එවැනි අවස්ථාවකදී රටේ පවතින්නේ නීතිය නොව අවනීතියයි.

පසුගිය දිනෙක කොළඹ මහාමාර්ගයක ක‍්‍රීඩා කරමින් සිටි තරුණ පිරිසක් පොලිසිය විසින් අල්ලාගෙන අධිකරණයට ඉදිරිපත්කරන ලදුව, මහේස්ත‍්‍රාත්වරයා මහජන පීඩාව ගැන ඔවුන්ට දැඩි ලෙස අවවාද කොට මුදාහැරියේය. මේ සිදුවීම පදනම්කොටගෙන ජනප‍්‍රිය සිංහල ජාතික පුවත්පතක කර්තෘවරයකු, ‘ඒ තරුණයන් කළේ කෙතරම් වරදක්ද, ඉන් මහජනයාට වන කරදරය කෙතරම් විශාලදැ’යි විස්තර කරමින් කතුවැකියක්ද ලියා තිබුණේය. එහෙත්, ඒ රටේම ජනාධිපතිවරයාගේ පුත‍්‍රයාගේ හා සහචරයන්ගේ වුවමනාවට වසරකට වරක් දින ගණනක් කොළඹ හදවතේ මංමාවත් වසාදමමින් වැලිකොට්ට ගොඩගසා කරන මෝටර් රථ ධාවන තරග, කෙතරම් මහජන පීඩාවක්දැ’යි විමසන්නට අධිකරණයක් මේ රටේ නැත. ඒ ගැන පැහැදිලි කරමින් කතුවැකි ලියන කර්තෘවරුන්ද මේ රටේ නැත.

ඉහළින්ම නීතිය කැඞීම

රටේ නීතිය කඩන්නේ ඉහළම පුද්ගලයන් විසිනි. ජනාධිපතිවරයා සිය වැඩිමහල් සහෝදරයාගේ පුත‍්‍රයාට කතරගම දේවාලයේ බස්නායක නිලමේ නිලය දරමින්ම ප‍්‍රධාන ඇමති ධුරයක්ද දැරීමට හැකිවන ලෙස රටේ නීතිය වෙනස් කරද්දී, ඔහුගේ සහෝදර ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම්වරයා රටේ නීති මහදවාලේ උල්ලංඝනය කරමින් මැතිවරණ වේදිකාවට ගොඩවෙයි. කොළඹ මංමාවත්වල ජීවත්වන ජනතාව මුළුමනින්ම රටේ නීතිය උල්ලංඝනය කරමින් සිය ගෙවල්දොරවලින් පලවාහරියි. රටේ ඉහළම උදවිය කඩන නීතිය දිහා බලාගෙන ආණ්ඩු කාරවරියක් ප‍්‍රසිද්ධියේම තම දේශපාලන ගැතිකම මාධ්‍යවලට කියයි. ඒ අතර රජයේ විදුහල්පතිවරයෙක් සිය විදුහලේ බස්රථය දේශපාලකයන්ගේ මැති වරණ ප‍්‍රචාරක වැඩ වලට ලබාදෙයි. ලොක්කන් හිටගෙන කරන දේ සොක්කන් දුවමින් කරන තත්ත්වයක් උද්ගතවී ඇති වර්තමාන ලංකාවේ නීතියේ පාලනය යනු පුදුමාකාර විහිළුවකි. එහෙත් අතළොස්සක් දෙනා හැර ඒ ගැන කිසිදු කම්පාවක් සමාජයේ ඇති බවක් පෙනෙන්නේ නැත.

පොලිසිය හා අධිකරණය

මේ තත්ත්වය මත නීතිය රැුකීමට ඇති ආයතනද, යුක්තිය පසිඳලීමට ඇති ආයතනද වැඩ කරන්නේ ලොක්කන් දෙසම බලාගෙන ඒ අනුව වීම පුදුමයක් නොවේ. කෙටියෙන් කීවොත් පොලිසියත් අධිකරණයත් එසේය.

පොලිසිය විසින් හික්කඩුවේදී අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරමින් සිටි පාතාල සාමාජිකයකුයැ’යි කියන අරුම ගමගේ සුගත් චමින්ද නොහොත් පාලංකඩ හීනා නම් පුද්ගලයකු සුපුරුදු පරිදි සඟවා ඇති ආයුධ පෙන්වන්නට පොලිසිය සමග ගොස්, වෙඩිතැබීමට තැත්කිරීමේදී පෙරළා පොලිසිය සිදුකළ වෙඩි තැබීමෙන් රත්නපුර ප‍්‍රදේශයේදී 11 වැනිදා අලූයම ජීවිතක්ෂයට පත්විය. මැණික් ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගැනුණි. සැකකරු ඝාතනය වීම පුවත්පත්වල ප‍්‍රධාන සිරස්තලය බවට පත්ව තිබුණු අතර එම ප‍්‍රවෘත්තිවල සම්පූර්ණ අන්තර්ගතය වූයේ ඉහත කී ලෙස පොලිසිය මාධ්‍යවලට කී කතාවයි. ආයුධ සඟවා තිබූ ස්ථානයට ගෙනගිය විට සැකකරුගේ මාංචු ගැලවූ බවත්, එවැනි අවස්ථාවකදී පුද්ගලික ආරක්‍ෂාවේ අයිතිය නමැති නීතිමය සිද්ධාන්තය පාවිච්චි කිරීමට සිදුවන බවත්, එසේ නැත්නම් පොලිස් නිලධාරීන්ට මියයෑමට සිදුවන බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කියා ඇති බව බීබීසීයද වාර්තා කළේය. පසුගිය කාලය මුළුල්ලේම තම භාරයේ සිටින සැකකරුවන් ඝාතනය වීම ගැන පොලිසිය කරන මේ පැහැදිලිකිරීම ඇත්තක්යැ’යි අඩුගණනේ එම පොලිස් නිලධාරීන්වත් විශ්වාස නොකරන බව ප‍්‍රසිද්ධ රහසකි. එහෙත්, ලංකාවේ කිසිම ප‍්‍රධාන පෙළේ මාධ්‍යයක් මේ පැහැදිලි කිරීමේ ඇති විහිළුසහගත භාවය ගැන වචනයක්වත් ලියන්නේ කියන්නේ නැත. ඒ වෙනුවට එවැනි සැකකරුවන් එලෙස ඝාතනය වීමට ඇති සුදුසුකම ගැන ව්‍යංගයෙන් ඔවුහු සිය පාඨකයන්ට, ග‍්‍රාහකයන්ට පැහැදිලි කරති.

ලංකාව නීතියේ පාලනය නැති රටක් බවට ලෝකය ඉදිරියේ පාච්චල්වීමට බලවත් දායකත්වයක් ලබාදෙන පොලිසියේ ව්‍යාපෘතියකි මේ. තම අත්අඩංගුවේ සිටින සැකකරුවකුගේ ආරක්‍ෂාවත්, ඔහු නීතිය ඉදිරියට පමුණුවා සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය භුක්තිවිඳින්නට ඔහුට ඉඩහැරීමත් පිළිබඳ පූර්ණ වගකීම රජය හෙවත් පොලිසිය භාරයේ තිබියදී, ඒ භාරය තුළම වෙඩිවැදී මියයන්නට සැකකරුවන්ට සිදුවීම විසින් කියාපාන්නේ ඒ රටේ නීතිය වල්වැදී ඇති බවය. රටේ නීතිය වෙනුවට කැලේ නීතියක් ක‍්‍රියාත්මක වන බවය.

අධිකරණයේ අපරාධ සහාය

තමන් වෙඩිතබන ලද්දේ ආත්මාරක්‍ෂාවටයැ’යි මෙහිදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා කියන නමුත්, වෙඩිතැබූයේ ආත්මා රක්‍ෂාවටයැ’යිද එනිසා එය සාධාරණ වෙඩි තැබීමක්යැ’යිද කියන්නට නීතියක් තිබෙන රටක නම් ඔහු වැනි ප‍්‍රකාශකයකුට හැකියාවක් නැත. ඒ තර්කය අනුව බලන කල, මංකොල්ල කෑමට පැමිණෙන පාතාලයන් වුවද අන් අයට වෙඩි තබන්නේ තමන්ගේ ආත්මාරක්‍ෂාවට නිසා ඔවුන්ටද වෙඩි තැබීමට සාධාරණ අයිතියක් ඇති බව පිළිගත යුතුය. එහෙත් අප එසේ නොපිළිගන්නේ ඇයි?

නීතිය පවතින රටක නම්, ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර ඇතිද යන්න තීරණය කළ යුතු වන්නේ අධිකරණය විසිනි. ඒ ද නඩු විභාගයකදීය. සිදුවීම පිළිබඳ සාක්‍ෂි කැඳවීමෙන් පසුය. එහෙත් දැන් සුලබව කරන්නේ, සැකකරුවකු මරා දැමූ පසු ඒ ස්ථානයට යන මහේස්ත‍්‍රාත්වරයකු පොලිසිය කියන කරුණු සලකා බලා, ‘ඔව්. එය ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චි කර කරන ලද සාධාරණ මිනිස් ඝාතනයකියැ’යි සිය නිල මුද්‍රාව තබා සාධාරණය කිරීමය. මිනිස් ඝාතනයක් සිදුවූ තැනකට මහේස්ත‍්‍රාත් වරයකු යන්නේ මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට මිස නඩු විභාගයකට නොවේ. කෙටියෙන් කීවොත්, එහිදී කළ යුත්තේ ‘මරණයට වගකිවයුත්තා’ නොව ‘මරණයට හේතුව’ සොයාගැනීමය. ඒ සඳහා පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට අධිකරණ වෛද්‍ය නිලධාරියකුට නියම කිරීමත්, මරණය සම්බන්ධයෙන් වගකිව යුතුයැ’යි සැකකරන කිසිවකු ඇත්නම් නීතිය ඉදිරියට පමුණුවන ලෙස පොලිසියට නියම කිරීමත් හැර වෙනත් තීරණ ගැනීමට රටේ සාමාන්‍ය නීතිය අනුව එවැනි ස්ථානයකට යන මහේස්ත‍්‍රාත්වරයකුට (හෝ හදිසි මරණ පරීක්‍ෂක වරයකුට) නොහැකිය. ඝාතනය කොට ඇත්තේ ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චිකොටද යන්න තීරණය කිරීමේ අයිතියක් එවැනි අයෙකුට තිබිය නොහැකිය.

ආත්මාරක්‍ෂාවේ අයිතිය

ආත්මාරක්‍ෂාවේ අයිතිය යන්න වැදගත් එමෙන්ම සංකීර්ණ නීතිමය සිද්ධාන්තයකි. තමන්ගේ දේපලවලට හෝ ශරීරයට හානියක් කරන්නට එන පුද්ගලයකුට, ඔහු කරන්නට එන ‘හානියේ තරමට’ ප‍්‍රතිබලයක් යොදා ආරක්‍ෂාවීමට ඇති අයිතිය ඉන් අදහස් වෙයි. ඝාතනයකදී ආත්මාරක්‍ෂාවේ අයිතිය සාධාරණ ලෙස පාවිච්චි කරඇත්දැ’යි යන්න ගැන තීන්දුවක් කළ යුත්තේ නඩු විභාගයකදීය. එහෙත්, අවාසනාවකට මෙන් අපේ රටේ මහේස්ත‍්‍රාත්වරුද එවැනි ඝාතනයක් සිදුවූ තැනකට ගොස්, ඝාතනය ආත්මාරක්‍ෂාවේ අයිතිය පාවිච්චිකොට කරන ලද්දක් බවට වහාම තීරණය කරති. මේ හුරුපුරුද්ද කවර නීතියක් යටතේ පවතින්නේදැ’යි පැහැදිලි නැත. ඇරත්, මහේස්ත‍්‍රාත් වරයකු එම සිදුවීම වූ ස්ථානයට යනවිට සිටන්නේත්, සාක්‍ෂි ඉදිරිපත්කරන්නේත් පොලිසිය විසින් පමණකි. මේ ඝාතනවලට සිද්ධිය ඇසින් දුටු සාක්‍ෂිකරුවෝ නැත. එක්කෝ ඒ ඝාතන සිදුවන්නේ මහ ? ජාමයේය. නැතිනම් අලූයමය. නැතිනම් පාලූ පෙදෙසකය. ඒත් නැත්නම් පොලිස් වාහනයක් තුළය. සිටින්නේ මියගිය පුද්ගලයාත්, පොලිසියත් පමණෙකි. මුළු වාසිය පොලිසිය පැත්තේය. සැකකරු ගැන පොලිසියත්, මාධ්‍යත් විසින් ආරෝපනය කරනු ලබන දුෂ්ටභාවය නිසා ඔහුගේ ඥාතීහුද තමන්ගේ පුද්ගලයා වෙනුවෙන් නීතිය ඉදිරියට පැමිණ දුරදිග යන හබයක පැටලෙන්නට සූදානමක් නැත. අවසානයේදී සාක්‍ෂියක් නැති ඝාතනයකට සැකකරු ගොදුරු වන අතර, පොලිසිය ආත්මාරක්‍ෂාවේ අයිතිය ගැන කියා නිදොස් වෙයි.

මෙවැනි අසීරු මොහොතකදී සාධාරණය හා යුක්තිය වෙනුවෙන් පෙනීසිටීමේ, තීරණ ගැනීමේ හා කටයුතු කිරීමේ බර ඇත්තේ අධිකරණය වෙතය. ලංකාවේ අධිකරණයට එවැනි යුක්තිසහගත පිටකොඳු අවශ්‍ය කොට තිබේ.

එහෙත්, මේ වැනි සිදුවීම් ලංකාවේ පොලිසිය, අධිකරණය හෝ සමාජය බැ?රුම්ව නොසැලකුවාට, නීතියේ පාලනය හා රාජ්‍ය පාලනයේ ශිෂ්ටභාවය පිළිගන්නා ජාත්‍යන්තර සමාජයක එවැනි රටකට හිමිවන්නේ අවලාද, අවමාන හා ගැරහීම් මිස ගෞරවනීය තත්ත්වයක් නොවේ. මේ දිනවල ජිනීවාහිදී ලංකාව අත්විඳිමින් සිටින්නේ එයයි.