රාවය

පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

විහාරස්ථ කාර්ය සාධක සමිති ගැන ඔබ දන්නෙහිද? සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් ඔබ බෞද්ධ විහාරස්ථානවල ඇති         දායක සභා ගැන නම් දන්නවා විය හැකිය. අප බොහෝ දෙනා නොදන්නවා වූවාට බෞද්ධ විහාරස්ථානවල විහාරස්ථ කාර්ය සාධක සමිති නම් වූ සමිති වර්ගයක් තිබෙන්නේය. දායක සභාවේ මෙන්ම මෙම සමිතිවලද ප‍්‍රධානියා වන්නේ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේය.

මේ විහාරස්ථ කාර්ය සාධක සමිතිවලට අදාළව පසුගිය සතියේ පළවූ ප‍්‍රවෘත්තියක් මගින් අප හෙළිදරව්වක් කරනු ලැබීය. ඒ අනුව අප ප‍්‍රවෘත්තියෙන් හෙළිදරව් කරනු ලැබූයේ විහාරස්ථ කාර්ය සාධක සමිති නමින් රට තුළට පාවිච්චි කරන ලද වාහන (වෑන්රථ) ගෙන්වනු ලබන බව හා ඒ තුළ ජාවාරමක් සිදුවෙමින් පවතින බවය.

මේ ජාවාරම අවබෝධ කරගැනීම සඳහා මුලින්ම රට තුළට වාහන ගෙන්වන හා ගෙන්වීමට හැකි සාමාන්‍ය පටිපාටිය හඳුනාගත යුතුය. නියමිත තීරු ගාස්තු, රේගු ගාස්තු හා අනෙකුත් බදු ගෙවා අලූත්ම කාර් හෝ වසර දෙකක් දක්වා පැරණි කාර්  ඕනෑම අයකුට රටට ගෙන්විය හැකිය. ඉහත සඳහන් කළ ආකාරයටම අලූත්ම වෑන් රථ හෝ වසර හතරක් දක්වා පාවිච්චි කරන ලද වෑන් රථ රටට ගෙන්විය හැකිය. බස්රථ සම්බන්ධයෙන්ද එහි වෙනසක් නැති අතර අලූත්ම බස්රථ හෝ වසර පහක් දක්වා පාවිච්චි කරන ලද බස්රථ ඒ අනුව රටට ගෙන්විය හැකිය. මීට අමතරව බලපත‍්‍ර යටතේ (Permit) වාහන ගෙන්වන අයටද අලූත්ම වාහනයක් හෝ වසරක කාලයක් දක්වා භාවිත කරන ලද වාහනයක් රටට ගෙන්විය හැකිය.

ඉහතින් විස්තර කරන ලද්දේ වාහන රටට ගෙන්වීමේ සාමාන්‍ය ක‍්‍රමවේදයය. මේ සාමාන්‍ය ක‍්‍රමවේදය යටතේ පාවිච්චි කරන ලද වාහන ගෙන්වීම සඳහා සීමා පනවා ඇත්තේ පාරිසරික කරුණු ගැන සලකා බලාය. වැඩි වසර ගණනක් පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමෙන් පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම එහි අරමුණය. වාහන ගෙන්වීමේ සාමාන්‍ය ක‍්‍රමවේදය යටතේ පාරිසරික කරුණු ගැන සිතා කරන ලද සීමාකිරීම් එසේ වුවද ආනයන අපනයන පාලකවරයා ලබාදෙන බලපත‍්‍ර (Licence) යටතේ පාරිසරික සීමා ඉක්මවා යමින් වාහන ගෙන්වීමට හැකිය. රටේ පුරවැසියන් සම්බන්ධයෙන් ආනයන අපනයන පාලකවරයා විසින් මේ ආකාරයට ලබාදෙන බලපත‍්‍ර දෙකක් වර්ග දෙකක් තිබෙන අතර ඉන් එකක් වන්නේ විදේශයන්හි සේවය කර ශ‍්‍රී ලංකාවට පැමිණීමේදී ඔවුන් භාවිත කරන ලද වාහනය ගෙන්වීමට ලබාදෙන බලපත‍්‍රයය. අනෙක් බලපත‍්‍රය වන්නේ මෙම ලිපියට නිමිත්ත වී ඇති විහාරස්ථ කාර්ය සාධක සමිතිවලට වාහන ගෙන්වීම සඳහා ලබාදෙන බලපත‍්‍රයය.

විහාරස්ථ කාර්ය සාධක සමිතිවලට වාහන ගෙන්වීමට බලපත‍්‍ර ලබාදීමේදී වසර දහයක කාලයක් සඳහා පාවිච්චි කරන ලද වාහන ගෙන්වීමේ හැකියාව ඇති අතර එමෙන්ම අදාළ වාහනය යම් කිසිවකු විසින් එම සමිතියට පරිත්‍යාග කරන්නක් විය යුතුය. එසේම වසර පහක කාලයක් යනතෙක් අදාළ වාහනය අන්සතු කිරීමද තහනම්ය. කොන්දේසි එසේ වුවද සාමාන්‍ය පටිපාටිය අනුව ගෙන්වන වාහන සඳහා මෙන්ම ආනයන අපනයන පාලකවරයාගේ බලපත‍්‍ර සහිතව ගෙන්වන වාහන සඳහාද තීරු බදු රේගු බදු ඇතුළු අනෙකුත් බදු ගෙවීම අනිවාර්යය. පෙර සඳහන් කළාක් මෙන් බදු ගෙවීමේ නිදහස හෝ සහනයන් ලැබෙන්නේ මන්ත‍්‍රීවරුන්ට හෝ රජයේ ඉහළ නිලධාරීන්ට ලැබෙන වාහන බලපත‍්‍ර (Permit) සඳහා පමණය.

ඒ අනුව යමකුට ප‍්‍රශ්නයක් මතුවිය හැක්කේ නියමිත බදු ගෙවා වාහන ගෙන්වන්නේ නම් විහාරස්ථ කාර්ය සාධක සමිති සඳහා වාහන ගෙන්වීමේදී ජාවාරමක් සිදුවන්නේ කෙසේද යන්නය. මේ ජාවාරම සිදුවන්නේ නීතියෙන් ඉඩදී ඇති සාමාන්‍ය කාලසීමාවට වඩා පැරණි වාහන විහාරස්ථාන මුවාවෙන් ව්‍යාපාරිකයන් ගෙන්වීම හරහාය.

වාහනයේ පාවිච්චි කරන ලද කාලසීමාව වැඩිවන්නට වැඩිවන්නට ඒ සඳහා අයකරනු ලබන තීරු ගාස්තු ඇතුළු බදු ප‍්‍රමාණය මූල්‍යමය වශයෙන් (ප‍්‍රතිශතයක් වශයෙන් නොව) අඩුවන අතර අලූත්ම අලූත් වාහනයක් සඳහා හෝ සාමාන්‍ය ක‍්‍රමය යටතේ සීමාකරන ලද වසර ගණනට යටත්ව ගෙන්වන වාහන සඳහා හෝ අයකරනු ලබන බදු මුදලට වඩා අඩු බදු මුදලක් මෙම වාහන සඳහා ගෙවීමට සිදුවේ. මූල්‍යමය කාරණය එසේ වෙද්දී අනෙක් කාරණය වන්නේ වසර පහකට වඩා පාවිච්චි කරන ලද කිසිදු වාහනයක් රටට ගෙන්වීමට ඉඩ ලබා නොදීමේ සීමාවෙන් මෙම විහාරස්ථාන බලපත‍්‍ර හරහා රිංගා යෑමට ව්‍යාපාරිකයන් සමත්වීමය.

වාහනයේ වටිනාකම ගණනය කිරීමේදී අවුරුද්දක කාලයකට වඩා අඩු වාහන සඳහා වාහනයේ වටිනාකම, වාහන විකුණුම් නියෝජිතයාගේ මිල වන 100%ක් ලෙස ගණනය කරනු ලබන අතර එම වටිනාකම අනුව බදු අයකිරීම සිදුකරනු ලැබේ. එහෙත් ඊට වඩා වැඩි වසර ගණනක් පැරණි පාවිච්චි කරන ලද වාහන සඳහා වූ වටිනාකම ක‍්‍රමානුකූලව අඩුවන අතර අවුරුදු 1ත් 2ත් අතර කාලය සඳහා එම වටිනාකම 90%ක් වශයෙන්ද, අවුරුදු 2ත් 3ත් අතර කාලය සඳහා 80%ක් වශයෙන්ද, අවුරුදු 3ත් 4ත් අතර කාලය සඳහා 75%ක් වශයෙන්ද, අවුරුදු 4ත් 5ත් අතර කාලය සඳහා 65%ක් වශයෙන්ද, අවුරුදු 5ත් 6ත් අතර කාලය සඳහා 60%ක් වශයෙන්ද, අවුරුදු 6ත් 7ත් අතර කාලය සඳහා 55%ක් වශයෙන්ද, අවුරුදු 7ත් 8ත් අතර කාලය සඳහා 50%ක් වශයෙන්ද, අවුරුදු 8ත් 9ත් අතර කාලය සඳහා 45%ක් වශයෙන්ද, අවුරුදු 9ත් 10ත් අතර කාලය සඳහා 40%ක් වශයෙන්ද ගණනය කරනු ලබයි.

කෙසේ වුවද විහාරස්ථ කාර්ය සාධක සමිතිය නමින් ගෙන්වන වසර දහයක් පමණ පැරණි වෑන්රථ සඳහා වුවද වාහනයේ 40%ක වටිනාකම අනුව බදු ගණනය කළද එය රුපියල් ලක්ෂ 20ක පමණ බදු මුදලක් වශයෙන් ගණනය වන අතර ප‍්‍රධානම ප‍්‍රශ්නය මතුවන්නේ පන්සලේ එදිනෙදා කටයුතු කිරීමටවත් මුදල් නොමැති පන්සල් මේ සා විශාල මුදලක් ගෙවමින් එම වාහන මුදාගන්නේ කෙසේද යන්නය. අනෙක් කරුණ අප‍්‍රකට මේ බොහෝ පන්සල් සඳහා වෑන්රථ පරිත්‍යාග කරනු ලබන පරිත්‍යාගශීලීන් විදේශ රටවල ඉන්නවාද යන්නය.
ඒ සඳහා ඇති එක් උදාහරණයක් සලකා බැලූවහොත් මෙසේය. චැසි අංක KDH 200-0036633 යටතේ දිවුලපිටිය ශ‍්‍රී බෝමළු විහාරස්ථ කාර්ය සාධක සමිතියට ගෙන්වා ඇති වෑන් රථය PE-5201 යටතේ මේ වනවිට ලියාපදිංචි කර ඇත්තේ කොළඹ 15, මට්ටක්කුලියේ ශ‍්‍රී වික‍්‍රම මාවතේ ඇති සෙන්මේරිස් සර්විස් ස්ටේෂන්’ නමටය. එසේම තලවතුගොඩ පන්නිපිටිය පාරේ ශ‍්‍රී ගංගාරාම භාවනා මධ්‍යස්ථානයේ සංවර්ධන සමිතිය නමට හා ඌව පැලවත්ත හොරබොක්ක ඔවගිරි රජමහා විහාරයේ විහාරස්ථ කාර්ය සාධක සමිතිය නමට පසුගිය දෙසැම්බර් හා මේ වසරේ ජනවාරි මාසවලදී වෑන්රථ දෙකක් ගෙන්වා ඇති අතර එහි ඇති පුදුමසහගත කාරණය වන්නේ මෙම බලපත‍්‍ර සඳහා ඇති කොන්දේසි ගංගාරාම භාවනා මධ්‍යස්ථානයට පමණක් වලංගු කර ඔවගිරි රජමහා විහාරයෙන් එම කොන්දේසි ඉවත් කිරීමය.
ඒ ආකාරයට කොන්දේසි ඉවත් කිරීම නිසා ‘සර්විස් ස්ටේෂන්’ නමට මෙම වාහන ලියාපදිංචි වන බව තේරුම් ගැනීම අපහසු නොවන අතර එහිදී පැනනගින බරපතළම කාරණය වන්නේ ආනයන අපනයන පාලකවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඔහු විසින් ලබාදෙන වාහන ගෙන්වීමේ බලපත‍්‍ර ඔහුගේ දෙපාර්තමේන්තුව විසින්ම අවභාවිත කරමින් තිබෙන බවය.

එම අවභාවිතයට අදාළ තවත් හොඳම උදාහරණයක් වන්නේ සාමානය නීතියට එපිටින් වූ වැඩි වසර ගණනක් භාවිත කරන ලද වාහන ගෙන්වීමේ බලපත‍්‍ර දෙකක් ගම්පහ හංසගිරි පාරේ තුන්වන පටුමග ලිපිනය දරන ‘නදීන් මෝටර්ස්’ ආයතනයට ලබාදීම හා වැලිසර මීගමු පාරේ ජේ.එස්. ටේ‍්‍රඩින් ආයතනයට ලබාදීමය.

එහෙත් මේ සියල්ලම සාධාරණීකරණය කරමින් අප කළ විමසීමකදී ආනයන අපනයන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ආනයන අපනයන පාලක ප‍්‍රසන්න ගිනිගේ පැවසුවේ ආනයන අපනයන පනත අනුව ආනයන අපනයන පාලකවරයාට ඔහුගේ අභිමතය අනුව  ඕනෑම ආකාරයක බලපත‍්‍රයක් නිකුත් කළ හැකි බවය. එසේම වැඩි වසර ගණනක් භාවිත කරන ලද වාහන විශාල ප‍්‍රමාණයක් හොර රහසේ රටට ගෙන එන බවත්, ඒ සඳහා පියවර නොගන්නා ශ‍්‍රී ලංකා රේගුව බලපත‍්‍ර සහිතව ගෙන එන වාහන සඳහා බාධා කිරීම් සිදුකරන බවත්ය.
එම අභිමතය භාවිත කළහැක්කේ සාධාරණ හේතු සඳහා පමණක්ය. වාහන ආනයනකරුවන් සඳහා හා බලපත‍්‍රයේ අත්‍යවශ්‍ය කොන්දේසි ඉවත්කිරීම වෙනුවෙන් එම අභිමතය භාවිත කළ හැකිද යන්න අපට ඇති ප‍්‍රශ්නයකි. අපගේ විශ්වාසය වන්නේ විහාරස්ථ කාර්ය සාධක සමිති නමින් පැරණි වාහන ගෙන්වීම සඳහා ලබාදී ඇති බලපත‍්‍ර පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් සිදුකළහොත් මේ ජාවාරම අතිවිශාල එකක් බව හඳුනාගත හැකි බවය.