ලූම්බිණි සල් උයනේ සේන අයියා

 

අර රතු ළමයා ලයිට් බෝඞ් එකට එවන්න. එයා ඒ වැඬේ හොඳට කරනවා.’’

මෙසේ ලියා තිබුණේ 70 දශකයේ දවසක නාට්‍ය විදුලි ආලෝක ශිල්පියකු වූ උපාලි රූපසිරිට ලැබුණු තැපැල්පතකය. තැපැල්පත එවා තිබුණේ දයානන්ද ගුණවර්ධන මහතාය. ලූම්බිණිය ‘සැකසෙමින් තිබුණේ’ දයානන්දගේ මධුර ජවනිකා රංගගත කිරීමටය. රතු ළමයා එවකට යාන්තම් විසිවිය ඉක්මවා සිටි සේන අයියාය. ලූම්බිණියේ සේන අයියා නමින් අද වන විට නාට්‍ය ක්ෂේත‍්‍රය තුළ නමක් දිනාගෙන ඇති ඔහු දැන් හැටහත් හැවිරිදිය. නාට්‍යයක පළමු ජවනිකා දෙක තුන දුටු මතින් එය සාර්ථක වනවාද නැද්ද යන වග සේන අයියාට කිව හැකිය. පළමු ජවනිකා දෙක තුන බලා සේනගේ මූණ ඇඹුල් වුණොත් වැඬේ අප්සට් බව නාට්‍යකරුවෝ දනිති.

මගේ නම සලමන්

ඒ. සලමන් හෙවත් අංගප්පුලි සලමන් උපන්නේ 1947දී මාතර රත්මලේදීය. ඔහුට දිගු පාසල් කාලයක් තිබුණේ නැත. තාත්තා ගොවියෙකි. පිරිපතින් පිරි නිවසේ ගෙවුණු කාලය ඉක්මණින් නිමා කෙරිණි. ඔහු කොළඹ ආවේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව නොවේ. එහෙත් හැව්ලොක් ටවුමේ සිටි මාමා කෙනකුගේ නිවසේ නැවතී මුල් දිනවල පිටකොටුවේ එළවළු වෙළෙඳසැලේ වැඩට ගියේය. ‘‘මං කොළඹ ආවේ 62 දී. එතකොට මට 15යි. ගමේදී මට කවුරුත් කිව්වේ සේන කියලායි. මාමලාගේ ගෙදර ආවමත් දිගටම සේන වුණා. ඔය කාලේ අපේ තව මාමා කෙනෙක් වැල්ලවත්තේ රෙදි මෝලේ වැඩ කළා. එයා 68දී විතර මාවත් රෙදි මෝලට දැම්මා. ඒක වහනකම්ම වැඩකළා. සර්විස් එක අවුරුදු 18යි.’’

ලූම්බිණිය ඉදිරිපිට ගෙදර

හැව්ලොක් ටවුමේ සේන පදිංචි නිවස පිහිටා තිබෙන්නේ ලූම්බිණිය ඉදිරිපිටමය. ඒ නිසා කොළඹ ආදා පටන් ලූම්බිණිය පැත්තේ රවුම් ගහන්නට සේනට වරම් ලැබිණි. එකල ලූම්බිණි විද්‍යාලයේ වැඩකළ දෙදෙනෙක් සේන අයියා සමග මිතුරු වූහ. ඒ මුරකරු ලෙස වැඩකළ බාලසූරියත්, විද්‍යාගාර සහකාර ලෙස කටයුතු කළ පැටි‍්‍රක් අයියාත්ය. ඒ ඇඳුනුම්කමට සේනත් හවසට හවසට නාට්‍ය බලන්නට ලූම්බිණියට ගියේය. පිටිපස්සේම ආසනයකට වී නාට්‍ය නැරඹුවේය. අන්තිම පේ‍්‍රක්ෂකයාත් නැගිටලා ගියාට පස්සේ තමයි මම ඉස්සරහට එන්නේ. ලයිටිං කරපු කට්ටිය සමහර ලයිට් බානවා. අස්පස් කරනවා. එවකට ලංකාවේ අංක එකේ විදුලි ආලෝක ශිල්පියා වෙලා හිටපු මහින්ද ඩයස් මහත්තයා මම අඳුනගත්තෙත් ඔය වගේ දවසකදි. නාට්‍ය කරන මහත්තුරුත් ටික ටික ආශ‍්‍රයට වැටුණා. උපාලි රූපසිරි මහත්තයා එක්ක තමයි ඉස්සෙල්ලම මං ලයිට් වැඩ කරන්න සම්බන්ධ වුණේ. ඒ දවස්වල නාට්‍යයකට උදව් කළාම රුපියල් 10ක් විතර ගෙව්වා.’’

රගහලේ නතරවීම

සංස්කෘතික දෙපාර්තමේන්තුවෙන් ලූම්බිණි ර`ගහල එම විද්‍යාලයට භාර කරන්නේ 80 දශකයේදියි. ලූම්බිණියේ කීර්තිමත් විදුහල්පතිවරයකු වූ ඩබ්.ඒ. පෙරේරා මහතා එම තනතුර දරන සමයේදීය. සේන අයියා ලූම්බිණි ර`ගහලේ ආලෝක පද්ධතිය හැසිරවීම භාර නිත්‍ය සාමාජිකයා බවට පත්වන්නේ මෙම වකවානුවේදීය.

‘බාලසූරිය අයියා තමයි මං මේ වැඬේට ගැලපෙනවා කියලා පෙරේරා මහත්තයාට යෝජනා කරලා තියෙන්නේ. ඒ කාලේ මාසෙකට රුපියල් තිහක විතර දීමනාවක් ලැබුණා. ඒ වෙනකොටත් මං ක්ෂේත‍්‍රයේ කට්ටිය සෑහෙන්න අඳුනනවා. නාට්‍යවලට පිට පළාත්වලටත් යනවා එනවා. කොහොම වුණත් මුල්ම කාලේ නාට්‍ය තමයි මට අදටත් වඩා තදින් වැදුණේ. ලයනල් සරත් මහත්තයාත් මේ ඉස්කෝලේ විදුහල්පතිවෙලා හිටියා. පෙරේරා මහත්තයා මුල්ම කාලේ නාට්‍යයකුත් කළා ‘ඉක්බිත්තෙන්’ කියලා. ජයන්ත කැටගොඩ පාසල් ශිෂ්‍යයකු විදියට මුලින්ම කරළියට ආවේ ඒකෙන්. හේමසිරි ලියනගේ මහත්තයා කරපු සුදු ඇතා ආවට පස්සේ, නරියා සහ කේජු, සුගත් මහත්තයගේ තුර`ග සන්නිය, දුන්න, ධර්මසිරි මහත්තයාගේ ඒකාධිපති, හේරත් මහත්තයාගේ මායාදේවි වගේ නාට්‍ය අදටත් අමතක නැහැ.’

සේන සඳහන් කරන බාලසූරිය ලූම්බිණි ර`ගහල හා බැඳුණු දැවැන්තම චරිතයකි. ජයලත් මනෝරත්න මහතා කලකට පෙර ‘ර`ගහලේ මුර දේවතාවා’ නමින් බාලසූරිය අයියා ගැන දිවයින පුවත්පතට ලියූ ලිපියක් ඊට සාක්ෂි සපයයි.

කැබින් එකේ සිට
ලූම්බිණි පේ‍්‍රක්ෂකාගාරයේ සිට බලනවිට ර`ගහලේ වේදිකා ආලෝකකරණය හසුරුවන කුටිය තිබෙන්නේ වේදිකාවේ වම් පස ඉහළ ස්ථානයකයි. සේන අයියා අඩි 10-12 උසින් පිහිටි කුටිය වෙත ඊට හේත්තු කර ඇති හිනිපෙළ න`ගිනු පෙනේ. සීරුවට එම හිනිමත නොගිය හොත් අනිවාර්යයෙන්ම බිම වැටෙනු ඇත. ආලෝක පද්ධතිය හසුරුවන මෙම කුටියට වෙන කිසිවකුට යා නොහැකිය. මේක ඍක්‍ඛ (දකුණුපස මැද ආලෝක කවය), මේක ඛී (වම්පස ආලෝක කවය), මේ තියෙන්නේ ක්‍ී (හරි මැද ආලෝක කවය) ආදී වශයෙන් වේදිකාවේ ආලෝක ප‍්‍රභව හඳුන්වන නාමයන්ගෙන්ම සේන අයියා ආලෝක හසුරුවනය කි‍්‍රයාත්මක කර පෙන්වයි. ඔහුගේ කැබින් එකේ ඇති පරණ පුටු කබල් මතින් නැගී පහළ ඇති වේදිකාව දෙස ඇස් යොමන විට දක්නට ලැබෙන්නේ අපූරු දසුනකි. ඕනෑම නාට්‍යයක විදුලි ආලෝක නිර්මාණ ශිල්පියෙක් ඉන්නවනේ. මම එයාට අවශ්‍ය උදව් කරලා නාට්‍ය පටන් ගත්තාම හෙමින් සැරේ කැබින් එකෙන් බැහැලා ඇවිත් නාට්‍යය බලනවා. මේ විදියට ඉතින් ලූම්බිණියේ නාට්‍ය පන්දාහක් පෙන්නුවා නම් මම ඒ පන්දාහම බලලා ඇති.

සේන නමැති විචාරකයා

පළමු දර්ශනයෙන් පසුව එකල නාට්‍යකරුවෝ තම කණ්ඩායමේම අයගෙන් මෙසේ අසති. සේන අයියා මොකද කිව්වේ?

සේනගේ මූණ හොඳනම් වැඬේ වරදක් නැත. ඔහු නාට්‍යයක සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ එක්තරා මානකයක් ලෙස ද කි‍්‍රයාකරයි. ලූම්බිණියේ පැවැත්වෙන නාට්‍ය පුහුණුවක් නරඹන්නට සූදානම්ව ආසනයේ හරිබරි ගැසෙන සේන ටික වෙලාවක් ගත වෙද්දී කකුලක් පුටුව මතට ගනී. තවත් ටික වෙලාවකින් ඔහුගේ අතක් ඔළුව මත නිදහසේ රැුඳෙයි. ඒ ඉරියව් සම්පූර්ණ වූ විට සේන නාට්‍යය ඇතුළට ගොස් අවසන්ය. ඒ ඉරියව්වෙන් බොහෝවිට ඔහු මිදෙන්නේ නාට්‍ය පුහුණුව අතර මැද නවතින අවස්ථාවකදී පමණය. සේන තම ආත්මයෙන්ම නාට්‍ය සමග බැඳෙන මිනිසෙකි. ‘‘අපිට සෙමිනාර් වැඩක් නැහැ මහත්තයෝ අපිට ඕනෙ නාට්‍ය යන්න.’’ සේනගේ මුවින් පිටවන සුපුරුදු කියමනකි. නාට්‍යය හොඳ නැත්නම් ඒ බව කෙළින්ම කීම සේනගේ ප‍්‍රතිපත්තිය වන අතර නාට්‍ය දර්ශනයෙන් පසු පොඩි අඩියක් ගහන විරාමයේදී වඩාත් පැහැදිලි විචාරයක් අසාගැනීම ද නාට්‍යකරුවන්ට හැකිය. සැබවින්ම ඔහු නාට්‍ය නිෂ්පාදකවරයාගේ අනුග‍්‍රහයෙන් මීවිතක් ගන්නා විට වුවත් ඒ හේතුව නිසා නාට්‍ය පිළිබඳ තමන්ගේ අදහස වෙනස් නොකරන විචාරකයෙකි.

අමුතුම මිනිස්සු

‘කොළඹ නාට්‍ය කලාව ගමට ගියේ සුබ සහ යස නිසා. කැපවීම නැත්නම් හොඳ නාට්‍යයක් ගොඩනගන්න බැහැ. නාට්‍යය, බලන මිනිස්සුන්ගේ ලේ මස් සමග බැඳෙන්න ඕනේ. සුබ යස රට පුරා දිව්වේ ඒ ගුණාංග නිසයි. සයිමන් නවගත්තේගම මහත්තයා ලූම්බිණියට එන්නෙ බි‍්‍රස්ටල් හයක් සාක්කුවේ දාගෙන. එකක් මට. පහ එයාට. මං එක බොන කාලය තුළ එයා පහම බොනවා. දවසක් සයිමන් මහත්තයා මේ ඉස්සරහ බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නවා. මං ඇහුවා මහත්තයා හැමදාම ඔහොම ගෙවල් කුලියට ඉඳලා බැහැනේ ගේ කෑල්ලක්වත් ගන්න බලන්නකෝ කියලා. එතුමා ඇහුවා. ඔබතුමා කැමති ගේට්ටුවක් වහගෙන ඇතුළේ ඉන්න සයිමන්ටද, එළියේ මෙහෙම නිදහසේ ඉන්න සයිමන් කෙනෙකුටද කියලා. ඒ වගේ මිනිස්සුන්ගෙන් මම ජීවිතේ ගැන දෙයක් හිතන්න ඉගෙන ගත්තා. මේ කට්ටියම හරි පුදුම ගතිගුණ තිබුණු අය. දවසක් ධර්මසිරි මහත්තයා නාට්‍යයක් කරන්න ආපු වෙලාවේ එයා වසර ගාණකට කලින් කරපු ඒකාධිපති නාට්‍යයේ දෙබස් කීපයක් මම මතකෙන් කිව්වා. එයාට පුදුමයි. අන්තිමට මට කාරෙකේ තිබිල විස්කි බෝතලයකුත් දීලායි ගියේ. සුගත් මහත්තයක් හරිම නිහතමානි කෙනෙක්. ලූම්බිණිය තුර`ග සන්නිය පෙන්නද්දි දවසක් ලයිට් ප‍්‍රශ්නෙකට අසභ්‍ය වචනෙකුත් පාවිච්චි කරලා මට බැන්නා. මම බීලා ලයිට් හැසිරුවා කියලායි එයා හිතුවේ. ඒත් යනකොට පිටට තට්ටුවකුත් දාලා වයින් බාගෙකුත් දීලායි ගියේ.’

ලෝකේ කෙළවර

‘මම ලෝකේ කෙළවර දැක්කේ නාට්‍ය කලාව නිසයි. මිනිහා මොනවද හොයාගෙන යන්නේ. ඒ කිසිම දේක අර්ථයක් නැහැ. ඇත්තටම නාට්‍යවල හොඳ දෙබස් මගේ ජීවිතේට වැදුණා.’

ලූම්බිණිය යනු සේනට නිකම්ම ර`ගහලක් නොවේ. මහා භක්තිමත් හැ`ගීමක් සිත තුළ ජනිත කළ පරිශ‍්‍රයකි. මේ භූමියේ ඉඳන් සේන අද විශිෂ්ට නාට්‍යකරුවන් හා රංගන ශිල්පීන් බවට පත්වූ බොහෝ දෙනෙකුගේ වර්තමාන මෙන්ම අතීත කලා දිවියේ හෘදයංගම සාක්ෂිකරුවකු වී තිබේ. සේන හැටහත් වැනි විය ඉක්මවමින් සිටියත් තවමත් මහත් කඩිසරයෙකි. අසීරුවෙන් යා යුතු ලී හිනිපෙළ දිගේ වේගයෙන් ඉහළ පහළ ගොස් සෑම නාට්‍යයකම සකි‍්‍රය කොටස්කරුවකු බවට පත්වෙයි. සැහැල්ලූ ශරීරයකට ද හිමිකම් කියන ඔහුට තවත් බොහෝ කාලයක් මේ රංගාලෝක විජිතයෙහි සැරිය හැකිය. එහෙත් සමුගන්නා මොහොතේ ඔහු කීවේ මෙවැනි කතාවකි.

‘මට දැන් ජීවිතේ ඇති, මට දැන් හති.’ 

ස්තූතිය: කේ.බී හේරත්, ජයලත් මනෝරත්න, ශ‍්‍රියන්ත මෙන්ඩිස් සහ උපාලි වීරසිංහ