රාවය

රට පුරා බාර් අරිනවා – සේමිණි ඉද්දමල්ගොඩ

රට පුරා බාර් අරිනවා – සේමිණි ඉද්දමල්ගොඩ

අභ්‍යවකාශයේ කිරණ කෙළින්ම මිනිස්සුන්ගේ ඔළුවලට වැටිලාද මන්දා අද සමාජය තේරුම් ගන්න බැරි මානසික විකෘති භාවයෙන් පිරිලා. ඉස්සර පුංචි කාලේ දැක්ක මිනිස්සුන්ට වඩා අද මිනිස්සු අමුතුයි. ආදරය, කරුණාව, සෙනෙහස මේවා මිනිස්සුන්ගේ ශරීරයෙන් අතුරුදන් වෙලා. ලෝක විනාශය කිට්ටු වෙන්න වෙන්න මේ ඒකට හැඩ ගැහෙන හැටිද කියලාත් මට හිතෙනවා. ඇත්තටම මේ වත්මන් සමාජය තේරුම්ගන්න බැරි ප‍්‍රශ්න පත්තරයක්.

ඒ ඇය සමාජය දෙස බලන, දකින හැටිය. ජනප‍්‍රිය රංගන ශිල්පිනියක වන ඇය සේමිණි ඉද්දමල්ගොඩය.

කාන්තා දිනය

අපිට හැම එකකටම දිනයක් තියෙනවා. කාන්තා දිනයත් ඒ වගේ. මම එහෙම දිනයක් තියෙන එක ගැන විරෝධයක් නැහැ. හැබැයි ඒක දිනයකට සීමා කිරීම ගැන කැමැත්තක් නැහැ. කාන්තාවකගේ වටිනාකම දිනයකට සීමා කරන්න බැහැ. කාන්තාව පූජනීය වස්තුවක්. හැබැයි පිරිමියාට කාන්තාව සෙල්ලම් බඩු බවට අද පත්වෙලා. පිරිමියාට කාන්තාව කියන්නේ අම්මා, තමන්ගේ බිරිඳ, තමන්ගේ දුව මේ අය විතරයි. අනෙක් අම්මලා, බිරිඳලා, දුවලා සේරම ඕනෑම වෙලාවක ඉඩක් ලැබුණොත් ප‍්‍රයෝජනයට ගතහැකි භාණ්ඩ, නරක ගැහැනු. ඔතන තමයි පිරිමි ඉන්නේ.

දේශපාලනය තුළ නිළියන්ට හිමි තැන

දේශපාලනය කිරීමට ඕනෑම කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒක නළුවාද නිළියද කියලා වෙනසක් නැහැ. දේශපාලනය තුළ යම්කිසි අයිතියක් තියෙනවා නම් ඒ අයිතිය නිළියන්ටත් හිමියි. හැබැයි මට තියෙන ප‍්‍රශ්නය මේ අය ඇත්තටම මේ සමාජයට, රටට වැඩක් කරන්නද මේ තැන්වලට එන්නේ කියන එකයි. අද දේශපාලනය කරන එක ෆැෂන් එකක් වෙලා. තමාට ජීවිතේට ලබාගන්න බැරි දේවල් ලබාගන්න ඒවා භුක්ති විඳින්න තමයි කට්ටිය දේශපාලනයට එන්නේ. ඒ අය හිතනවා දේශපාලනයට ආවාම ඔක්කොම හරි කියලා. තමන් ගැනවත් හරි විශ්වාසයක්, අවබෝධයක් නැති අය දේශපාලනයට ඇවිල්ලා මේක හෑල්ලූ කරනවා. නළුවාද නිළියද කියලා ප‍්‍රශ්නයක් නැහැ. වෙන කවුරු වුණත් ප‍්‍රශ්නයක් නැහැ. හැබැයි ඒ අය මේ වැඬේ කරන්න සුදුසුද කියලා ඒ අය තෝරන අයත් හිතන්න ඕනෑ.

ෆේස් බුක්

මේවා ලංකාවට විතරක් අලූත් දේවල් නෙමෙයිනේ. ලෝකේ තාක්ෂණය උපරිම පාවිච්චි කරනවා. තව තවත් දියුණුත් වෙනවා. හැබැයි අපිට මේවා මැජික්. මොකද අපිට පිටින් දියුණු තාක්ෂණය ලැබුණාට අපි අලූත් නැහැනේ. අපි මේවා පාවිච්චි කරන්නේ මේ අය මේවා හොයාගත්ත ගැඹුරු අරුතින් නෙමෙයි. වඳුරට දැලිපිහිය අහුවුණාම වන දේ දන්නවානේ. ඕනෑම දෙයක් වැඩකට නැති අයට අහුවුණොත් වැඩක් නැහැ. අද ලෝකේ රටවල් ආණ්ඩු පෙරළන තැනට ෆේස් බුක් පාවිච්චි කරද්දී මෙහේ කියන්නේ බෙල්ලේ වැළ දාගන්නේ ෆේස් බුක් හින්දා කියලා. ෆේස්බුක් හින්දා බෙල්ලේ වැළ දාගන්නවා නම් ඒක ෆේස් බුක්වල අවුලක් නෙමෙයි. මේ රටේ අවුලක්.

මරණීය දණ්ඩනය

මම බෞද්ධ කාන්තාවක්. හැබැයි මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කරනවාට එකහෙළාම පක්ෂයි. ලංකාව මේ විදිහට විකෘති තත්ත්වයට පත්වන්නේ හරිහමන් නීතියක් නැති නිසයි. නීතිය තියනවා. හැබැයි මේ දේශපාලන හයිය ගත්තොත් ඒ ඕනෑ නීතියක් කඩන්න පුළුවන් කියලා මිනිස්සු දන්නවා. ඒ හින්දා අද වැරදි කරන එක සාමාන්‍ය දෙයක් වෙලා. අනික ඒ නිසා මරණීය දණ්ඩනය ක‍්‍රියාත්මක කළ යුතුමයි කියන තැන මම ඉන්නවා.

දික්කසාදය

විවාහය රැකගැනීම ලේසිද පහසුද කියන එක රඳා පවතින්නේ මුල් අවුරුදු පහ, දහය කාලය තුළයි. අවුරුදු දහයක් පවුල් කන්න පුළුවන් කියන්නේ දික්කසාදයක් ඕනෑ වෙන්නේ නැහැ. ඒ සඳහා දෙපාර්ශ්වයේම කැපකිරීම් අවශ්‍යයි. ළමයින්ට දෙමාපියන් තරම් ආදරය, රැුකවරණය දෙන අය තව නැහැ. හැබැයි එහෙම කියලා අම්මායි තාත්තායි හැමදාම අවුල් නම් ඒකෙන් පීඩා විඳින්නේත් දරුවෝ. එහෙමනම් මම කියන්නේ දෙයියන්ගේ නාමයට දික්කසාද වෙන එක හොඳයි.

ගබ්සාව

ගබ්සාවක් කරගන්න වෙන්නේ පරිස්සම නැති හින්දනේ. ගැබ් නොගෙන ලිංගිකව එක්වෙන්න ඕනෑතරම් පුළුවන්. ඒකට තමයි ලිංගික අධ්‍යාපනයත් වැදගත්. මේ කිව්වාමත් පටු විදිහට දකින අය ඉන්නවා. ගබ්සාව එක පැත්තකින් ජීවිතයක් නැති කිරීමක් වගේම තවත් පැත්තකින් ඒ මව ලොකු අනතුරකට පත්වීමක්. එහෙමනම් ගැබ්ගන්න පෙර වළක්වා ගැනීමයි වැදගත්. අනෙක් අතට ¥ෂණයට ලක්වන කෙනෙක් පියාගෙන් ගැබ්ගන්න දරුවෙක්. එවැනි මානුෂික තත්ත්වයන් තුළ ගබ්සාව ක‍්‍රියාත්මක කළාට වරදක් නැහැ. හැබැයි ජීවත්වීමට ඇති අයිතිය උදුරා ගන්නවාට මම විරුද්ධයි.

කන්‍යාභාවය

ඔය කොච්චර පාරිශුද්ධකම් කතා කළත් තවමත් ඕක පිරිමි හොයනවානේ. ඒ වගේම අද අවුරුදු 15, 16 ළමයෙක් ගත්තත් මට හිතාගන්න බෑ ඔය තත්ත්වයන් රැුකගෙන ඉන්නවාද කියලා. ඒ තරමට අද සමාජය අමුතුම තැනක් වෙලා. අපේ කාලේ අපි කොයිතරම් නිදහසක් භුක්ති වින්දත් ඔය තත්ත්වයන් රැුකගත්තා. මම හිතනවා අදටත් ගැහැනු ළමයෙක් ඒ මොහොත එන තෙක් තම පිිරිසිදුකම රැුකගත යුතුයි. කොච්චර දියුණුයි කිව්වත් තවමත් මෙහේ ඉන්නේ වැඩවසම් පිරිමි.

සමලිංගිකත්වය

අපිට ඒක වැරදියි කියන්න බෑ. ඒක මනුෂ්‍යයකුගේ අයිතියක්. ‘හරි නැහැ. කැතයි. එහෙම වෙන්න පුළුවන්ද? අස්වාභාවිකයි.’ මේවා අදාළ නැති කතා. ඒක එහෙම ඉන්න අයගේ අයිතියක්. අන් අයට හානියක් නැත්නම් මම ඒකේ වරදක් දකින්නේ නැහැ.

මතට තිත

මතට තිත නම් බාර් තියෙන්න විදිහක් නැහැනේ. එක පැත්තකින් මතට තිත තියනවා. අනෙක් පැත්තෙන් රට පුරා බාර් අරිනවා. බොන නොබොන එක මිනිස්සුන්ගේ අයිතියක්. ඒකට බොරු සංකල්ප ගේන එකයි අවුල.

සිරිමාවෝ සහ චන්ද්‍රිකා

සිරිමාවෝ මැතිනිය කියන්නේ මම අහලා තියෙන චරිතයක්. චන්ද්‍රිකා මැතිනිය කියන්නේ මම දැකලා තියෙන චරිතයක්. සිරිමාවෝ මැතිනිය වෙලාවට පිළිවෙළට වැඩ කළා. හැබැයි චන්ද්‍රිකා මැතිනිය ඒක ඇත්තේම නැහැ. වෙලාවට පිළිවෙළට වැඩ කරන්න බැරි නම් ඔහු හෝ ඇය හොඳ නායකයෙක් කියලා මට හිතෙන්නේ නැහැ.

මහින්ද සහ රනිල්

බලය තියෙන නිසා මම මෙහෙම කියනවා කියලා හිතන්න එපා. මහින්ද රාජපක්ෂ මහත්තයා සාමාන්‍ය මිනිස්සු අතර ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයා දැන උගත් බුද්ධිමතෙක් වුවත් සාමාන්‍ය මිනිහා අතර නැහැ. ඔහු සාමාන්‍ය මිනිහාට ගොඩාක් ඈතයි. ඉතින් සාමාන්‍ය ජනයාගෙන් ඈත්වෙන අයට බලය ගන්න අපහසුයි.