ඇමතිවරු ගැන පරීක්ෂණ එෆ්සීඅයිඩියේ හිරවේ


Leed

නිමල් අබේසිංහ

වත්මන් ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරුන් පිරිසකට එරෙහිව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට ලැබුණ පැමිණිලි කීපයක් පිළිබඳව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් විමර්ශන ක්‍රියාත්මක කරන හා ඒවායින් සමහරක් විමර්ශන අවසන් කර ඇතත්, එල්ල වී ඇති දේශපාලන බලපෑම් නිසා ඉදිරි කටයුතු මන්දගාමී වී ඇති බව දැනගන්නට ඇත.

මෙම විමර්ශය අතරින් ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව තිබූ පැමිණිල්ලේ විමර්ශන කටයුතු හමාර කර නීතිපති දෙපාර්තමේන්තුවටද යවා ඇති බව දැනගන්නට ඇත. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපාට එරෙහිව ඇති චෝදනාව වන්නේ ඔහු රාජපක්ෂ රජයේ ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ගංවතුරෙන් හානියට පත්වූවන්ට ලබාදීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ලබාගත් රුපියල් ලක්ෂ හැටක් වටිනා භාණ්ඩ තොගයක් සිය නිවෙසට ගෙන්වා ගෙන මැතිවරණ සමයේදී සිය ආධාරකරුවන් වෙත බෙදාදීමය. එම සිදුවීම සිදුවූ කාලයේදී අමාත්‍යවරයාගේ මැතිවරණ බලප්‍රදේශය වන කටුගම්පළ ප්‍රදේශයේ ගංවතුරක් ඇතිවී නැති බවද විමර්ශකයන් විසින් සොයාගෙන ඇති බවද දැනගන්නට ඇත.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ධීවර ඇමතිවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී මෝදර ධීවර වරාය සම්බන්ධ කටයුත්තකදී සිදුකරන ලද දූෂණයක් පිළිබඳවද විමර්ශන කටයුතු සිදුවෙමින් පවතී.
ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ දූෂණයකට සම්බන්ධයැ’යි මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහිවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් සිදු කෙරෙන විමර්ශන මන්දගාමී වී ඇතැයිද කියැවේ.
කර්මාන්ත කටයුතු හා වාණිජ අමාත්‍ය රිෂාඞ් බදියුදීන්ට එරෙහිව පවතින විමර්ශනද මන්දගාමීව සිදුවෙන බව දැනගන්නට ඇති අතර කරුංකා අපනයනයේදී ඒවා දේශීය කරුංකා වශයෙන් ආනයනය කිරීමට අවශ්‍ය සහතික ලබාදීම ඔහුට එරෙහි එක් චෝදනාවකි. අනෙක් චෝදනාව වන්නේ, ඔහු නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවධියේදී ඔහුගේ බිරිඳ සහ මාමා ඇතුළු ඥාතීන් විසින් පවත්වාගෙන ගිය සමාගමකට සිය අමාත්‍යාංශය මගින් නිවාස කොන්ත්‍රාත්තු ලබාදීමය.
නීතිය හා සාමය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී සිය අමාත්‍යාංශයෙන් සහ සිවිල් ගුවන්සේවා අධිකාරියෙන්ද ඉන්ධන ලබාගැනීම සම්බන්ධ වංචාවක් ගැනද විමර්ශනයක් සිදුවේ. මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් සිටියදී සිදුකරන ලද දූෂණ හා වංචා සිද්ධීන් දොළහක් පිළිබඳව විමර්ශන සිදුවෙන අතර ඔහුගේ නමින් තිබූ ඩිලාන් පෙරේරා පදනමට රාවණා ඇල්ල ෆුඞ් ඇන්ඞ් කේටර්ස් ආයතනයේ හිමිකරුගෙන් රුපියල් මිලියන දෙකක මුදලක් ලබාගෙන සිරිලිය සවිය පදනමට ලබාදී ඇති බවද තහවුරුව ඇත. එමෙන්ම ඩිලාන් පෙරේරා පදනම නීත්‍යනුකූල නොවන ආයතනයක් බවත් එහි නිලධාරීන් වශයෙන් කටයුතු කර ඇත්තේද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ම බවත් විමර්ශනවලදී තහවුරු කරගෙන ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ ඉංජිනේරු සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරද්දී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් සංස්ථාවේ වාහන ලබාදීම හා සේවයට නොපැමණ විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යයන්හි නියැලුණු සංස්ථා සේවකයන් හතළිස් දෙනෙකුට වැටුප් ගෙවා තිබීම ගැනද පරීක්ෂණ සිදුවේ.
මීට අමතරව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ කොමිසමට යොමු කළ පැමිණිල්ලක්ද ඇති බව දැනගන්නට ඇත. ■