රාවය

ව්‍යසනය සුඛ විහරණය සඳහා ආයෝජනය කිරීම

ව්‍යසනය සුඛ විහරණය සඳහා ආයෝජනය කිරීම

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් ව තිබූ යෝජනාව මේ වන විට සම්මත වී තිබීමට බොහෝ දුරට ඉඩ තිබේ. එම යෝජනාව ද සම්මත වුව හොත් ලංකාව වැදගත් ජාත්‍යන්තර වේදිකාවක දී පරාජයට, අවමානයට හා ගර්හාවට එක දිගට ලක් වූ තුන්වැනි අවස්ථාව මෙය වන්නේ ය. එවැනි ඛේදජනක හා අවමන් සහගත තත්ත්වයකට ලංකාව ඇද හෙළීමේ වගකීම මුළුමනින් ම ජනාධිපතිවරයාත්, ඔහුගේ විදේශ පිළිවෙත සකසන ඇමති උපදේශක ගණයාත්, ඒවා ක‍්‍රියාත්මක කරන රාජ්‍ය නිලධාරී පෙළැන්තියත්, ඒ සඳහා මතවාදය සපයන ආණ්ඩුවෙන් පිටත සිටින අන්ත සිංහල ජාතිකවාදී කණ්ඩායම් සියල්ලත් භාරගත යුතුය. මේ වූ කලි මඟහරවාගත හැකි ව තිබූ ව්‍යසනයකි.

ජාත්‍යන්තර ප‍්‍රජාව අපට කීවේ යටගිය සිදුවීම් ගැන, රටක් ලෙස අප පිළිගෙන ඇති මානුෂීය නීති හා මානව අයිතිවාසිකම් මිනුම් දඬු අනුව පරීක්‍ෂණ පවත්වා, වැරදිවලට වගකිවයුත්තන් නීතිය ඉදිරියට ගෙනෙන්නට අප විසින් ම ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ය. ඒ සඳහා ඇති තරම් කාලයක් ලංකාවට ලැබී තිබුණේ ය. ඇති තරම් සහායක් ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් ලැබුණේ ය. ඒ සියල්ල අප ම කරන තෙක් බලා සිටීමේ ඇති තරම් ඉවසීමක් ද ජාත්‍යන්තර ප‍්‍රජාවට තිබුණේ ය. එහෙත් ලංකාව ඒ සියල්ල දුටුවේ ජාත්‍යන්තර ප‍්‍රජාවගේ දුර්වලකම්, නොහැකියාවන් හෝ සටකපටකම් හෝ ලෙසය. ඒ චින්තනය මත යමින්, පසුගිය අවුරුදු හතරක පමණ කාලය පුරා ම, දිගින් දිගට ම ජාත්‍යන්තර ප‍්‍රජාව දෙස පෙරළා ඇඟිල්ල දිගු කරන්නටත්, ඔවුන් දිගින් දිගට ම බොරු පොරොන්දුවලින් රවටන්නටත් කටයුතු කළා මිස තමන් හා රට සිටින අවදානමෙන් ගොඩඑන්නට සිහි එළවා ගන්නට ආණ්ඩුව සමත් නොවී ය. ඒ බලවේග සියල්ලත් ඔවුන් කියන දේත් අමතක කොට, තමනට වුවමනා පරිදි පමණක් ලෝකයේ ජීවත්විය හැකියැ’යි ජනාධිපතිවරයාත් ඔහුගේ ආණ්ඩුවත් උඩඟු ලෙස කල්පනා කළෝ ය. තමා ම ළෙහි අත්ගසා මතුරන රටේ ස්වාධීනත්වය, ස්වෛරීයත්වය වැනි දෑ රැුක ගෙන ජාත්‍යන්තරය සමග ගනුදෙනු කරන්නේ කෙසේදැ’යි සිතන්නට ඉවසීමක්, බුද්ධිමය පසුබිමක් ආවේණික ආකාරයෙන් ම ජනාධිපතිවරයාටවත් ඔහුගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුවටවත් තිබුණේ නැත. දැන් ලැබෙන්නට යන්නේ ඒ මෝඩකම්වල ප‍්‍රතිඵලයයි.

යෝජනාව සම්මත වුවහොත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයේ මෙහෙයවීම මත පැවැත්වෙන පරීක්‍ෂණයකට මුහුණ දීමට ලංකාවට සිදුවනු ඇත. ඒ සඳහා සහාය කරගත යුත්තේ මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලය නිර්දේශ කරන නිලධාරීන් ය. ක‍්‍රමවේදයන් ය. කවර තර්ක ඉදිරිපත් කළ ද එය නිසැකව ම ජාත්‍යන්තර පරීක්‍ෂණයකි.

තීරණාත්මක අවස්ථාවක දී කිසිවකු කිසියම් ස්ථාවරයක් දැරිය යුත්තේ එම ස්ථාවරය ජයග‍්‍රහණය කරගත හැකි වන තරමේ ආත්ම විශ්වාසයක් ඇත්තේ නම් පමණක් ය. ආණ්ඩුව මේ යෝජනාව සම්බන්ධයෙන් සිටි ස්ථාවරය වූයේ, මානව හිමිකම් කවුන්සිලයට මෙවැනි යෝජනාවක් ගෙන එන්නට නීතිමය හැකියාවක් නැති බවත්, මෙවැනි යෝජනාවක් ලංකාව සම්බන්ධයෙන් ගෙන එන්නේ දේශපාලන අරමුණකින් බවත් ය. මේ ස්ථාවරය කවුන්සිලය ඉදිරියේ, ජාත්‍යන්තර ප‍්‍රමිතීන් හා හැසිරීම් දන්නාවුන් අතර සැලකුණේ අවඥාවෙනි. තම ස්ථාවරය කවුන්සිලය ඉදිරියේ කිසි සේත් ජයග‍්‍රහණය කරන්නට බැරි බව ආණ්ඩුවත් ඒ වටා සිටියවුනුත් හොඳින් දැන සිටි බව නිසැක ය. පසුගිය අවුරුදු දෙක තුළ දී වුව ද, ආණ්ඩුව ජාත්‍යන්තර තලයේ දී තමන් වෙත තබාගත් විශ්වාසය ක‍්‍රමයෙන් දියකරගත්තා මිස වර්ධනය කරගත්තේ නැත. එවැනි පසුබිමක දී මෙවර ද ලංකාවේ උරුමය වී තිබුණේ පරාජයයි. ඛේදය වන්නේ එවැනි පරාජයක් අත්වන බව දැන දැනත් අනවශ්‍ය මුරණ්ඩුභාවයක් පවත්වා ගනිමින් තත්ත්වය තවත් නරක කර ගැනීම ය. අවදානමෙන් ගැලැවීම සඳහා ආණ්ඩුවේ ම කොටස් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලට ද පිළිගැනීමක් නොලැබුණේ ය.

අවසානයේ ආණ්ඩුව ඒ අවදානම ආයෝජනය කළේ රට තුළ මහජන මතය අවුස්සා මැතිවරණවල දී තමන්ගේ බලය තහවුරු කරගන්නට ය. මේ නම්, අන්ත අවස්ථාවාදී දේශපාලන ස්ථාවරයක් බව පැහැදිලිව කිව යුතු ය.

සමස්තයක් ලෙස රටකට විනාශය ගෙන දෙන දෙයක්, තම බලලෝභය තෘප්ත කරගැනීම සඳහාත්, සිය සුඛ විහරණය සඳහාත් ආයෝජනය කරන පාලකයන් පිරිසක් සිටින විට ඒ රටට අත්වනු ඇත්තේ කවර ඉරණමක් ද?