සාජන් මේජර්ගේ දිවිනසා ගැනීමෙන් හෙළිවන හමුදා අපරාධ


Hamuda

ලසන්ත රුහුණගේ

යුද හමුදා බුද්ධි අංශයේ හිටපු සාජන් මේජර් වරයෙකු වූ ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ සියදිවි හානිකර ගැනීමේ සිද්ධියත් සමඟ ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ සඳහා අලුත් මාවත් ගණනාවක් විවර වී ඇති අතර සඟවා තිබූ අලුත් තොරතුරු රාශියක් පිළිබඳවද සැකසංකා මතුකර තිබේ.
ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න නම්වූ 52 හැවිරිදි තිදරු පියෙකු වූ හිටපු යුදහමුදා සාජන් මේජර්වරයා පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සිය නිවසේදී ගෙළ වැළලාගෙන මියගොස් තිබූ අතර මියයෑමට පෙර ඔහු ලියුවායැ’යි කියන කොළ කැබැල්ල ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ අලුත් මාවතකට යොමුකර තිබේ. එම කොළ කැබැල්ලෙන් ඔහු ලසන්ත වික්‍රමතුංග ඝාතනය තමා සිදුකළ බව පිළිගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කර දැනට රිමාන්ඞ් භාරයට පත්කර ඇති ඔහුගේ මිතුරා වන මලින්ද උදලාගම නමැති බුද්ධි අංශ සාමාජිකයා නිදහස් කරන ලෙස ඉල්ලා ඇත. ඇත්ත වශයෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයේ සැකකරුවකු වශයෙන් දැනට රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටින්නේ යුදහමුදා බුද්ධි අංශ සාමාජිකයකු වන මලින්ද උදලාගම නමැති අයකු නොවන අතර රිමාන්ඞ් භාරයේ සිටින්නේ ප්‍රේමානන්ද උදලාගම නමැති බුද්ධි අංශ සාමාජිකයාය. මේ වනවිට ඔහුට එල්ල වී ඇති චෝදනාව ලසන්ත වික්‍රමතුංග ඝාතනය නොවන අතර ඔහුට එල්ල වී ඇති චෝදනාව වන්නේ වික්‍රමතුංග මහතාගේ රියදුරා වික්‍රමතුංග ඝාතනයෙන් පසු අවස්ථා දෙකකදී පැහැරගෙන ගොස් තර්ජනය කිරීම පිළිබඳවය. එම තර්ජනයට හේතුව වශයෙන් පැවසෙන්නේ වික්‍රමතුංග ඝාතනය ගෝඨාභය රාජපක්ෂ විසින් සිදුකරන ලදැයි එම රියදුරා විසින් තැන්තැන්වල කරන ප්‍රකාශ නවතා දමන ලෙස කරන ලද තර්ජනයන්ය.
යුදහමුදා බුද්ධි අංශ හිටපු සාමාජික ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේගේ අවසන් කටයුතු මාධ්‍ය ආවරණයට ඉඩ නොතබා පසුගිය ඔක්තෝබර් 16 වැනි දින කරන ලද අතර ඔහුගේ මෘතදේහය ඔක්තෝබර් 19 වැනි දින නැවත ගොඩගනු ලැබූයේ ඔහුගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා හා නැවත මරණ පරීක්ෂණයක් සිදුකිරීම සඳහාය. මේ අතර ඔක්තෝබර් …. දින ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණය සිදුකරන රහස් fාපලිසිය අධිකරණයට දන්වා තිබුණේ යුද හමුදා බුද්ධි අංශ සාමාජික සාජන් මේජර් ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ හදිසි මරණ පරීක්ෂණ වාර්තාව, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව, ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ බැංකු ගිණුම් 30ක තොරතුරු හා ඔහුගේ නමට ඇති ජංගම දුරකතන සිම්කාඞ් පිළිබඳව ජංගම දුරකතන ක්‍රියාකරු සමාගම්වලින් වාර්තා ලබාදෙන ලෙසය. ඊට අමතරව දැනට රිමාන්ඞ්භාරයේ සිටින ප්‍රේමානන්ද උදලාගමගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙසය. එම ඉල්ලීම් සියල්ලටම ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලිසියට අවසර ලබාදී ඇත.
මේ වනවිට රහස් පොලිසිය ලසන්ත වික්‍රමතුංග ඝාතන වගකීම භාරගනිමින් ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගත්තේයැ’යි කියන හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජික ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න පිළිබඳව සොයාගෙන ඇති තොරතුරු අනුව ඔහු යුද හමුදා සේවයෙන් විශ්‍රාම ගොස් ඇත්තේ 2007 වර්ෂයේදීය. එසේ වුවද ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කරනු ලැබූයේ 2009 ජනවාරි 8 වැනිදාය. එම කාලවකවානු වෙනස අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය වන අවස්ථාව වනවිටදී එම ඝාතනයේ වගකීම කොළ කැබැල්ලකින් භාරගෙන සියදිවි හානිකර ගත්තේයැ’යි කියන ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න නිල වශයෙන් යුද හමුදාවේ හෝ එහි බුද්ධි අංශයේ සාමාජිකයකු වශයෙන් සිටින්නට හැකියාවක් නැත.

table-hamuda
එසේ වුවද ගෙළ වැළලාගෙන මියගිය යුද හමුදා බුද්ධි අංශ හිටපු සාමාජිකයාගේ බුද්ධි අංශ ඉතිහාසය හා එහි කූප්‍රකට සම්බන්ධකම් අමතක කළ නොහැකිය. සුප්‍රකට අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ සිද්ධිය ඊට ඇති එක් හොඳ උදාහරණයකි. නීතිවිරෝධී අවි ආයුධ ශාඛාවක් පවත්වාගෙන ගියායැ’යි චෝදනා එල්ල වූ එම සිද්ධියේදී යුදහමුදා බුද්ධි අංශ සාමාජික කපිතාන් නිලාම් ඇතුළු හයදෙනෙකුට එදා චෝදනා එල්ල වූ අතර එම ඉතිරි පිරිස අතර ගෙළ වැළලාගෙන මියගියායැ’යි කියන යුදහමුදා බුද්ධි අංශ හිටපු සාජන් මේජර් ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්න හා ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණයේ දැනට රිමාන්ඞ් භාරයේ සිටින යුදහමුදා බුද්ධි අංශ සාමාජික ප්‍රේමානන්ද උදලාගමද සිටී. 2002 වර්ෂයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් එම ‘මිලේනියම් සිටි’ නීති විරෝධී අවි ගබඩාව සම්බන්ධ නඩුව තවම අවසන් වී නැති අතර ඊට අදාළ ඊළඟ කැඳවීම එළැඹෙන 2017 වර්ෂයේ පෙබරවාරි මාසයේදී සිදුවීමට නියමිතව ඇතැ’යි වාර්තා වන අතර ඒ සඳහා චෝදනා එල්ල වී ඇති ගෙළ වැළලාගෙන මියගිය ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නටද එම නඩුව සඳහා ඔහුගේ සියදිවි හානිකර ගැනීමට පෙර සිතාසි ලැබී තිබී ඇතැයි තවදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් හිටපු යුද හමුදා බුද්ධි අංශ සාමාජික ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නගේ ගෙළ වැළලාගෙන සියදිවි හානිකර ගැනීමේ සිද්ධියෙන් හා එම සියදිවි හානිකර ගැනීමට හේතුව වශයෙන් ඊට ඈඳී ඇති කොළ කැබැල්ලෙන් අපට හිතන්නට සාකච්ඡා කරන්නට හා සැක සංකා මතුකරන්නට කරුණු රාශියක් මුදාහැර තිබේ.
ඒවා නම් යුද හමුදා බුද්ධි අංශය හා එහි කටයුතු ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඝාතන, අතුරුදන් කිරීම් හා පහරදීම් ආදිය. පොදුවේ පසුගිය රාජපක්ෂ පාලන කාලයට අදාළ ඝාතන, අතුරුදන් කිරීම් හා පහරදීම් ඇතුළු වෙනත් ආකාරයේ අපරාධ ආදියය.
යම් රටක හෝ ආරක්ෂක අංශයක බුද්ධි අංශයක්යැ’යි කියූ විට අපට නිරන්තරයන්ම සිහියට නැගෙන්නේ තොරතුරු රැස් කරන අංශයක් වශයෙන්ය. එහෙත් ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය තොරතුරු එක්රැස් කරන කාර්යයෙන් ඔබ්බට ගොස් මිනිස් ඝාතන, අතුරුදන් කිරීම් හා පහරදීම් ආදිය සිදුකරන ලද අංශයක් හෙවත් නීත්‍යානුකූල නොවන අතුරු හමුදා කණ්ඩායමක් වශයෙන් කටයුතු කර ඇති බව මෙම සියදිවි නසා ගැනීමේ සිද්ධියත් සමඟ පෙනේ. ඊට අදාළ තවත් උදාහරණයක් වන්නේ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටද, ගිරිතලේ යුදහමුදා බුද්ධි කඳවුරේ සාමාජිකයන් සම්බන්ධ වී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සනාථ කරගෙන තිබීම හා ඊට වගකිවයුතු හමුදා සාමාජිකයන් අධිකරණයට ඉදිරිපත් කර තිබීමය. එමෙන්ම රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන්ට පහරදීමේ සිද්ධියේදීද ඔහුට පහර දුන් අයකු වශයෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටු වේදී හඳුනා ගනු ලැබූයේ ලසන්ත වික්‍රමතුංගගේ රියදුරාව පැහැරගෙන ගොස් තර්ජනය කර රිමාන්ඞ් භාරයට පත්වී ඇති ප්‍රේමානන්ද උදලාගම නමැති හමුදා බුද්ධි අංශ සාමාජිකයාය.
ඒ සමඟම යුද හමුදා බුද්ධි අංශය ගැන පැන නගින අනෙකුත් ප්‍රශ්නය වන්නේ ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම, උපාලි තෙන්නකෝන්ට පහරදීම ආදිය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයට හෝ එහි සාමාජිකයන්ට තිබූ පොදු හෝ පෞද්ගලික අභිලාෂය කුමක්ද යන්නය. ඉහත සඳහන් මාධ්‍යවේදීන්, කතුවරුන් කිසිවෙක් යුද්ධයට සම්බන්ධ පාර්ශ්වකරුවෝ නොවෙති. ඔවුන් සම්බන්ධයෙන් යම් අතෘප්ති තිබුණේ පසුගිය රාජපක්ෂ පාලනයට හා ඊට සම්බන්ධව සිටි යම් යම් පුද්ගලයන්ටය. එසේ නම් මේ පුද්ගල වුවමනාවන් සිය නිල රාජකාරියෙන් බැහැරව යුද හමුදා බුද්ධි අංශ ඉටුකර ඇති බව ඉහත උදාහරණවලින් පැහැදිලි වේ. ඒ නිසාම ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළේ තමායැ’යි කොළ කැබැල්ලක් ලියා තබා යම් අයකු සියදිවි හානිකර ගැනීමෙන් එම ඝාතනයේ පරීක්ෂණ අවසන්වන්නේ නැතිවා මෙන්ම අවසන් විය යුතුද නැත. මන්ද මෙම ඝාතනවලට, අතුරුදන් කිරීම්වලට හා පහරදීම්වලට අණ ලබා දුන්නේ කවුරුන්ද යන්න සොයාගත යුතු නිසාය. නියම ඝාතකයා යනු අණ ලබා දුන් කෙනා වන නිසාය.
එමෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා යතුරුපැදි දෙකකින් පැමිණ තිබුණේ ආයුධ සන්නද්ධ පුද්ගලයන් හතරදෙනකුය. එම ඝාතනයේ වගකීම භාරගෙන ගෙළ වැළලාගෙන මියගිය හිටපු බුද්ධි අංශ සාමාජිකයා හැරුණු විට ලසන්ත ඝාතනයට සම්බන්ධ වූ ඉතිරි තිදෙනකුද සිටිය යුතුය. තවද ලසන්ත ඝාතනය සඳහා යොදාගෙන ඇති සතුන් මැරීම සඳහා භාවිත කරන විශේෂ අවිය භාවිත කළ ආරක්ෂක අංශ සාමාජිකයන් කවුරුන් යන්නද සෙවිය හැකිය. ඒ සියල්ලෙන්ම ලසන්ත ඝාතන පරීක්ෂණ ඉදිරියට යෑමක් මිස ඝාතනයේ වගකීම භාරගත් පුද්ගලයකුගේ සියදිවි හානිකර ගැනීමෙන් නවතින්නේ නැත. අවසානයේ ලසන්ත ඝාතක කණ්ඩායමට එම අණ ලබා දුන් තැනැත්තා කවුදැ’යි හෙළිදරව් කරගැනීම අපහසු නොවනු ඇත.
කෙසේ වෙතත් ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට වසර දෙකකට පෙර සියදිවි හානිකරගත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයා යුද හමුදා සේවයෙන් ඉවත් වී විශ්‍රාම ගත්තායැ’යි කියා මෙම සිදුවීම බැහැර කළ නොහැකිය. එම වගකීමෙන් යුද හමුදා බුද්ධි අංශයටද ගැලවීමට ද නොහැකිය. ඊට අදාළ තවත් සාක්ෂියක් අපට හමුවන්නේද මාධ්‍යවේදියකු ආශ්‍රයෙන්ය. මාධ්‍යවේදියා ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සේවය කර පසුව මව්බිම පුවත්පතේ සේවය කර, ජීවිතාරක්ෂාව පතා රට හැරගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිණ දැනට නිදහස් මාධ්‍යවේදියකු වශයෙන් කටයුතු කරන ශාන්ත විජේසූරියය.
ශාන්ත විජේසූරිය මව්බිම පුවත්පතේ සේවය කරන කාලයේ යුද හමුදා බුද්ධි අංශයේයැ’යි තමන්ව හඳුන්වා ගත් අයකු නිතරම ඔහුට දුරකතන ඇමතුම් ලබාදෙමින් ආරක්ෂක අංශවල තොරතුරු වෙබ් අඩවිවලට ලබාදෙන්නේ කවුදැයි හෙළිකරන ලෙස ඉල්ලා සිටිමින් ඒ සඳහා මාසික ගෙවීම්, රාජ්‍ය මාධ්‍ය ආයතනවල රැකියා හා නිවාස ආදිය ලබාදිය හැකි බව ප්‍රකාශ කර තිබුණි. යම් යම් ස්ථානවලදී ශාන්ත විජේසූරියව තනිවම හමුවීමට බුද්ධි අංශයේයැ’යි කියාගත් පුද්ගලයා යෝජනා කර තිබූ අතර ඔහුගේ ඉල්ලීම් ශාන්ත විජේසූරිය ප්‍රතික්ෂේප කර තිබුණි. එහිදී එම ප්‍රතික්ෂේප කිරීම් හමුවේ කෝපයට පත් එම දුරකතන ඇමතුම් ලබා දුන් පුද්ගලයා ශාන්ත විජේසූරියට පවසා තිබුණේ ආරක්ෂක ලේකම්වරයා කියූ නිසා ඔහුට (ශාන්තට) කතා කළ බවත් ඔවුන්ගේ ඉල්ලීම්වලට අකමැති නම් ඒ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර ශාන්තට පාඩමක් උගන්වන බවත්ය. එය සනාථ කරමින් පසු අවස්ථාවක ශාන්ත විජේසූරියව නුගේගොඩ සුපර් මාර්කට් එක අසලදී පැහැර ගැනීමට උත්සාහයක් ගැනුණු අතර එම පුද්ගලයන්ට පහරදී බේරීයෑමට ශාන්තට හැකිවිය. පසුව ජීවිතාරක්ෂාව පතා ශාන්ත විජේසූරිය රටින් පිටකිරීමට අපට සිදුවිය.
බුද්ධි අංශයේයැ’යි කියාගත් පුද්ගලයා යෝජනා කරන ස්ථානවලට ඔහු හමුවීමට ශාන්ත විජේසූරිය නොපැමිණි නිසා පසුව එම පුද්ගලයා ශාන්ත විජේසූරිය හමුවීමට මව්බිම කාර්යාලය අසලට (කොළඹ රොස්මිඞ් පෙදෙස) පැමිණ තිබුණේ 2011.09.13 දින සවසය. ඔහු පැමිණ තිබුණේ ඡඊ 9654 දරන සුදු පැහැති වෑන් රථයෙන්ය. ඔහුත් වෑන් රථයේ රියැදුරුත් හැරුණු විට වෙන කිසිවකු එම වෑන් රථයේ සිට නැත. මව්බිම පුවත්පතේ කර්තෘවරයා, ප්‍රවෘත්ති කර්තෘවරයා ඇතුළු කර්තෘ මණ්ඩල සාමාජිකයන් එම සිදුවීම දැක ඇත. අදාළ පුද්ගලයා ශාන්තට දුරකතන ඇමතුම් ලබාදුන් අවස්ථාවලදී ඔහුව ආනන්ද ජයමාන්න නමින් හඳුන්වා දී ඇත. මව්බිම කාර්යාලය අසලට පසු අවස්ථාවේ පැමිණි විටදී ඔහු කවුදැයි ශාන්ත විමසූ විටදී ජාතික හැඳුනුම්පතක් ශාන්තට බැලීම සඳහා ලබාදී ඇත. අංගොඩගේ ආනන්ද ජයමාන්න යන්න එම හැඳුනුම්පතේ සඳහන්ව තිබී ඇති නමය.
කෙසේ හෝ බුද්ධි අංශ සාමාජිකයන්ගෙන් බේරීමට නොහැකි මෙම තත්ත්වය තුළ ජනමාධ්‍ය සංවිධානවල සාකච්ඡාවකින් පසු ඒ පිළිබඳව පැමිණිල්ලක් යොමු කිරීමට තීරණය කරනු ලබන අතර ඒ අනුව ජනමාධ්‍ය සංවිධානවල නියෝජිතයන් සමඟ පොලිස් මූලස්ථානයට ගොස් ශාන්ත විජේසූරිය 2011 ඔක්තෝබර් 25 දින CIB/11/285/64 යටතේ පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේය. එම පැමිණිල්ල තුළ ශාන්ත සඳහන් කරන්නේ ආනන්ද ජයමාන්න නම්වූ බුද්ධි අංශයේයැ’යි කියාගත් පුද්ගලයකු ඔහුට දුරකතන ඇමතුම් ලබාදෙමින් තර්ජනය කරමින් සිටින බවයි. ඔහුට ඇමතුම් ලබා දුන් දුරකතන අංක වශයෙන් ශාන්ත සඳහන් කරන්නේ 0664917604, 0714945856 හා 07478480669 යන අංකය.
එමෙන්ම ශාන්තව හමුවීම සඳහා ආනන්ද ජයමාන්න යනුවෙන් හඳුන්වා ගනිමින් පැමිණි ඡඊ 9654 දරන සුදුවෑන් රථයේ අංකය ඊට පසු අවස්ථාවකදී එනම් 2011 නොවැම්බර් 11 වැනිදා නුගේගොඩ ජුබිලි කණුවේ මිලේනියම් බුක් ෂොප් හිමිකරු කපිල චමින්ද බණ්ඩාර මහතා පැහැර ගැනීමටද පැමිණි සුදුවෑන් රථයේ අංකය වීම සුදුවෑන් ක්‍රියාත්ම කළේ කවුද යන්නට තවත් සාක්ෂියකි. කපිල චමින්ද බණ්ඩාර මහතා ඊට දින දෙකකට පසු මුදාහැර තිබූ අතර ඔහු හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන් එම සුදුවෑන් පැහැර ගැනීම ගැන ඉන්පසු කිසිවක් ප්‍රකාශ කළේ නැත. එමෙන්ම පොලිසියද ඒ පිළිබඳව කිසිදු පරීක්ෂණයක් ඉන්පසු සිදු කළේ නැත. කපිල චමින්ද බණ්ඩාර මහතා, හිටපු ජවිපෙ ක්‍රියාකාරිකයකු වූ කුමාර් මහත්තයා හෙවත් කුමාර් ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඔහු කටුනායක සිට ගෙන ඒමට ගිය පුද්ගලයා වශයෙන් සැලකේ.
එදා ශාන්ත විජේසූරිය හමුවීමට පැමිණි බුද්ධි අංශ සාමාජික ආනන්ද ජයමාන්නත් මෙදා ලසන්ත ඝාතකයා වශයෙන් තමාව හඳුන්වා ගනිමින් සියදිවි හානිකරගත් ඉලන්දාරිගේ එදිරිසිංහ ජයමාන්නත් අතර නම්වල ඇත්තේ සමානකමකි. සියදිවි හානිකරගත් ජයමාන්නගේ අවසන් කාලයේ ඡායාරූප කිසිවක් තවමත් මාධ්‍යයට විවර වී නැත. මාධ්‍යයට විවර වී ඇත්තේ ඔහුගේයැ’යි කියන තරුණ කාලයේ ඡායාරූපයක් පමණය. ශාන්ත විජේසූරියට අනුව පුවත්පත්වල පළවී ඇති එම පුද්ගලයාත් ඔහුව හමුවීමට පැමිණි ආනන්ද ජයමාන්නත් අතර පොදු සමානකමක් පවතී.
සියදිවි හානිකර ගෙන ඇත්තේ ශාන්ත හමුවීමට පැමිණි ආනන්ද ජයමාන්න නමැති පුද්ගලයා නම් ඒ මගින්ද පසුගිය රාජපක්ෂ සමයේ ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය පිළිබඳව තවත් කරුණක් අප හමුවේ නිරාවරණය කරයි. ඒ නිල වශයෙන් යුද හමුදාවෙන් විශ්‍රාම ගැන්වූ පුද්ගලයන් යොදාගෙන නොනිල ආකාරයට යුද හමුදා බුද්ධි අංශ ඇතුළු අතුරු සන්නද්ධ කණ්ඩායම් පවත්වාගෙන ගොස් ඇති බවය. ලසන්ත වික්‍රමතුංග ඇතුළු පුද්ගල ඝාතන, ප්‍රගීත් එක්නැළිගොඩ ඇතුළු පුද්ගල පැහැර ගැනීම් හා උපාලි තෙන්නකෝන් ඇතුළු පුද්ගල පහරදීම් සිදුකර ඇත්තේ එම නිල නොවන අතුරු සන්නද්ධ කණ්ඩායම් බවය. කනගාටුවට, පිළිකුලට හා හිරිකිතයට කරුණ වන්නේ එම ඝාතන හා අපරාධ සංස්කෘතිය ඡන්දයෙන් පරාජය කළ අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමට බලයට පත් කළ යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම අපරාධකරුවන් රණවිරුවන් ලෙස අභිෂේක කර ඔවුන්ට චරිත සහතික ලබාදෙමින් පැවතීමය. සේනාධි නායකයා හා ආරක්ෂක ඇමතිවරයා වශයෙන් ඔවුන්ව ඔහු යටතේ තවදුරටත් සේවයේ යොදවා ගැනීමය.■