Untitled-1

Untitled-1

අරුන්දිකගේ සෙල්ලං සහ යහපාලනය


Arundika

ටිරන් කුමාර බංගගමආරච්චි

මෑතකාලීන දේශ පාලන ප්‍රවා හයේ ඇතිවූ කොල්ලකෑමේ ගොඩගසා ගැනීමේ ක්‍රමවේදය චින්තනයෙන් යහපාලනයට මාරු වූ සැණින් මාරු වෙතැයි සිතිය නොහැකිය. මන්ද පාලනයන් මාරු වුවද තවමත් පාලනයේ බහුතර නියෝජනය පැරණි හොර නඩයම වන බැවිනි.
ඒ නිසා එකවර මහා වෙනස්කම් බලාපොරොත්තු වීමත් ඵලරහිතය. රාජපක්ෂ සමයේ දැමූ සෙල්ලම් ඇතැම්හු තවමත් නිර්භයව පාති. දුමින්ද දිසානායක ඉන් පෙරමුණේය. මේ කියනුයේ එවන් තවත් කතාවකි.
මෙය සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍යවරයා පිළිබඳවය. ඒ අරුන්දික ප්‍රනාන්දුය. ඔහුට විරුද්ධව ඇති අක්‍රමිකතාව වාහන මිලදී ගැනීමක් ගැනය.
නියෝජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු වාහන දෙකක් මිලදී ගැනීමට කටයුතු කිරීමේදී මෙම මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත. සිදුව ඇත්තේ මෙම මිලදී ගැනීමේදී සිදුකර ඇති වංචාව වසාගැනීම සඳහා ව්‍යාජ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් අනුගමනය කිරීමය. වාහන මිලදී ගැනීම සඳහා නිසි ක්‍රමවේදය අනුගමනය කර ඇති බව පෙන්වීමට ආයතන කිහිපයකින් මිලගණන් කැඳවා ඇත. ඒ සඳහා 2016.04.07 දින තාක්ෂණික ඇගැයීම් කමිටුවක්ද පත්කර ඇත. ඉන් නොනැවතී පිරිවිතර පිළියෙළ කිරීමද 2016.04.08 වැනි දින සිදුකර ඇත. 2016.04.11 දින එම ටෙන්ඩර් විවෘත කිරීමේ කමිටුවද පත්කරන අතර 2016.04.18 දින මිලගණන් කැඳවීමද සිදු කරනු ලැබේ. 2016.05.03 දින මිලගණන් විවෘත කර ඇති අතර ඊට මිල ගණන් තුනක් ලැබී ඇත. මිලගණන් ඉදිරිපත් කොට තිබූ ආයතන නම්Toyota Lanka (Pvt) Ltd,Associated Motorways(Pvt) ltd, SML Frontier Automotives (Pvt) Ltd
මිල ගණන් 2016.05.03 දින තාක්ෂණික ඇගැයීම් කමිටුවට යොමු කර ඇති අතර 2016.05.05 දින තාක්ෂණික ඇගැයීම් කමිටුව සිය වාර්තාව ඉදිරිපත් කර ඇත. ප්‍රසම්පාදන කමිටුව රැස් වනුයේ ඉන් අනතුරුවය. ඒ 2016.05.11 වැනි දිනය. ඉහත කරුණු අනුව රුපියල් මිලියන 56ක වටිනාකමකටSML Frontier Auto Motives (Pvt) Ltd ආයතනයෙන් අලුත්ම වාහන දෙකක් මිලදී ගැනීමට ප්‍රසම්පාදන කමිටුව තීරණය කර ඇත. මෙම තීරණය සඳහා කමිටුවේ සභාපති ශිරානි වීරකෝන් මහත්මිය සහ එම්.ඒ. ජගත් ඩයස් මහතා එකඟ වී ඇති අතර බී.ජී. අයිරාංගනී මහත්මිය එකඟ වී නොමැත. ඇය එම ආයතනයේ ප්‍රධාන ගණකාධිකාරීවරියයි.
මෙහිදී බළලා මල්ලෙන් එළියට පනිනුයේ මේ අස්සේය. එනම් තෝරා ගත් ආයතනය අමාත්‍යාංශයට ලිපි දෙකක් නිකුත් කරමින් අලුත්ම වාහන දෙකක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කිරීම හරහාය. මෙම වාහනවලට මුදල් නිකුත් කිරීමට ප්‍රථම 2016.05.18 දින එම වාහන අමාත්‍යාංශයේ ලේකම්ගේ නමට ලියාපදිංචි කොට ඇත.
මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වාර්තා අනුව බලන කල එම වාහන ලියාපදිංචි විස්තර මෙසේය. ලියාපදිංචි අංකය CAQ-1043. මුල් අයිතිකරු වේරගම ඉමියලාගේ චන්දික සේනානි ගුණසිංහ මහතාය. ඔහු පුවක්වත්තහේන අයගම, රත්නපුර පදිංචිකරුවෙකි. වර්තමාන අයිතිකරු ලේකම්, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයයි.
දෙවැන්න, CAQ-1047 ලියාපදිංචි අංකයය. මුල් අයිතිකරු නිලුපුල් ප්‍රියදර්ශන හඳපාන්ගොඩ. මහනුවර පදිංචිකරුවෙකි. වත්මන් හිමිකරු අමාත්‍යාංශ ලේකම්ය.
ඉහත සියලු ක්‍රියාවලියම නොමග යැවීම සඳහා සකස් කළ ක්‍රියාවලියක් බව ඔප්පු වනුයේ දැන්ය. ඒ අනුව අමාත්‍යාංශය අනුගමනය කළ ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග හුදෙක් මෙම ගනුදෙනුවේ වංචනික ස්වරූපය වසා ගැනීමට කළ ලිපිගොනු සැකසීමකි. වාහනයේ විකුණුම්කරු ලෙසSML Frontier Auto Motives (Pvt) Ltd ලෙස මිල ගණන් ඉදිරිපත් කළද, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයේ වාර්තා අනුව එම සමාගමට මෙම වාහනවලට කුමන විදියේ හෝ අයිතිවාසිකමක් නොමැති බව තහවුරුය. මෙයින් පැහැදිලි වනුයේ මෙම වංචනික ගනුදෙනුවට අදාළ සමාගම අතරමැදියකු වී ඇති බවය.
වංචාවේ ස්වරූපය
මෙම වාහන ගනුදෙනුව මගින් රජයට විශාල මූල්‍ය අලාභයක් සිදුවේ. මෙම වාහන දෙකම තීරුබදු සහන සහිත බලපත්‍රලාභීන් දෙපළකගේය. ඔවුන් මුල් අයිතිකරුවන් ලෙස ලියාපදිංචිවද ඇත. මෙය අමාත්‍යාංශය බොහොමයක් වාහන ලබාගන්නා ක්‍රමවේදය විය හැකිය. මෙම වංචාවේ ස්වභාවය හෙළිවනුයේ ඊට අදාළ රේගු වාර්තා හෙළිදරව් කරගත් පසුය.
බදු අය කිරීම
මෙම එක් වාහනයක් සඳහා මුළු බදු ප්‍රමාණය රුපියල් දෙකෝටි විසි දෙලක්ෂ එක්දහස් අටසිය තිස්හතකි. (රු. 22,201,837.00) බදු සහනය රුපියල් එක් කෝටි හතළිස් දෙලක්ෂ හැත්තෑ අටකි. (රු. 14,278,078) බලපත්‍රලාභියා විසින් ගෙවනු ලබන බදු මුදල රුපියල් හැත්තෑ නව ලක්ෂ විසි තුන්දහස් පන්සිය පනස් නවයකි. (රු. 79,23,759). ඒ අනුව මෙම වාහන දෙක සඳහා රජය අහිමි කරගෙන ඇති බදු ප්‍රමාණය රුපියල් දෙකෝටි අසූපන් ලක්ෂ පනස් හයදහස් එකසිය පනස් හයකි. (රු. 28,556,156කි.)
රේගු වාර්තාව අනුව මෙම එක් වාහනයක මි.ර.ග. වටිනාකම (Cif Value) රු. 5,103,870ක් වන අතර බදු මුදල වන රු. 7,923,759 මුදල එකතු කළ විට වාහනයේ තීරු බදු සහන හිමිවූ බලපත්‍රලාභීන්ගේ වාහන වටිනාකම රු. 13,027,628කි. මෙම වාහන අමාත්‍යාංශයට අලෙවි කර ඇත්තේ එකක් රුපියල් දෙකෝටි අසූ ලක්ෂයකටය. ඒ අනුව එක් වාහනයකින් ලබන ලාභය රුපියල් එක් කෝටි හතළිස් නව ලක්ෂ හැත්තෑ දෙදහස් තුන්සිය හැත්තෑ එකකි. (රු. 14,972,371) වාහන දෙකින්ම උපයා ඇති ලාභය රුපියල් දෙකෝටි අනූනව ලක්ෂ හතළිස් හතරදහස් හත්සිය හතළිස් දෙකකි. මෙම ලාභය යනු අනෙක් අතට තීරුබදු සහන ලබාදීමේදී රජයට අහිමි වූ ආදායම වේ. මෙය ඉහත පුද්ගලයන් අතරේ සූක්ෂ්මව බෙදී යන ජාවාරමකි.
කොළේ වසා ගැනීම
නියෝජ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ පිරිස කොළේ වසා ගැසූ මෙම ගනුදෙනුව හරහා හෙළිවන දෑ නම් වාහන මිලදී ගැනීමේදී වාහනවල අයිතියක් නොමැති සමාගමක් මැදිහත් වී තීරුබදු සහන ලබාගෙන තීරුබදු වාසිය සමග රජයට නැවත අලෙවි කිරීම මගින් අවසානයේ සිදුවනුයේ තීරුබදු සහන වැරදි ලෙස භාවිත කොට රජයට මූල්‍ය අලාභයක් සිදුකිරීමය.
අනෙක් අතට මෙහිදී සිදුවන බරපතළම වරද නම් ප්‍රසම්පාදන ක්‍රියාමාර්ග ව්‍යාජ ලෙස පිළියෙළ කොට සමාගමකින් වාහන මිලදී ගන්නා බවට සඳහන් කරමින් එම සමාගම අතරමැදියකු ලෙස යොදා ගනිමින් වෙනත් පුද්ගලයන්ගේ වාහන මිලදී ගැනීමය. ඒ හරහා විශාල වශයෙන් මූල්‍ය අක්‍රමිකතා සිදුකිරීමය.
ඒකාබද්ධ විපක්ෂයේ වැඩි පිරිසක් අද රිමාන්ඞ් බන්ධනාගාර වනුයේ පසුගිය කාලයේ රජයට අලාභ වන ලෙස වාහන යොදා ගැනීම් පිළිබඳවය. වසර පහ දහය තුළ වැරදි මතුකරමින් ඔවුන් බන්ධනාගාරයට යවන යහපාලනය ඇතුළේම මෙවැනි අපූරු විජ්ජා හරහා වාහන ගෙන්වමින් රජයට පාඩු සිදුකරන්නේ නම් ඒවා පිළිබඳ මුනිවත රකිනුයේ ඇයි?■

ප්‍රශ්නයක් තියෙනවා. ඒත් අපිත් ලාභයක් කරලා තියෙන්නේ
අරුන්දික ප්‍රනාන්දු
සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු නියෝජ්‍ය අමාත්‍ය
මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම කියන්න ඕනෑ මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. අමාත්‍යාංශයේ ප්‍රශ්නයක්. ලේකම්වරයා සමඟ ප්‍රශ්නයක්.
අපි අපේ කණ්ඩායම් අමතක කරලා යහපාලනයට උදව් කරන්න ආවා. ඒ වුණාට මාස හයක් යනකම් මට වාහනයක් දුන්නේ නැහැ. එතකොට නියෝජ්‍ය අමාත්‍යවරයෙක් විදියට මිනිස්සුන්ට වැඩ කරන්න මාස හයක් යනකම්ම වාහනයක් නැත්නම් මොකද්ද ඇති වැඬේ.
පාර්ලිමේන්තුවේදී ඇමතිවරුන්ට අමාත්‍යාංශවලට වාහන ගන්න ලක්‍ෂ 280ක් වෙන්කළා. හැමෝම කිව්වා ලක්‍ෂ 280ට ගන්න බෑ. ලක්‍ෂ 400 -500 අතර ඕනෑ කියලා. සමහරු ඊටත් වඩා ඕනෑ කිව්වා. ඒත් අපි දෙන්නා ලක්‍ෂ 280 වාහන දෙකක් ගත්තා. මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. මේ වාහන තීරු බදු සහන සහිත බලපත්‍රලාභීන් දෙදෙනකුගෙන් අරන් තියෙනවා. එක SML Frontier Automotives (pvt) Ltd ආයතනය අරගෙන තියෙන්නේ. දැන් ගොඩක් ආයතන මේ විදියට තමයි වාහන ගන්නේ.
ඉතින් අපේ ගණකාධිකාරී මේකට සල්ලි දෙන්න විරුද්ධ වුණා. මෙතැන රජයට පාඩුවක් වෙනවා කියලා. තීරු බදු අපි ගෙවන නිසා. ඒ තර්කයේ ඇත්තක් තියෙනවා. ඒත් අපි ලක්‍ෂ හාරසියයක් ගත්තා නම් ලක්‍ෂ 120ක් රජයට පාඩුනේ. ලක්‍ෂ පන්සියයක් ගත්තා නම් 220ක් පාඩුනේ. අපි ලක්‍ෂ 280ට ගැළපෙන්න වාහන ගත්තා. එතකොට ඒ ආයතනය බලපත්‍රලාභීන්ගෙන් වාහන අරගෙන. ඒක අපිට කරන්න දෙයක් නැහැ. අනෙක මේවා දවසක්වත් පාවිච්චි කරපුවා නෙමෙයි. මේ දොස්තර කෙනෙක්ගේ සහ හමුදා නිලධාරීයකුගේ වාහන. ඒක ඔවුන් විකුණලා තියෙනවා. මේවා කොහොමත් විකුණනවා. ඉතින් ඒවා අමාත්‍යාංශ මිලදී ගත්තාම තියෙන වරද මොකක්ද?
අපි මේ ගැන අගමැතිගේ ලේකම්ට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්ට දැන්නුවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් අපිට ලිඛිතව එවලා තියෙනවා එහෙම දෙයක් ගන්න බැහැ කියලා කොතැනක වත් නෑ, ඒ නිසා එක වරදක් නෙමෙයි කියලා. අගමැති ලේකම් කියන්නේ මේක හැම අමාත්‍යාංශයක්ම කළත් කමක් නැහැ කියලා. ඒත් මේ ගිණුම් නිලධාරියා සල්ලි පාස් කළේ නෑ. ලේකම් පාස් කරන්න කියනවා. ගිණුම් එක බෑ කියනවා. අපිට මේක දැන් ප්‍රශ්නයක්. වාහන දුන්න කම්පැණිය අපිට ලේටර් ඩිමාන්ඞ් එකක් එවලා තියෙනවා සල්ලි නොදුන්නොත් නඩු දානවා කියලා.■