රස්සා දීම


kathu

ආණ්ඩුවේ ඇමතිවරයකු තමාගේ ආධාරකරුවන්ට රැකියා දෙන ආකාරය දැක්වෙන, දැන් ප්‍රසිද්ධ ව තිබෙන, වීඩියෝ දර්ශන මත ඒ ඇමතිවරයා කුරුසියේ තබා ඇන නොගසා, අපට අලුත් සාකච්ඡාවක් ආරම්භ කළ හැකි ය. ඔහු කුරුස ගසෙක නංවනවා නම්, ඔහු සමඟ ම එහි නැංවිය යුතු දසදහස් ගණනක් ලොකු කුඩා දේශපාලනඥයෝ පිරිසක් ලංකාවේ සිටිති. වෙනසකට ඇත්තේ ඔවුන් රැකියා දෙන ආකාරය මෙලෙස වීඩියෝගත වී නොමැතිකම පමණෙකි. අඩු ගණනේ අප සතුටු විය යුත්තේ, මේ දේශපාලනඥයා අනෙක් බොහෝ අය මෙන් කාමර තුළ සම්මුඛ පරීක්‍ෂණ පවත්වා රැකියා නොදීම පිළිබඳව ය. තමාගේ පන්නයේ සම්මුඛ පරීක්‍ෂණ ඔහු පවත්වන්නේ ගමේ බොහෝ දෙනෙකු ඉදිරියේ දී ය.
අප කියවා ගත යුත්තේ, මේ සිදුවීම හරහා අපේ ඇස්වලට ඇන කියන ලංකාවේ රක්‍ෂා යථාර්ථය පිළිබඳ චිත්‍රය යි. එය ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හා අත්‍යන්තයෙන් බැඳී පවතියි.
වරප්‍රසාද නොලත් සමාජ තීරුවලට, සමාජ ක්‍රමයේ ඉහළට යා හැකි එක ම මාර්ගය ලෙස සැලකෙන්නේ අධ්‍යාපනය ලැබීම යි. එහෙත්, අවාසනාවකට මෙන්, ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ, මේ ඉලක්කයට ළඟා වන්නට හැකි වන්නේ සාපේක්‍ෂ ව ඉතා සුළු කොටසකට පමණකි. එක පැත්තකින්, විවිධ හේතු කාරණා නිසා අධ්‍යාපන ක්‍රියාවලියට කිසිසේත් එකතු නොවන පිරිස ය. තවත් පැත්තකින්, එලෙස අධ්‍යාපන ක්‍රියාවලියට එකතු වුණත්, අපොස සාමාන්‍ය පෙළ වැනි සාමාන්‍ය අධ්‍යාපන සුදුසුකමක් වත් නොලබා, එම ක්‍රියාවලියෙන් ඉවත් වන පිරිස ය. තවත් පැත්තකින්, අසමත් සාමාන්‍ය පෙළ පමණක් අතැ’ති ව අධ්‍යාපනයෙන් සමු ගන්නා පිරිස ය. අනෙක් පැත්තෙන්, උසස් පෙළ හැදෑරූ, උසස් පෙළ සමත් නමුත් උසස් අධ්‍යාපන වරම් අහිමි වූ පිරිස ය. ඒ වාගේ ම උපාධි ලබා වුව ද රැකියා විරහිත ව සිටිනා පිරිස ය. තවත් පැත්තකින් උපාධිය ලබා ඇති නමුත්, රැකියාවක් කිරීමට අවශ්‍ය වෙනත් කිසිදු කුසලතාවක් නොමැති ව අනාථ ව සිටින පිරිස ය.
මේ සියලු ආකාරයේ පිරිස්වලට ගෞරවනීය ජීවනෝපායක් සකසා දෙන ආකාරයේ වැඩපිළිවෙළක් පවත්වා ගෙන යන්නට රටක් හැටියට අප තවමත් සමත් වී නැත. එවැනි ජීවනෝපායක යෙදීම සඳහා මේ පිරිස් තුළ ආකල්පමය වෙනසක් කරන්නට සමත් ක්‍රියාදාමයක් ද ලංකාවේ ඇත්තේ නැත. අවසානයේ සිදුවන්නේ මේ සියලු දෙනාට ම දේශපාලනඥයන් පසු පස ගොස් රැකියා අයදින්නට සිදුවීම යි. ඒ සඳහා පෝලිම් බූත්වල නියෝජිතයන් ලෙස ඉන්නට, තමන්ගේ ඉඩමේ-නිවසේ පක්‍ෂ කාර්යාලයක් පවත්වන්නට ඉඩ දෙන්නට, කැන්වසින් යන්නට, ප්‍රචාරක රැස්වීම්වලට මහජනතාව සේ පෙනී ඉන්නට, කොළඹ සම්මේලන පවත්වන විට දේශපාලනඥයා එවන බස්වල නැගී විත් බත් පැකට් එකකට රුපියල් පන්සීයකට සහභාගිත්වය ලකුණු කර නැවත නිවසට එන්නට, අවශ්‍ය වුවහොත් ඇඟමස පුදන්නට වැනි සියලු ම දේ කරන්නට මේ පිරිසට සිදු වෙයි. දේශපාලනඥයන්ට අගයක් ඇත්තේ එවැනි පිරිසකගේ මිස, හොඳින් ඉගෙන ඉහළට යන්නට අවස්ථාව ලැබී ඇති සීමිත පිරිසගේ නොවේ. උපාධිධාරීන් වුව රැකියා විරහිත නම් ඔවුන් ද දේශපාලන පක්‍ෂවලට ඡන්ද ඉල්ලමක් බවට පත්වෙයි.
ඕනෑ ම ඇමතිවරයකු අමාත්‍යාංශයක් භාර ගත් විට ඒ තුළට තමන්ගේ පාක්‍ෂිකයන් පුරවාලීම අලුත් දෙයක් නොවේ. ලංකාවේ රෝහල්වල සිටින සේවක පිරිස් ඒ ඒ කාලයේ ධුර දැරූ සෞඛ්‍ය ඇමතිවරුන්ගේ ඡන්ද බල ප්‍රදේශයේ අයවලුන් වීම එක් උදාහරණයකි. ඒ ඇමතියා එයාගේ අමාත්‍යාංශය පුරවනවා, මම මගේ අමාත්‍යාංශය පුරවනවා යැ’යි මේ ඇමතිවරයා කියන්නේ ඒ ඇත්ත යි.
පසුගිය දිනෙක පැවැති රූපවාහිනී විවාදයක දී, වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන් හා හිටපු ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනකු තමන් දැරූ, දරන අමාත්‍යාංශවල රැකියා තම ප්‍රදේශවල පාක්‍ෂිකයන්ට දුන් ආකාරය ගැන සංඛ්‍යාලේඛන බෙදා හදා ගත්තේ ඉතාමත් සහයෝගයෙනි. එහිදී, හිටපු විදුලිබල ඇමතිවරයෙක්, තමාගේ කාලයේ අනියම් සේවකයන් ලෙස විදුලිබල මණ්ඩලයට බඳවාගත් තමාගේ ඡන්ද කොට්ඨාසයේ පිරිසකට, වත්මන් ආණ්ඩුව ස්ථිර පත්වීම් ලබා දීම ගැන කෘතඥතාව පළ කර සිටියේ ය. ලක්‍ෂ ගණනක් නරඹන රූපවාහිනී වැඩසටහනක දී මේ හිටපු හා වත්මන් ඇමතිවරුන් කළ ප්‍රකාශ ගැන කිසිවකු විවේචනයක් කරනවා ඊට පසු අසන්නට ලැබුණේ ද නැත.
අධ්‍යාපන සුදුසුකම් නැති හෝ අඩු සුදුසුකම් තිබෙන අය, ප්‍රස්තුත වීඩියෝවේ දැක්වෙන ආකාරයට, පෝලිම් ගැසී දේශපාලනඥයන් පසුපස රැකියා ඉල්ලමින් යන විට, සුදුසුකම් තිබෙන අය ද, සිටින තත්ත්වයට වඩා හොඳ රැකියාවකට යන්නට, පෞද්ගලික අංශයේ රැකියාව වෙනුවට රජයේ රැකියාවක් ලබා ගන්නට, කරන රැකියාවේ තවත් වැඩි පහසුකම් වරදාන ගන්නට හැකි සෑම අවස්ථාවකදී ම දේශපාලනඥයන්ගේ පිහිට පැතීම, ඔවුන්ගෙන් ලියුම් ඉල්ලා ගෙන යෑම අපේ කනගාටුදායක යථාර්ථයයි. මේ ඉල්ලුම් සැපයුම් නයාය ක්‍රියාත්මක වන තාක් වීඩියෝවේ දැක්වෙන තත්ත්වයේ වෙනසක් නොවනු ඇත.
අප රටක් ලෙස කතා කළ යුත්තේ සමස්තයක් හැටියට මේ අවුලෙන් ගොඩ යන ක්‍රමය ගැන නොවේ ද? ■