Wednesday, 23/8/2017 | 8:02 UTC+0
රාවය

ජනවාරි 08 ප්‍රාර්ථනා බිඳවැටීම සහ බිඳදැමීම

මහාචාර්ය සරත් විජේසූරිය

ජනාධිපතිවරයා කළ කතාව බොහෝ දෙනා වරදවා වටහා ගත් බවය දැන් අසන්නට ලැබෙන්නේ. බොහෝ දෙනාගේ වටහා ගැනීම සාවi බව පවසමින් එම කතාව විවරණය කිරීමේ ප්‍රයත්නයක් ද විද්‍යාමානය.
ජනාධිපතිවරයා පවසන සෑම අදහසක්ම මේ රටේ ජනතාවට පැහැදිලිව අවබෝධ වන බව මගේ අවංක හැඟීමයි. අගමැතිවරයා පවසන ඇතැම් අදහසක් නොවැටහෙන නමුත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශන ශක්තිය මෙන්ම ප්‍රකාශන විලාසය ද පැහැදිලිය. එය සනාථ කිරීමට කෙටි කාලයක් තුළ දී රට වැසියන් අමතමින් රාජ්‍ය බලය ලබා ගැනීමට සමත්වීම පමණක් වුව ප්‍රමාණවත්ය.
රාජ්‍ය නායකයෙකු පැවසූ අදහසක් සම්බන්ධයෙන් වැදගත් වන්නේ ඒ පිළිබඳ ලබා දෙන අර්ථකථන නොව, ජනතාව ඒ සම්බන්ධයෙන් එළඹෙන නිගමනයයි. ජනතාව එළඹෙන නිගමනය ආපසු හැරවීමට නොහැකිය.

ජයග්‍රහණය අවභාවිතය
ජනාධිපතිවරණයෙන් අනතුරුව බලය හුවමාරු කර ගැනීමේ ක්‍රියාවලියට තිරු නඬේසන් නමැත්තා අතරමැදියෙකු කර ගෙන ඇත. ජයග්‍රහණය කළ පොදු අපේක්ෂකයාට හිමිවන බලය උරුම කර ගැනීමට තිරු නඬේසන් කුමට ද? තිරු නඬේසන් ඉක්බිතිව හිමිකර ගන්නා භූමිකාව ඔහු පෙර දවස හිමිකරගෙන තිබුණ භූමිකාවම වන්නේය. ඒ හේතුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ ජනවාරි 08 ප්‍රාර්ථනා බිඳ දමන්නා ලෙසින් දෝෂ දර්ශනයට ලක්ව සිටින්නේය. ජනාධිපතිවරණ සමයේ ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කළ තිස්ස අත්තනායක වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගෙන තිබෙන පියවර, රාජපක්ෂවරුන් බලයේ රැඳී සිටීමට ගන්නා ලද කුමන්ත්‍රණය විමර්ශනය කොට නීතිය ක්‍රියාත්මක කිරීමට නොගන්නේ ද නැත.
රාජපක්ෂ පවුල රැක බලා ගැනීමේ ක්‍රියා කලාපයට ජනාධිපති වරයාගේ සම්බන්ධයක් ඇත්තේම නැද්ද? එවැනි සම්බන්ධයක් ඇත්තේම නැත්නම්, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන දේශපාලන න්‍යාය පත්‍රයක් යටතේ සිදු වන බවට ජනාධිපතිවරයා නඟන චෝදනාව යුක්ති යුක්තය.
දින සියයේ ආණ්ඩුව තුළ දූෂණ වංචා විමර්ශන නිසි අන්දමින් සිදු කොට ‘හොරු ඇල්ලීම’ ද සිදු නොවීම නීති ගරුක පුරවැසියන්ගේ ද දෝෂ දර්ශනයට දිගින් දිගටම ලක් විය. මේ සම්බන්ධයෙන් සියලු අපවාද එල්ල වූයේ අගමැතිවරයාටයි. අදටත් අගමැතිවරයාට නැඟෙන චෝදනාවක් වන්නේ රාජපක්ෂ පවුල සහ ඔවුන්ගේ ගජ මිතුරන් ‘ආරක්ෂා කිරීමේ හා රැක බලා ගැනීමේ’ පිළිවෙතක අග්‍රාමාත්‍යවරයා පසුවෙන බවයි.
රාජපක්ෂ පවුල රැක බලා ගැනීමේ ප්‍රතිඥාවක් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයෙන් ජය ලබා ජනාධිපති පදවියේ දිව්රුම් දීමෙන් අනතුරුව ලබා දී තිබේ ද? තිබේ නම් එය ද උභතෝකෝටිකයකි!

මා දුටු ජනවාරි 8
ජනවාරි 08 ජයග්‍රහණයේ නිල උරුමක්කාරයා ජනාධිපති වරයා වන්නේය. ඒ ජයග්‍රහණයේ අස්වැන්න එතුමාගේ ජයග්‍රහණයට කැපවුණ කාටත් භුක්ති විඳීමට සාධාරණ අයිතියක් හ‘මිය. එහෙත් අස්වැන්න දිගින් දිගටම භුක්ති විඳින්නට භාග්‍යය හ‘මි වන්නේ පොදු අපේක්ෂකයා පරාජය කිරීමට කැපවුණ පුද්ගලයන්ටය. ඒ ඔවුන්ගේ භාග්‍යය ලෙස අපි සලකමු. තතු කෙසේ වෙතත්, ජනාධිපතිතුමා සිය ජයග්‍රහණය ඔස්සේ නීති ගරුක පුරවැසියන්ට අත්පත් කර දෙන්නට පොරොන්දු ඉටු නොකිරීම වරදක් නොවේ ද? ඒ සම්බන්ධයෙන් තව දුරටත් ප්‍රතිඥා අවශ්‍ය වන්නේ නැත. අවශ්‍ය වන්නේ නිර්භීත තීන්දු තීරණ ගැනීමය. ඒ වගකීම ඉටු නොවන්නේ මන් ද?
මේ ප්‍රශ්නවලට තර්කානුකූලව සනාථ කළ හැකි සාධක සහිතව පිළිතුරු සපයා ගැනීමට සන්ධාන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු වන මලිත් ජයතිලක විසින් ලියන ලද ‘මා දුටු ජනවාරි 08’ නමැති කෘතියෙන් පුළුවන. ජනවාරි 08 ජයග්‍රහණය උපන් ගෙයිම මිය බවට කෙනෙකුට ප්‍රවාදයක් ගොඩ නැඟීමට වුව මේ කෘතියෙන් පුළුවන. මේ පොත කියවන තුරු මා කිසි විටෙක විශ්වාස නොකළ ඇතැම් කාරණා ඉතා අසරණ ලෙස පිළිගැනීමට අද සිදුව තිබේ.
මලිත් ජයතිලක මේ පොත ලියා තිබෙන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රති රූපය ප්‍රබලව මතු කරන අයුරින්ය යන්න පැවසුණ ද, මේ කෘතියෙන් ජනාධිපතිවරයා කෙරේ නීති ගරුක පුරවැසියන් තුළ තිබුණ ගෞරවය සාහසික අන්දමින් විනාශ කර තිබේ. මේ පොත කියවා අවසන දී මගේ සිහියට නැඟුණේ ඬේල් කානගී පවසා තිබෙන අදහසකි.
“උත්තුංග චරිතයක් නව පරම්පරාවකට හඳුන්වා දීමට සුදුසුම පුද්ගලයා වන්නේ ඒ චරිතයට සමීපව සිටි පුද්ගලයා නොවේ. සුදුසුම පුද්ගලයා වන්නේ දුරස්ථව සිට ඒ චරිතය අධ්‍යයනය කිරීමට කාලය කැප කිරීමට සමත්, අගතියෙන් තොර පුද්ගලයා වේ.”
මලිත් ජයතිලකගේ කෘතිය අර්ධ වශයෙන් ස්වයං ලිඛිත චරිතාපදානයකි. එහි මූලික වශයෙන් සිදු කරන්නේ ඔහු රාජපක්ෂ පාලනය වෙනුවෙන් කළ කැපවීමට නිසි තැන නොලැබීම හා දේශපාලනිකව ඔහුට අත්විඳින්නට සිදු වුණ කෙණෙහිලිකම් ගැන වේදනාව ප්‍රකාශ කිරීමය.
‘මා දුටු ජනවාරි 08’ මොන විදිහකටවත් ස්වයං ලිඛිත චරිතාපදානයක් නොවේ යයි තර්ක කළ හැකිය. එය දේශපාලන ක්‍රියාදාමයක් විභාග කළ දේශපාලනික විවරණයක් බව පැවසිය හැකිය. එසේ නම් ඒ වූකලි අතිශයින් අසාර්ථකවූ ප්‍රයත්නයකි.
අගමැතිවරයා රාජපක්ෂ පවුල හා ගජ මිතුරන් රැක බලා ගන්නා බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව කොතනක හෝ තවමත් පිළිගත හැකි අන්දමින් ලේඛනගත වී නැත. එනමුත් එබඳු ප්‍රතිඥාවක් නැතැයි පැවසීමට ද නොහැකිය.
එජාප නායකයා නිසි සහයෝගය ලබා නොදුන්නේ නම් පොදු අපේක්ෂකයාගේ පරාජය නියතය. අප දැන කියාගෙන සිටියේ ජනාධිපතිවරණයේ දී එජාප නායකයා සහ පොදු අපේක්ෂකයා නිසි අවබෝධයකින් හා නිසි විශ්වාසයකින් එකම අරමුණක් වෙනුවෙන් කැපවී කටයුතු කළ බවයි. මලිත් ජයතිලකගේ පොතෙන් පෙන්වා දෙන්නේ කිසියම් සීතල යුද්ධයක් ජනාධිපතිවරණ සමයේදී පැවතුණ බවකි. එය සනාථ කරන නිදසුනක් මෙසේය.
“…..වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම පරිදි මෙලෙස දිනයේ වැඩි කාලයක් මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ ගත කිරීමට මට සිදු විය. වික්‍රමසිංහ මැතිතුමා වරක් මට මෙසේ කීය. ‘මලිත් ඔයාගේ බොස්ව දිනවන්න නම් එ.ජා.ප.ය පූර්ණ වශයෙන් අවදිකර සක්‍රිය කළ යුතුයි. ඒ සඳහා මට ඔයාගෙනුත් උදව් ඕනෑ’ මම එතුමාගේ ප්‍රකාශය මහා ගැඹුරක් ඇති ප්‍රකාශයක් ලෙස සිත්හි ධාරණය කර ගතිමි…. .මෛත්‍රී ඇමතිතුමාගේ ජයග්‍රහණයේ තීරණාත්මක සන්ධිස්ථානය එ.ජා.ප.යේ පමණක් ඡන්ද ප්‍රතිශතය 40% ධන තැනක පැවතීමයි. තර්කයක් නොමැත. කෙසේ වෙතත් මේ තුළ යම් අර්බුදකාරී තත්වයක් නිරායාසයෙන්ම පැන නැඟී තිබෙන බව දින දෙකක් තුනක් යත්ම මට වැටහී ගියේය. සාමාන්‍යයෙන් මම පෙරවරු 7 පමණ වන විට විජේරාම නිවසට යා යුතුය. මෛත්‍රී ඇමතිතුමා එය නියම කොට නොතිබුණ ද එතුමා එලෙස බලාපොරොත්තු වූවා වැනිය… මෙවැනි සන්දර්භයක් තුළ දින දෙක තුනක් පෙරවරු 7 පමණ වන විට විජේරාම නිවසට මට යා නොහැකි වූයේ රාත්‍රියේ නිදිවර්ජිතව ඉහත පැවරුණු වැඩ කටයුතු කිරීම නිසාවෙනි. ඒ සියල්ල ජනාධිපතිවරණයේ ජයග්‍රහණය උදෙසාය. මෙලෙස පෙරවරුවේ විජේරාම නිවසට නොයන මම විපක්ෂ නායක කාර්යාලයේ සිටිනු මෛත්‍රී ඇමතිතුමාටම නිසැක යෙන්ම නිරීක්ෂණය කරන්නට ඇත……මෙහි ප්‍රතිඵලයක් ලෙස පෙරවරුවේ විජේරාම නිවසට නොඑන මලිත් විපක්ෂ නායක කාර්යාලයේ සිටීම සම්බන්ධයෙන් මෛත්‍රී ඇමතිතුමා පරණවිතාන සමඟ මට දෙහි කපා ඇත. එය කන වැකුණු වහාම මම මගේ දින චර්යාව නැවත ඊට අනුව සකස් කර ගතිමි……..”
මේ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අදටත් වලංගු කිසියම් යථාර්ථයකි.
ශිරාල් ලක්තිලක ජනාධිපතිවරයාගේ ජයග්‍රහණයට කැපවුණ පුද්ගලයෙකු බවට සැකයක් නැත. එහෙත් ඔහු සහ රනිල් වික්‍රමසිංහ අතර සුවපත් නොවන විරසකයක් ඇති බව නොරහසකි. එය ජනාධිපතිවරයා නොදන්නා කරුණක් නොවේ. එබැවින් ඔහු ජනාධිපතිතුමන්ගේ සම්බන්ධීකරණ ලේකම් පදවියට පත් කිරීම බරපතළ කාරණාවකි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට එය කණේ පාරක් වුව ඉවසීම හැර වෙන විසඳුමක් නොවීය. මේ පුවත සැල වූ මොහොතේ මාදුළුවාවේ සෝභිත හ‘මියන් පැවසුවේ මෙවැන්නකි. ‘හරි අකෘතඥයි මහත්තයො’

වැරදුණ තැන
‘මා දුටු ජනවාරි 08’ කෘතියෙන් රටට හෙළි කරන රහසක් ඇත. ඒ රහස අනාවරණය කරන්නේ මහින්ද අමරවීර මන්ත්‍රීතුමා මුල් කර ගනිමිනි. මහින්ද අමරවීරට නව ජනාධිපතිවරයා දුරකථන යෙන් කතා කර විමසන්නේ, ‘සන්ධානය විසින් අගමැතිවරයෙකු පත්කර ගැනීමට උත්සාහයක් තිබේ ද’ යන්නයි. ඊට දී තිබෙන පිළිතුර වන්නේ එවන් යෝජනාවක් හෝ උත්සාහයක් නොමැති බවය.
“…..සැබවින්ම අමරවීර ඇමතිතුමා එසේ කීව ද මැදමුලනේ දී එවැනි යෝජනාවක් පැමිණි බව අමරවීර ඇමතිතුමා මෙන්ම මෛත්‍රී ජනාධිපතිතුමා ද දැන සිටියේය…” (523 පිටුව)
අමරවීර මන්ත්‍රීතුමා ජනාධිපතිවරයාට මුසා බසක් පවසන්නේ මන් ද? ඊට හේතුව මෙසේ සඳහන්ය.
“……කිසිදු ආරක්ෂක යෙකු නොමැතිව අමරවීර මන්ත්‍රීතුමා සමඟ ඔහුගේ නිවසට ජනාධිපතිතුමා පැමිණියේය. තම නිවසට පැමිණි මෛත්‍රී ජනාධිපතිතුමා පිළිගැනීම මහින්ද අමරවීර මන්ත්‍රීතුමා විසින්ම සිදු කළ අතර එහි සිටි මන්ත්‍රී කණ්ඩායමට ද යම් නුහුරු බවක් ඔවුන් තුළින් දිස් විය. තම පක්ෂයේ මහ ලේකම්වරයා හා තම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා තම පක්ෂයේ අසහාය ජනාධිපතිවරයා පරාජයට පත්කොට දැන් තමන් සිටි ස්ථානයට ආරක්ෂකයන් ද නොමැතිව පැමිණ සිනහමුසු මුහුණෙන් සිටියි.
ජනාධිපතිතුමා පිළි ගැනීමෙන් අනතුරුව අමරවීර මන්ත්‍රීතුමා සාකච්ඡාවට ප්‍රවේශයක් ලැබෙන පරිදි සිය කතාව ආරම්භ කළේය. ‘ඔබතුමාට විරුද්ධව වැඩියෙන්ම වැඩ කළේ මම. තංගල්ල ඡන්ද ප්‍රතිඵලයෙන්ම ඒ බව පේනවා. ඔබතුමාට අඩුවෙන්ම ඡන්දෙ දීලා තියෙන්නෙ තංගල්ලෙ ජනතාව. මගේ ඉල්ලීම් කිහිපයක් තිබෙනවා. ඉන් පළමුවැන්න රාජපක්ෂ පවුල ආරක්ෂා කරල දෙන්න………ඉන් අනතුරුව සිදුවූ සියල්ල අමරවීර මන්ත්‍රීතුමා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාට ද දැනුම් දුන්නේය. ඒ අනුව නාමල් මන්ත්‍රීතුමා ද අමරවීර මන්ත්‍රීතුමාගේ නිවසට එම රාත්‍රියේම පැමිණියේය….” (525 පිටුව)
දීර්ඝ වශයෙන් මලිත් ජයතිලක මේ විස්තර මඟින් සිදු කරන්නේ මෛත්‍රී ජනාධිපතිතුමාගේ නිහත මානී බව ප්‍රකාශ කිරීමයි. ඒ මොන තරම් විහිළුවක් ද? ජනාධිපතිවරණයේ දී එතුමා සතු නිහතමානී බව, නිරහංකාර බව, සරල බව, මැනවින් විදහා දැක්වීය. ඉදුණු කෙසෙල් ගෙඩි නැවත ඉදවන්නේ කුමට ද? ඉන් සිදු වන්නේ පරිභෝජනයට ඒ කෙසෙල් නුසුදුසු වීමය.
මලිත් හෙළි කරන තවත් රහසක් මෙසේය.
“…..මහින්ද රාජපක්ෂ හිතවාදීන් බොහෝ දුරට නිශ්චිත දේශපාලන අරමුණක්, ඉලක්කයක් නොමැතිව පරාධීනව කටයුතු කළ ආකාරයක් දැක්ක හැකි විය. ශ්‍රී.ල.නි.ප.යේ අර්බුදය පක්ෂයටත් පරාජිත මහින්ද රාජපක්ෂ මහතාටත් අවම හානිය ගෙන දෙන ආකාරයෙන් විසඳා ගැනීමට ඇති මං මොනවාදැයි අපි සොයා බැලුවෙමු. එහිදී පළමුව රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මුහුණ දී සිටින ගැටලු හා ප්‍රශ්නවල ස්වභාවය මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකින් තේරුම් ගෙන ඊට ලබා දිය හැකි විසඳුම් තිබේ දැයි අපි සොයා බැලුවෙමු. මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට සුදුසුම අතරමැදියෙකු ස්වේච්ඡා වෙන්ම ඉදිරිපත් විය. ඒ හර්මන් ගුණරත්න මහතාය. රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකු වන හර්මන් ගුණරත්න මහතා මෛත්‍රී ගුණරත්නගේ පියාය. මැතිවරණ පරාජයෙන් පසුව වුව ද හර්මන්, විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අඛණ්ඩ සංවාදයක නිරතව සිටියේය. ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට අදාළ අනුමැතිය පළමුව මෛත්‍රී ජනාධිපතිතුමාගෙන් ලබා ගතිමු. ඒ අනුව ශිරාල්, හර්මන්, මෛත්‍රී ගුණරත්න සහ මම මෙහි ආරම්භක පියවර ලෙස නුගේගොඩ උඩහමුල්ලේ පිහිටි ගෝඨාභය මහතාගේ නිවසට ගොස් ඔහු මුණ ගැසුණෙමු. ඒ 2015 අප්‍රේල් 17 වැනිදාය. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයෙන් ටිරාන් අලස් ද ඊට සහභාගි විය….. මේ ආකාරයට ආරම්භ වූ සාකච්ඡා මාලාව අවස්ථා තුනකදී පමණ ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සිදු කරන ලද අතර දෙවන සාකච්ඡාවෙන් පසුව මෛත්‍රී ජනාධිපතිතුමා හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් සඳහා අපි පසුබිම සැකසුවෙමු……… අපි යොදා ගත් දිනයෙක රාත්‍රියේ ගෝඨාභය රාජපක්ෂ මහතාව මෛත්‍රී ජනාධිපතිතුමාගේ නිවසට අපි කැඳවා ගෙන ගියෙමු. ජනාධිපතිවරණ සමයේ දී මෙන්ම චූලා හා රංජිත් විජේරාම නිවසේ ප්‍රධාන පිවිසුමෙහ‘ ආරක්ෂක නිලධාරීන් අවම කොට අනවශ්‍ය විදුලි පහන් නිවා දමා රහසිගත සාකච්ඡාවකට අදාළ පසුබිම සකසා තිබුණි. මේ සඳහා ශිරාල්, මෛත්‍රී ගුණරත්න සමඟ මා ද සහභාගි වූහ. මෙම සාකච්ඡාවේ මූලික අරමුණ වූයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ අනාගතය හා ශ්‍රී.ල.නි.ප.ය අර්බුදයකින් තොරව මෛත්‍රී ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් යුතුව ඉදිරියට ගෙන යෑමට අදාළ කරුණු සාකච්ඡා කිරීමය. ඉතාමත් සුහදශීලී මට්ටමින් පැවති එම සාකච්ඡාව අවසන් වූයේ නැවත ඉක්මනින් හමුවීමේ එකඟතාව ද ඇතිවය. ඒ අනුව මෛත්‍රී ජනාධිපති තුමා, හා ගෝඨාභය රාජපක්ෂ මහතා අතර පැවති දෙවන සාකච්ඡාව ද පෙර පරිදිම රාත්‍රියක සිදුවූ අතර ඊට මෛත්‍රී ජනාධිපතිතුමා, ගෝඨාභය රාජපක්ෂ මහතා, ශිරාල් හා මා සහභාගි වූහ. එය ද අතිශයින්ම සාර්ථක විය. මේ සාකච්ඡාව සිදු වන විට නව තත්වයක් වර්ධනය වෙමින් පැවතිණි. ඒ අප විසින් යෝජනා කළ විසඳුම් මාලාවකට දෙපාර්ශවයේම එකඟතාවක් මතුවෙමින් පැවතීමය…..”(611 ඳී 612)
මලිත් ජයතිලකගේ අනාවරණය වැදගත්ය. ඒ මන් ද? රාජපක්ෂ පාලනයේ නීති ගරුක පුරවැසියන්ට මර බිය ඇති කළ, මේ වන විට අනාවරණය වී තිබෙන පරිදි මනුෂ්‍ය ඝාතන සම්බන්ධව ඇඟිල්ල දිගුවී තිබෙන ගෝඨාභය රාජපක්ෂගේ මතු ආරක්ෂාව උදෙසා අදෘශ්‍යමානව බලසම්පන්න වීමේ පසුබිමක් නිර්මාණය වන අන්දම මේ ඔස්සේ විශද වන්නේය. ඒ කෙසේ වෙතත් ජනාධිපතිවරයා තමා සමඟ පක්ෂයෙන් පිටතට පැමිණි ප්‍රධාන පුද්ගලයන් සමඟ සාකච්ඡා කිරීමකින් තොරව මෙබඳු රහසිගත මුණගැසීමක් ශිෂ්ටසම්පන්න ද යන්න ප්‍රශ්නයකි. එහ‘ වරද ජනාධිපතිවරයාගේ ද? මලිත් ජයතලකගේ හා ශිරාල් ලක්තිලකගේ ද?
ජනාධිපතිතුමා පසුගිය දිනෙක සිදු කළ කතාවෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධ පිළිකුල හා අප්‍රසාදය උපදින්නේ කොතනින් ද?
මලිත්, ශිරාල් පටු න්‍යාය පත්‍ර ඔස්සේ සිදු කර තිබෙන ‘එක්තරා අන්දමක කුමන්ත්‍රණයක්’ නිසා නොවේ ද?
අපරාද දූෂණ වංචා විමර්ශනය මන්දගාමී මන්ද? හොරු අල්ලන්නේ නැද්ද? යනාදි ප්‍රශ්න ජන මාධ්‍යවලින් ප්‍රහාරාත්මක ස්වරූපයෙන් සිවිල් සමාජයෙන් විමසන විට, සිවිල් සමාජය ඒ සඳහා උත්තර බඳිමින් කටයුතු කරන විට, ජනවාරි 08 ප්‍රතිඥා කණපිට හරවන බලවේගයක් ක්‍රියාත්මක වීම මොන තරම් ශෝචනීය ද?

මලිත් හා ශිරාල්ගේ ව්‍යාපෘතිය බැසිල් රාජපක්ෂට ද ඉදිරිපත් කර ඇති බවත් ඔහුගේ ද අනුමැතිය ලබා ගත් අන්දමත් විස්තර වන්නේ මෙසේය.
“……මෙම අවස්ථාවේ දී මහ‘න්ද රාජපක්ෂ මහතාට මේ මහ පොළොවේ ඉතිරිව ඇති සාධාරණම විසඳුම මෙවන් ‘ගෞරවාන්විත පැවැත්ම’ පිළිගැනීම බව මම බැසිල් මහතාට විග්‍රහ කර දුන්නෙමි. මගේ යෝජනාවට ඔහු ඉතා යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. මෙම යෝජනාව මෛත්‍රී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කර එතුමාගේ අනුමැතිය ලබා ගැනීමට මා බාරගත් අතර මහින්ද රාජපක්ෂ මහතාට හා පවුලේ සාමාජිකයන් වෙත මෙම අදහස ඉදිරිපත් කර ඔවුන්ගේ ප්‍රතිචාරය ලබා ගැනීම බැසිල් රාජපක්ෂ බාර ගත්තේය. ඒ අනුව ඊට දින දෙක තුනකට පසුව ශිරාල් හා මා නැවත බැසිල් රාජපක්ෂ මහතා හමු වූයේ දෙපාර්ශවයෙන්ම ලැබුණු ධනාත්මක ප්‍රතිචාරත් සමඟය……….දෙපාර්ශවයේම එකඟ වී ඇති මෙම යෝජනාව තව දුරටත් ඉදිරියට ගෙන යාමේදී ඊට අවශ්‍ය මූලික නීතිමය රාමුව ශිරාල් හා මා විසින් මූලික වශයෙන් සකසන ලදී. බැසිල් රාජපක්ෂ මහතාගේ සාකච්ඡාවට සමගාමීව අප දෙදෙනා විසින් මේ පිළිබඳ වහාම ගෝඨාභය රාජපක්ෂ මහතා මුණ ගැසී ඔහුව ද දැනුම්වත් කරන ලදී. ඔහුගේ ප්‍රතිචාරය ද පළමු අවස්ථාවේ සිටම ඉතාමත් ධනාත්මකය……නාමල් මන්ත්‍රීතුමා ද ඉදිරි සාකච්ඡාවලට ඉතා උනන්දුවෙන් සහභාගි විය. ඒ අනුව නාමල් මන්ත්‍රීතුමාට අවස්ථා දෙකකදීම මෛත්‍රී ජනාධිපතිතුමා මුණ ගැසී සාකච්ඡා කිරීමට අවශ්‍ය පසුබිම සැකසීය. එම සාකච්ඡා සඳහා ජනාධිපතිතුමා, නාමල් හා මා පමණක් සහභාගි වූහ…….මෙම හමුවීම් දෙකෙහිදීම මහ මැතිවරණයට පෙර මහින්ද රාජපක්ෂ මහතාට ‘ගෞරවාන්විත පැවැත්ම’ ලබා දීමට ඇති හැකියාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කළේය. තව ද, නාමල් මන්ත්‍රීතුමාගේ යෝජනාව වූයේ ලබාදීමට යෝජිත මෙම ‘ගෞරවාන්විත පැවැත්මත් සමඟ අවම තරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නම ජාතික ලැයිස්තුවට ඇතුළත් කරන ලෙසයි…….” ( 615 ඳී619 පිටු)
මලිත් ජයතිලක දීර්ඝව වශයෙන් පවසන තතු ඔස්සේ පැහැදිලි වන්නේ, ‘ගෞරවාන්විත පැවැත්ම’ ද ලබා ගනිමින් මැතිවරණයට පෙනී සිට ආණ්ඩුවක් පිහිටුවීමේ අරමුණක් රාජපක්ෂ පාර්ශවය තුළ තිබුණ බවයි. ‘ගෞරවාන්විත පැවැත්ම’ සමඟ ආණ්ඩුවක් ද පිහිටුවා ගත්තේ නම්, එහි අවසානය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන ජීවිතය සාහසික අන්දමින් ඝාතනය කිරීමය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම එක මාසයකින් ප්‍රමාද වී නම් රාජපක්ෂ පාර්ශවයේ සැලසුම් සාර්ථක වනු නියතය.
නොපැසුණ අවිචාරවත් ක්‍රියාවලියක් ඔස්සේ සිදු කර තිබෙන්නේ මොන තරම් බරපතළ කටයුත්තක් ද?
රාජ්‍ය පාලනය නොදරුවන් සමඟ මෙන්ම, අති පෞද්ගලික න්‍යාය පත්‍ර අත තබා ගෙන සිටින්නන් සමඟින් කළ නොහැකිය. රාජ්‍ය පාලනය පෞද්ගලික කටයුත්තක් ද නොවන්නේය. තතු කෙසේ වෙතත්, පොදු අපේක්ෂකයා බලයට පත් කළ සියලු දෙනාගේ ප්‍රාර්ථනා බොඳවී යන තත්වයක් නිර්මාණය වී තිබෙන්නේ ලැබුණ ජනතා වරමට අනුව විවෘත හා දූරදර්ශී න්‍යාය පත්‍රයක් නිර්මාණය නොවීම තුළ බව පෙනේ. එය සිදු වන්නේ කෙසේ ද? ඒ ගැන අවබෝධයක් ලැබීමට ද මලිත් ජයතිලකගේ කෘතිය ඔස්සේ පුළුවන.■