රාවය

සියවසක මිනිස් ගුමුගුමුව දෙල්කඳ පොළ

සියවසක මිනිස් ගුමුගුමුව දෙල්කඳ පොළ

මහරගමත් නුගේගොඩත් අතර දිවෙන පටු පාරේ එකල නිබඳ කරත්ත කවි ඇසුණි. ? පානේ නම් මං පහරන්නෝද සිටියහ. එහෙත් දහවල මනස්කාන්තය. මනස්කාන්ත බව වැඩි කළේ පටු මාවත දෙපස වූ වන ගහනයයි. මහරගම සිට නුගේගොඩ දක්වා අතරමැද දුරින් දුර පෙනෙන නිවාස පිහිටා තිබුණි. ඔවුහු සිය පාරිභෝගික අවශ්‍යතා පිරිමසා ගත්තෝ එක්කෝ නුගේගොඩට යෑමෙනි. නැතහොත් මහරගමට පැමිණීමෙනි. විජේරාමට මඳක් ඔබ්බෙන් හා හයිලෙවල් පාරේ රත්තනපිටිය පාරට හැරෙන ස්ථානයට මඳක් මෑතින් අපූරු භූමියක් තිබුණි. එය කොස්, දෙල්, පොල්, නමිනං, ජම්බු, රඹුටං ආදී නෙක වෘක්ෂලතාදියෙන් සැපිරුණේ විය.

දෙල්කඳ පොළ

වර්තමාන දෙල්කඳ පොළෙහි ඉතිහාසය වසර 120ක් වැනි ඈතකට දිවෙන්නකි. එනම් දළ වශයෙන් දෙල්කඳ පොළ ඇරඹුණේ එක්දහස් අටසිය අනූ ගණන්වල මැද භාගයේදී විය හැකිය. දෙල්කඳ ගස්වැල්වලින් පිරුණු වනාන්තරයක් බඳු භූමියේ එළිමහන් ස්ථානයක වෙළෙඳාම් කටයුතු ආරම්භ කළෝ වනරොදට යාබද පටු මාවතේ යාම් ඊම් කළ ගැල්කරුවෝය. එසේ බලනවිට දෙල්කඳ පොළෙහි වර්තමාන වෙළෙඳුන් පොළෙහි ආරම්භකයන්ගේ තුන්වැනි හෝ හතරවැනි පරම්පරාවේ සාමාජිකයෝ වෙති. දෙල්කඳ යනුවෙන් හැඳින්වීමක්ද එකල නොවුණි. පොළ භූමියෙහි වූ විශාල දෙල් ගසක් සිය ජීවන කිස නිමා කොට මහමගෙහි අර්ධයකුත් හරස්කොට වැතිරිණි. ගසෙහි විශාලත්වය කොතෙක්ද යත් පා ගමනෙන් යන්නෝ දෙල්ගසෙහි කඳ මතින් පැන ගමන යනවා විනා එය කපා ඉවත්කිරීමට කටයුතු නොකළහ. මෙම ස්ථානය මුලින් මුලින් දෙල් කඳ තිබෙන ස්ථානය ලෙස හැඳින්වෙන්නට පටන් ගත් අතර පසුව දෙල්කඳ යනුවෙන් නාමකරණය වී ඇති බව මුඛ පරම්පරාගතව එයි.

වෙළෙඳ පරිවාරය

කොළඹ, නගරයක් ලෙස සංවර්ධනය වන්නට පටන් ගත්තේ පෘතුගීසීන්ගේ පැමිණීමත් සමගය. විශේෂයෙන්ම කොළඹ යනු කෘෂිකර්මාන්තයට නොබට ප‍්‍රජාවක් වාසය කළ පළාතකි. කොළඹ සංවර්ධනය වූයේ පරිවාරයේ ඇති සෙසු ප‍්‍රදේශවල නිපදවෙන විවිධ නිෂ්පාදන හා භෝග අස්වැන්න අලෙවි කළ ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානය ලෙසය. ලන්දේසි සමයේ කොළඹ නමැති වෙළෙඳ මධ්‍යස්ථානය තවදුරටත් වැඩිදියුණු වූ අතර බහුල වශයෙන්ම පරිවාරයේ ප‍්‍රදේශවල නිෂ්පාදන ආර්ථිකයට අවශ්‍ය පසුබිම සැකසුණේද එම වකවානුවේදීය. පැපිලියානේ වළං නිෂ්පාදනය කැරුණු අතර බොරලැස්ගමුවේ උළු නිෂ්පාදනය කැරිණි. පෑලියගොඩ ආශ‍්‍රිතව හුණු නිෂ්පාදනය විය. හුණුපිටිය යන්න ස්ථාපිතවන්නේ ඒ අනුවය. ඒ ආකාරයට හකුරු වැනි නිෂ්පාදන කොළඹට නුදුරු පළාත්වල මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන්නට පටන් ගන්නේ කොළඹ වෙළෙඳපොළ කේන්ද්‍ර කරගනිමිනි. තොටළඟ පොළ බිහිවන්නේ එහි සිට කොළඹට භාණ්ඩ ප‍්‍රවාහනයට පහසුකම් තිබියදීය. එසේ වන්නේ කැලණි ගඟ දිගේ මෙන්ම නුවර පාර දිගේ රැුගෙන එන භාණ්ඩ ගොඩබාන ස්ථානයක් ලෙස තොටළග පත්වූ තත්ත්වය සලකාය. වර්තමානයේදී නාගලගම් වීදිය දැවැන්ත වෙළෙඳ මධ්‍යස්ථානයකි. එය එම ස්ථානයට ආවේණික වෙළෙඳපළකි. දෙල්කඳදීත් සිදුවන්නේ එබඳුම ක‍්‍රියාවකි. මීට සති දෙක තුනකට පෙර පැවති දෙල්කඳ පැරණි පොළ ඉදිරිපස හයිලෙවල් පාරය. එනම් එය වසර සියයකට පමණ පෙර අප ආරම්භයේදී කියූ කුඩා කරත්ත පාරකි. දෙල්කඳ පොළ පිටුපසින් දිවගිය මෝටර් රථවලට යාහැකි මාර්ගය වත්මන් උඩහමුල්ල දුම්රියපොළ හරහා ගොස් කෝට්ටේ පාරට වැටී යළි නාවින්න දෙසින් මහරගමට සම්බන්ධව තිබුණි. තොටළඟට තරමටම නොවූවත් දෙල්කඳට කේන්ද්‍රගතවූ මාවත් කිහිපයකින්ම දෙල්කඳ පොළ දක්වා භාණ්ඩ කරත්ත මගින් ප‍්‍රවාහනය කෙරිණි.

රජ්ජුරුවන්ගේ පොළ

දෙල්කඳ පොළ ආරම්භ කළ භූමිය පුද්ගලික ඉඩමක් වන අතර එක්දහස් නවසිය ගණන්වල මුල වනවිට එහි හිමිකරුවා ලෙස සැලකෙන්නේ දෙල්කඳ රජ්ජුරුවෝය. රජ්ජුරුවෝ නමින් හැඳින්වුණු තැනැත්තා දෙල්කඳ හන්දියට නුදුරින් පදිංචිව සිටියේය. සුදු සරම සහ බැනියමෙන් සැරසී උඩු අතට කරකැවූ සුදු පැහැ උඩු රැුවුළකින්ද යුතුව බස්තම අතින් ගෙන ගමන් බිමන් යන රජ්ජුරුවෝ ඉඩම් හිමි ප‍්‍රභූවරයෙක් විය. රජ්ජුරුවෝ පොළේ වෙළෙඳුන්ගෙන් භූමියේ හිමිකාරිත්වය වෙනුවෙන් සුළු මුදලක් අය කළ අතර පොළ පැවැත්වුණු අක්කර 1 1/2ක පමණ ඉඩම ගවයන් දිගේලි කිරීමට මෙන්ම සතුන්ට තණ උලාකෑමට ප‍්‍රමාණවත් විය. වසර ගණනාවක ඇවෑමෙන් පොළ ක‍්‍රමයෙන් දියුණුවීමත් සමග වෙළෙන්දෝ වැඩි වූහ. කරත්ත ගමනාගමනය පසුපසට ගොස් හයිලෙවල් පාරත් වාහන ධාවනය වන මාර්ගයක් බවට පත්වීමෙන් පසුව පොළෙහි වෙළෙන්දෝ මාර්ගය අද්දරට ආහ. රජ්ජුරුවන්ගේ අභාවයෙන් පසුව රජ්ජුරුවන්ගේ පුතා පොළ භාරකරු වශයෙන් ක‍්‍රියාකළ අතර මීට වසර එකහමාරකට පමණ පෙර රජ්ජුරුවන්ගේ පුතාද මිය ගියේය. සැලකියයුතු කාලයක සිට පොළ අයිතිකරු වශයෙන් ක‍්‍රියා කළේ රජ්ජුරුවන්ගේ මුණුබුරෙකි. ඔවුහු වෙළෙඳුන්ගෙන් රු. 500/- 1500/- අතර මුදලක් අය කරගත් අතර කුඩා පරිමාණයේ වෙළෙන්දියකගෙන් රු. 25/- 50/- වැනි මුදලක් අයකර ගත්හ.

නැති දෙයක් නෑ

දෙල්කඳ පොළෙන් ගෙනා රස කිරි අළුවා… යනුවෙන් පොලේ කෑමවල රසගුණ ගැන කියන සිංදුවක් තිබේ. ඔර්ජිනල් ආනමාළු කෙසෙල් කන්න නම් දෙල්කඳ එන්න යනුවෙන් පොළෙහි පාරිභෝගිකයන් අතර ප‍්‍රචලිත කියමනක් තිබෙන අතර ඇම්බුං, කෝලිකුට්ටු, නේත‍්‍රාපළං, රත් කෙසෙල් ප‍්‍රමුඛ ඕනෑම කුලයක ඉස්තරම්ම වර්ගයේ කෙසෙල් ලාභදායී මිලකට දෙල්කඳ පොළෙන් ලබාගත හැකිය. ගමේ වැවෙන ඕනෑම පලතුරක්, පලා වර්ගයක්, පමණක් නොව වැලි කොස් ඇටය දක්වාම දේවල් මෙහි විකිණීමට තිබේ. එපමණක් නොවේ, බතල, මඤ්ඤොක්කා, කොඬොල්, ලේ දන්ත, ඉන්නල, හුළංකීරිය, කිරිඅල, කුකුළල ආදී නැති අලවර්ගයක් මෙහි නැත. අජිනමොටෝ සංස්කෘතියට හා කොකාකෝලා සංස්කෘතියට නොගිය ඇෙඟ් පතේ අමාරුවට පැනඩෝල් නොව, ගොනිකා කොළ තම්බා බීම වඩා උචිතයැ’යි සිතන පරපුරකට දෙල්කඳ පොළ මහාර්ඝ සම්පතකි.

දුක හා වේදනාව

දෙල්කඳ පොළෙහි වෙළෙඳ කටයුතුවල නියැලි ගෑනු පිරිමි දෙපක්ෂයම දුෂ්කර සති අන්ත චර්යාවකට පුහුණු වී සිටිති. ඔවුහු බොහෝවිට සාම්ප‍්‍රදායික වෙළෙඳුන් නොවූ අතර තම දුර බැහැර ගම්දනව්වල සිට අතරමැදියකුගෙන් තොරව තෙමේම සුළු භාණ්ඩ ප‍්‍රමාණයක් දෙල්කඳට රැුගෙන විත් අලෙවි කළහ. ඇඹිලිපිටිය, උඩවලව, අඟුණකොළපැලැස්ස, කිරිඉබ්බන් ආර, කහවත්ත, රත්නපුර, ඇහැළියගොඩ, අවිස්සාවේල්ල ආදී ප‍්‍රදේශවල සිට ඔවුන් දෙල්කඳ එන්නේ සිකුරාදා හවස්වරුවේදීය. ඒ කුඩා ලොරි රථවල බඩු භාණ්ඩ පටවාගෙනය. එදින හවස පොළට වෙන් කළ භූමියේ මෙන්ම දෙල්කඳ මාර්ගයේ පොළ භූමිය පිහිටි පැත්තේ ඔවුහු තම වෙළෙඳ ආවරණ ඉටිරෙදි ඇද සකසා ගනිති. එදින රාත‍්‍රිය ගතකරන්නේ ගෙන ආ භාණ්ඩ කුඩා ආලෝක ප‍්‍රභවයක් ආධාරයෙන් අස්පස් කරමිනි. කෙටි නින්දකින් අනතුරුව සෙනසුරාදා උදෑසනම පොළෙහි කටයුතු අරඹති. මෑතක් වනතුරුම ඒ අවිධිමත් ඇතැම් වෙළෙඳ කුටි එළිය කෙරුණේ ලන්තෑරුම් එළියෙනි. ඇතැම්හු විදුලිය භාවිත කළහ. සෙනසුරාදා දවස පුරා වෙළෙඳාම් කළ පසු යළි ඒ ඉටිරෙදි කුටිය තුළම රාත‍්‍රිය ගතවේ. වැසිකිළි පහසුකම් හා මුහුණ කට සෝදා ගැනීමට පහසුකම් තිබුණත් දවස පුරා එකම ඇඳුමකින් සැරසී ඉරිදා දිනයත් පෙර පරිද්දෙන්ම ගෙවා දැමීමට සිදුවීම අතිශයින්ම දුෂ්කර ක‍්‍රියාවකි. මීට වසර දෙකකට පමණ පෙර පොළ භූමියේ වර්තමාන හිමිකරුවන් සමග ස්ථානය පිළිබඳ ප‍්‍රශ්නයක් උද්ගතවීමෙන් පසුව වැසිකිළි හා ජල පහසුකම් පවා අහිමි වූ බව පොළේ නියෝජිතයෙක් අප සමග කීවේය. වතුර නැතුව රාත‍්‍රී දෙකක් සහ ඉරිදා සන්ධ්‍යාව දක්වාත් කාලය ගෙවීම පහසු නැත. ඉරිදා සවස් වනවිට ඔවුහු යළි සිය ගම්බිම් බලා යෑමට ලක ලැහැස්ති වෙති. බඩු ඉතුරු වී තිබේ නම් ඒවා ඉතා අඩු මිලට පාරිභෝගිකයන්ට දීමට පෙළඹෙන්නේ ඉරිදා සවස පහ හය වෙද්දීය. එබඳු අවස්ථාවක සාමාන්‍ය මට්ටමේ ඇඹුල් කෙසෙල් කැනක් රුපියල් පනහකට ගත හැකිය. තැඹිලි ගෙඩිය රුපියල් දහයටත් අල වර්ග කිලෝ එක රුපියල් විස්සක් වැනි මුදලකටත් එබඳු අවස්ථාවල ලැබේ. අනතුරුව ඒ සුළු මුදලත් මිට මොලවාගෙන ගම්බිම් බලා යෑමට සූදානම් වන ලොරියේ එල්ලීමට දිවයති. හැලප විකුණන ආච්චිලා සමහර අවස්ථාවල අන්තිම හැලපයත් විකුණා මිස ගම බලා යන ලොරියට නොනගිති. ඔවුන් ආහාරපාන, අල, පලා කන්දක් ගෙනාවත් ඒ සියල්ල දින දෙක තුළ විකුණාගත හැකි බවට කිසිදු අවිශ්වාසයක් නැත. දෙල්කඳට එන පාරිභෝගිකයෝද ඒ තරම්ම විශ්වාස කටයුතු ගැනුම්කරුවෝ වෙති.

මිතුරු පාරිභෝගිකයෝ

දෙල්කඳට එන පාරිභෝගිකයෝ තම තමන් භාණ්ඩ මිලදී ගන්නා වෙළෙඳුන් වර්ග කරගෙන සිටිති. කිරිවැව සිට එන සීයාගෙන් ගස්ලබු මිලදී ගන්නා තැනැත්තා සීයා අසනීප වී දෙල්කඳ බඩු විකුණන්නට එන එක නතර කරන තෙක්ම ඔහුගෙන් ගස්ලබු මිලදී ගනියි. කෙසෙල්, අල, බතල, අන්නාසි, සුරතල් මසුන්, පිහි, ගඩාගෙඩි, කොස්, පොළොස් විකුණන කාටත් එබඳු ස්ථිර පාරිභෝගිකයෝ සිටිති. හේමා පේ‍්‍රමදාස මහත්මිය සෑම සති අන්තයකම පාහේ දෙල්කඳ පොළෙන් පලතුරු මිලදී ගැනීමට පැමිණෙන අතර දෙල්කඳ පරණ පාරේ පදිංචි සුසිල් පේ‍්‍රමජයන්ත ඇමතිවරයා මෙන්ම එස්බී දිසානායක ඇමතිවරයාද දෙල්කඳ පොළට එන පාරිභෝගිකයෝ වෙති. නුගේගොඩ මහරගම අවට පදිංචි කලාකරුවෝ රැුසක් සෙනසුරාදා හෝ ඉරිදා දෙල්කඳ පොළෙන් එළවළු පලතුරු මිලදී ගැනීමට එති.

2014 මාර්තු 09

ඒ දෙල්කඳ පොළේ ඉතිහාසය වෙනස් කළ දිනයයි. පැරණි පොළේ අවිධිමත් බවට සහ භූමියේ හිමිකරුවන් සමග ඇතිවූ අර්බුදයට පිළියමක් ලෙස වෙළෙඳුන්ට ආරක්ෂක අමාත්‍යාංශය එක්තරා විසඳුමක් දුන්නේය. එය නම් දෙල්කඳ හන්දියෙන් වමට හැරී රත්තනපිටිය පාරේ යාර දෙසීයක් පමණ ගියවිට හමුවන වගුරුබිම ගොඩකර සෙවණක් සහිත නව පන්නයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් තනාදීමය. මෙම භූමිය අයිති මහරගම නගර සභාවටය. පොළේ අයිතිය ලැබෙන්නේ කෝට්ටේ නගර සභාවටය. එවිට පොළ බද්ද අය කරගන්නේ කවර නගර සභාවෙන්ද යන ප‍්‍රශ්නය හේතුවෙන් දැනට පොළ සම්බන්ධයෙන් තීරණ ගන්නේ එය ඉදිකර දුන් ආරක්ෂක අමාත්‍යාංශයයි. ඉකුත් නමවැනිදා එම ස්ථානය විවෘත කරන ලද්දේ ජනාධිපතිවරයා අතිනි. දෙල්කඳ පොළෙහි සිටි ස්ථිර සාමාජික සංඛ්‍යාව 370කි. එහෙත් ජනපතිවරයා එය විවෘත කරන දවසේ මෙතෙක් එහි වෙළෙඳාම් නොකළ පිරිසක්ද පොළ භූමියේ ස්ථාන අල්ලාගෙන ඇති අතර එම පිරිස සියයකට අධික බව පොළ සංගමයේ නියෝජිතයෝ පවසති. ඉරිදාට පමණක් වෙළෙඳ කටයුතු කළ මහරගම වෙළෙඳුන් රැුසකට හා දුරබැහැර තවත් නිත්‍ය සාමාජිකයන් පිරිසකට නව වෙළෙඳපොළෙහි ඉඩ ලැබී නැත.

පොළ පොළ වගේ

වර්තමාන පොළ පොළක් වගේ නොවේ. පොළෙහි සංස්කෘතික ලක්ෂණ එහි නැත. ඉකුත් සතියේ දෙල්කඳදී හමුවූ දන්නා හඳුනන පාරිභෝගිකයකු කීවේ පොළ සංස්කෘතිය ගැන අවබෝධයක් නැතුව ආරක්ෂක අමාත්‍යාංශය අලූත් පොළ ඉදිකර ඇති බවය. හෙතෙම වැඩිදුරටත් කීවේ හැලප දහයක් තියාගෙන විකුණන හැලප ආච්චිගේ රිදම් එකට වර්තමාන පොළ තුළ ඉඩක් නැති බවය. එනම් හැලප ආච්චිට පැරණි දිවියේ අළු ගසා බසා දමා නව පොළෙහි අර්ධ සුපිරි අනන්‍යතාවට අනුගත වෙන්නට සිදුව තිබේ. එය හොඳද නරකද කියා එක්විටම කිව නොහැකිය. වසර 120ක් පුරා ගොඩනැගුණු සංස්කෘතියක් දිනකින් දෙකකින් මරා දැමිය නොහැකිය. අනෙක් අතට දිනෙන් දින අලූත් වන ලෝකයට පිටුපා පැරණි ගුහාවේම සිටීමද කළ නොහැක්කකි. ඇෙඟ් අමාරුවට ගොනිකා කොළද? පැනඩෝල්ද? එය තීරණය කිරීම අලූත් පරම්පරාවේ වගකීමකි.