රාවය

ජීවිතේ නිදහස්ම ගමන ගියේ ත‍්‍රිකුණාමලයට – ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල

ජීවිතේ නිදහස්ම ගමන ගියේ ත‍්‍රිකුණාමලයට – ප‍්‍රවීණ නාට්‍යවේදී පරාක‍්‍රම නිරිඇල්ල

 

මිනිහෙකුට අතීතය කොච්චර වැදගත්ද?

අතීතය වැදගත්වන්නේ ඒ මිනිහා අනාගතයට ගියාමයි. අතීතයේ ඉන්න කාලේ ඒ යුගය පිළිබඳ එච්චර බරක් පතලක් නොතේරෙන්න පුළුවන්. අරමුණක් නොතිබෙන්න පුළුවන්. මිනිහෙකුට අරමුණක් ඇති වන්නත් ඒ කාලය තුළ ලබන අත්දැකීම් තමයි බලපාන්නේ. මට අරමුණක් හැදෙන්නෙ පොඩි කාලෙ ඉඳන් ලබපු අත්දැකීම් සමග. ඒකෙන් ගැලවිය යුතුයි කියන හැඟීමත් එක්ක. අමාරුවෙන් ළිං ගැට්ටට ගොඩවුණාට පස්සේ ළිං පතුළෙ හිටපු වකවානුවේ අත්දැකීම් වැදගත් වෙනවා. එතැනින් එහාට ජීවිතේ ගෙනියන්න. ඊළඟට මම රජයේ සේවයේ හිටපු කාලෙයි නාට්‍ය කරුවන් සමග ගතකරපු කාලෙයි අත්දැකීම් වැදගත් වෙනවා, වර්තමානයේදී අනික් මිනිස්සු විනිශ්චය කිරීමට සහ සාධාරණ තීරණ ගැනීමට. ඒක තමයි මම හිතන හැටියට අතීතයේ තියෙන වැදගත්කම.

පරාක‍්‍රමගේ පාසල් කාලේ ගෙවුණේ කොහොමද?

මම උපන්නේ 1949දී. මගේ මතකයට නැගෙන කාලය ඇරඹෙන්නේ මව්පියො සමග නෙමෙයි. මගේ සීයා කෙනෙකුට සහ ආච්චි කෙනෙකුට තමයි මම අම්මා තාත්තා කිව්වේ. දිවුලපිටියෙ කෙහෙල්ඇල්ල වලව්ව ඒ අයගේ. මමත් අම්මගේ පැත්තෙන් ඒ වලව් පරපුරට සම්බන්ධයි. මම මුලින්ම නැන්දා කෙනකු සහ මාමා කෙනකු ළඟ හැදුණේ. ඒ මගේ අම්මයි තාත්තයි කියලයි මම හිතාගෙන හිටියේ. ඒත් පසුව එහෙම නෙමෙයි කියලා දැනගත්තා.

අම්මටයි, තාත්තටයි මොකද වුණේ?

මම පවුලේ හයවෙනියා. හත්වැනියාත් හම්බ වුණාට පස්සේ අම්මා නැතිවෙලා. තාත්තත් අප සමග හිටියේ නැහැ. ඔහු වෙනම ජීවත් වෙලා තියෙනවා. අම්මා කෙහෙල්ඇල්ල වලව්වේ ඉඳලා විවාහ කරලාදීලා තියෙන්නේ රත්නපුර නිරිඇල්ලට. තාත්තා නිරිඇල්ල ගමේ. තාත්තා කුකුල් කෝරළේ කියන පත්තුවේ, කෝරළේ මහත්තයා. ඇත්තටම අම්මා නැති වුණාට පස්සේ මම ඇතුළු ළමයි හත්දෙනා හැදුණේ එක එක්කෙනා ළඟ. තාත්තා එක අයියා කෙනෙක්ව තියාගෙන අනික් ළමයි නෑදෑයෝ අතරේ බෙදා හැරුණා. මම ඉතිං නැන්දා කෙනෙක් ළඟ හැදෙන කොට අම්මා තාත්තා නොසිටීම නිසා අත්වෙන නොසැලකීම අත්වින්දා. මට පේනවා ඒ පවුලේ ළමයි විඳින වරප‍්‍රසාද සහ මම නොවිඳින දේ. මට ඉස්කෝලේ යන්න තිබුණේ එක ඇඳුමයි. ගෙදරට අඳින්න තිබුණේ එක සරමයි. පොත් ගන්න ගියාම හරි අමාරුයි. අම්මට රුවන්වැල්ලේ මාපිටිගම ඉඩම් තිබුණා. කෙහෙල් ඇල්ලේ ඉඳලා ආච්චිව දීලා තිබුණේ රුවන්වැල්ලට නිසා තමයි ඒක වෙන්නේ. ඒත් මේ ඉඩම් ගැන මට දැනුමක් නැහැනෙ. වෙන නෑදෑයෝ ඒවා භුක්ති වින්දා. මම කොහොමහරි ඉස්කෝලේ ගියා.

ඉස්කෝලේ ගියේ කොහෙද?

කෙහෙල්ඇල්ලේ හුණුමුල්ල ඉස්කෝලෙට. ඒ වෙනකොට මම ආච්චියි සීයයි ළඟ. මට ඉතිං හොඳට ඉගෙන ගන්න කියලා කියන්න කෙනෙක් හිටියේ නැහැ. මම ගෙදර හරකා බාන බලනවා. පොල් අදිනවා. කරත්තෙ බඳිනවා. ඒ සේරම ගෙදර වැඩ මම කළා. අපේ ආච්චී සේනානායක පවුලට සම්බන්ධ කෙනෙක්. ඞී.එස්. සේනානායකගේ අම්මා. බෝතලේ වලව්වට ගෙනියන්නෙ කෙහෙල් ඇල්ල වලව්වෙන්. ඇය දෝන කතිරිනා පෙරේරා සේනානායක. ඞී.එස්. සේනානායකගේ අම්මගේ සහෝදරයකුගේ පුත්තු තමයි මගේ සීයලා.

56 වගේ කාලෙක ඔය කියන වලව් පසුබිමෙහි මොකද වෙන්නේ?

යම් පරිවර්තනයකට ලක්වෙනවා. ගම් මට්ටමෙහි තිබුණු වැඩවසම් චින්තනය වෙනස් වෙන්න පටන් ගන්නවා. වලව්වලට එරෙහිව ගම් මට්ටමින් ලොකු බලවේගයක් ගොඩනැගෙනවා. ඒක මම අත්වින්දා. මම කොච්චර ගෙදර පීඩා වින්දත් වලව්වේ කෙනෙක් හැටියට පාසලට යනවිට වලව් විරෝධයට මාව අහුවෙනවා. ඒවාත් කාගෙන හිිටියේ. මම ටිකක් ඉගෙන ගන්න දක්ෂයි. පළමුවැනියා වෙනවා. හයෙන් පසු සෙන්ට‍්‍රල් එකට යන්න පුළුවන්. ඒත් මාව විභාගෙටවත් යොමු කරන්න කෙනෙක් හිටියේ නැහැ. හතේදි තමයි සෙන්ට‍්‍රල් ගියේ. එතකොට වසරක් පහුවෙලා ආයේ හයේ ඉඳන් යන්න පටන් ගත්තේ. ඔය 1962 විතර. හුණුමුල්ල සෙන්ට‍්‍රල් එක මුලින්ම හදපු මධ්‍ය මහා විද්‍යාල 52න් එකක්.

සෙන්ට‍්‍රල් ගියාට පස්සේ තත්ත්වේ කොහොමද?

මම කැමතිම නැති විෂය වීජ ගණිතය. හැමදාම වගේ බිංදුවයි. හැබැයි ඕලෙවල්වලදි ක්‍රෙඩිට් එකක් ගත්තා. ඒ ලෙවලූත් කළා. අපිට හරියට ගුරුවරුන් හිටියේ නැහැ. ඒ ගමන ඉතිං ෆේල්. ඔය 1970දී විතර. ඒ දවස්වල කොල්ලො දේශපාලන පන්ති යන එකත් අපි දකිනවා. ඉස්කෝලවල ඉහළ පන්තිවල පවා ජවිපෙ අදහස් පැතිරුණා. මමත් ගමෙන් පිට පන්ති දෙකකට ගිහින් තියනවා.

ඒ මත පිළිගත්තද?

එහෙමත් නැහැ. ඔය කාලේ මම ආවා බොරලැස්ගමුවේ අපේ ඥාති අක්කා කෙනෙකුගේ ගෙදර නවතින්න. අක්කගේ මහත්තයා මට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ ෂෝට් හෑන්ඞ් ටයිපින් ඉගෙන ගන්න ඇප්ලිකේෂන් එකක් ගෙනත් දුන්නා. මම ඒකට ඇප්ලයි කරලා පන්තිවලට ගියා. ඒ කාලෙත් ඇඳුම් නැහැ, වියදම් කරන්න කෙනෙක් නැහැ. කොට කලිසම් තවදුරටත් අඳින්න බැහැනේ. ඒ අයියා ටිකක් උදව් කළා. අයියා පුංචියි. මම ඒ කාලෙත් උස මහතයි. නම්බර් ටෙන් සපත්තු ඕනේ. එයාගේ සපත්තු දෙකක් අමාරුවෙන් දාලා කකුලෙ ඇඟිලිවල ආපු කරගැට තාමත් තියෙනවා. පොතක් පතක් සඟරාවක් අරගෙන කියවන්න වත්කමක් නැහැ. මට දැනිච්ච දේ තමයි වහාම රස්සාවක් ඕනෙ කියන එක. ඒ දවස්වල මම ආපහු ඒ ලෙවල් කරන්න හිතාගෙන සුනේත‍්‍රාදේවි පිරිවෙනටත් ගියා. අයියයි ආච්චියි මට පුළුවන් තරමින් වියදම් කළා. ඒ වතාවේ මං විභාගෙ පාස්වුණා. ඒ සමගම මම ටයිපිස්ට් එග්සෑම් එක කළා. රස්සාව හම්බවුණේ නේවි සිවිල් ස්ටාෆ් එකේ. පළමු පත්වීම ත‍්‍රිකුණාමලයට.

ත‍්‍රිකුණාමලයේ අත්දැකීම් කොහොමද?

පුදුම ස්වාධීනත්වයක් මට දැනුණේ. හැදිච්ච පරිසරයේ ආධිපත්‍යයට හැම වෙලාවෙම යටවෙලා හිටපු ළමයෙක් මම. තරුණයි කියලා ඒකේ වෙනසක් නැහැ. කෙහෙල් ඇල්ලට මාව ගෙන්න ගන්න ඕනේ නම් පණිවුඩයක් එවනවා. මං ගිහින් එහෙන් මෙහොට දෙන මුට්ටත් අරන් එන්න ඕනෑ. පාඩම් කර කර හිටියත් ඒක නවත්තලා මං අනික් අය කියන වැඬේට යන්න ඕනෑ. ඒ ලෙවල් විභාගෙ කාලෙත් පාඩම් කර කර ඉන්න කොට සීයා මාව හරක් ටික ගේන්නයි බඳින්නයි යවනවා. මේ පීඩාකාරී අත්දැකීමෙන් මිදිලා 72 සැප්තැම්බර් මාසේ මම ටි‍්‍රන්කො ගියේ පුදුම සැහැල්ලූවකින්. කෝච්චියෙ ගිය ඒ ගමන අදටත් අමතක නොවන ගමන කියලා කියන්න පුළුවන්. ඇත්තටම ජීවිතේ නිදහස්ම ගමන ඒක. බේසික් පඩිය රු. 80යි. තව දේවල් එකතුවෙලා එනකොට රු. 200ක් විතර හම්බ වුණා. ඒ අවුරුද්දේ ෆෙස්ටිවල් ඇඞ්වාන්ස් අරගෙන මම කැමරාවක් ගත්තා. ෆොටෝග‍්‍රැෆිවලට මට ලොකු ආසාවක් තිබුණා. ටි‍්‍රන්කොවල ෆොටෝ සාප්පුවක අයිතිකරුවෙක් තමයි මට ෆොටෝ එකක් ගන්න විදිය මුලින්ම කියලා දුන්නෙත්.

නාට්‍ය ගැන කැමැත්ත වැඩුණේ කොහොමද?

මුලින් චිත‍්‍රපටිවලටයි මම උනන්දු වුණේ. ඒ ලෙවල් කරන කාලෙත් සතේ අතේ නැතත් යාළුවොත් එක්ක ගිහින් හරි චිත‍්‍රපටි බැලූවා. දිවුලපිටියෙ බල්ලපාන හෝල් එකේ අපි 9.30 බලන්න යන්නේ බයිසිකල්වල. ටි‍්‍රන්කො ඉඳන් කොළඹ ආවාම නාට්‍යයත් බැලූවා. 73දී විතර මම ලඝුලේඛක වෘත්තියට වව්නියාවෙ උසාවියට ගියා. ගොඩක් වැඩ දෙමළෙන් නිසා මට නිකම්මයි ඉන්න තිබුණේ. එහේදි සති දෙකක් නිවාඩු දාලා කොළඹ ඇවිත් ‘කලා පෙළ’ මගින් කරපු සිනමා පාඨමාලාවට සම්බන්ධ වුණා. අයිඑන් හේවාවසම් ඒක කළේ. සුමින්ද සිරිසේනත් අපිත් එක්ක ඉගෙන ගත්තා. එතනදි අපිට පෝලන්ත, චෙක් වගේ රටවල්වල චිත‍්‍රපටි රැුසක් බලන්න ලැබුණා. අපි ෆිල්ම්වලට පිස්සු වැටිලා හිටියේ. 74දී විතර කොළඹට මාරුවීමක් ලැබුණා. ඒ කුඩා කර්මාන්ත දෙපාර්තමේන්තුවට.

ලයනල් වෙන්ඞ්ට් රංග ශිල්ප ශාලිකාවට සම්බන්ධ වෙන්නේ කොහොමද?

පත්තරේ දාලා තිබිලා මමත් දැම්මා. තේරුණා. ධම්ම ජාගොඩ තමයි අපේ ඩිරෙක්ටර්. ප්‍රොෆෙසර් සරච්චන්ද්‍ර සුනන්ද මහේන්ද්‍ර, ඩොක්ටර් ගම්ලත්, හත්තොටුවේගම, බැසිල් මිහිරිපැන්න වගේ අය තමයි අපිට ලෙක්චර්ස් කළේ. ජාගොඩ මහත්තයට තිබුණේ ස්ටැනිස්ලවුස්කිගෙ ක‍්‍රමවේදය. හත්තොටුවේගම සර්ට තිබුණේ බ්‍රෙෂ්ට්ගේ තියරිය. ඔහු නිර්මාණවලදි වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදියි. ජාගොඩ දැඩියි. හත්තොටුවේගම වගේ ෆ්‍රෙන්ඞ්ලි නැහැ. ඉතිං ඒ දෙදෙනා යටතේ ක‍්‍රමවේද දෙකම හදාරන්න මට අවස්ථාවක් ලැබුණා.

මේ කාලේ නාට්‍යයකට දායක වුණාද?

74දී තමයි මනමේ දෙවැනි නිෂ්පාදනය සඳහා නළුවරණය කෙරුණෙ. ඒ ලයනල් වෙන්ඞ්ට් එකේදි. එතනදි නළුවරණයේ ඉඳලා මංගල දර්ශනය දක්වා හැම පියවරක්ම මම දුටුවා. ඒ දවස්වල අපේ ඉගැන්වීම් ටිකක් යටගියා. ඒ නිසා අපි හත්තොටුවේගම සර්ට වැඩිපුර ළංවුණා. ධම්ම ඒ කාලේ පේවෙලා සූදානම් වුණා, මනමේ ඇක්ට් කරන්න. වොයිස් ටේ‍්‍රනිං කරමින් එයා තනියමත් පුහුණු වෙන හැටි මම දැක්කා. හත්තොටුවේගම එසැණ නිරූපණ ක‍්‍රමය ඊට වඩා වෙනස් එකක්. ඔහුත් නාට්‍ය තුනක් කළා. ඒවා තමයි පසුව වීදි නාට්‍ය ලෙස පෙන්නුවේ. මමත් නාට්‍ය කිහිපයක රඟපෑවා. රඟපෑමේදී මාව හසුරුවා ගන්න මට අමාරු බව තේරුණා. ඒත් වෙන අය රඟපානකොට වැරදි මට පේනවා. කොහොමහරි මුලින්ම වීදි නාට්‍ය කරන්න හත්තොටුවේගම සර් අනුරාධපුර ගිය ගමන සංවිධානය කළෙත් මමයි, හේමසිරි අබේවර්ධනයි. අපි ගිහින් එන ගමන් තමයි අනුරාධපුර ස්ටේෂන් එකේදි මිනිහෙකුට එල්ලිලා මැරෙන්න බැරිද කියන නාට්‍ය කළේ. ඇත්තටම වීදි නාට්‍ය පත්තු වුණේ එතැනින්. බෝසත් දැක්ම කියන නාට්‍ය කරන්න ලෑස්ති වෙනකොට කෝච්චිය ආවා. වැඬේ ඉවරයි.

ඔබට පරමාදර්ශී චරිතයක් හිටියද?

එහෙමමත් නැහැ. හැබැයි මම ආසාවෙන් කියවපු චරිතයක් තමයි ඒබ‍්‍රහම් ලින්කන්. ලින්කන් පුටුවක හරි කෙළින් වාඩිවෙලා ඉන්න චිත‍්‍රයක් තියෙනවා මතකද? මම හරිම කැමතියි ඒකට. ලින්කනුත් හුඟාක් දුක්විඳලා ඉදිරියට ආපු කෙනෙක් නිසා වෙන්න ඇති මගේ ලොකු කැමැත්තක් ඔහුට තිබෙන්නේ. ඒ හැරුණාම ඩොස්ටවුස්කිගේ ලයිෆ් එකට මම කැමතියි.

ඒ කාලේ තිබුණු ටාගට් එක මොකක්ද?

රංග ශිල්ප ශාලිකාවේදී තිබුණු ටාගට් එක තමයි නාට්‍යයක් කරන්න ඕනෙ කියන එක. ෆිල්ම් එකත් කරන්නත් හිතුණා. ශාලිකාවට ගිය පළමුවැනි දවසේ ධම්ම ජාගොඩ මහත්මයා කිව්වා පහුවදා උදේ එනකොට කිසියම් අවස්ථාවක් නිරූපණය කරන්න සූදානමින් එන්න කියලා. මම එතකොට නැවතිලා හිටියේ ගංගොඩවිල නැදෑ ගෙදරක. මම වෙන්ඞ්ට් එකේ ඉඳලා මොකක්ද කරන්න කියලා හිත හිතා පයින් ගෙදර ගියා. ගෙදරට කිට්ටු වෙනකොට මට කතාවක් ඔළුවට ආවා. ටි‍්‍රන්කො ඉන්න කොට මට අහන්න ලැබුණු හොරකමක් ගැන කතාවක්. මහත්තයෙක් වගේ හොරෙන් ස්ටේෂන් එකට එන දුප්පත් මිනිහකුගෙන් මුදලක් සොරකම් කරනවා. ඒක තමයි මම හදාගෙන ගියේ. එදා ඉඳලා අද දක්වාම නාට්‍ය වර්ක්ෂොප් හැම එකකම වගේ පුහුණු නාට්‍යය ලෙස භාවිත කරන්නේ එයයි. ඒකේ නම මහත්හොරා. ටික කාලෙකින් ධම්ම සහ හත්තොටුවේගම අතර ප‍්‍රශ්න ඇතිවුණා. අපි ඉතිං හත්තොටුවේගමට හිතවත්. ඉතිං කලකදී ශාලිකාව අතහැරලා එනවා. කොහොමහරි මගේ මුල්ම නාට්‍යය හැටියට කෙරන්නේ සෙක්කුව. සෙක්කුවක් දිවුලපිටියෙත් තිබුණනේ. ඒ අනවරත පීඩාකාරී ගමන, ප‍්‍රවේණිදාස තත්ත්වය තමයි මම ලංකාවේ දේශපාලනයට ගලපා ගත්තේ. හත්තොටුවේගම සමගත් මට වාදයක් තිබුණා. මම ප්‍රොසිනියම් ක‍්‍රමය අතහැරියේ නැහැ වගේම වීදි නාට්‍යයේ තියන කිලූටුකමටත් විරුද්ධ වුණා. මම හරියි කියලා හිතන විදියකට මං වේදිකාව යොදා ගත්තා. සොකරි මනමෙ ආදී අත්දැකීම් සේරම මම සෙක්කුවට ගත්තා.

ඔබෙනුත් ඉගෙන ගත්තු ගෝල පරම්පරාවක් ඉන්නවා. ගෝලයෝ ගැන හිතෙන්නේ කොහොමද?

මම කැමති නැහැ අවබෝධයක් නැති ගෝලයෝ එක්ක වැඩ කරන්න. අවබෝධයත් නැති අය යන්න හදනවා නම් මම යන්න දෙනවා. නිර්මාණ සමග සමාජ වගකීමක් බැඳී තිබෙන බව මම හැම වෙලාවෙම හිතනවා. කලාකරුවාගේ වගකීම බැහැර කරලා නිර්මාණය වෙනම දෙයක් ලෙස ගන්න බැහැ. වීදි කරන කාලේ ඉඳලා මම ඒ මතයේ හිටියේ. සෙක්කුව විනිශ්චය ගැලීලියෝ කරන කාලේ ඉඳලම මම ඒක හිතුවා. ජනකරළියේදීත් එහෙමයි

ලංකාවේ දේශපාලනය ගැන ඔබට තිබෙන්නේ කලකිරීමක්ද කේන්තියක්ද?

කේන්තියක්. කලකිරීමක් නම් පැත්තකට වෙලා ඉන්න තිබුණා. අපේ රට හදන්න පුළුවන් අවස්ථා දෙකක් තිබුණා. එකක් තමයි 93 චන්ද්‍රිකා මහත්මිය බලයට එනකොට හම්බවෙච්ච ඡුන්ද සහ ජනප‍්‍රියතාව සමග විශාල පරිවර්තනයකට යන්න තිබුණා. අනික යුද්ධයෙන් පසුව ආපු අවස්ථාව. යුද්දෙ ඉවර වෙලා කරන්න තිබුණු දේවල් පැත්තකට දාලා වෙන අගාධයකට රට ඇදගෙන ගියේ. ඒ අවස්ථා දෙක මගහැරීම ගැන මට කේන්තියක් තිබෙනවා. මේ සියල්ල සිදුනොවුණා විතරක් නෙවෙයි රටේ මේ වනවිට ඉහ වහා ගොස් තිබෙන දූෂණය, වංචාව, අක‍්‍රමිකතා මෙන්ම ඒ සියල්ලට වන්දනාමාන කරන කලාකරුවන් ගැනත් මට කේන්තියි.

ලංකාවේ බිහිවෙච්ච දේශපාලනඥයන් අතරින් ඔබේ සිත් ගත් කෙනෙක් දෙන්නෙක් ඇත්තේම නැද්ද?

ඇන්.ඇම්., ටී.බී. ඉලංගරත්න, ටීබී සුබසිංහ වගේ අය අවංකව දේශපාලනය කළා කියලා මම හිතනවා. දේශපාලනය නිසා තමන් වර්ධනය වුණේ නැහැ. සමහර වැරදි සිදුවූවත් අවංකව ඔවුන් වැඩ කළා. ඞී.එස්. මින්නේරිය පැත්තේ යනකොට කුඹුරුවල කරල් පැහිලා බරවෙලා තියෙනවා දැකලා මිනිහා වාහනෙන් බැහැලා කුඹුරු දිගේ දුවනවා. ඔවුන් කරන වැඬේට අවංක වුණා. මෑතකාලීනව මට එහෙම අවංකයි කියලා හිතෙන මනුස්සයෙක් හම්බ වුණා ත‍්‍රිකුණාමලයේදී. ඔහු තමයි නැගෙනහිර අධ්‍යාපන ඇමති විමලවීර දිසානායක.