රාවය

ගල් පර්වතය අයිස් පර්වතයක් බවට පත්වීම

ගල් පර්වතය අයිස් පර්වතයක් බවට පත්වීම

 

ආණ්ඩුව පැවති පළාත් සභාඅ මැතිවරණ දෙක ලංකාවට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී තිබුණු යෝජනාව සමග එකට ගැටගසා ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකට නොලැබෙන තරමේ ජාතික වැදගත්කමක් මෙම පළාත් සභා මැතිවරණයට ලබාදීම සඳහා ක‍්‍රියා කළේය. ලංකාවට එරෙහිව ඉදිරිපත් කොට තිබෙන එම යෝජනාව පරාජය කිරීම සඳහා ආණ්ඩුවට පක්ෂපාතව ඡන්දය දී ශ‍්‍රී ලංකාවට එරෙහිව ක‍්‍රියාත්මක වන එම ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයට විරෝධය පළකරන ලෙස ජනාධිපතිවරයා ශ‍්‍රී ලංකාවේ ඡන්දදායකයන්ගෙන් ඔවුන් තුළ දේශපේ‍්‍රමී හැඟීම් උද්දීපනය කරන ආකාරයෙන් ඉතා හැඟීම්බරව ඉල්ලා සිටියේය. ආණ්ඩුවේ ප‍්‍රචාරක යන්ත‍්‍රයද මෙම මැතිවරණයේදී කේන්ද්‍රීය තේමාව කොටගත්තේ එයයි. ආණ්ඩුවේ නායකයා හා ආණ්ඩුව සිය ඡන්දදායකයන් අමතා කරන ලද එම ආයාචනය දේශපේ‍්‍රමී ආවේගයකින් භාරගන්නා තැනක ඡන්දදායකයන් සිටියේ නම් සිරිතක් වශයෙන් වෙනදා ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළට නොයන ජනතාවද ඡන්දය පාවිච්චි කිරීම සඳහා ඡන්දපොළට ඇදී යන තත්ත්වයක් තුළ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය මෙම පළාත් සභා දෙක සඳහා 2009 මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කළ අයගේ අනුපාතිකයට වඩා බොහෝ ඉහළ යායුතුව තිබුණා සේ ම ආණ්ඩුවට ලැබෙන ඡන්ද ප‍්‍රමාණයද 2009 පළාත් සභා මැතිවරණයේදී මෙම පළාත් දෙකෙන් ලැබුණු ඡන්ද ප‍්‍රමාණයට වඩා බොහෝ ඉහළ යා යුතුවද තිබුණේය.

පිරිහීමේ තරම

එහෙත් ඒ දේ ඒ ආකාරයට සිදු නොවූ අතර සිදුවූයේ ඊට පටහැනි ආකාරයටය. ඡන්දය පාවිච්චි කරන්නන්ගේ ඉහළයෑමක් වනවා වෙනුවට සිදුවූයේ පහළයෑමකි. ආණ්ඩුවට ලැබෙන ඡන්ද ප‍්‍රමාණයේදීද ශීඝ‍්‍ර ඉහළයෑමක් වෙනුවට සිදුවී ඇත්තේ පහළයෑමකි. 2009 වසරේදී මෙම පළාත් සභා දෙකේ ඡන්දය පාවිච්චි කරන්නන්ගේ අනුපාතිකය පැවතියේ දකුණු පළාත් සභාව සඳහා සියයට 70.18ක් හා බස්නාහිර පළාත් සභාව සඳහා සියයට 63.23ක මට්ටමකය. මෙවර එය දකුණු පළාත් සභාව සඳහා සියයට 66.42ක් ද, බස්නාහිර පළාත් සභාව සඳහා 66.32ක් ද විය. 2009දී මැතිවරණයේදී දකුණු පළාත් සභාවෙන් ආණ්ඩු පක්ෂය හිමිකරගත් ඡන්ද සංඛ්‍යාව 804071කි. හිමිකරගත් ආසන සංඛ්‍යාව 38කි. මෙවර හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව තිබෙන ඡන්ද සංඛ්‍යාව 104663කි. අඩුවී තිබෙන ආසන සංඛ්‍යාව 05කි. 2009දී දකුණු පළාත් සභාවේ පාවිච්චි කළ වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 67.88ක් හිමිකර ගැනීමට ආණ්ඩු පක්ෂය සමත් විය. මෙවර එම ගණන සියයට 58.06කි. 2009දී බස්නාහිරින් හිමිකර ගත් ආසන සංඛ්‍යාව 68කි. මෙවර හිමි කරගත් ඡන්ද සංඛ්‍යාව 1363675කි. හිමිකර ගත් ආසන සංඛ්‍යාව 56කි. අඩුවී තිබෙන ඡන්ද සංඛ්‍යාව 140440කි. අඩුවී තිබෙන ආසන සංඛ්‍යාව 12කි. 2009දී බස්නාහිර පළාතේ පාවිච්චි කළ ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 64.73ක් හිමිකර ගැනීමට සමත් විය. මෙවර හිමි කරගෙන තිබෙන්නේ සියයට 58.06කි. අඩුවීම සියයට 6.67කි. තුලනාත්මකව සලකා බලන කල පිරිහීම වැඩියෙන්ම පෙන්නුම් කර තිබෙන්නේ බස්නාහිර පළාතෙන් නොව ජනාධිපතිගේ ඡන්ද බලකොටුව ලෙස සැලකිය හැකි දකුණු පළාතෙනි.

යටිතල පහසුකම් සංවර්ධනයේදී ආණ්ඩුව වැඩිම වැදගත්කමක් ලබාදී තිබෙන්නේ හම්බන්තොට මුල් කොටගෙන දකුණු පළාතටය. දකුණේ ජනතාව තුළ සේ ම විශේෂ වශයෙන් ගත්කල හම්බන්තොට ජනතාව තුළද එම සංවර්ධනය ආස්වාදයට හේතුවී තිබෙන බවක් මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙනෙන්නේ නැත. වටාපිටාවේ කැපී පෙනෙන දියුණුවක් ඇතිවී ඇතත් මිනිසුන්ගේ ජීවිතවල දියුණුවක් ඇති නොවීම ඒ තත්ත්වය කෙරෙහි බලපාන්නට ඇතැ’යි කිව හැකිය. රටේ වැඩිම ජනගහනයක් සිටින බස්නාහිර පළාතේ සේ ම රටේ ප‍්‍රධාන ආර්ථික මධ්‍යස්ථානය ලෙස සැලකිය හැකි කොළඹ දිස්ත‍්‍රික්කයේ ආණ්ඩුවට තිබෙන තත්ත්වය ඉතාමත් දුර්වලය. යටිතල පහසුකම් සංවර්ධනයේදී මෙම පළාත් දෙකේම වැදගත් හා ප‍්‍රමුඛ දේවල් සිදුවූයේ 2009ට පෙර නොව 2009ට පසුවය. එම සංවර්ධනය මිනිසුන්ගේ හදවත්වලට දැනෙන දෙයක් වී නම් ආණ්ඩුවට තිබෙන මහජන කැමැත්තේ ප‍්‍රමාණය 2009 ප‍්‍රමාණයට වඩා 2014දී ඉහළ යායුතුය.

එහෙත් ඉහළ යනවා වෙනුවට සිදුවී ඇත්තේ පහළයෑමකි. ගෝඨාභය රාජපක්ෂගේ නාගරික සංවර්ධන වැඩසටහන කොළඹ නගරයේ පෙනුම බොහෝ ලස්සන කිරීමට හේතුවී ඇතත් එම ලස්සන පෙනුම මොන මොන හේතු නිසා හෝ කොළඹ නාගරික ජනතාව තුළ මහා ප‍්‍රසාදයක් ඇති කිරීමට හේතුවී තිබෙන බවක් මැතිවරණ ප‍්‍රතිඵලවලින් පෙනෙන්නේ නැත. බස්නාහිර පළාතේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් හිරුණිකා ලබාගෙන තිබෙන ජයග‍්‍රහණයෙන්ද ආණ්ඩුවට හිතවත් ජනතාව ආණ්ඩුවට දී තිබෙන්නේ දෙපැත්ත කැපෙන සංඥාවකි. අවසාන විග‍්‍රහයේදී මෙම පළාත් දෙකේ මහජනයා ලබාදී තිබෙන මැතිවරණ ප‍්‍රතිඵලය මහජනයා විසින් ආණ්ඩුවට දී තිබෙන ලොකු කනේ පාරක් ලෙස සැලකිය හැකිය. මේ මැතිවරණයෙන් ඇත්තටම සිදුවී තිබෙන්නේ මෙතෙක් ගල් පර්වතයක තත්ත්වයක තිබූ ආණ්ඩුව හිම පර්වතයක තත්ත්වයට වෙනස්වීමය. දැන් දියවීම නොවැළැක්විය හැකි දෙයක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය.

විරුද්ධ පක්ෂවල තත්ත්වය

ප‍්‍රධාන විරුද්ධ පක්ෂය ලෙස සැලකිය හැකි එජාපයද තමන් තුළ පැවති ගරාහැලෙන තත්ත්වය මුළුමනින් ජයගැනීමට සමත් වී නැත.
එජාපයට තිබුණු බහුවාර්ගික පෙනුමේද පිරිහීමක් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ. වෙනදා එජාපයට ඡන්දය දුන් කොළඹ දෙමළ ජනතාව මෙවර ඡන්දය දී තිබෙන්නේ මනෝ ගනේෂන්ගේ ව්‍යාපාරයටය. ඉන් පෙනෙන්නේ දෙමළ ජනතාවට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ප‍්‍රශ්නවලදී බලවත් ලෙස පෙනී නොසිටීම ගැන එම පක්ෂය පිළිබඳව ඔවුන් අතරද වර්ධනය වන කලකිරීමක් තිබෙන බවය. ජෙනරාල් ෆොන්සේකාගේ නැග්ම කැපී පෙනෙන තත්ත්වයක තිබුණද ඔහුගේ ව්‍යාපාරයේ සංවිධානාත්මක ශක්තිය ඊට ගැළපෙන ප‍්‍රමාණයක තිබෙන බවක් පෙනෙන්නට නැත. ජනතා විමුක්ති පෙරමුණේ වර්ධනය ෆොන්සේකාගේ වර්ධනය තරම් කැපී පෙනෙන තත්ත්වයක නොතිබුණද ඔවුන්ගේ වර්ධනයේ ක‍්‍රමික බවක් සේ ම සංවිධානාත්මක බවක් පෙනෙන්නට තිබේ. එම පක්ෂයේ නායකත්වය වෙනස් වූ ආකාරය සේ ම නව නායකයාද, ඔවුන් ආණ්ඩුව සම්බන්ධයෙන් පවත්වාගෙන යන විවේචනාත්මක ප‍්‍රතිපත්තියද මහජන ප‍්‍රසාදයට හේතුවෙමින් තිබෙන බව පෙනේ. ජනතා විමුක්ති පෙරමුණද හෙමින් හෙමින් හෝ සිය අත්දැකීම්වලින් පාඩම් ඉගෙන ගනිමින් සිය පරණ ආදානග‍්‍රාහී ආකල්ප වෙනස් කරමින් සිටීමද ඔවුන් තුළ දක්නට ලැබෙන යහපත් ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ සුළු ජාතීන් පිළිබඳ ප‍්‍රශ්නය දෙස වඩා යථාර්ථවාදී ආකාරයකින් බලන තත්ත්වයකට ඔවුන් පැමිණ තිබෙන අතර 87-89 කාලයේදී තමන් අතින් සිදුවූ වැරදිවලට නව නායකයා ජනතාව වෙතින් සමාව ඉල්ලීමෙන් පෙන්නුම් කෙරෙන්නේද ක‍්‍රමයෙන් තමන්ගේ ප‍්‍රචණ්ඩ අතීතය දෙස විවේචනාත්මකව බලන තැනකට ඔවුන් යමින් සිටින බවය. රටේ තිබෙන පරණ මොනම දේශපාලන පක්ෂයකටවත් තමන් කරගසා ගෙන සිටින අතීත පොදිය දෙස විවේචනාත්මකව බල ආකල්පයක් ඇතිකර ගැනීමෙන් තොරව ආත්ම විශ්වාසයකින් යුතුව ඉදිරියට යන තත්ත්වයක් ඇතිකර ගැනීම දුෂ්කරය. එජාපයේ පල්වීම කෙරෙහි බලපා තිබෙන එක් වැදගත් සාධකයක් වන්නේද එයයි.

ගින්දර සමග සෙල්ලම් කිරීම

පළාත් සභා මැතිවරණ ප‍්‍රතිඵලය ආණ්ඩුවට ඇතිකර තිබෙන බලපෑමට වඩා ලංකාවට අදාළව සම්මත වී තිබෙන ජිනීවා යෝජනාව ආණ්ඩුව
සම්බන්ධයෙන් පමණක් නොව පොදුවේ රට සම්බන්ධයෙන්ද ඇති කරන්නට යන බලපෑම ඉතා බිහිසුණු විය හැකිය. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සාමාජික රටකි. කිසියම් රටක් මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරන අවස්ථාවකදී ඒ ගැන සොයා බැලීමේ අයිතිය එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු එම බලය ඊට ලැබී තිබෙන්නේ පොදුවේ සියලූ සාමාජික රටවල එකඟත්වය හා අනුමැතිය ලැබීම නිසාය. ශ‍්‍රී ලංකාව දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තියට පමණක් නොව එහි ප්‍රොටකෝලයටද අත්සන් කර තිබෙන රටකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි බලගතු ලෝක සංවිධානයක් තුළ පමණක් නොව දේශපාලන පක්ෂයක් තුළ පවා සාමාජිකයන් කෙරෙහි බලපාන පිළිගත් නීති රීති පවතී. සාමාජිකයන් ඒවාට ගරු නොකරන අවස්ථාවලදී සාමාජිකයාට ඒ වෙනුවෙන් ගෙවිය යුතු වන්දියක්ද ඇත්තේය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ලංකාවට අදාළ යෝජනාව සම්මත කරගත් වහාම ජනාධිපතිවරයා කළේ ඊට තරයේ විරෝධය පළකිරීමය. එයින් අනියම් ලෙස කියන ලද්දේ එයින් අනියම් ලෙස කියන ලද්දේ කරන පරීක්ෂණයකට සම්බන්ධ නොවන බවය. ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගනු ලබන තීරණයකට එරෙහිව නැගී සිටිය හැකි තරමේ බලවත් රටක් නොව පුංචි දුබල රටකි. ඉතා බලවත් රටක නායකයකු ලෙස සැලකිය හැකි රුසියාවේ පුටින් පවා රුසියාවට එරෙහිව සම්බාධක පැනවූ දිනට දින දෙකකට පසුව තමන්ගේ දැඩි ස්ථාවරය ලිහිල් කරගනිමින් ඇමරිකන් ජනාධිපති ඔබාමාට දුරකතනයෙන් කතා කොට ක‍්‍රිමියාව පිළිබඳව ප‍්‍රශ්නය සාකච්ඡා මගින් විසඳා ගැනීමට ඇති කැමැත්ත ප‍්‍රකාශ කළේය. ඉන්පසු පුටින් ක‍්‍රිමියාවට යවන ලද රුසියානු හමුදාවෙන් කොටසක් ආපසු ගෙන්වා ගත්තේය. සම්බාධක පනවන තත්ත්වයකට මුහුණදීමේ හැකියාව රුසියාව වැනි බලවත් රටකට පවා නැතිනම් ඒ හැකියාව පුංචි අපට තිබිය හැක්කේ කෙසේද? දැන් ආණ්ඩුව මුහුණ දී සිටින්නේ තීරණාත්මක උරගා බැලීමකටය. ආණ්ඩුව හිතුවක්කාරී ලෙස ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටට විය හැක්කේ විශාල විනාශයකි. පුද්ගලික යහපත පිණිස රටේ පැවැත්ම පරදුවට තබන පිළිවෙතක් කිසිසේත්ම රටේ යහපතට හේතුවන්නේ නැත. රටේ ඇතිවූ ප‍්‍රචණ්ඩ අරගල හා ඒවා මර්දනය කිරීම සඳහා දියත් කරන ලද ප‍්‍රතිප‍්‍රචණ්ඩ ව්‍යාපාරද ඒවාහි දීර්ඝකාලීන පැවැත්මද වැදගත්ම අංශ තුනක් බෙලහීන කිරීමට, කුණු කිරීමට, විකෘති කිරීමට හා හානි කිරීමට හේතුවිය. එම තත්ත්වය සමාජ අධ්‍යාත්මය කුණු කළේය. විකෘති කළේය. රටේ දේශපාලන හා ආර්ථික ආයතන ක‍්‍රමයද කුණු කිරීමට හා විකෘති කිරීමට හේතුවිය. ඒ සමග රටේ යටිතල පහසුකම්ද විශාල ලෙස විනාශ කළේය. යුද්ධය ජයගැනීමෙන් පසුව ආණ්ඩුව මෙම අංශ තුනම එකට ගෙන ඒවා සුවපත් කරන හෝ ප‍්‍රකෘති කරන තත්ත්වයට යනවා වෙනුවට කළේ සමාජ අධ්‍යාත්මය හා ආයතන ක‍්‍රමය යන අංශ දෙකම මුළුමනින් නොසලකා යටිතල පහසුකම් පමණක් නැවත ගොඩනගන තැනකට යොමුවීමය. එය හරියටම ලෙඩාගේ ලෙඬේට බෙහෙත් නොකොට ලෙඬේ නිසා ලෙඩා තුළ ඇතිවී තිබෙන බාහිර ඔපය නැවත ඇති කිරීම සඳහා දරන මෝඩ ප‍්‍රයත්නයකට සමාන කළ හැකිය. විනාශ වී තිබුණු යටිතල පහසුකම් නැවත නගා සිටුවිය යුතුව තිබුණේය. එහෙත් ආධ්‍යාත්මික වශයෙන් විනාශ වී තිබුණු මිනිසුන්ට හා ගරා හැලෙන තත්ත්වයකට පත්ව තිබුණු ආයතන ක‍්‍රමයට ඊට වැඩි වැදගත්කමක් ලබාදිය යුතුව තිබුණේය. දැන් වඩා විශාල අර්බුදයකට යන තත්ත්වයකට රට පත්ව තිබෙන්නේ සම්පූර්ණ කළ යුතුව තිබුණු මූලික කොන්දේසි තුනක් අතරින් එකක් පමණක් ගෙන අනෙක් කොන්දේසි දෙක මුළුමනින් නොසලකා හරින ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන නිසාය.