රාවය

ප‍්‍රජාතාන්ත‍්‍රික කැළෑ ජනරජය

ප‍්‍රජාතාන්ත‍්‍රික කැළෑ ජනරජය

 

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වුවමනාවටත් වඩා රැකී ඇති බව ආණ්ඩුව කියයි. එසේ කියන්නට ආණ්ඩුවේ උදාහරණය වන්නේ වසරක් පාසා පවත්වන මැතිවරණ ගොන්න ය. එහෙත් ඒ කිසිවක් විසින් ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පැවැත්ම සඳහා සාධනීය මෙහෙයක් නොවන බව රට ම දනියි. ඒ මැතිවරණවලදී සිදුවන්නේ රටේ නීතිය හැකි තරම් වැර යොදා කඩා බිඳ දැමීම ය. මැතිවරණ නීතිය පමණක් නොවේ. රටේ අනෙක් අපරාධ සිවිල් ඈ වූ නීති ද ඇති හැකි අය විසින් හැකි තරමින් කඩා බිඳ දැමීම මේ කාලයේ රාජ්‍ය පාලන චින්තනයේ එදිනෙදා පරිචය බවට පත් වී ඇත. ඒ අර්ථයෙන් ලංකාව නමින් ප‍්‍රජාතාන්ත‍්‍රික වන නමුත් මුළුමනින්ම නීතියක් නැති කැළෑ ජනරජයකි. දැන් එය අන්තර්ජාතික තත්ත්වය දක්වා වැඩි දියුණු වී ඇත. පසුගිය දකුණු හා බස්නාහිර පළාත් සභා මැතිවරණ පවත්වන ලද්දේ ජාත්‍යන්තරයට ලංකාවේ ජනමතය පෙන්වන්නට ය. ජිනීවාහි දී ලංකාව ලබන පරාජය මැතිවරණය සඳහා ආයෝජනය කරන්නට ය.

යුද්ධය අවසන් කර වසර පහක් ම ගත වන තුරු ලංකාව තුළ මානව අයිතිවාසිකම් නීතිය හා අන්තර්ජාතික මානුෂික නීතිය උල්ලංඝනය කිරීම් ගැන පිළිගත හැකි විමර්ශනයක් පවත්වා වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙනෙන්නට ලංකාව අසමත් වූ නිසා ඒ පිළිබඳ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන්නට එක්සත් ජාතීහු තීරණය කළෝ ය. ඒ යෝජනාව සම්මත වූ සැණින් රටේ රාජ්‍ය නායකයා කීවේ කුමක් ද? තමා එම යෝජනාව පිළි නොගන්නා බව ය. ඉවත දමන බව ය. රටක් ලෙස එසේ එක පැහැර කියන්නට අපට හැකි ද? තම රටත්, රටේ ජනතාවත් ගැන වග කිවයුතු රාජ්‍ය නායකයකුට එවැනි දැඩි තීරණයක් වහා ප‍්‍රකාශයට පත් කළ හැකි ද? ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකි. ඒ සංවිධානයේ සාමාජිකත්වය ලබාගන්නා විට ම, කිසියම් සාමූහික බැඳීමක් පිළිගන්නට අපේ ඇති සූදානම අප පෙන්වා තිබේ. එය ලංකාවේ හුදු ස්වෛරීයත්වය ඉක්මවා යන සාමූහික එකඟතාවකි. එවැනි පොදු එකඟතාවක් සහිත සමූහයක් තුළ සිටින විට එක් සාමාජිකයකුට වුවමනා පරිදි පමණක් ඒ තුළ කටයුතු කළ නොහැකි ය. සමූහයේ අදහස් උදහස් පිළිගන්නට පිළිපදින්නට සිදු වෙයි. ප‍්‍රතික්‍ෂෙප කළ හැක්කේ සමූහයට ඉහළින් යන, සමූහයට බලපෑමක් එල්ල කළ හැකි ශක්තියක් ඇත්තකුට පමණි. එය වුවද මුළුමනින් ම සමූහයේ එකඟතාවන්ට පටහැණි ය. මේ යථාර්ථය යි. එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු වශයෙන් එහි ප‍්‍රඥප්තියේ සිට මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය හරහා අප දැනට පිළිගෙන ඇති සියලූම සම්මුතීන්, ප‍්‍රඥප්තීන් හා ගිවිසුම්වලින් මෙන් ම එක්සත් ජාතීන්ගේ ව්‍යාපෘතිවලින් ද, යාන්ත‍්‍රණයන්ගෙන් ද අපි බැඳී සිටිමු. මානව හිමිකම් කවුන්සිලය ද එවැනි යාන්ත‍්‍රණයකි. එම කවුන්සිලයේ සාමාජිකයකු වශයෙන් වුව ද නොවුව ද අපි එහි තීන්දු තීරණ පිළිගන්නට බැඳී සිටිමු. දැන් එම යාන්ත‍්‍රණය ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කොට ගෙන තිබේ. එය සම්මත කිරීමට පෙර වුව ද එහි ඇතුළත් ක‍්‍රියාමාර්ග ගන්නට ලංකාවට ඇති තරම් කාලයක් හා සහායක් එම යාන්ත‍්‍රණය විසින් ලබා දුන්නේ ය. ඒ කාලය තුළ අවශ්‍ය පියවර ගන්නට ලංකාව රාජ්‍යයක් ලෙස අසමත් වීම හෝ වුවමනාවෙන් ම ප‍්‍රතික්‍ෂෙප කිරීම නිසා හෝ නිසා අවසන් යෝජනාව සම්මත විය. මේ පසුබිම මත, ලංකාව සම්බන්ධ යෝජනාව එකහෙළා ප‍්‍රතික්‍ෂෙප කරන්නට රටට හෝ එහි නායකයාට හෝ සදාචාරාත්මක හෝ පිළිගත් නෛතික හැකියාවක්, යුතුකමක් නැති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ කිව හැක්කේ ලෝකයේ සාමූහිකත්වය, සදාචාරාත්මක ප‍්‍රමිතීන්, නෛතික මූලධර්ම පිළි නොගන්නා විටක දී පමණි.

එහෙත් ලංකාව එවැනි අවලස්සන රටකි. මේ මොහොතේ ඒ දැඩිතර භාවය බොහෝ දෙනකුගේ ආත්මාභිමානය, දේශානුරාගය හ ස්වෛරීභාවය තාවකාලිකව ශක්තිමත් කරනු ඇත. මානව හිමිකම් මහකොමසාරිස් කාර්යාලයට ලංකාවේ පස් පාගන්නට ඉඩ නොදිය යුතුයැ’යි කියන්නේ ඒ නිසාවෙනි. එහෙත් ප‍්‍රශ්නය පැන නගිනු ඇත්තේ, ඒ ප‍්‍රතික්‍ෂෙපය විසින් මීළඟ දුර්දසාව උපදවන විට ය. ඒ වන විට බොහෝ ප‍්‍රමාද වී තිබෙන්නට ද පිළිවන.