ගිං ගඟ අයින දිගේ දිය ඇලි ගමට


sanjeewa

කේ. සංජීව

උඹ ඔච්චර ගම්වලට යනවා ලංකා ගමට යන්නේ කවද්ද?. මරු ගම මචං. ගිං ගඟ අයින දිගට ගම උඩින් සිංහරාජේ. කිතුල් රා නාන්න තියෙනවා. පිස්සු හැදෙනවා.’ ගමට යන්නම ඕනෑ කියලා හිතෙනවා. මම ගම ගැන හොයනවා.
‘ඒ ගමට අල්ලපු ගමේ තමයි මචං විජේබාහු රජ්ජුරුවෝ සේනා සංවිධානය කරනකොට ආයුධ හදලා තියෙන්නේ. තබලගම.’ මෙහෙම කතා අස්සෙන් කාලයක් ලංකාගමට යනකොට තමයි ඔන්න යන්නම ඕනෑ කියලා හිතෙන තරමටම උණ වැඩිවෙන නිව්ස් එක ආවේ.
‘මචං මම හිතන්නේ දැනට අවුරුදු 400කට විතර කලින් කාලේ ලාදුරු හැදුණු මිනිස්සු ඔය කැලේ ගමට තමයි ගිහිං දාලා තියෙන්නේ. ඒ මිනිස්සු ඔය කැලේට ගිහිං දැම්මාට පස්සේ කැලේ කොලේ පොත්ත කාලා ඉඳලා තියෙනවා. ඒකෙන්ම සමහරුන්ට ලෙඬේ සනීප වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ගෙන් තමයි මේ ගම පටන් අරගෙන තියෙන්නේ.’ මේ වගේ කතා කන්දක් හිත අස්සේ ගොඩගහගෙන ඉන්න අස්සේ සිකුරාදාවක හිතුවා හෙට උදේ නම් ලංකා ගම යනවාමයි කියලා. ගියාට පස්සේ තවත් කතා කන්දක්. සිංහ ගලටත් වැඩිය උසට.
‘මොන බොරුද මහත්තයෝ ඔය ලාදුරු කතාව. හැමෝම දැන් ඕක කියනවා. කිසි හෙවිල්ලක් බැවිල්ලක් නැතිව.’ ලාදුරු කතාවෙන් කේන්ති ගිය සිරිසේන මාමා මට කියනවා.

බ්රෝහියර්ට පස්සේ ලංකාගමට මම ගිය හැටි
‘කොස්ගොඩ දුම්රිය ස්ථානයෙන් සැතපුම් හතරක් ඈතින් පිහිටි උස් පහත් වී ඈතින් ඈතට දිවයන මේ තැනිතලාබිමේ 1912දී ලංකා ස්වෙච්ඡා බලකායේ උපදෙස් කඳවුර පැවැත්වීය. ඒ ස්ථානය එකල ඌරගස්මංහංදිය යනුවෙන් හැඳින්වූ අතර හමුදා ගමනේදී යොදාගත් සිංදුව වූයේ ..තා…රා..රා.. බොම්බියා… ඌරගස්මංහංදියා … කෙසේ වුවද මේ ප්‍රදේශය වඩාත් සම්බන්ධකම් දැක්වූවේ ලංකාවේ සිටි බෝයර් යුද සිරකරුවන් සම්බන්ධවය. ඔවුන් ස්වෙච්ඡා භටයන් විසින් සැකසූ මැටි බිත්ති පොල් අතු සෙවිලි පැල්පත්වල රඳවා තැබිණි. මේ ප්‍රදේශයේ නම ඌරගහ හැටියට කෙටිකරනු ලැබුවේ බෝයර් සිරකරුවන් විසිනි. ඔවුහු කොමඩු වගා කළ අතර කඳවුර වටා නොයෙකුත් එළවළුද වගා කළෝය.’
මේ බ්රෝහියර් තමන් දුටු ඌරගස්මංහංදිය ගැන කරන විස්තරයක්. ලංකාගමට වැටුණු මගේ ගමනේත් පටන් ගැන්ම ඌරගස්මංහංදිය. මෙතැනින් පස්සේ ගූගල් පිහිට තමයි. ළඟම පාර මොකද්ද? මම සොයනවා. මෛත්‍රීගම, ඕමත්ත, උතුරු පිටිගල, පැලවත්ත හරහා නෙළුවට.. ඊළඟට දූවිලි ඇල්ල පාරේ ලංකාගමට. දැන් මම අපි වෙනවා. ත්‍රීවිලරය හයිවේ එකේ යටින් වැටුණු පටු කාර්පට් පාරේ උතුරු පිටිගල හොයනවා. යටත්විජිත රබර්, තේ වගා අතරින් මිනිස් දූපත් එකට යාකළ පාරේ ත්‍රීවිලරය හැල්මේ දුවනවා. ඉර සිතිජයෙන් අහසට පැනලා වැඩි වෙලාවක් නැහැ. කුඹුරු තැනිවල දිය කඩිති ළඟ තණ උලන හරක් රංචු රංචු අතීත මතකයක් හිතට අරං එනවා. කාර්පට් පාර චිරි චිරි සද්දෙට හරවපු හරක් දැන් කුඹුරට බැහැලා. උතුරු පිටිගලට යන්න කලින් පස්සට විසිවුණ මැටිවිලිය ගමත් හරිම ලස්සනයි. සුන්දරයි. අතීතයේ දවසක බ්රෝහියර් බෙන්තර ගඟේ උඩහට යනවා පාරුවක. මිනිහා පිටිගල නතර වෙනවා. මිනිහාගේ මේ ගමනේත් කෙළවර මගේ ගමනේ වගේම සිංහරාජ අඩවිය. පිටිගල කියන්නේත් තාම ගමක්. බ්රොහියර්ගේ මේ විස්තරයට වැඩි වෙනසක් නැහැ.
‘මම වසර කිහිපයකට පෙර මේ ගඟ දිගේ ඉහළට අඟුලක නැගී ගියෙමි. හිරු බැස යෑමට ප්‍රථම අපට පිටිගල ආසන්නයට යෑමට හැකිවිය. රැයේ ගිනිමැලය අසලට වී දිගු පුටුවක වැතිර සිටින විට මාහට පළමු වතාවට සිංහරාජ අඩවිය පිළිබඳව විස්මය දනවන කතා අසන්නට ලැබිණි.’ පිටිගලට ගිය පසු සිංහරාජයට යන්නට තීරණය කරන බ්රෝහියර් ලියනවා. ඔහු ඊට කලින් කියන්නේ පිටිගල යටත්විජිත සුළුබලමුළුවක් තිබුණු බවයි. ඇත්තටම සිංහරාජේ කියන්නේ මොකද්ද? කතා ගොඩක් හංගගත්ත කැලෑ කැටියක්. අහස හොයන මහා හොරගස් අස්සේ වගේම ඒ ගස්වල වෙලිලා අහසට උසයන වෙනිවැල්ගැට වැලක් වුණත් ඒ කතා හංගගෙන ඉන්නවා. කැලේ අස්සෙන් කඳු අස්සෙන් ගල් උඩින් පනින පුංචි ලොකු දිය කඳුරක වුණත් ඒ කතාව සැඟවිලා තියෙනවා.

සිංහරාජ අඩවියට
අපි නෙළුවට ආවාට පස්සේ ලංකාගමට යන්න දූවිලි ඇල්ලට වැටුණු පාර තමයි තෝරාගත්තේ. ඒ කාර්පට් නිසා. නැත්නම් මීට වැඩිය කෙටි පාරකුත් තියෙනවා. හැබැයි කාර්පට් සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ. ඊළඟට ඉතිං දේශපාලකයන්ගේ අම්මලා තාත්තලා මතක් වෙන පාරක් තිබුණේ ගමට යනකන්ම. දූවිලි ඇල්ල සංචාරකයෝ අස්සේ ගොඩක් ජනප්‍රියයි. ඒ පිනටද කොහේද ඇල්ල ළඟට හැරෙනකම් පාර කාර්පට් කරලා. මෙතැනින් පස්සේ සැරින් සැරේ රැහැයි සනුහරේගේ කිරිකිරියත් එක්ක සිංහරාජේ මහ කැලේ පාරට පනිනවා. හැබැයි ගිං ගඟ කොමළිය නම් අපරාදේ කියන්න බැහැ මග දිගටම සිසිලසත් අරං පාර අයිනෙන්ම හිටියා.
‘පැරණි ලංකාවේ වනාන්තර සිහිගැන්වීම සඳහා අද ඉතිරිවී ඇත්තේ මේ වනාන්තරය පමණි. දිවයිනේ අනෙකුත් සියලු වනාන්තර උප වනාන්තර වෙයි. මේ වනාන්තරය කළුතර දිස්ත්‍රික් සීමාවේ සිට සබරගමුවේ කුකුළු කෝරළය දක්වා විහිදී ඇත. මේ පිහිටීම නිසා මෙය අනිවාර්යයෙන්ම දුෂ්කර ප්‍රදේශයක් වන හෙයින් මේ වනාන්තරය පිළිබඳව බොහෝදෙනෙක් නොදනිති. එමෙන්ම මේ වනාන්තරය ගවේෂණය කර ඇත්තේ අතළොස්සක් වීමට මේ පිහිටීම හේතු වී ඇත. ඒ වනයට පිටස්තරයෙකු ගියේ නම් ඒ එක්කෝ මිනින්දෝරුවෙකි නැතිනම් උද්භිද විද්‍යාවේදියෙකි.’ මේ විදිහට සිංහරාජේ ගැන කතාව පටන්ගන්න බ්රෝහියර් වර්ෂාව ගැනත් කියනවා. ගස්වල පත් අග තුඩු සෑදුණේ ඇයි කියලත් කියනවා. මෙහෙම කියන කතාව ඔහු නිමාවකට ගෙනෙන්නේ මෙන්න මෙහෙම.. ‘සමාවක් නොලැබෙන කැලෑ නීතියට අනුව මේ අඩවිය තුළ කැලෑ සතුන් මැරීම මස් අනුභවය සපුරා තහනම්ය. අපිරිසිදුව වනාන්තරය තුළට ඇතුළු වන්නෙකුට ශාප වදී. මේ ශාපවලින් ආරක්ෂාවීමට වනය තුළට යන්නා කන්‍යා නූල නම් නූලක් තම අතේ හෝ ගෙලේ හෝ ඉනේ හෝ ගැටගසා ගනී. ඒ හුය කන්‍යාවන් විසින් ගොතන ලද්දක් වන අතර කහ වතුරෙන් දොවා කට්ටකුමන්ජල් දුම් අල්ලා මන්තර මතුරා පේ කරගත් එකකි. ඒ වනසතුන්ගෙන් සහ බද්දේ මැහැල්ලි නම් පත්තිනි අවතාරයෙන් ගැළවීම සඳහාය.’ අපිත් පත්තිනි මැහැල්ල ගැන කතාබතා සෙව්වා.
‘මේ මහ කැලේට රිංගලා කට වරද්දා ගත්තොත් ආයි ගත්තාම තමයි. පාර වරදිනවා ලෙඩ වෙනවා.. ඉතිං පිරිසිදුවට කට පරිස්සමට තමයි යන්න ඕනෑ.’ අතීත විශ්වාස අනාගතයට අරං යන්න දඟලන අපේ සිරිසේන මාමා එහෙම කියනවා. කට වරද්දා ගත්ත මිනිස්සු ගැන කතා කන්දක් ඊළඟට. මම ඒවා ලියන්නේ නැහැ. මොකද අපි ජාතියක් විදිහටම කට වරද්ද ගන්න හරි දක්ෂයිනේ.. මාදුගැටේ පහුකරලා බ්‍රාහ්මණ ඇල්ලත් පහුකරලා අපි හැමතැනම දිය ඇලි ඇඟේ ඔතාගෙන ඉන්න පැත්තකින් මහා වැලක් වගේ ගිං ගඟ ඔතාගෙන ලස්සනට බලං ඉන්න ලංකාගමට ගියා. පුංචි සරසරයක්. මඩකඩිති පාරේ වළවල්වල වැටි වැටී අපි ලංකාගම.

ලංකාගම කතාව
ලංකාගම කියන නම හැදිලා තියෙන්නේ කොහොමද මම පියසේන මාමාගෙන් ඇහැව්වා..
‘ලංකා කියලා ගමරාළ කෙනෙක් ඉඳලා තියෙනවා. මනුස්සයා ඔය සිංහගලේ හිටියායි කියන සිංහයා මරලා තියෙනවා ගල්වලින් ගහලා. තවමත් ඔය සිංහ ගලේ ළඟ ඒ සිංහයාට ගහපු මහ ගල් ගොඩ තියෙනවා. ඒකට අපි කියන්නේ යෝද ගල්ගොඩ කියලා.’
මේ කඳු දෙක මූණට මූණ බලාගෙනයි ඉන්නේ. එක කන්දක ඉඳලා අනික් කන්දේ ගුහාවේ ඉන්න සිංහයාට ගහලා මරනවා මේකයි කතාව. මේ කතාව ලංකාගම සුමිත් මහත්තයාගේ දත් අතරින් දූවිලි ඇල්ලේ වතුර වගේ පහළට වැටෙනකොට ලංකා කියන ගමරාළ ලංකානාථ යෝදයා වෙනවා.
‘මේ ලංකානාථ කියන යෝදයා මේ සිංහයා ගල් ගහලා මරලා මේ ගමේ ජීවත් වෙලා තියෙනවා. එතැනින් පස්සේ තමයි ලංකාගම වෙන්නේ.’ මේ නම ගැන වෙනස්ම කතාවක් කිව්වේ රත්නායක මාමා. ඒ කතාව බ්රෝහියර් මිනින්දෝරු මහත්තයාටත් සම්බන්ධයි ඒ නිසා කියන්නම්..
‘ලංකාව මනිනකොට අන්තිමටම මැනලා තියෙන්නේ මේ ලංකාගම තමයි. ඒ නිසා මේ ගමට ලංකාගම කිව්වාලු.’ ජනකතා කියන්නේ ගිං ගඟ වගේම තමයි. ගලනවා ගලනවා අතරමගින් එකතු මිතුරු වෙන හැම මළඉලව්වක්ම අරගෙන. මමත් අහුවෙන හැම මඟුලක්ම එකතු කරගෙන තැනකින් දෙතැනකින් රා අඩියකුත් හීනියට ගහගෙනම ලංකාගම ඇතුළට ගියා. මම මේ ගමත් එක්ක ගැට ගහලා තියෙන ලාදුරු ඉතිහාසය ගැන සුමිත්ගෙන් ඇහැව්වා.
‘ඕක හිතලුවක්. දැනට අවුරුදු 140කට විතර කලින් ලාදුරු රෝගියෙක් බදුරලිය පැත්තෙන් මේ ගමට ඇවිත් තියෙනවා. ඒ වෙළෙඳාමට. මනුස්සයාගේ වාසගම අගලපිටගේ කියලා. මේ ගමේ එහෙම පෙළපත් නාමයක් නැහැ. මනුස්සයා ලෙඩවෙලා ගමට යන්න බැරිව මේ ගමේ ගෙදරක නතර වෙලා ඉඳලා තියෙනවා. එහෙම ඉන්නකොට ඇප උපස්ථාන කළ ගමේ අයට මේ රෝගේ බෝවෙලා. ගමේ පවුල් මිනිස්සු අඩු නිසා මේක ලොකුවට පෙනුණා. මම පොඩි කාලේත් මේ ගමේ ලාදුරු හැදුණු අය හත්අට දෙනෙක් හිටියා. හැබැයි ඒ මිනිස්සුන්ට බෙහෙත් අරගෙන සනීප වුණා. දැන් 100%ක්ම ගමෙන් මේ ලෙඬේ ගිහිං තියෙන්නේ. ඒ නිසා අපි මාධ්‍යයට කියන්නේ මේක බොරුවක් කියලා.’

පෙළපත්
ලංකාගමගේ, නිල්වැලිගමගේ, කොලොන්තුටුව සිල්වත්ගේ, වතුගලගමගේ යන වාසගම්වලින් තමයි ගමේ අය පැවතගෙන එන්නේ. මේ අතීතය ගැන සිරිසේන මාමා කතා කළා.
‘මේ වාසගම් හතර තමයි මේ ගමේ මුල් පදිංචි අය පැවතගෙන එන්නේ. ආවාහ විවාහ සිද්දවුණේ මේ පවුල් අස්සේ තමයි. ගොඩක් වෙලාවට නෑකමට තමයි බැන්දේ. අද නම් මේවා නැහැ. අද පිටිනුත් ගොඩක් පවුල් එකතුවෙලා ඉන්නේ. ලංකාගම කිව්වාට මේකට කොලොන්තොටුව, නිල්වැල්ල, වතුගල මේ ගම් සේරම අයිති වෙනවා.’
මේ ගමට නෙළුවේ ඉඳලා කිලෝමීටර් 16ක් විතර දුරයි. වාරුකන්දෙණිය, මාදුගැට, මිදේරිපිටිය, පල්ලේගම, දොඹගොඩ, මාවුල්දෙණිය. මේ ගම් තමයි ලංකාගම දෙපැත්තෙන් නෙළුව පැත්තටයි දෙනියාය පැත්තටයි තියෙන්නේ. උඩින් සිංහරාජ මහ කැලේ. පහළින් ගිං ගඟ කොමළිය. අතීතේ දකුණේ ඉඳලා සිරිපාදේ ගිය මිනිස්සු මේ ගම පැනලා තමයි මහ කැලෙන් රත්නපුරේ පැත්තට ගියේ. ‘මේ ගම පැන්න ගමන් මහකැලේ මැදින් රත්නපුරේ කලවානේ පනාපොළට අඩි 8ක ගම්සභා පාරක් තියෙනවා. ඒක ලංකා සිතියමෙත් තියෙන පාරක්. අපි පොඩිකාලේ ඒ පාර හැම අවුරුද්දකම එළිකළා. ඒ පාරෙන් තමයි දකුණේ මිනිස්සු ගාල්ල, තවලම, නෙළුව හරහා ඇවිත් සිරිපාදේ ගිහිං තියෙන්නේ. දැන්නම් ඒ පාර කැලේටම දීලා.’ සුමිත් ආයිත් කතා කළා. ඇත්තටම මේ ගමට ස්වාභාවික සුන්දරත්වය විතරයි තියෙන්නේ. ඒ ලස්සන අස්සේ ජීවත්වෙන මිනිස්සු විඳින දුක ගිං ගඟ මුහුදට මෙතුවක් කාලයක් අරන්ගිය වතුර ප්‍රමාණයටත් සම කරන්න බැහැ. දුෂ්කර මේ වගේ පැතිවලට යන්න කියලා හොඳ වාහන ඇමති ඉල්ලුවත් ගාල්ලේ මන්ත්‍රී කෙනෙක් මේ ගමට ආ කාලයක් මතක නැහැ කියලා තමයි ලංකාගම මිනිස්සු කියන්නේ.
‘මට දැන් අවුරුදු 78යි. මට අවුරුදු දොළහේ කාලේ වුණු සිද්ධියක් පුතාට මේ කියන්නේ. ඒ කාලේ මෙහේ තිබුණේ හිනිදුමට නෙවෙයි බද්දේගමට. දවසක් බද්දේගම මන්ත්‍රී ඩීඑස් ගුණසේකරයි, දෙනියාය මන්ත්‍රී වික්ටර් රත්නායකයි ගමට ඇවිත් රැස්වීමක් තියලා කිව්වා මේ පාර කපලා තාර දාලා දෙනවා කියලා. එදායින් පස්සේ පොරොන්දු කොච්චරද. අපි ඒ කතාවලට අප්පුඩි ගහපු විදිහට මේ අත් ගෙවෙනවා නම් දැන් ගෙවිලා ඉවරයි. මේ පාර කපලා හරි දුන්නේ නෙළුව හිටපු සභාපති කළුමහත්තයා විතරයි. එතුමා නම් දෙවියෙක්. මේ පාර නිසා එතුමාට නඩුත් වැටුණා. හැබැයි කැපුවා විතරයි. ඊට එහා සංවර්ධනයක් තාම නැහැ.’ ලංකාගම ඉස්කෝලේ වුණත් තියෙන්නේ 11වසරට විතරයි. ප්‍රතිඵල 75%ක් විතර. ඊළඟට උසස් පෙළ ආවාම නෙළුවට ගියත් මොරවකට ගියත් බද්දේගමට ගාල්ලට ගියත් ළමයි බෝඩින් කරන්න ඕනෑ. එතකොට ලංකාගම මිනිස්සුන්ට නිදහස් අධ්‍යාපනයක් තියෙයිද?.. ඇත්තටම නැහැ.

අභාවයට ගිය තෙත් කලාපයේ හේන..
අපි දැන් කතා කරන්න යන්නේ 70ට කලින් ලංකාගම ගැන. අද මේ ගමේ පවුල් 300ක් විතර හිටියාට එදා 10ක් නැත්තං 15ක් ඉන්න ඇති. මේ මම සිරිසේන මාමගේ මතකයෙන් තමයි අතීතය ලියන්නේ. එදා ගමේ ජයටම තිබුණේ කිතුල් කැපිල්ලයි හේන් ගොවිතැනයි. මේ ගමට මඩ ගොවිතැනට එක කුඹුරක් එදත් නැහැ. අදත් නැහැ. හැබැයි හේන සරුවට තිබුණා.
‘මේ හැම කන්දකම වගේ අපි හේන් කෙටුවා. ඇල් වී පොලයල් වැපුරුවා. අබ, මෙනේරි, අමු බඩඉරිඟු, එළවළු මේවා සේරම සරුවට කළා. 77 තමයි වෙනස් වුණේ. එදා මේ වගේ අපේ බඩවල්වලට අහේනියක් තිබුණේ නැහැ. කිතුළට නැග්ගාම හොඳට පැණි තිබුණා, රා තිබුණා. අපි කැලේ මණ්ඩි වෙන්කරගෙන තමයි කිතුල් කැපුවේ. මේ ගමේ හැම පවුලකටම එහෙම කිතුල් මණ්ඩියක් තිබුණා. 77ට පස්සේ තමයි තේ වගාවට ගියේ. කැලේට ගියාම එනසාල් බෙරලිය හල් වගේ ගෙඩි ජාති තිබුණා. අතුරු හතු කිරිහතු කඳ හතු ලේන හතු තිබුණා. ඊළඟට කටුඅල ගෝනල තිබුණා. දැන් නිකමට කැලේට යන්න දෙන්නේ නැහැ අපි මේ ගමටම කොටුවෙලා.” මිරිස් පැල හේන, කොහොල්ලාවේ හේන, වත්තගාව හේන, ඉඟුරුගල හේන. මේ තමයි ලංකාගම වටේ ලංකාගම මුහුණ බලන කඳු. මේ කඳුවලට මේ මිනිස්සු දාලා තියෙන නම්වලින්ම පේනවා. හේනයි මේ මිනිස්සුයි අතරේ තිබුණු බැඳීම. හැබැයි දැන් තෙත් කලාපයේ මේ හේන් ගොවිතැන නැත්තටම කිව්වොත් හරියටම හරි.” දෙසැම්බර් කොටලා පෙබරවාරි පෑවිල්ලට ගිනිතියලා මාර්තු ඇල් වී බිම දානවා. මාස හයයි. අගෝස්තු පෑවිල්ලට ගෙට ගන්නවා. ඒ අස්සේ ලන්දක් සුද්ද කරලා පොලයල් ටිකක් විසිකරලා දානවා ඒකට මාස තුනයි.” මේ සිරිසේන මාමා හේන් එක්ක අතීතයේ ඔට්ටු වුණ විදිහ. සිංහරාජේ ගැන දුහුවිලි ඇල්ල ගැන බ්‍රහ්මණ ඇල්ල ගැන ලතාවකට වෙලෙන ගිං ගග ගැන තවත් ගොඩක් කතා තියෙනවා. මේ මහ කැලේ මේ ගමත් එක්කම මහා කතා සාගරේකුත් දරාගෙන ඉන්නවා. අපිත් ඒ බර දරාගෙනම ලංකාගමට සමුදුන්නා ආයෙත් දවසක යන්න හිතාගෙන. ■