Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය

ජිනීවා අන්තර් ජාතික පරීක්ෂණය මන්ද, කුමක්ද, කෙලෙසද යත්

2014 මාර්තු 27දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නව කාලපරිච්ෙඡ්දයක් ඇරඹුණි. එනම් ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයයි. මෙම පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයේ මූලික ලකුණ වනු ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව අන්තර්ජාතික වශයෙන් විමර්ශනයට ලක්වීමයි. එය සිදු කරනුු ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිනි. එවැනි විමර්ශනයක් සඳහා ඊට වඩා උසස් වෙනත් ආයතනයක් ලොව නැත. ලෝකයේ රටවල් සම්බන්ධයෙන් මෙවැනි පරීක්ෂණ පැවැත්වෙන්නේ අතිශය විශේෂ තත්ත්වයන් යටතේ පමණි.

ආරම්භක මංසන්ධිය

ශ‍්‍රී ලංකාවේ ජිනීවා කාලපරිච්ෙඡ්දය වසර ගණනාවක්ම ඈතට දිවෙන නමුත් එහි තීරණාත්මක ආරම්භක මංසන්ධිය 2009 වර්ෂයයි. ඒ, එම වර්ෂයේ මැයි අගදී, යුරෝපා සංගමය විසින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළ ශ‍්‍රී ලංකාව පිළිබඳ යෝජනාව නිසාය. මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ශ‍්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් වගවීම ඉල්ලා සිටි ප‍්‍රථම යෝජනාව එයයි.

එම යෝජනාවෙහි 12වන වගන්තියෙන් මෙසේ කියැවුණි: ‘වරදට දඬුවම් නොලබා සිටීම (දණ්ඩ මුක්තිය) අවසන් කිරීමේ වැදගත්කම අවධාරණය කරන කවුන්සිලය, මානව හිමිකම් සහ අන්තර්ජාතික මානුෂීය නීතිය කෙළෙසීම පිළිබඳව කැරෙන සියලූ චෝදනා අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂා කොට වරදකරුවන්ට දඬුවම් පමුණුවන ලෙසත් ඉදිරියට එවැනි අපරාධයන් සිදුවීම වැළැක්වීමට ප‍්‍රයත්නයන් ඉහළ නංවන ශ‍්‍රී ලංකාණ්ඩුවෙන් ඉල්ලා සිටී.’
එම යෝජනාවට විරුද්ධ වී ඒ වෙනුවට ශ‍්‍රී ලංකාණ්ඩුවේ මූලිකත්ව යෙන් සම්මත කරන ලද යෝජනාවෙහි යුද සමයෙහි සිදුවූ බවට ඒ වනවිටත් චෝදනා නැගී තිබූ කවර හෝ මානව හිමිකම් කෙළෙසීමක් ගැන පරීක්ෂා කර අපරාධකරුවන්ට දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලීමක් හෝ සපථ කිරීමක් තිබුණේ නැත.
යුද්ධය අවසාන විසඳුම නොවන බවත් දේශපාලන විසඳුමක් සපයන බවට ජනාධිපති රාජපක්ෂ විසින් කරන ලද ප‍්‍රකාශය ප‍්‍රසංශාවට ලක් කළ එම යෝජනාව 13 වන සංශෝධනය ක‍්‍රියාත්මක කරන බවට සහතිකයක් දුන්නේය.

පස් වසරකට පසු 2014 මාර්තු 27දා එම මානව හිමිකම් කවුන්සිලයම සම්මත කළ යෝජනාවෙහි 2009 වසරේදී ශ‍්‍රී ලංකා රජය විරුද්ධ වූ යුරෝපා සංගමයේ යෝජනාවෙහි තිබූ වගවීම පිළිබද ෙඡ්දය වඩාත් පුළුල් සහ නිශ්චිත ලෙස ඇතුළත් වී තිබේ.

දේශපාලන දුරාචාරය

මහා පරිමාණයෙන් මානව හිමිකම් කෙළෙසීම ශ‍්‍රී ලංකාව පශ්චාත් නිදහස් ශ‍්‍රී ලංකාවේ දේශපාලන දුරාචාරයේ කොටසක් බවට පත්වන්නේ 1971 සිටය. එසේ නමුත් එලෙස 1971 සහ 1988 – 1990 සමයන්හි සිදුවූ දරුණූ මානව හිමිකම් කෙළෙසීම් වැලිතලාවෙන් වැසී ගියේය. කැරලිකරුවන් විසින් ද රාජ්‍ය හමුදා විසින් ද කරන ලද මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ විමර්ශනයට ලක් කොට ඉන් උගත යුතු පාඩම් සමාජගත කිරීමක් සිදුකෙරුණේ ම නැත. සිරගත කරන ලද්දේ කැරලිකරුවන් පමණි. ඒ දහස් ගණනින් ඝාතනය කිරීමට අමතරවය. ඒ වෙනුවට සිදුවූයේ යුද්ධයේ සෑම පාර්ශ්වයක් විසින්ම කරන ලද මිනිස් ඝාතන දඬුවම් නොලබන වීර ක‍්‍රියා බවට පත්වීමයි. සිවිල් යුද්ධයක් වැනි අභ්‍යන්තර සන්නද්ධ ගැටුමක් මර්දනය කිරීමේදී ඕනෑම අපරාධයක් එනම් සිය දහස් ගණනින් ඝාතනය කිරීම වුව සාධාරණය යන්න ශ‍්‍රී ලාංකික රාජ්‍ය තුළ මුල්බැස ගත්තේය. දකුණු ශ‍්‍රී ලංකාවේ ජීවත්වන සිංහලයන් වන ශ‍්‍රී ලංකික රාජ්‍යයේ ඒ මාරක අලූගෝසු හැසිරීම 1988 – 1990 සමයෙහි ඇස්පනාපිට නොදුටුවෙමුද?

පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දය යනු ශ‍්‍රී ලාංකික රාජ්‍ය මර්දනයේ මෙම නිදන්ගත අපරාධකාරී හැසිරීම අන්තර්ජාතික ගවේෂණයට ලක්වන මොහොතයි. එය 1971 සහ 1988 -1990 වසරවල රාජ්‍ය හමුදා අතින් ඝාතනයට ලක් වූ සිංහල තරුණ තරුණියන් වෙනුවෙන් ද සංකේතාත්මකව යුක්තිය ඉටුවීමකි.

දෙපාර්ශ්වයේම අපරාධ

එල්ටීටීඊය සහ ශ‍්‍රී ලංකා රාජ්‍යය අතර වූ අවසාන යුද්ධයෙහිදී එවැනි මිනිස් ඝාතන සිදුවන්නට ඇති පරිමාව 1988 – 1990 වසරවල සිංහල තරුණ තරුණියන්ගේ හිස නැති මළ සිරුරු සහ සිරුරු නැති හිස් ප‍්‍රදර්ශනය කරන ලද ආකාරය මතකයට නංවා ගැනීමෙන් පමණක්ම වුව සිතා ගත හැකිය. එසේ මනඃකල්පිත සිතීමකට ඉඩ නොතබා දැන් ඉතිහාසය හමුවේ යුද්ධයේ නාමයෙන් දෙපාර්ශ්වය විසින්ම කරන ලද මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධ සාක්ෂි ගොඩ ගැසෙමින් තිබේ.

පසුගිය 26 වන බදාදා ශ‍්‍රී ලංකාවේ යුද සමයෙහි මානව හිමිකම් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් අත්‍යවශ්‍ය බව අවධාරණය කරන සිය වාර්තාව මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඉදිරිපත් කරමින් මහ කොමසාරිස් නවී පිල්ලේ මෙසේ කීවා ය. ‘‘යුද්ධාවසානයෙන් පස් වසරක් ගතවී ඇති මෙම අවස්ථාවෙහි මානව හිමිකම් කවුන්සිලය, දහස් ගණනාවක් සිවිල් ජනයා, මරණයට පත්වූවන්, තුවාල ලැබූවන් සහ අතුරුදන්වූවන් බවට පත්කරමින් ආණ්ඩුව සහ එල්ටීටීඊය විසින් කරන ලදැ’යි චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් කෙළෙසීම්හි විශාලත්වය සහ ගැඹුර යළි සිහි කැඳවා ගැනීම වැදගත් ය. වින්දිතයන්ගේ සහ දිවි ගලවාගත්තවුන්ගේ වේදනාවන් සහ චිත්ත පීඩාවන් ආමන්ත‍්‍රණය කිරීමට අසමත්වීම විසින් රාජ්‍යය සහ සංහිඳියාව කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙයි.’’

ඇය ඊට මෙසේ ද එක් කළා ය: ‘‘නව සාක්ෂි ඉස්මතුවෙමින් තිබේ. ඔවුහු අන්තර්ජාතික පරීක්ෂණයක් හමුවේ සාක්ෂිදීමට කැමැත්ත පළ කරති.’’

කාලය මදි

අනතුරුව දෙපැයක් තරම් කාලයක් පුරා පැවැති ඇයගේ වාර්තාව පිළිබඳ සාකච්ඡුාවට එක්වූ ශ‍්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ එම වාර්තාව සහමුලින්ම ප‍්‍රතික්ෂේප කළේය. එසේ නමුත් ශ‍්‍රී ලංකාවට පක්ෂව අදහස් දැක් වූ චීනය සහ වියට්නාමය වැනි රටවල් පවා මානව හිමිකම් ආරක්ෂා කිරීමට ශ‍්‍රී ලංකාණ්ඩුව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළේය. ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් හිස් චෙක්පත් ලබා දුන්නේ පකිස්ථානය සහ කියුබාව වැනි රටවල් දෙක තුනක් පමණි. එම රටවල් කියා සිටි ප‍්‍රධාන කාරණය වූයේද යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනයන් සිදු නොවූයේය යන්න නොව එම සිදුවීම් පිළිබඳ පරීක්ෂණයකට සහ වරදකරුවන්ට දඬුවම් පැමිණවීමට ශ‍්‍රී ලංකාණ්ඩුවට දී ඇති කාලය ප‍්‍රමාණවත් නොවන බවයි.

මහ කොමසාරිස් වරියගේ වාර්තාවටද, කවුන්සිලය හමුවෙහි ඉදිරිපත්ව ඇති ශ‍්‍රී ලංකාව සම්බන්ධ යෝජනාවට ද සහාය පළකරමින් අදහස් දැක්වූ බටහිර ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන අසා සිටි එක් ප‍්‍රශ්නයක් වූයේ යුද්ධාවසානයෙන් පසු ශ‍්‍රී ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සිදුව ඇත්තේ කුමක්ද යනු ය. 18 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ජනාධිපතිගේ කොමිෂන් සභා බවට පත්කොට ඇති, දෝෂාභියෝගයකින් අගවිනිසුරුවරිය ධුරයෙන් පහ කොට අධිකරණ ස්වාධීනත්වය කෙළෙසා ඇති රටක ස්වාධීන මානව හිමිකම් පරීක්ෂණයකට ඇති අවකාශය කුමක්දැයි ඔවුහු ප‍්‍රශ්න කළහ.

දෙමළ සන්ධානය

2005 – 2009 යුද සමය ඊට පෙර ශ‍්‍රී ලංකාවේ පැවැති භීෂණ සමයන්ගෙන් තීරණාත්මකව වෙනස් බවට එමට සාක්ෂි මෙම මානව හිමිකම් කවුන්සිල සැසිවාරය අතරතුර ඉදිරිපත් විය. ඉන් එකක් නම් මෙම යුද්ධය සිදුවූයේ දීර්ඝකාලීන අසමානතාවන්ට මුහුණ දී සිටින වාර්ගික සුළුතරයක් ජීවත් වන භූමියක එම ජනයාගෙන් බිහි වූ සන්නද්ධ ව්‍යාපාරයකට එරෙහිව වීමය. යුද්ධයට වාර්ගික අන්තර්ගතයක් තිබූ අතර දෙමළ ජනයාගේ අරගලය ඒ වනවිටත් අන්තර්ජාතික මානයක් ගෙන තිබුණි. සැසිවාරය පුරා සියයකට අධික දෙමළ ජාතික පිරිස් සිය තානාපති අංශ හමුවෙමින් කරුණු දැක්වූහ. ඒ අතර දෙමළ ජාතික සන්ධානය කැපී පෙනුණි. මාවෙයි සේනාධිරාජා, එම්.ඒ. සුමන්දිරන්, සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන්, අඩෙයි කලනාදන් සහ ශ‍්‍රීදරන් යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සැසිවාරයට පැමිණියහ. මහ කොමසාරිස්වරියගේ ශ‍්‍රී ලංකා වාර්තාව පිළිබඳ සාකච්ඡුාව අවසානයෙහි මාවෙයි සේනාධිරාජාගේ නායකත්වයෙන් ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වූ ඔවුහු ඉදිරිපත්ව ඇති යෝජනාවට දෙමළ ජාතික සන්ධානය සහාය දක්වන බවත් ඊට පක්ෂව ජන්දය පාවිච්චි කරන සේ සාමාජික රටවලින් ඉල්ලා සිටින බවත් කියා සිටියහ. සැසිවාරය අතරතුර දෙමළ ජාතික පෙරමුණෙහි මැදිහත්වීම යෝජනාවට පක්ෂ ප‍්‍රධාන සාධකයක් බවට පත් වී තිබුණි. එහි නායකත්වය මන්ත‍්‍රී සුමන්දිරන් අත තිබුණි.

යෝජනාව වැඩකට නෑ

එසේ නමුත් යෝජනාව වැඩකට නැති එකකැ’යි කී දෙමළ සංවිධාන සහ දේශපාලනඥයෝ ද වූහ. සැසිවාරය අමතා රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් කතා කළ දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම් බලම් යෝජනාවට ඡුන්දය දෙන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටියේ නැත. ඔහු සැසිවාරය හමුවේ කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාට අවශ්‍ය වන්නේ අන්තර් ජාතික නිරීක්ෂණය යටතේ අන්තර්වාර පාලනයක් බවයි. ඔහු මෙම ලියුම්කරු සමග කියා සිටියේ මෙම යෝජනාව ඇමෙරිකානු භූ දේශපාලන උවමනාව මත සිදුවන්නක් මිස ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් ඉදිරිපත් වන එකක් නොවන බවයි. සැසිවාරය අතරතුර ජිනීවාහි දේශන ශාලාවක පැවැත් වූ සාකච්ජාවකදී ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය ද ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනවර්ග සංහාරයට වග කියයුතු බව දෙමළ සංවිධාන ගණනාවක් කියා සිටියහ.

71 සහ 88-90 භීෂණ සමයන්හිදී නොතිබූ, වසර 2005 වන විට වර්ධනය වී තිබූ තවත් සාධකයක් වූයේ දේශීය අරගලයකදී වුව අන්තර්ජාතික මානුෂීය නීතිය කෙළෙසෙන්නේ නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වියයුතු බවට පුළුල් පිළිගැනීමක් ඇතිව තිබීමයි. මෙම සාධකයේ බලපෑම යුද්ධයේ අවසන් සමයෙහි තදින්ම කැපී පෙනුණි. මානව හිමිකම් කවුන්සිලයේ වත්මන් සැසිවාරයෙහි ශ‍්‍රී ලංකාව පිළිබඳ කෙරුණු බොහෝ මැදිහත්වීම්හිදී යුද්ධයේ අවසන් සමය අරබයා එක්සත් ජාතීන්ගේ සංවිධානය සතු වගකීම යළි යළි අවධාරණය විය. ශ‍්‍රී ලංකාවේ යුද්ධයෙහිදී සිවිල් ජනයා ආරක්ෂා කිරීමේ වගකීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අතහැර දමන ලද බව පෙන්වා දෙන දීර්ඝ වාර්තාවක්ද මහ ලේකම් බැන් කී මූන් වෙත පිළිගන්වා තිබේ.

යුද්ධයේ සජීවී පිටපත්

අනෙත් අතට මෙම යුද්ධය සිදුවූයේ පෙර අවස්ථාවන්හිදී මෙන් නොව සාක්ෂි තොග ගණනින් රූ ගත කෙරුණු ඩිජිටල් කැමරා ඉදිරියේය. අන්තර්ජාලය හරහා මෙම යුද්ධයේ සජීවී පිටපත් ක්ෂණයකින් ලොව පුරා බෙදාහැරීමට හැකියාව පැතිරී තිබුණි. එපමණක් නොව චන්ද්‍රිකා තාක්ෂණය මගින් රූගත කරන ලද යුදබිමේ ව්‍යසනය දැක්වෙන සාක්ෂි පවා එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනටමත් ඉදිරිපත්ව තිබේ.

අත්අඩංගුවට පත් කැරලිකරුවන් ශ‍්‍රී ලංකා හමුදා විසින් වෙඩි තබා මරා දමනු නොදුටුව ද අප එවැනි මළ සිරුරු සිය ගණනින් 88 -90 සමයෙහි දුටුවෙමු. දැන් මෙම යුද්ධයේ අවසන් සමයෙහි එලෙස වෙඩි තබා ඝාතනය කරනු දැක්වෙන වීඩියෝ සාක්ෂි එජා සංවිධානය හමුවෙහි තිබේ. මෙම සැසිවාරය හමුවෙහි ද එවැනි සාක්ෂි ඉදිරිපත් කරන ලද්දේ චැනල් 4 රූපවාහිනී මාධ්‍යවේදී කැලම් මැක්රේ විසිනි. වෙඩි තබා ඝාතනය කරන ලද එල්ටීටීඊ සෙබළියන් නිරුවත් කොට මළසිරුරු ලිංගික වධහිංසාවන්ට ලක්කරනු එම වීඩියෝ මගින් පැහැදිලිව දැක්වේ.

1971දී අත්අඩංගුවට පත් ජවිපෙ ක‍්‍රියාකාරිනියන් නිරුවත් කොට ලිංගික අවයව තුළට සෝඩා බෝතල් යැවූ පොලීසිය ඇතුළු රාජ්‍ය හමුදා පිරිස් යුද්ධයේ අවසන් සමය වන විට එල්ටීටීඊ සෙබළියන්ගේ මළ සිරුරු පවා ලිංගික අපහරණයන්ට ලක්කිරීම, වරදට දඬුවම් නොකිරීමේ විපාකයක් බව සැසිවාරය අතරතුර පැවති සමාන්තර රැුස්වීමකදී පෙන්වා දෙන ලද්දේ සිංහල ජාතික මානව හිමිකම් ක‍්‍රියාධරයෙකු විසිනි.

ශ‍්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් සමයේ දෙපාර්ශ්වයම විසින් සිදු කරන ලද අපරාධ වසං කළ නොහැකි සන්දර්භය එයයි. එනම් යුද්ධයෙහි තිබූ වාර්ගික ස්වරූපය, අභ්‍යන්තර යුද ගැටුම්හිදී සිවිල් ජනයා ආරක්ෂා කිරීම පිණිස එජා සංවිධානය සතු වගකීම සහ අයිතිය මෙන්ම යුද්ධයේ අපරාධ සටහන් කෙරුණු නවීන තාක්ෂණය යනාදියයි.

දේශීය පරීක්‍ෂණයක්

2009 මැයි මාසයෙහි මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි ඉදිරිපත් වූ යෝජනාවෙන් ඉල්ලා සිටියේ යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් ගැන පිළිගත හැකි දේශීය පරීක්ෂණයකි. ශ‍්‍රී ලංකාණ්ඩුව එයට සාධනීය ප‍්‍රතිචාරයක් දැක්වූයේ නැත. එනමුත් හුදු ප‍්‍රතික්ෂේප කිරීමක් විසින් යථාර්ථය යටපත් නොවෙයි. දැන් මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කරන ලද ශ‍්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීම සඳහා වන යෝජනාව විසින් පෙන්නුම් කරන ඇත්ත එයයි.

ප‍්‍රායෝගික අර්ථයෙන් මෙම යෝජනාව ශ‍්‍රී ලංකාවේ යුද සමයෙහි සිදුවූ බවට චෝදනා කැරෙන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් පරිපූර්ණ අන්තර් ජාතික පරීක්ෂණයක් නිර්දේශ කර තිබේ. මෙම පරීක්ෂණය කැරෙනු ඇත්තේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය යටතේ එනම් නවී පිල්ලේ යටතේය. එහි අන්තර්ජාතික යන වචනය නැති නිසා එය අන්තර්ජාතික පරීක්ෂණයක් නොවන්නේයැ’යි කීම බොළඳ තර්කයකි. දේශීය නොවන්නේ නම් එය අන්තර්ජාතිකය. මෙම පරීක්ෂණය සඳහා වසරක කාලයක් ලැබෙනු ඇත. ඊට එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයන් මෙන්ම අවශේෂ විශේෂඥ පිරිස් ද සහාය වනු ඇත. බොහෝ දුරට මෙයට පෙර මෙවැනි පරීක්ෂණ මෙහෙයවා ඇති ශ‍්‍රී ලංකාව පිළිබඳ දැනුමක් ද ඇති විද්වතකු එහි ප‍්‍රධානියා ලෙස පත් කැරෙනු ඇතැ’යි අපේක්ෂා කැරේ.

අන්තර්ජාතික පරීක්ෂණ යක් ලබාගැනීමේ විවිධ ක‍්‍රියාකාරීත්වයන්ට ප‍්‍රබල දායකත්වයක් ලබාදුන් ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු වත්මන් සැසිවාරයේ කැපී පෙනෙන සිවිල් සමාජ භූමිකාවක් නියෝජනය කළාය. ඇය ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් අළලා පැවැත් වූ සමාන්තර රැුස්වීම් දෙකක මුලසුන හෙබවූ අතර දෙවතාවක් මානව හිමිකම් කවුන්සිලය අමතා අන්තර්ජාතික පරීක්ෂණයක අවශ්‍යතාව අවධාරණය කළා ය. මෙම යෝජනාව විසින් ශ‍්‍රී ලංකාණ්ඩුවට මහත් බලපෑමක් එල්ලවනු ඇති බව කියා සිටින නිමල්කා ප‍්‍රනාන්දු යෝජනාව සමග සහයෝගයෙන් කටයුතු නොකළහොත් බරපතළ ප‍්‍රතිවිපාක ඇතිවනු ඇතැ’යි අනතුරු හඟවන්නීය. ඇයට අනුව ඉන් එක් විපාකයක් විය හැක්කේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ‍්‍රී ලංකාව තවදුරටත් හුදෙකලා වීමය. ‘‘යෝජනාව උතුරට විතරක් බලපාන එකක් නෙවෙයි. දකුණේ මානව හිමිකම් රැුකගැනීමටත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් ඇති කර ගැනීමටත් එය ඉවහල් වේවියැ’’යි ඇය කියන්නීය.

විමර්ශන කාලය

මෙම අන්තර්ජාතික පරීක්ෂණය විසින් සලකා බැලෙන කාලපරිච්ෙඡ්දය ලෙස ජනාධිපති රාජපක්ෂ විසින් පත් කරන ලද උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම විමසා බැලූ කාලපරිච්ෙඡ්දයම ඇතුළත් කර තිබේ. උගත් පාඩම් කොමිසම එහි නෛතික සීමාව අබිබවා තත්කාලීන මානව හිමිකම් කෙළෙසීම් ද විමර්ශනයට ලක් කළාය. එනයින් ඉක්මනින්ම පත් කැරෙනු ඇති ශ‍්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ කොමිසම 2002 පෙබරවාරි මාසයේ සිට 2011 අවසානය දක්වා කාලය විමර්ශනය කිරීමට බොහෝ දුරට ම ඉඩ ඇත.

දැනටමත් ඉදිරිපත්ව ඇති සාක්ෂි බලගතුය. චැනල් 4 වාර්තාමය චිත‍්‍රපට ඒ අතර කැපී පෙනෙයි. ලිංගික වධහිංසා පිළිබඳ හියුමන් රයිට්ස් වොච්, යස්මින් සූකා සහ දේශීය සංවිධාන විසින් දැනටමත් සාක්ෂි විශාල ප‍්‍රමාණයක් ඉදිරිපත් කර තිබේ. ත‍්‍රි’මලයේ සිසුන් 05 දෙනා ඝාතනය කිරීම, මූතූර්හි සහන සේවකයන් 17 දෙනා ඝාතනය කිරීම යනාදී නිශ්චිත අපරාධයන් සම්බන්ධයෙන් ද දැනටමත් විස්තීර්ණ වාර්තා සකස් වී තිබේ. යුද සමයෙහි වන්නියෙහි සේවය කළ ජ්‍යෙෂ්ඨතම වෛද්‍යවරයා වන වර්ධරාජා සැසිවාරය අතරතුර පැවති සමාන්තර රුස්වීමකදී තමා අන්තර් ජාතික කොමිසමක් හමුවෙහි සාක්ෂි දීමට සූදානම් බව කියා සිටියේය. ඔහුගේ සාක්ෂිය ප‍්‍රබල එකක් වනු නොඅනුමානය. මහ ලේකම් බැන් කී මූන් විසින් පත් කළ දරුස්මාන් කමිටුව හමුවෙහි ඉදිරිපත් වූ සාක්ෂි ද මෙම පරීක්ෂණයට දායක කර ගනු ඇත. නොනිල ආරංචි මාර්ග කියන්නේ ශ‍්‍රී ලංකා යුද හමුදාවෙහි සිටි පිරිස් ද සාක්ෂිකරුවන් අතර සිටිය හැකි බවයි.

එල්ටීටීඊ අපරාධ

අනෙක් අතට ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වගකිවයුතු එවකට එල්ටීටීඊ නායකයන් නම් කළ එක්සත් ජාතීන්ගේ වාර්තා ද තිබේ. දකුණු බද පෙදෙස්හි මගී බස්රථවල ඇටවූ බෝම්බ මගින් සිය ගණන් සිවිල් ජනයා ඝාතනය කිරීම්ද පරීක්ෂණයට ලක්වනු ඇත. වන්නි යුදබිමෙහි සිවිල් ජනයා යුද පළිහක් වශයෙන් එල්ටීටීඊය විසින් භාවිත කිරීම ද යුද අපරාධයකි.

මෙවැනි පරීක්ෂණයක් මුහුණදෙන ප‍්‍රධාන අභියෝගයක් වන්නේ යුද අපරාධ පිළිබඳ වාර්තාවක් සකස් කිරීම ම නොවේ. එම අපරාධයන්ට වගකිවයුතු පුද්ගලයන් කව්රුන්දැ’යි සාක්ෂි ඇතිව නිගමනය කිරීම ය. මෙහිදී ‘චේන් ඔප් ක්මාන්ඞ්’ එනම් ‘අණ දීමේ දාමය’ යන න්‍යායය ද භාවිතයට ගත හැකි ය. එනම් නිශ්චිත යුද අපරාධයක් සම්බන්ධයෙන් අණදීම සිදුව ඇත්තේ කවරකුගෙන් ද යන්න න්‍යායාත්මකව විමසා බැලීමයි.

මෙම අන්තර්ජාතික පරීක්ෂණයෙන් පසු එහි පසු විපරම් ක‍්‍රියාවලියක් ඇතිවීමට ද නියමිත ය. පරීක්ෂණ පැවැත්වෙනු ඇත්තේ සහ එය නිගමන කරා එළඹෙනු ඇත්තේ කෙලෙසද යන්නත්, කවරාකාර පසු විපරමක් ඇතිවිය හැකිද යන්නත් පෙන්නුම් කැරෙන පූර්වාදර්ශ ගණනාවක් මානව හිමිකම් කවුන්සිලයෙහි තිබේ.