හම්බන්තොට හරක් වෙල්ලස්සට ප‍්‍රශ්නයක්

 

මහත්තයෝ මේ වෙලාව කැලය ඇතුළට රිංගන්න හොඳ වෙලාව නෙවෙයි. උන් හරක් බලන්නේ ටී.56 අතේ තියාගෙන. වෙඩිතියන්නත් බැරි නැහැ. අනික නොදන්න මූණක් පිටින් ආවාම උන් බලනවා කවුද කියලා. අපි එදා ඉඳලා මේ ගමේ ඉන්නේ. ඒත් මේ පිටින් ආපු මිනිස්සු නිසා දැන් අපිට බයෙන් ජීවත්වෙන්න වෙලා. දැනට මේ ප‍්‍රදේශයේ අබිරහස් මරණ 5ක් විතරවෙලා තියෙනවා. ඒ මරණවලට හේතු දන්නේ දෙවියොම තමයි.’’ මේ කොටියාගල ගැමියකුගේ දුක්බර හ`ඩය. නම හෙළි නොකිරීමේ පොරොන්දුව පිට ඔහු දැන් කොටියාගල වෙළාගත් ගොපලූ භීතියේ තරම අපට කීවේය.
මොකක්ද මේ ගොපලූ භීතිය. අපි සෙවුවෙමු. කොටියාගල ඇතිමලේ පහළ වෙල්ලස්සට අයත්ය. පළාත් නාමය ඌවය. එකල මේ බිම් මායිම් ගම්ය. දැන් තර්ජිත ගම්ය. කවුරුන්ද කොටි නැති කල මොවුන්ට තර්ජනය කරනුයේ? ප‍්‍රශ්නයකි. දැන් තර්ජනය ගොපල්ලන්ගෙන්ය. හම්බන්තොට හරකුන් ගෙන්ය. හම්බන්තොට හරකුන්ගෙන් වෙල්ලස්සට ඇති ප‍්‍රශ්න මොනවාද? අපි සොයා ගියෙමු.

හදමු නව වෙල්ලස්සක්

වෙල්ලස්ස යනු වෙල් ලක්ෂයකි. දුටුගැමුණු රජ කල සද්ධාතිස්ස කළ මේ වෙල් ලක්ෂයේ සංවර්ධනය අවසන් කළ භූමි සීමාව ඇතිමලේය. දුටුගැමුණු රජතුමා තම සහෝදරයාගේ සංවර්ධන කාර්යය දැක ඇතිමලේ කියූ නිසා මේ ගම ඇතිමලේම විය. ඇතිමලේ පසුකර යාල කැලය දෙසට වන්නට කොටියාගල ජනපදයය. ජනපදකරණ ඉතිහාසය 1956 වර්ෂයට දිගුය. මුල් පවුල් සංඛ්‍යාව 150කි. දැන් කොටියාගල පවුල් 793කින් පොහොසත්ය. පළමු පවුල් 150ට පමණි ඉඩම් හිමිකම තිබෙනුයේ. ඉතිරි අය රජයේ කැලෑ අල්ලාගෙන හේන් කපති. ඔවුන්ගේ ප‍්‍රධාන ජීවනෝපාය බඩඉරි`ගු ගොවිතැනය. දැන් දැන් බඩඉරි`ගු ගොවිකමට කණකොක් හ`ඩය. ඒ ‘හදමු නව වෙල්ලස්සක්’ යන හ`ඩත් සමගය. හදමු නව වෙල්ලස්සක් සංකල්පය රාජපක්ෂ පවුලේය. රාජපක්ෂ පවුලේ ඌව සංක‍්‍රාන්තියත් සමග ඌව පහළ වෙල්ලස්සේ කොටියාගල, ඇතිමලේ, තොරාතුපිටිය, උඩික්කපු ආර, වත්තේගම, කහම්බාන වැනි ප‍්‍රදේශවලට කිරි ගොවියෝ සංක‍්‍රමණය වූහ. ඒ තිස්ස හම්බන්තොට වැනි ප‍්‍රදේශවලිනි. කිරිගොවියෝ සමග හම්බන්තොට මී හරකුන්ද දහස් ගණනින් මේ ප‍්‍රදේශ තුළට සංක‍්‍රමණය විය. කිසිදු වග විභාගයකින් තොරව බලහත්කාරයෙන් කොටියාගල වැනි ප‍්‍රදේශවල පාරම්පරික හේන් වගා බිම් ආක‍්‍රමණය කළ මේ පිටස්තර කිරිගොවීන් නිසා පහළ වෙල්ලස්සේ මෙම ගම්ලට මිනිසුන්ට දැන් උන්හිටිතැන් අහිමිව යන ලකුණු පහළ වී ඇත.

කිරිගොවියා හා හේන් ගොවියා

‘‘කිරිගොවියයි හේන් ගොවියයි ගත්තම මහත්තයෝ මේ මිනිස්සු දෙන්නට එකට ඉන්න පුළුවන්. කිසි ගැටලූවක් නැහැ. ඒ මහත්තයෝ හරකයි වගාවයි එකට එකතු කළොත් මොකද වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ ඒක තමයි. කොටියාගල මේ ප‍්‍රදේශයේ විතරක් දැන් මී හරක් 30,000ක් විතර ඉන්නවා. කොටියාගල එක ගොවියකුට මී හරකෙක් නැහැ. මේ සේරම කිරිගොවියෝ හම්බන්තොට ලොකු ලොකු මුදලාලිලාගේ, දේශපාලන ලොක්කන්ගේ’’

මෙලෙස රාවයට කතා කළ ඞී.එම් විජේරත්න හරක් ප‍්‍රශ්නයෙන් පීඩාවිඳින ගොවියෙකි. හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයෙකි. ඔහුට මීට ටික කලකට ඉහතදී හරක් ප‍්‍රශ්නයකට සිරගත වෙන්නට ද සිදුවිය.

‘මගේ බඩඉරි`ගු වගාවට එක සැරයක් හරක් පැන්නා. මම ඒ හරක් බලාගත්ත කොලූවාට කිව්වා ආයෙත් හරක් මගේ හේනට එවන්න එපා කියලා. එතකොට මොකද වුණේ? මම ඒ දරුවාට ගැහැව්වා කියලා මාව පොලීසියට කුදලගෙන ගියා. පොලීසිය හරක් පට්ටි අයිතිකාරයන්ගේ පදයට නටනවා මිසක් ගොවියාට සෙතක් හදලා දෙන්නේ නැහැ. මම හිතන විදියට ඇතිමලේ පොලීසියට මේ ප‍්‍රශ්නය නිසා ගොවියෝ පැමිණිලි 100කට වඩා දාන්න ඇති. ඒත් ඒ එකකින්වත් වැඩක් නැහැ. අපි පොලීසියට යනකොට හරක් අයිතිකාරයෝ කෝල්කරලා වැඬේ හදලායි තියෙන්නේ. දුක කියන්න ගිය අපිට පොලිස් මහත්තුරුන්ගෙන් කන පැලෙන්න බැනුම් අහලා එන්න වෙනවා. මේක තමයි දැන් තියෙන ආශ්චර්යය මහත්තයෝ.’

හරක් පාතාලය

කොටියාගල ගම් වැසියන් පවසන පරිදි කොටියාගල සහ යාබද ගම් සීමා තුළ අද පවතින්නේ හරකුන් නිසා පැන නැගි පාතාලයකි. බොහෝ හරක් පට්ටි බලා කියා ගන්න පිරිස අත තුවක්කු ඇත. ඔවුන් බොහෝ දෙනෙක් හම්බන්තොටට චණ්ඩින් වූ අයය. දැන් මෙම ප‍්‍රදේශයෙන් කිරි පුරවා ගත් කැබ් රථ 7ක් හෝ 8ක් තිස්සමහාරාමයට දිනපතා යන බව ප‍්‍රකාශ කරන ගම්මු හරක් වාඩි 15-20ත් අතර ප‍්‍රමාණයක් දැනට මෙම ප‍්‍රදේශයේ පවත්වා ගෙනයන බව ද කියති.

මෙලෙස බලා කියා ගන්නා හරක් රංචු 1000ක් හෝ 2000ක් හේනක් පාළු කළ විට හරක් බලා ගන්නා මිනිසාට පැමිණිලි කළහොත් ඔහු තර්ජනය කරන අතර ගම්මුන් පොලීසියට ගිය කල පොලීසිය ප‍්‍රකාශ කරනුයේ හේන් වදින ගවයන් අල්ලා ගැට ගසන ලෙසය. හරක් 1000ක් 2000ක් තමන් කෙලෙසක අල්ලන්න දැයි ගම්මු අපෙන් අසති. දැනට මසකට පමණ ප‍්‍රථම එක් හේන් වගාකරුවකුට තම වගා හේනට සමීපව හරක් පට්ටියක් දමන්න දුන්නේ නැතැයි කියා හමුදාවෙන් පැමිණ පහරදී ඇති අතර එම පහරදීම උදෑසන ගම්මුන් බලා සිටියදීම සිදුවූ සිදුවීමකි. පොලීසිය කි‍්‍රයාත්මක වී හමුදාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙවැනි සිදුවීම් කොටියාගල, ඇතිමලේ ප‍්‍රදේශ තුළ සුලබය.

‘‘අපිට මුලින් මුලින් ආරංචි වුණේ මේ දාලා ඉන්නේ මහඇමතිතුමාගේ හරක් කියලා. අපි ගිහින් එතුමාට කිව්වාම එතුමා කියනවා එයාගේ හරක් නම් අපිට ඇවිල්ලා බැඳගන්න කියලා. මේ විදියට පරිපාලනයත් මේ ප‍්‍රශ්නෙන් ම`ග අරිනවා මිසක් මේ ප‍්‍රශ්නයට ස්ථිර විසඳුමක් දෙන්නේ නැහැ. අපි කීයක් වියදම් කරලාද වගාවක් කරන්නේ. වගාව කරලා ඉවර වෙනකොට ගෙදර ගෑනිගේ කරාබු දෙකේ ඉඳලා සින්නයි. අපි දහ අතේ ණය වෙනවා මේ ඉඩම් අස්වද්දන්න. ඒත් හරක් රංචුවකට අපේ වගාවක් නැත්තටම නැති කරලා දාන්න යන්නේ විනාඩි 10ක් වගේ සුළු කාලයක්.’’
ඇතිමලේ කොටියාගල ප‍්‍රදේශය තුළ දැවැන්ත ප‍්‍රශ්නයක් වී ඇති හරක් පාතාලය ගැන කරුණු මෙලෙස කතා කළේ ආර්.එම්.බණ්ඩාර මහතාය. ඔහුටත් පුද්ගලිකවම හරක් බලාගන්නා මිනිසුන්ගෙන් සහ හරක්ගෙන් සිදුවූ කරදර බොහෝය. ගම්මුන් බොහෝදෙනකු මෙම ප‍්‍රශ්නයේ සෘජුව පැටලී සිටියත් හරක් හිමිකරුවන්ට තිබෙන ශක්තිය සහ දැන් දැන් ගම තුළ හොල්මන් කරන භීෂණය නිසා ඔවුහු අදහස් දැක්වීම ම`ග හැරියෝය. හරක් හිමිකරුවන් මෙම ගම්මාන තුළ පතුරුවා හැර ඇති භීෂණය එතරම්ය. ඔවුන්ට පිටගම්කාරයෝ යැයි හැ`ගීමක් ඇත. ඔවුන් සියල්ල විසඳන්නේ චණ්ඩිකමිනි. එකට එක කිරීමෙන්ය.

හරකුන්ට වැව් තණපිටි

‘‘දැන් අවුරුදු 3,4ක ඉඳලා ඇතිමලේ, කොටියාගල මේ ප‍්‍රදේශවල අපිට වනරක්ෂණ මහත්වරුන්ගෙන් හරිම කරදර. අපිට මඩ ඉඩම් නැහැ. පවුල් 150කට විතර තමයි ගමේ ඉඩම් තියෙන්නේ. අපි දැනට අවුරුදු 25ක විතර ඉඳලා කැලේ පැත්තට වෙන්න හේන් කරනවා. ඒක මහකැලය නෙවෙයි. ඒත් දැන් වන සංරක්ෂණ මහත්වරු අපි වගාකරන ඉඩම් එයාලාගේ කියලා අපි අල්ලගෙන ගිහින් කුඩුකරලා දඩ ගහනවා. එහෙම කරදර හිරිහැර අවුරුදු 2ක් 3ක් කරලා අපි එළවන්න බැලූවා. අපි අන්තිමට උද්ඝෝෂණය කළා. එතකොට එයාලා අක්කර 5කට සීමා වෙන්න හේන් කරන්න කියලා තාවකාලික අවසරයක් දුන්නා. අපි හිතන්නේ අපේ ඉඩම්වලින් එළවන්න හදන්නේ හරක්ට තණ පිට්ටනි හදන්න කියලා.’’

විජේරත්න මහතාගේ මෙම කතාවේ යම් සත්‍යයක් තිබිය හැකිය. ඒ මන්ද හරක් කෙරුවාවට ගොපල්ලන් මෙම සීමාවට පැමිණෙන තුරු මෙම ඉඩම් තුළ හේන් වගාවට කිසිදු බාධාවක් නොතිබුණි. එහෙත් දැන් දැන් ඇතිමලේ කොටියාගල ප‍්‍රදේශවලින් ඇසෙන කතා කියන්නේ හරකුන්ට තණපිටි පමණක් නොව වැව්ද බඳින බවය. හරකුන්ට බඳින වැවක් පිළිබඳව තොරතුරු රාවයට ප‍්‍රකාශ කළේ එච්.එම් කරුණාරත්න මහතාය.

‘‘කොටියාගල අපිට 1956 හදපු වැවක් තියෙනවා. කරදණ්ඩාව ව්‍යාපාරය කියලා. මේක ඌව පළාත් සභාවෙන් නැවත හැදුවා. ඒ හදන වෙලාවේ කිව්වේ මේ හදන වැවෙන් වතුර දෙන්න පුළුවන් පවුල් 90කට අක්කර දෙක ගානේ කියලා. අපි විරුද්ධ වුණා. අපි කිව්වා මේක විශාල වැවක් එහෙම කරන්න එපා කියලා.
මොකද කොටියාගල ජනපදයේ පවුල් 700ක් විතර ඉන්නවා. පරම්පරා තුනක්. කොහොම වුණත් කෝටි දෙකක් වියදම් කරලා වැව හැදුවා. අඩි 6ක් විතර පිරෙන වැව දැන් පිරෙන්නේ අඩි 4යි. සොරොව්ව පැරණි එකමයි. වැවෙන් කුඹුරු වලට වතුර ගෙනියන්න කිසිදු ඇළ මාර්ගයක් කපලා නැහැ. දැනට වැවේ වැඩ අවසන් කරලා අවුරුදු 1ක් වෙනවා. ඇළක් නැති මේ වැව ගොන්නුන්ට වතුර බොන්න බැන්ද දිය කඩිත්තක් වගේ. ඉතින් අපි හැමෝටම සැකයක් තියෙනවා මේක මේ ප‍්‍රදේශයට ඇවිත් ඉන්න හම්බන්තොට හරක් පට්ටිවලටද හැදුවේ කියලා.’’

ඉඩෝරය

කාලයකට පසු පැමිණි ඉඩෝරය වෙල්ලස්සට එහි වගාවන්ට විශාල හානියක් දැනටම කර අවසන්ය. ඉඩඉරි`ගු අස්වැන්න පවා භාගෙට භාගයක් අඩුය. ගොවිතැන එකම ජීවන මාර්ගය කර ගත් බහුතරයක් වෙසෙන මෙවැනි ප‍්‍රදේශවල මිනිසුන්ට විඳින්නට සිදුවී තිබෙන දුක් මෙපමණයි කියා කෙළවර කළ නොහැකිය. එම ප‍්‍රශ්න ගොඩටම එකතු වී තිබෙන මේ මීහරක් ගැටලූවද එන්න එන්නම උග‍්‍රවෙනවා හැර එය විසඳෙන ස්වභාවයක් නැත. දැනගන්නට තිබෙන බොහෝ කරුණු කාරණාවලට අදාළව මේ හරකුන්ගේ නීත්‍යනුකුල හිමිකරුවෝ දේශපාලයෝය. ඔවුහු තම බලය පවත්වා ගනිමින් කොටියාගල සහ ආසන්න ගම්මාන භීතියට පත්කරමින් අත්තනෝ මතිකත්වය කි‍්‍රයාවේ යොදවමින් සිටිති. පොලීසියද දැන් ජනතාවගේ නොවන නිසා ජනතාවට කළ හැකි දෙයක් නොමැත්තේය. ඔවුන්ට දැන් ඉතිරිව ඇත්තේ ආකාසය දෙස බලාගෙන තමන් පත් කළ මන්තී‍්‍රවරුන් ඇමතිවරුන්ට පළි ගසන්නටය.