මානව හිමිකම්වලට එරෙහි ත‍්‍රස්ත පනත

 

ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මාර්තු 16 දින කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනකු වූ රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමාව දේශීය හා විදේශීය වශයෙන් සිදුවූ ප‍්‍රබල බලපෑම් හමුවේ නිදහස් කරන්නට ආණ්ඩුවට සිදුවිය. ඒ මාර්තු 18 වැනිදා රාත‍්‍රියේදීය. ඒ වනවිටත් මහේස්ත‍්‍රාත්වරයකුගේ අවසරයක් නොමැතිව පුද්ගලයකු අත්අඩංගුවේ තබාගත හැකි පැය 48ක කාලය අවසන්වෙමින් පැවතුණ අතර තවදුරටත් එම ක‍්‍රියාධරයන් දෙදෙනාව අත්අඩංගුවේ තබාගැනීමට නම් ආණ්ඩුවට සිදුකිරීමට ඉතිරි වී තිබුණේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔවුන්ට එරෙහිව රැුඳවුම් නියෝග නිකුත් කිරීමය. නැතිනම් නිදහස් කිරීමය.

මේ ක‍්‍රියාධරයන් දෙදෙනා රැුඳවුම් නියෝග යටතේ දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම ආණ්ඩුවේ වුවමනාව වූ බව ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා හරහා ආණ්ඩුව විසින් කළ ප‍්‍රකාශයෙන් ගම්‍ය විය. පෙර සඳහන් කළාක් මෙන් එල්ල වූ විදේශීය හා දේශීය බලපෑම් හේතුවෙන් එම අදහස අවසන් මොහොතේ අත්හැර දමන්නට ආණ්ඩුවට සිදුවිය. ඒ නිසාම ඔවුන් නිදහස් කිරීමද පරෙස්සමට කිරීමට ආණ්ඩුවට සිදුවූ අතර අධිකරණ වෛද්‍ය නිලධාරියකු හමුවට හා මහේස්ත‍්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එම නිදහස් කිරීම සිදුවිය.

කෙසේ වුවද විවිධ බලපෑම් හමුවේ පසුපසට ගන්නා ලද පියවර නැවත වරක් ඉදිරියට ගන්නා බව රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා නිදහස් කිරීමෙන් දින දෙකකට පසු ආණ්ඩුව සංඥා කරනු ලැබීය. ඒ ඔවුන් දෙදෙනාව නිදහස් කරන ලද මහේස්ත‍්‍රාත් අධිකරණයටම ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් වාර්තාවක් ඉදිරිපත් කිරීම මගින්ය.

ත‍්‍රස්ත විමර්ශන ඒකකය එම වාර්තාව මගින් මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ රුකී ප‍්‍රනාන්දුගේ විදේශ ගමන් බලපත‍්‍රය එම ඒකකයේ භාරයට ගැනීමට අවසර දෙන ලෙස හා ඔහු විදේශ ගතවීම වැළැක්වීම සඳහා ආගමන හා විගමන පාලකවරයාට ඒ බව දැනුම් දෙන ලෙසය. එමෙන්ම රුකී ප‍්‍රනාන්දුගේ ලැප්ටොප් පරිගණකය හා අයිපෑඩය එම ඒකකයට භාරගැනීමට අවසර දෙන ලෙස හා ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ පරීක්ෂණවලට අදාළ කිසිවක් ප‍්‍රකාශ නොකරන ලෙස රුකී ප‍්‍රනාන්දුට නියෝගයක් කරන ලෙසය.

ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ එම ඉල්ලීමට මහේස්ත‍්‍රාත් අධිකරණයේ අවසරය ලැබී ඇති අතර එහි ඇති විශේෂත්වය වන්නේ අත්අඩංගුවට ගෙන දින දෙකක කාලයක් රඳවාගෙන ප‍්‍රශ්න කරමින් විමර්ශනය කිරීමෙන් පසු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් චෝදනා කිරීමක් නොකළ හෙයින් නිදහස් කරන ලද අධිකරණය විසින්ම මෙම අවසරයන් ලබාදීමය.

එහෙත් ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ මෙම ඒකපාර්ශ්වීය අවසරය අභියෝගයට ලක්කරමින් එදිනම මෝසමක් මගින් රුකී ප‍්‍රනාන්දු වෙනුවෙන් නීතිඥයන් මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු දක්වා ඇති අතර එහිදීද මහේස්ත‍්‍රාත් අධිකරණයේ මතය වී ඇත්තේ රුකී ප‍්‍රනාන්දුගේ ලැප්ටොප් පරිගණකය හා අයිපෑඩය පරීක්ෂණ සඳහා අවශ්‍ය නම් ඒවා රඳවාගෙන පරීක්ෂණ පැවැත්විය හැකි බවත්, ඔහුගේ ගමන් බලපත‍්‍රය රඳවා නොගත්තද අධිකරණ අවසරයකින් තොරව ඔහුට විදේශ ගතවීම තහනම් බවත්, පරීක්ෂණයට අදාළව අදහස් ප‍්‍රකාශ කිරීමද ඔහුට තහනම් බවත්ය.

රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා නිදහස් කිරීමෙන් පසු සිදුවූ මෙම සිදුවීම් සම්මත ධාරාවේ මාධ්‍ය මගින් ප‍්‍රකාශ නොවූ අතර ඒ සම්බන්ධයෙන් තොරතුරු පළවූයේ විකල්ප ධාරාවේ මාධ්‍යවල හා වෙබ් මාධ්‍යවල පමණි. ඊට හේතුවූයේ මානව හිමිකම් පිළිබඳව වූ තොරතුරු පළනොකරන ලෙසට සම්මත ධාරාවේ මාධ්‍ය ආයතනවලට ආණ්ඩුවෙන් එල්ල වූ නිල නොවන බලපෑමයි.

මෙම මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනාම මාර්තු 16 දින ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූයේ ඊට දින කිහිපයකට පෙර මානව හිමිකම් කඩවීමකට ලක්වුණු කිළිනොච්චියේ පදිංචි ජෙයකුමාරි බාලචන්ද්‍රන් මහත්මිය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමකට ගිය අවස්ථාවේදීය.

ජෙයකුමාරි බාලචන්ද්‍රව විශාල ආරක්ෂක බලඇණියක් යොදවා මාර්තු 13 දින කිළිනොච්චියේදී ආණ්ඩුව අත්අඩංගුවට ගනු ලබන්නේ අපරාධකරුවකුට නවාතැන් ලබාදීමේ චෝදනාව යටතේය. එම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව ප‍්‍රකාශ කළේ පොලිස් නිලධාරියකුට වෙඩි තැබූ අපරාධකාරයකුට ඇය නවාතැන් දුන් බව හා අපරාධකරු පිළිබඳ තොරතුරු සැඟවීම ඇයට එරෙහි චෝදනා බවය. පොලිස් නිලධාරියකුට වෙඩි තැබුවායැ’යි කියන එම අපරාධය සම්බන්ධයෙන් පොලිසිය විසින් මහේස්ත‍්‍රාත් අධිකරණයකට වාර්තාකර ඇත්දැ’යි මෙතෙක් දැනගන්නට නැත. පිළිගත් නීතියේ පටිපාටිය අනුව ඕනෑම අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය කරුණු වාර්තා කළයුත්තේ මහේස්ත‍්‍රාත් අධිකරණ යකටය. එසේම එම අපරාධය පිළිබඳව කවුරුන් හෝ දැන දැනම කරුණු වසන් කරනවා නම් ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළයුත්තේද මහේස්ත‍්‍රාත් අධිකරණයකටය.

එහෙත් ජෙයකුමාරි බාලචන්ද්‍රන් මහත්මිය අත්අඩංගුවට ගැනීමේදී හා ඉන්පසු ක‍්‍රියාවලියේදී නීතියෙන් පිළිගත් පටිපාටිය ක‍්‍රියාත්මක වන අයුරක් අප දුටුවේ නැත. ඇය අත්අඩංගුවට ගනු ලැබුවේද, මේ වනවිටත් බූස්ස රැුඳවුම් කඳවුරේ රඳවා තබාගෙන සිටින්නේද ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ඇති ප‍්‍රතිපාදනයන් උපයෝගී කරගනිමින් රැුඳවුම් නියෝග යටතේය. ජෙයකුමාරි බාලචන්ද්‍රන් මහත්මිය සමග අත්අඩංගුවට ගනු ලැබූ ඇගේ රැුකවරණය යටතේ සිටි 13 හැවිරිදි දියණියට සිදුවී ඇත්තේද පරිවාස භාරයට පත්වන්නටය. ඒ මව අත්අඩංගුවට පත්වීම නිසා එම දියණිය බලාගන්නට කිසිවකු නැති තත්ත්වය තුළය.

ආණ්ඩුවත්, ආණ්ඩුව වෙනුවෙන් ප‍්‍රකාශ නිකුත් කරන පොලිසියත් කුමක් ප‍්‍රකාශ කළද මේ වනවිට හෙළිදරව් වී ඇත්තේ ජෙයකුමාරි බාලචන්ද්‍රන් මහත්මිය මෙන්ම ඇගේ දියණියද අතුරුදන් කිරීම්වලට එරෙහි උද්ඝෝෂණවල පෙරමුණේ සිටි අය බවය. යුද්ධයේ අවසන් අදියරේදී හමුදාවට භාරවූවන් අතර ඇයගේ පුත‍්‍රයාද සිට ඇති අතර මේ වනවිට ඔහුට සිදුවූ දෙයක් සොයාගන්නට නොහැකිවීම ඇය අතුරුදන් කිරීම්වලට එරෙහි උද්ඝෝෂිකාවක් බවට පත්කරන්නට හේතුවී ඇත. මානව හිමිකම් පිළිබඳව උද්ඝෝෂණය කරන හා අතුරුදන් කරන ලද සිය දරුවන් ඉල්ලා හඬා වැළපෙන සෑම තැනකදීම ඇය පෙරමුණේ සිට ඇත.

රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා කිළිනොච්චියට ගොස් ඇත්තේ එම සත්‍යය සොයා පාදා ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් කළහැක්කක් කිරීම සඳහාය. එය ආණ්ඩුවේ හා ආණ්ඩුව වෙනුවෙන් මෙහෙයුම් කරන ත‍්‍රස්ත විමර්ශන ඒකකයේ උදහසට, වෛරයට හා පළිගැනීමට ලක්වීමට හැකි ප‍්‍රබල හේතුවක්ය. රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා අත්අඩංගුවට පත්වන්නේ එහි ඍජු ප‍්‍රතිඵලයක් වශයෙන්ය. නැතහොත් රුකී හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා අත්අඩංගුවට ගැනීම ගැන පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියනු ලැබූ කෝකටත් තෛලය ලෙස භාවිත කරන ජනවර්ග අතර අස්ථීරත්වයක් ගොඩ නැගීමට උත්සාහ කිරීම හා උතුරේ ජනතාව වෙනම රාජ්‍යයක් කරා පෙළඹවීමට උත්සාහ කිරීම යන හේතු නිසා නොවේය.

සත්‍ය වශයෙන්ම රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමා ඔවුන්ගේ කාර්යභාරය ලෙස ඉතිහාසය තුළ කළේ කුමක්ද? වර්තමානයේ කරමින් සිටින්නේ කුමක්ද යන්න සැඟවුණු හෝ සඟවා කරනු ලබන දේ නොවන්නේය. මානව හිමිකම් පිළිබඳ කටයුතු කරන සමාජය ඔවුන් පිළිබඳව හොඳින්ම දන්නේය. ඔවුන් කරමින් සිටින්නේ කුමක්ද යන්න පිළිබඳව දන්නේය. අවාසනාවකට ඒ පිළිබඳව නොදැන සිට ඇත්තේ ආණ්ඩුවේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය හා බුද්ධි අංශයන්ය. නොඑසේ නම් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන් කළ කී දෑ පිළිබඳව සොයා බලන්නට මහන්සි ගතයුතු නැත.

මේ සිදුවීම තුළින් ආණ්ඩුව ඉතිහාසයේදී මෙන්ම නැවත නැවතත් අපට කියා පා ඇත්තේ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නම්වූ වුවමනා, වුවමනා ආකාරයට අර්ථනිරූපණය කළහැකි භයානක නීතිය සිය සතුරන් හෝ විරුද්ධවාදීන් ලෙස සලකන මානව හිමිකම් ක‍්‍රියාධරයන් හා අනෙකුත් ක්ෂේත‍්‍රවල ක‍්‍රියාධරයන්ට එරෙහිව පාවිච්චි කිරීමට නොපැකිළෙන බවය. එමෙන්ම ශ‍්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් සාකච්ඡුාවට ගනිමින් පැවතියද ඒ සම්බන්ධයෙන් කිසිදු සැලකිල්ලක් නොදක්වා තවදුරටත් රට තුළ මානව හිමිකම් කඩකිරීමට නොපැකිළෙන බවය. කොටින්ම මානව හිමිකම් ගණන් නොගන්නා බවය.