රාවය

මූලික අයිතිවාසිකම් නැති ජනපතිගේ අලූත් හමුදාව

මූලික අයිතිවාසිකම් නැති ජනපතිගේ අලූත් හමුදාව

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ýන්න කර නව පනතක් සම්පාදනය කිරීම

පසුබිම සහ හැඳින්වීම

2009 අංක 41 දරන පනත මගින් පිහිටුවන ලද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් අපේක්ෂිත කර්තව්‍යයන් පවතින දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ ක‍්‍රියාත්මක කිරීමේ අපහසුතාව මත, අමාත්‍ය මණ්ඩල පත‍්‍රිකා අංක 12/1217/503/094 මගින් එකී පනත සංශෝධනයට අනුමැතිය ලබාගැනීමෙන් පසු නීති කෙටුම්පත් සම්පාදකට නව කෙටුම්පත යොමු කරන ලදුව, පවතින පනත පරිච්ýන්න කොට නව පනතක් සම්පාදනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගන්නා මෙන් දැනුම් දී ඇත.

සාධාරණීකරණය

නව පනත තුළින් පහත සඳහන් කාලීන අවශ්‍යතාව ඉටුකර ගැනීම අපේක්ෂා කෙරේ

අ. වෘත්තීය නිපුණත්වයක් ලබාගත් නිලධාරීන් සහ නාවිකයන් රඳවා ගැනීමේ අවශ්‍යතාව.

වෘත්තීය නිපුණ පුද්ගලයන් වැඩි ප‍්‍රතිලාභ අපේක්ෂාවෙන් සේවය අතහැරයෑමට පෙළඹෙන අතර දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ ඒ සඳහා පාලනයක් ඇති කළ නොහැකිවීම.

ආ. සාගර මුර සංචාර සහ කි‍්‍රයාන්විත රාජකාරි සඳහා සහායක සේවාවන් සැපයීම.

ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිවිධ හමුදාවන්, රාජකාරීවල නියුතු සේවා පුද්ගලයන්ට අවශ්‍ය ආහාරපාන ආදී පහසුකම් ලබාදෙන අතර, ඒ සඳහා ආහාර දීමනාවන් නෞකාවට හෝ සේවය සපයන ආයතනයට ලබාදේ. වෙරළ ආරක්ෂක රාජකාරී සඳහා මෙම පහසුකම් ලබාගැනීමට ශ‍්‍රී ලංකා වෙරළ ආරක්ෂක සේවය, දෙපාර්තමේන්තු ව්‍යුහයෙන් ඉවතට ගත යුතුව ඇත.

ඇ. වෙරළ ආරක්ෂක සේවයේ කාර්යයන්ට අනුරූපව සංවිධාන සංයුතිය, අණදීම හා පාලනය ඇතුළු අනෙකුත් විනය කටයුතු බලාත්මක කිරීම.
වෙරළ ආරක්ෂක රාජකාරීන් ඉටු කිරීම ආවේණික දුෂ්කරතා මධ්‍යයේ සිදුවන්නක් බැවින් සෑම සාමාජිකයෙකුම තම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අණ පිළිගත යුතුව ඇත. පවතින පනතේ ඊට අදාළ ප‍්‍රතිපාදන පැහැදිලිව දක්වා නොමැත.

ඈ. නීති කෘත්‍යයන් ආරම්භ කිරීම
නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය නොමැතිව කිසිම නීති කෘත්‍යයක් පැනවිය නොහැකි බැවින් නීතිමය කටයුතු ඇරඹීමට ඇති බාධා ඉවත් කිරීම.

ඉ. පුහුණු ශ‍්‍රමික අවශ්‍යතාව මත සන්නද්ධ සේවා පුද්ගලයන් තාවකාලිකව අනුයුක්ත කිරීමේ හැකියාව.
දැනට වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව සතුව පුහුණු ශ‍්‍රමිකයන් නොමැති බැවින් අවශ්‍ය පුහුණු ශ‍්‍රමිකයන් සන්නද්ධ හමුදා මගින් තාවකාලික පදනම මත අනුයුක්ත කරගැනීමට අවශ්‍ය වගන්ති අන්තර්ගතවී නොමැත.

ඊ. වෘත්තිකයන්ගේ සේවය ලබාගැනීම.
විශේෂඥ දැනුම්ලත් පුද්ගලයන්ගේ සේවය වෙරළ ආරක්ෂක සේවය වෙත ලබාගනු වස් වෙරළ ආරක්ෂක උප සේවය පිහිටුවීම.

උ. ත්‍යාග අරමුදලක් පිහිටුවීම
වෙරළ ආරක්ෂක රාජකාරීන් ඉටුකිරීමේදී හා තොරතුරු ලබාගැනීමේදී මහජනතාව හා මගපෙන්වන්නන්ගේ සේවාව දිරිගන්වනු වස් ත්‍යාග අරමුදලක් පිහිටුවීම.

ඌ සංශෝධිත වෘත්තීය සමිති ආඥා පනතේ බලපෑමෙන් ඉවතට ගැනීම.
දූපත් රාජ්‍යයක තිරසාර පැවැත්ම සඳහා අනෙකුත් ආරක්ෂක සේවා සහ පොලිස් සේවය මෙන් වෙරළ ආරක්ෂක සේවයටද අතිශය වැදගත් රාජකාරියක් ඉටුකිරීමට ඇත. මෙවැනි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා එකී සේවාවල නිරත පුද්ගලයන් සංශෝධිත වෘත්තීය සමිති පනත යටතේ සාමූහික කේවල් කිරීමේ අයිතියේ බලපෑමෙන් ඉවතට ගත යුතුව ඇත.

එ. මූලික අයිතිවාසිකම්වල බලපෑමෙන් ඉවතට ගැනීම
ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 (8) ව්‍යවස්ථාව මගින් සමහර මූලික අයිතිවාසිකම් භුක්ති විඳීම ආරක්ෂක සේවා සහ පොලිස් සේවයේ පුද්ගලයන් සඳහා සීමාකර ඇති පරිදි එම සීමාව වෙරළ ආරක්ෂක සාමාජිකයන් වෙතද බලාත්මක කිරීම.

නිර්දේශ

උක්ත කරුණු කෙරෙහි අවධානය යොමු කර පහත සඳහන් නිර්දේශයන්ට අනුකූලව වර්තමානයේ බලපැවැත්වෙන 2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්චින්න කොට නව පනතක් සම්පාදනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අපේක්ෂා කරමි.
අ. වර්තමානයේ පවතින වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවට එය ‘ශ‍්‍රී ලංකා වෙරළ ආරක්ෂක’ යනුවෙන් ස්ථාපිත කිරීම.

ආ. මෙම වෙරළ ආරක්ෂක සේවය ස්ථාපිත කිරීමේදී එය රාජ්‍ය දෙපාර්තමේන්තු ව්‍යුහයත් හමුදා ව්‍යුහයත් අතරමැදි පරාසයක පවතින, විනය පද්ධතියකට යටත් නීතිය බලාත්මක කිරීමේ ආයතනයක් ලෙස ස්ථාපනය කිරීම සහ ඊට අනුරූප වගන්ති අවශ්‍ය පරිදි ඇතුළත් කිරීම.

ඇ. මෙම පනත යටතේ පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවකදී නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතිය නොමැතිව කිසිම නීති කෘත්‍යයක් පනවනු නොලැබිය යුතුය යන 14 වන වගන්තිය නීති කෘත්‍යයන් පැනවීමට අවකාශ ලැබෙන අයුරින් සංශෝධනය කිරීම.

ඈ. මෙම වෙරළ ආරක්ෂක පනත යටතේ ක‍්‍රියාත්මක වන නිලධාරීන්ගේ නීතිමය ආරක්ෂාව සඳහා අදාළ වගන්ති ඇතුළත් කිරීම.

ඉ. තාවකාලිකව, ති‍්‍රවිධ හමුදා සාමාජිකයන් වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා අනුයුක්ත කිරීමට හැකිවන ලෙස අවශ්‍ය වගන්ති ඇතුළත් කිරීම.

ඊ. වෘත්තිකයන්ගේ සේවය ලබාගැනීම සඳහා වෙරළ ආරක්ෂක උප සේවය පිහිටුවීම.

උ. සංශෝධිත වෘත්තීය සමිති ආඥා පනත යටතේ සාමූහික කේවල් කිරීමේ අයිතියේ බලපෑමෙන් ඉවතට ගැනීම.

ඌ මූලික අයිතිවාසිකම්වල බලපෑමෙන් ඉවතට ගැනීම.

එ. වෙරළ ආරක්ෂක සේවයේ අරමුණු බලතල හා කාර්යයන් නැවත හඳුනා ගනිමින් මෙම සේවාව විධිමත්ව පවත්වාගෙන යනු පිණිස 2009 අංක 41 දරන වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්චින්න කොට නව පනතක් සම්පාදනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබාදීම.

මහින්ද රාජපක්ෂ
රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍ය

ඉහත දක්වා ඇත්තේ රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවකි. එය පසුගිය රාවය මුල් පුවතින් හෙළිදරව් කරන ලද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කර හමුදාමය ස්වරූපයේ ආයතනයක් ඇති කිරීම සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත‍්‍රිකාවය.

කැබිනට් පත‍්‍රිකාවට අනුව වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව අහෝසි කර ‘ශ‍්‍රී ලංකා වෙරළ ආරක්ෂක’ යනුවෙන් නව ආයතනයක් පිහිටුවීම සාධාරණීකරණය සඳහා කරුණු නවයක් දක්වා ඇත. මෙම කරුණු නවය හොඳින් පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ පවා කළහැකි දේ කළ නොහැකි දේ ලෙස අවධාරණය කර ඇති බවය. එමෙන්ම මෙමගින් අලූත් සන්නද්ධ ආරක්ෂක බලකායක් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාව පෙන්වා ඇති බවය. පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්වලට හා වෘත්තීය අයිතිවාසිකම්වලට වැට බැඳීමද මෙහි අවශ්‍යතාව බව විශේෂයෙන් පෙනේ.

වෘත්තීය නිපුණ පුද්ගලයන් දෙපාර්තමේන්තු ව්‍යුහය තුළ රඳවා ගැනීමට අපහසු බව එම කරුණු තුළ දක්වා ඇති අතර දෙපාර්තමේන්තු ව්‍යුහයෙන් ඉවත් වූ කල වෘත්තීය නිපුණත්වයක් ඇති පුද්ගලයන් රඳවාගන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. රාජ්‍ය සේවය යන්නට තවමත් රටේ බොහෝ පිරිසක් කැමති අතර සේවා කාලයෙන් පසුව ලැබෙන විශ‍්‍රාම ප‍්‍රතිලාභ ඊට හේතුවී ඇත. රාජ්‍ය සේවයේ රැුකියා හා තනතුරු සඳහා පුද්ගලයන් දස දහස් ගණනින් ඉල්ලූම් කරන්නේ මේ කැමැත්ත නිසාමය. එසේම දෙපාර්තමේන්තු ව්‍යුහයෙන් ගැළවුණු කල එහි සේවකයන්ට රාජ්‍ය විශ‍්‍රාම ප‍්‍රතිලාභ ලැබෙනවාද යන්න සැකසහිත අතර රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතනයන්ගේ වැටුප් පරිමාණයන්ගෙන් පිටපැන වැටුප් ගෙවීම් කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නයද පැන නගී. එම නිසා කළහැකි බව පෙනෙන්නේ ත‍්‍රිවිධ හමුදා මෙන් විශ‍්‍රාම වැටුප් සහිත සන්නද්ධ ආරක්ෂක අංශයක් නිර්මාණය කිරීම පමණය. එහිදීත් දැනට ත‍්‍රිවිධ හමුදාවේ ඇති වැටුප් පරිමාණයන්ට වඩා වැඩි වැටුප් හා ප‍්‍රතිලාභ මේ අලූත් සන්නද්ධ බලකායට ලබාදිය හැකිද යන ප‍්‍රශ්නය පැන නගී.

එමෙන්ම සාගර මුර සංචාර සහ ක‍්‍රියාන්විත රාජකාරි සඳහා සහායක සේවාවන් දෙපාර්තමේන්තුවක් නිසා සැපයිය නොහැක්කේ ඇයිද යන්නද පැහැදිලි නැත.

දෙපාර්තමේන්තුවක් නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අණ පිළිපැදීම සිදුනොවන බව සඳහන් කර ඇතත් දෙපාර්තමේන්තුවක් වශයෙන් පවතින පොලිසිය පවා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අණපිළිපදිමින් ක‍්‍රියාත්මකවන්නේ කෙසේද යන්න ඇසිය යුතුව ඇත.

නීති කෘත්‍යයන් ආරම්භ කිරීම යන කරුණ ගැනද කිවහැක්කේ එය අතාර්කික බවය. මන්ද පොලිසියට පවා දැනට බලය ඇත්තේ මහේස්ත‍්‍රාත් අධිකරණයක ලඝු නොවන නඩුවක් පවත්වාගෙන යෑමට පමණක් වන අතර නඩු පැවරීමේ බලය ඇත්තේ නීතිපතිවරයාටය. ත‍්‍රිවිධ හමුදාවට පවා ලඝු නොවන නඩු පැවරීමේ බලය පවා ලබාදී නොමැති අතර ඔවුන්ද පොලිසිය හරහා එම කටයුතු සිදුකර ගත යුතුය. එහෙත් වැටලීම්වලට සම්බන්ධ වන ශ‍්‍රී ලංකා රේගුවට හා සුරාබදු දෙපාර්තමේන්තුව වැනි ආයතනවලටද ‘බී’ වාර්තාවක් මගින් මහේස්ත‍්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමේ බලය ලබාදී තිබේ. ඒ නිසාම නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිව නීති කෘත්‍යයන් ආරම්භ කිරීම සඳහා ඉල්ලන මේ බලය කුමක්ද යන්න රටේ නීති සමාජය වහා සැලකිල්ලට ගතයුතු කරුණකි.

පුහුණු ශ‍්‍රමික අවශ්‍යතාව මත සන්නද්ධ සේවාවල සාමාජිකයන් තාවකාලිකව අනුයුක්ත කරගැනීමට බලය ඉල්ලීමද තේරුම්ගත නොහැකි එකකි. සන්නද්ධ සේවා සාමාජිකයන් මෙම නව ආයතනයට අනුයුක්ත කිරීමේදී සන්නද්ධ සේවාවල පුරප්පාඩු ඇතිවීම ස්වාභාවිකවම සිදුවේ. එමෙන්ම මෙම දෙපාර්තමේන්තුව ආරම්භ කර වසර පහක කාලයක් ගතවීත් ශ‍්‍රමිකයන් පුහුණු කිරීමට හෝ පුහුණු ශ‍්‍රමිකයන් බඳවා ගැනීමට ගන්නා ලද උත්සාහය කුමක්ද යන්නත් ප‍්‍රශ්න කළ යුතුව ඇත.

එසේම ත්‍යාග අරමුදලක් පිහිටුවීම යන කරුණද ගැටලූවකින් තොරව දෙපාර්තමේන්තුවක් තුළ කළ හැකි බව පොලිසිය, රේගුව හා සුරාබදු යන දෙපාර්තමේන්තු පෙන්වා දී ඇත.

සාමූහික කේවල් කිරීමේ අවශ්‍යතාව පැන නගින්නේ වෘත්තීය අයිතිවාසිකම් කඩවූ විටදීය. කලෙක රටේ කම්කරු ඇමතිවරයාව සිටිමින් කම්කරු ප‍්‍රඥප්තියක් ගෙනෙනා බවට මහා ඝෝෂාවක් කළ හා තමාගේ විධායක ජනාධිපති ධුර කාලය යටතේ තවමත් එසේ නොකළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ කැබිනට් පත‍්‍රිකාවෙන් කියන්නේ නව ආයතනයේ සේවකයන්ට වෘත්තීය අයිතිවාසිකම් නොතිබිය යුතු බවය. රටේ වෘත්තීය සමිති ක්ෂේත‍්‍රයේ ක‍්‍රියාධරයන්ගේ අවධානයට මේ කරුණ වහා යොමුවිය යුතුය. ඒ වෙන කිසිවක් සඳහා නොව වෘත්තීය අයිතිවාසිකම් සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දැක්ම කෙසේද යන්න පිළිබඳව ඉන් තේරුම්ගත හැකි නිසාය.

මේ නව ආයතනයේ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් සීමා කිරීමට කරන යෝජනාවද බරපතළය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය හා යහපාලනයක් වෙනුවෙන් පෙනී සිටින සියල්ලන්ගේ අවධානය මේ වෙතට වහා යොමුවිය යුතුය.

මන්ද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හා රාජපක්ෂ පාලනය රට ගෙනයන්නේ කවර දෙසකටද යන්න හා ඒ වෙනුවෙන් කිරීමට සූදානම්වන්නේ කුමක්ද යන්න පිළිබඳව මේ කැබිනට් පත‍්‍රිකාවෙන් අවබෝධයක් ලබා ගතහැකි බැවිනි.