මුත්තා ගහේ හේන් කොටන කහම්බාන්

 

මරගල කන්ද මොනරාගල නගරය දිහා බලාගෙන ඉන්නවා. මගේ මිත‍්‍රයා එනකම් මමත් බලාගෙන ඉන්නවා. නගරය උදෑසනින්ම ඇහැරිලා… යමු..සිනහවත් සමග මගේ මිත‍්‍රයා මා ඉදිරියේ… යමු… කොහාටද මුලින්ම යන්නේ…ආතක් පාතක් නැති මම අහනවා…අසල දේවස්ථානය කෙළවරක බංකුවක අපි වාඩි වෙනවා…මිනිහා මගෙන් කොළයක් අරගෙන ඒකෙ බලි කුරුටු අඳින්න පටන් ගන්නවා.ඒ එක්කම ජර්නලිසම් ගැන කතා කරනවා.”දැන් මහත්තයෝ ටැබ් තියෙනවා.සැටලයිට් නැවිගේෂන් තියෙනවා.යන එන තැන අතරමං වෙන්නේ නැහැ….” ඔව්, කුරුටු සිතියමකට පෙරළෙනවා. මැද රවුමක් වගේ සළකුණ මරගල කන්ද වෙනවා. අපිට තාම තියෙන්නේ නෝට්බුක් ජර්නලිසම් මම කියනවා. තෙනගල්ලන්ද, කලූදිය ඇල්ල, ඇතිමලේ, කොටියාගල, සියඹලා දේවාලය සිතියමේ තැන තැන මතු වෙනවා. මේ වටරවුම පැත්තක තියලා අපි අපේ ගමන වැදි කුඹුරෙන් හරවලා තෙනගල්ලන්ද, කලූදිය ඇල්ල හරහා කහම්බානට දික් කරනවා.

කහම්බාන

”මේ ගමේ ගල් ගුහාවක ගොන් බාන් 6 ක බර රන් කහවනු ස`ගවලා තියෙනවා.ඒ නිසා තමයි මේ ගමට කහම්බාන කියලා කියන්නේ. අපේ කාලේ ගෙවල් කටු මැටි ගහලා ඉලූක් තමයි වහලා තිබුණේ.ගෙවල් 30කට වඩා නැහැ.අපි හේන් කෙටුවා අක්කර 10,15.ඒ පැත්තෙන් අලි කනවා මේ පැත්තෙන් ඌරෝ කනවා. ඉතුරු ටික අපි කනවා” අපේ කහම්බාන ගමන අතීතයටම දිගු කලේ රත්නායක මුදියන්සේලාගේ සුදුබන්ඩා මාමා. එයාට දැන් වයස 94යි. සමහර දේවල් මතක නැති වෙලා වයසට. දරුවෝ 11ස් දෙනෙකු රැුක්ක දෑතක් දරාගෙන මාමා විටක් හපනවා. උන්දැගේ දෝනියැන්දෑ මුතුමැනිකත් අපේ කතාව මැදට පැන්නා. අතීත හේන, කුරහන් තලප, දඩමස් කතා අතරේන් අපි තව තවත් කහම්බාන ඇතුළටම ගියා.

මුත්තා ගහේ

කහම්බාන තියෙන්නේ පහළ වෙල්ලස්ස කියන කොටසේ. ඒ කාලේ මේ ප‍්‍රදේශය වැදිගම් කෝරලය.පස්සේ 60 දශකයේ කොලනි කෙරිල්ලටත් අහු වෙනවා. හුලන්දාව වම ජනපදය කියල තමයි ඒ කාලේ ඞී.එස් යුගයේ නැවත නාමකරණය වෙන්නේ. කොලනි කෙරුවාවට මෙහාට එන වැඩි හරියක් කෑගල්ලේ අය.එහෙම ආපු පරපුරක කෙනෙක් තමයි පත්මසිරි ජයසිංහ මහත්තයා.ඔහු දැන් සියවසක් සැපිරූ වැදිකුඹුර පාසලේ විදුහල්පති.
මම 80ගණන්වල කහම්බානට යනකොට ඔය ගමටම තිබුණේ උළු වහලවල් 2යි.වැදිකුඹුර පාසල තමයි මේ ප‍්‍රදේශයට තියෙන පැරණිම පාසල. ලොග් සටහන් 1914 අවුරුද්දේ ඉදලා තියෙනවා.1 914 මේ පාසලේ ළමයි පස් දෙනයි අකුරු කරල තියෙන්නේ. ඒ කාලේ පාසලට ළමයි ආවේ නැත්නම් විදුහල්පති ගෙදරට යනවා.ඒ සේරම ලොග් සටහන් ගහලයි තියෙන්නේ.ඒ තොරතුරු හරිම රසවත්.එක ලොග් සටහනක ළමයෙක් පාසලට දින 2ක් පැමිණියේ නැති හේතුව ලියල තියෙන්නේ මෙහෙම හීන් බන්ඩා දින 2ක් පාසලට නොපැමිණියේ මන්දැයි හේතු විමසන කල ඒකා කීවේ බූරුපිටියේ තෝන් එකතු කිරීමට දින 2ක් ගෙදර නැවතුන බවය. එනිසා වේවැල් පහර 2ක් ගසා නැවත පාසලට ඇතුල් කරගත්තාය කියලත් ඒ ලොග් සටහනම කියනවා.මේ ප‍්‍රදේශයේ ඒ කාලෙත් මුස්ලිම් මිනිස්සු හිටියා.එක අවුරුද්දක ලොග් සටහනක තිබෙනවා අද දිනත් පාසලට පැමිණි මොහොමඞ් ඇගිල්ල උලූක් කර තර්ජනය කළා කියලා. එක විදුහල්පති වරයෙක් ලියලා තියෙනවා රටේ මහත්තයා යැයි කියාගත් කෙනෙක් පාසලට ආවාය කියලා. එතකොට මේකෙන් පේනවා රටේ මහත්තයා ගැන විදුහල්පතිට තිබුණු හැගීම. අනික මහත්තයෝ මෙහේ අය එදා ඉදලා කළේ හේන් කෙරුවාව. කුඹුරු කෙරුවාවට එතරම් කැමැත්තක් නැහැ. වගුරු බිම් මෙයාල දිය ගොහොරෙ කියලා අයින් කළා. ඒ හින්දම කෑගල්ලෙන් ආපු මිනිස්සු මඩ ඉඩම් අල්ල ගත්තා.
මුත්ත ගහේ හේන් කෙටිල්ල මේ ගමට විශේෂයි. මුත්ත ගහේ හේන් කොටනවාය කියල කියන්නේ අලූතෙන් මූකලානක් සොයාගත්තාට පස්සේ පවුලේ නෑදෑයෝ ගිහින් ඒ මුකලාන මැද තියෙන නුග,කෝන් වගේ විශාල ගහක් කේන්ද්‍රයට අරගෙන හේන කොටන එකට. එහෙම කොටන කොට එක එක්කෙනාගේ කෑලි ති‍්‍රකෝණ වගේ. කෙළවරින් විශාලයි. මුත්ත ගහේ හේන් කොටල ඉවර වුණාම ඒ කොටපු හේන රවුමක් වගේ. අපි හිතමු මේ කෙටිල්ලට පස් දෙනෙක් සම්මාදම් වුණාය කියලා. එවිට මේ රවුමට ත‍්‍රිකෝණ 5යි. ත‍්‍රිකෝණ මායිම් සළකුණු වෙන්නේ මැද පෙළට වවන ඉදල් ඉරිගුවලින්. රවුම වටේට ඉනි වැට. ඉනි වැටේ සම්මාදමත් එක්කෙනෙකුට පුංචි ප‍්‍රමාණයයි. එක එක්කෙනා තමන්ගේ වැට මායිම මැද පැළක් අටවනවා.එතකොට හේන වටේට පැල් 5යි.මේ ක‍්‍රමේ වාසි ගොඩයි. හදිස්සියේ එක්කෙනෙකුට පැලට එන්න බැරි වුණොත් දෙපැත්තෙ දෙන්නාගේ පිහිටයි. ඒ කාලේ හේනේ ප‍්‍රධාන වැපිරීම කුරහන්ය. අමතරව බඩ ඉරිගු, ලීමා, මිරිස් ය. මේ සියල්ල විකිණිමට නොව පරිභෝජනයටය.

සකලයෝ හොද්ද

හේන් කොටා ගිනි තියෙන කලට කන්න දෙයක් නැහැ. හැබැයි පහුගිය කන්නවල වපුරා අතඇරපු කනතුවල තවමත් මෑකරල්,ලීමා,බණ්ඩක්කා වගේ දේවල් තිබෙනවා. මිනිස්සු එ්වා කඩාගෙන එනවා. හේන් භාෂාවෙන් සකලයෝ කියල කියන්නේ කුරුල්ලන්ට. සකලයෝ අඹනවා කියල කියන්නේ හේනට එන කුරුලු රංචු එළවන එකට. එතකොට සකළයෝ හොද්ද කියන්නෙ හේන් ගිනි ගහන විට පිළිස්සුනු කුරුල්ලන් සමග අර එළවලු,ඇට වර්ග එකට දමා සාදන හොද්දටය.

කුරහන් තලප

පහළ වෙල්ලස්සේ පැරැුන්නෝ ගොඩක් වෙලාවට බත් නෙවෙයි කෑවේ.ඒ අයගේ ප‍්‍රධාක ආහාරය කුරහන් තලප. කුරහන් තලප විකලා කන්න බැහැ.ගුලි හදලා ගුඩුස් ගුඩුස් ගාලා ගිලින එක තමයි කරන්නේ. කුරහන් තලප ගිලින්න ලේසියට හොද්දකුත් හදනවා.ඒකට කියන්නේ කායම් හොද්ද කියලා.ලීමා ඇට හොද්දට කුරහන් එකතු කරලා තුනපහ වර්ග දාලා තමයි මේක හදන්නේ. කුරහන් තලප හදනකොට දඩ මස් හොද්දකුත් හදනවා මයි.කුරහන් තලපයි දඩ මසුයි කෑවහම යෝධයකුගේ හයිය එනවාය කියනවානෙ. යෝධයකුගේ හයිය නැතුව හේන් එක්ක ඔට්ටු වෙනවා බොරු.

පැණි කොමඩු කතා

පහළ වෙල්ලස්සේ දැන් එච්චර කුරහන් කරන්නේ නැහැ. දැන් හේනේ ප‍්‍රධාන ගොවිතැන බඩ ඉරිගු. අමතරව වට්ටක්කා, පැණි කොමඩු වගේ ජාති. අපිත් පැනි බේරෙන පැණි කොමඩු යායකට ගියා.නෝනයි මහත්තයයි බරටම පැණි කොමඩු නෙළනවා. නෙළපු පැනි කොමඩු දැක්කහම බඩ පිරුණට අපි පැනි කොමඩු කෑවා. පැනි කොමඩු කපල දෙන ගමන් චමින්ද රත්නායක කතා කළා.

මගේ හේන අක්කර 10ක් විතර.මම බඩ ඉරිගු තමයි කරන්නේ. අමතරව වට්ටක්කා,වටානා,පැනි කොමඩු කරනවා. පැණි කොමඩු කිරිල්ල ලාභයි. බීජවලට විතරයි වියදමක් යන්නේ. මට ට‍්‍රැක්ටරයක් තියෙනවා. නෝනයි මායි වැඩ කරගන්න නිසා ලාභයි.

පැණි කොමඩු හේනේ චමින්දට පැනි කොමඩු වගේ මිහිරි පවුල් ජීවිතයක් තියෙනවා.ඔවුන්ගේ අස්වැන්න කියන්නේ ආදරය. චමින්දට දරුවෝ දෙන්නයි. චමින්දගේ නෝනා මහත්තයා ඇස් වහ වදීවිය කියල පොටෝ කරන්න දුන්නේ නැහැ. ජෝඩුවට පාඩුවේ කොමඩු නෙලන්න ඉඩ දීලා අපි පය ඉස්සර කළා. හැමතැනම කාෂ්ඨක අව්ව කහ පාට බඩ ඉරිගු.මෙවර ඉඩෝරය සැර නිසා අස්වැන්න අඩු වෙලා.හේනේ හැපෙන මුහුණු මලානිකයි. ඉඩෝර අහසට යටින් අපි හේනේ පිව්චුණා. ගොඩක් දෙනෙක් දුෂ්කර ජීවිතය හේනෙන් ජය අරං.

නිත්තෑවෝ

නිත්තෑවෝ කියන්නේ මිටි ශරීරයක් තිබුණ ඇ`ග පුරා රෝම පිරිචිච පරිණාමයේ පහළ හිටිය ජීවියෙක්. එයා මිනිහාට ටිකක් ළ`ගයි. කහම්බානටත් නිත්තෑවෝ ගැන මතකයක් තියෙනවා. ඒක ගොඩාක් දුරයි.ඒ කාලේ පුංචි භූතයෝ වගේ ගම් වදින නිත්තෑවෝ ගැහැනුන්ට කරදර කළාලූ.මේ ප‍්‍රදේශවල හිටිය වැදි ජනතාව නිත්තෑවෝ අතුරුදහන් කළා කියලා තමයි කියන්නේ. කහම්බානට සමිප වෑටුක්ක ඔය ඉහත්තෑවේ නිත්තෑවෝ ගොඩක් හිටියා. මස් වර්ග ආහාරයට ගත්ත නිත්තෑවෝ ගැන කතාකරනකොට නියැන්ඩතාල් මානවයා මතක් වෙනවා. නියැන්ඩතාල් මානවයත් හිතේ කොනක හංගගෙන අපි ආයි මරගල කන්ද පේන මානයට ආවා.මගේ හිතනම් පැනි කොමඩු යායේ අතරමං වෙලයි තිබුණේ.