ගලක් ගැසිය හැකි තැනක සිට…

 

මම ඉස්සෙල්ලාම වරායේ වැඩට යන්නේ 48දී. ඒ කාලේ වරාය ඇතුළේ බලය අල්ලගෙන හිටියේ පරවරුයි, කොච්චියි කට්ටිය. පරවරු සිංහලයන්ට නියම රැුග් එකක් දුන්නා. උන් සරම උස්සගෙන ඉන්නවා. අපේ එවුන් දණ ගහගෙන වැඳගෙන ඉන්න ඕනෑ. හැබැයි මරදානේ වනාතේ, ආමර් වීදියේ සිංහලයන්ට පරවරු පාට් එක දැම්මේ නැහැ. කොළඹ එවුන් මගදි රිටන් එක දෙයි කියලා බයයි. ඒත් දුර පළාත්වල ඉඳලා වරායේ වැඩට එන සිංහලයන්ට පරවරු අර රැුග් එක දුන්නා.’ ජිනදාස අයියා කැලණියේ පදිංචිකරුවෙකි. අනූ දෙහැවිරිදි වියේ පසුවන හෙතෙම වරායේ වැඩකරන කාලයේ නැවතී සිටියේ පිටකොටුවේ මල්වත්ත පාරේය. එකල වරායේ වැඩ තිබුණේ තාවකාලික පදනමිනි. ජිනදාසලාට සතියකට හෝ දවස ගානේ ටෙම්පරි රැුකියා බලපත‍්‍ර ලැබිණි. එම බලපත‍්‍ර ලබාගැනීම සඳහා වරායේ කොච්චිකඬේ පැත්තේ පිවිසුමෙහි පෝළිමේ සිටිය යුතුය. ජාතික හැඳුනුම්පත් නැති එකල මෙම රැුකියා බලපත‍්‍ර දීම සඳහා ග‍්‍රාම සේවා සහතිකය සලකා බැලිනි. ‘‘අපිට දවස් කුලිය 150ක් විතර ලැබුණා. සුමාන පඩිය 750යි. ඒ කාලේ හැටියට ලොකු ගාණක්. අපිට කරන්න තිබුණේ නැව්වලට බඩු පටවන එකයි බාන එකයි. බත්තල බෝට්ටුවෙන් ඇදගෙන නැව ළ`ගට අරගෙන යනවා. ඊට පස්සේ නැවේ ඉඳලා වෙන්චියෙන් බඩු ටික බත්තලට බානවා. එක්ස්පෝට් කරන බඩු නැවට පටවන එකත් ඒ විදියටම කරනවා. අපේ පරණ අය කොණ්ඬේ බැඳලා අමුඩ ගහගෙනත් වරායේ වැඩ කළා. අපි අමුඬේ ගැහුවේ නැහැ. සරම වලාපොටේ ගහගෙන ඕනෑ වැඩක් කළා. ඇත්තටම ඉතින් කොළඹ කියන්නේ ඒ කාලේ ලඳු කැළෑවක්. වරාය හැදුණාට පස්සේ තමයි නගරයක් හැටියට දියුණු වුණේ.’’

ගලක් ගැසිය හැකියි

කොළඹ වරායක් ඉදිකිරීම ගැන අවධානය යොමුවුණේ 1864දීය. එවකට එම ස්ථානය පැවතියේ විවෘත මුහුදු බොක්කක් ලෙසිනි. ‘‘ගලක් ගැසිය හැකි තරම්’’ කුඩා වූ ගල්බොක්ක දෙස සිට විහිදී ගිය කොක්කක් වැනි වූ මුහුදු තීරයක් විනා අන් යමක් එහි නොවූ බව බැරෝස් නමැති පෘතුගීසි ලේඛකයකු කොළඹ වරාය තැනූ ස්ථානයේ පළමු දර්ශනය පිළිබඳව ලියා ඇත. 16 වැනි සියවසේ සිටම කුරුඳු හා ඇතුන් ගෙනයාම සඳහා පර්සියාවෙන් දකුණු මුහුදින් හා රතු මුහුදින් ලංකාවට පැමිණි නෞකාවලට මෝසම් සුළ`ගට ඔරොත්තු දෙන ආවරණයක් රහිතව වෙරළේ සිට මුහුදු සැතපුම් දෙක තුනක් ඈතින් නැංගුරම් ලෑමට සිදුවී තිබුණි. මෙරට කෝපි වගාව ශීඝ‍්‍රයෙන් දියුණු වීමත් නැව් ගමනාගමනය වර්ධනය වීමත් නිසා කොළඹට විධිමත් වරායක අවශ්‍යතාව දිගු කලෙක පටන් දැනුණි. ඉංගී‍්‍රසිහු සිය යටත්විජිතවල ආර්ථික ප‍්‍රතිපත්ති තීරණය කිරීමේදී දුම්රිය මෙන්ම නැව් ගමනාගමනය විශේෂකොට සැලකූහ.

සර් විලියම් ග්‍රෙගරි

සර් චාල්ස් මැකාර්ති ආණ්ඩුකාරවරයා ලංකාවෙන් පිටවගොස් ඔහු වෙනුවට සර් හර්කියුලස් රොබින්සන් ආණ්ඩුකාරවරයා ලක්දිවට ආවේ 1864දීය. එවකදී ප‍්‍රෑන්ක්ලින් නමැති වරාය පිළිබඳ ඉංජිනේරුවකු විසින් ගාලූ මුවදොර පාර මැදින් මුහුදින් ඇතුළුවන ස්ථානයක් ඇතිව, ගාලූ මුවදොර සොහොන් පිටිය හා බැරැුක්ක පැවති ස්ථානයෙහි නැව් නවතා තැබීම පිණිස තටාක සෑදීමට යෝජනාවක් ගෙනාවේය. බස්නාහිර දෙසින් ගැඹුරු මුහුදට විහිදෙන දිගු ජැටි දෙකක් පළමුව ඉදිකිරීමට එහිදී අදහස් කැරිණි. එහෙත් වසර දහයකට වැඩි කාලයක් මෙම කටයුතු සම්පූර්ණ වරායක් ඉදිකිරීමේ අදහසින් කෙරුණේ නැත. 1877 මැයි 17 වැනිදා සර් විලියම් ග්‍රෙගරි ව්‍යවස්ථදායක සභාවේ සැසිවරායේ අවසන් දෙසුම පවත්වමින් විශාල නැව් නවතා තැබීමට ආරක්ෂා සහිතව බඩු බෑම හා පැටවීම සඳහා පහසුකම් සහිත වරායක් සෑදීම මෙම දිවයිනේ සංවර්ධනය සඳහා ඉහල් වන බව කීවේය. වරාය පිළිබඳ යෝජනාව ඉක්මන් කිරීමට වෙළෙඳ මණ්ඩලයේ බලවත් ඉල්ලීම ද හේතු වූ අතර ඔවුහු නිරන්තරවම මේ පිළිබඳව ග්‍රෙගරි අණ්ඩුකාරවරයාට ලිපි යැවූහ.

වෙළෙඳ නගරය

පෘතුගීසි සහ ලන්දේසි සමයේ සිට පැවැති කොළඹ කොටු තාප්පය නඩත්තුව සහ එහි ආරක්ෂක කටයුතු සඳහා මිනිසුන් හයදහසක් යෙදිය යුතුව තිබුණි. 1869 බි‍්‍රතාන්‍ය පාලන සමයේදී මෙම කොටු තාප්පය කඩා දැමිණි. කොටු තාප්පය සමතලා කොට වටා වූ දිය අගල පස් දමා පිරවීමෙන් පසු කොටුවට පහසුවෙන් යා හැකිවිය. නගරයේ සෞඛ්‍ය තත්ත්වය ද දියුණුවිය. 1870 අග වෙද්දී විදේශීය වෙළෙඳ සමාගම් රැුසක් කොළඹ පිහිටුවා තිබුණි. එමෙන්ම මෙරට අපනයන වෙළෙඳාම ද කෙමෙන් වර්ධනය වෙමින් තිබුණි.

ජෝන් කුඞ්

වරාය ව්‍යාපෘතියේ උපදේශක ඉංජිනේරුවා වූයේ ජෝන් කුඞ් මහතාය. ඔහු සිය පළමු සැලැස්ම වශයෙන් දිය කඩනයක්, ජෙටි හා වෙරළ පුරවා සකස් කිරීම කි‍්‍රයාවට නැංවූයේය. මේ අනුව පිරවූ භූමියේ ප‍්‍රමාණය අක්කර 4 1/2කි. නිරිත දිග දියකඩනය සඳහා මුල්ගල තැබුවේ සර් විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයාගේ කාලයේ එඞ්වඞ් වේල්ස් කුමරු අතිනි. පසුව හත්වැනි එඞ්වඞ් ලෙස රජ වූයේ ඔහුය. මෙම කාර්යය සඳහා වසර දහයක පමණ කාලයක් ගත වූ අතර පවුම් හත්ලක්ෂයකට මඳක් වැඩි මුදලක් වැය වී තිබුණි. ප‍්‍රධාන දිය කඩනයේ මුලූ දින අඩි 4212කි. අඩි 1350ක් අඩි 50 පළලකින්ද, ඉතිරි අඩි 2862ක ප‍්‍රමාණය අඩි 40 පළලකින්ද යුක්ත විය. ටොන් 21ක් බරැුති කොන්කී‍්‍රට් කුට්ටි කළු ගල් ඇතිරූ තලාවක් මත තැන්පත් කර මෙහි පත්ල සකස් කළ අතර ඒවා බෑවුම් ආකාරයට ස්ථානගත කර තිබේ. 1885 දියකඩනය සම්පූර්ණ කිරීමෙන් පසු කලින් පැවති විවෘත මුහුදු බොක්ක නිරිත දිගින් මනා ලෙස ආවරණය වූ වරායක් බවට හැරුණි.

මුලින්ම රෝමය

වරාය ඉදිකිරීමෙන් පසු එතෙක් ගාලූ වරායට ගිය නැව් කොළඹට ආවේය. ඒවා බහුතරය පීඇන්ඞ් ඕ සමාගමට අයත් ඒවාය. මුලින්ම කොළඹ වරායට පැමිණි නැව රෝම් නම් වූවකි. 1883-1889 දක්වා කාලය තුළ 60%කින් නැව් මගින් කරන ලංකාවේ අපනයන වෙළෙඳාම වැඩි වූ අතර අඩි 1100ක් දිග ඊසාන දිග දියකඩනයක් හා අඩි 2670ක් දිග වයඹ දියකඩනයක් සෑදීම සඳහාද ඉංගී‍්‍රසි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබුණි. මෙම දියකඩනය සැලසුම් කළේද එවකට ආණ්ඩුවේ සිටි විශිෂ්ටතම ඉංජිනේරුවා වූ සර්ජෝන් කුඞ් විසිනි. මේ කාලය තුළ පෙරදිග හා ඕස්ටේ‍්‍රලිියාව බලා යන සියලූම දුම් නැව්, සමාගම්වලට අයත් නැව්බඩු පැටවීම හා ගොඩබෑම සඳහාත් රට අ`ගුරු සපයා ගැනීම සඳහාත් කොළඹට ඇදී ආවේය. ඊසාන හා වයඹ දියකඩනවල වැඩ 1906දී අවසන් කෙරුණු අතර ඒ සඳහා ගිය වියදම පවුම් පන්ලක්ෂයකි.

මොන්සීටන්

කොළඹ වරායට එන නැව් අලූත්වැඩියා කරන ස්ථානයක් සෑදීම සඳහා පළමු පස්පිඩැල්ල කැපුවේ 1899 මාර්තු පළමුවැනිදා සර් ජෝශප් වෙස්ට් රිජ්වේ විසිනි. 1906 ඔක්තෝබර් එවක ආණ්ඩුකාරධූරය දැරූ සර් හෙන්රි බ්ලේක් විසින් එය විවෘත කරන ලදි. නැව් තටාකයට ඇතුළු කරන ලද ප‍්‍රථම නෞකාව මොන්සීටන්ය. එය අඩි 325ක් දිග අඩි 17ක් මුහුදේ ගැඹුරට විහිදී ගිය නෞකාවකි. අඩි 29 ක් දක්වා දියෙහි කිඳෙන නැව් ප‍්‍රතිසංස්කරණය සඳහා තටාකාංගණයට ඇතුළු කළ හැකි විය. ලංකාවේ වරාය වශයෙන් සර් හර්කියුලස් රොබින්සන් කොළඹ තෝරාගත් දිනයේ සිට දිනෙන් දිනම නැව්බඩු හුවමාරුව විශාල වශයෙන් වර්ධනය වූ අතර ක‍්‍රම ක‍්‍රමයෙන් කොළඹ වරායේ විශාලත්වයද අක්කර 643ක් දක්වා වර්ධනය වුණි.

1950න් පසු

වරායේ ඊසාන කොනේ අඩි 1200ක් දිග විජය කුමාර වේදිකාව, අඩි 3000ක් දිග එළිසබත් රැුජින වේදිකාව, අඩි 300ක් දිග ඩෙල්ප්ට් වේදිකාව, තෙල් නැව් දෙකක් ඇතුළත් කළ හැකි පරිදි තෙල් තටාකයක් ඉදිකිරීම වැනි රුපියල් දසකෝටිය ඉක්ම වූ ඉදිකිරීම් 1956 වෙද්දී සම්පූර්ණ කැරිණි.
වරායේ දිගු කාලයක් සේවය කළ ජිනදාස අයියා කීවේ මේ කියන කාලය වන විට වරායේ ඕනෑතරම් තාවකාලික රැුකියා තිබුණු බවය. ‘‘අපි ඒ දවස්වල හොඳට සල්ලිත් හම්බ කළා. තිබහට බිව්වේ බීර. කොලෝනියල් බාර් එකේ නුවරඑළියෙන් එන බීර ග්ලාස් එකක් ශත 15යි. ආප්පයක් සතයයි. කොටුවේ ඉඳලා ට‍්‍රෑම් කාර් එකේ මරදානට යන්න ශත 5යි. අපි හැමදාම හවසට පික්චර් බලන්න මරදානට යනවා. සල්ලිවල අගයක් අපිට තිබුණේ නැහැ. වියදම් නොකර එකතු කර ගත්තා නම් මටත් ලක්ෂපතියෙක් වෙන්න තිබුණා. කොළඹ ලොකු බිල්ඩින් හදන්න තිබුණා. කොළඹ ජීවත්වෙලා සල්ලි එකතු කරපු මිනිස්සු දියුණු වුණා. හැබැයි ඒගොල්ලෝ අපි වගේ කෑවෙත් නෑ. බිව්වෙත් නෑ. පික්චර් බැලූවෙත් නෑ. මිනිස්සු ආශ‍්‍රය කළෙත් නෑ.’
ජිනදාස අයියා ලෝටස් පාරේ පැරණි පන්නයේ බාබර් සාප්පුවක් පවත්වාගෙන යන්නෙකි. කවුරුහරි රැුවුලක් කොණ්ඩයක් බාගන්නට එනතුරු බලා හිඳින ඔහු අතීතය ගැන ආස්වාදයකින් කතා කරයි. ම`ගහැරුණු දේවල් ගැන කිසිදු පසුතැවීමක් ඔහු තුළ නැති නිසාය.

කොළඹ කැළෑව

60 දශකයේ මුල් කාලය දක්වාම කොළඹ තැනින් තැන ලඳු කැළෑය. ලේක්හවුසිය ඉදිරිපිට වර්තමාන රථ ගාල තිබෙන ස්ථානය වැවට යාබද වගුරු සහිත කලාපයකි. ලේක්හවුසිය ආසන්නයේ ඇති පන්සල පිහිටි භූමියද කැළෑවකි. වර්තමාන ටෙලිකොම් ආයතනය තිබෙන භූමිය මඩවගුරකි. ‘ටවුන් එකේ එවුන් ගෑනු අරන් ගියේ ඔය ලඳු කැළෑවලට. ලෝටස් පාර හරියේ ඒ දවස්වල අඳුර වැටුණාට පස්සේ කාටවත් තනියම යන්න බැහැ. ගෑනුන්ටත් නැති පිරිමින්ටත් නැති අය ඒ හරියේ රංචු පිටින් ගැවසුණා. ඒගොල්ලෝ තනියම යන මිනිස්සුන්ව උස්සගෙන කැලෑ වදිනවා. අපි ඉතින් ?ට ගමනක් යනවා නම් කොල්ලෝ හත් අට දෙනෙක් එකට යන්නේ පොලූ කෑල්ලක් එහෙම අරගෙන. ඒ දවස්වල ඉතින් නැව්වලින් තව තවත් ජාතිකාරයෝ ලංකාවට ගොඩ බහිනවා. නැව්වලින් ආපු නීග්‍රෝකාරයෝ සමහරවිට බීලා බීලා මේ අහල පහළ පාරවල් ගානේ වැටිලත් ඉන්නවා. ඒ සමහරුන්ට පොඩි පොඩි කරදර වෙච්චි අවස්ථා නැත්තේමත් නැහැ. ප‍්‍රධාන පාරට ගල් අල්ලලා තිබුණේ. අශ්ව කරත්ත එහා මෙහා ගියා. දඩ දඩ ගාලා ට‍්‍රෑම් කාර් ගියා. මේක ඒ කාලේ එක විදියක සුරපුරයක්. හවසට විනෝදකාමියෝ පිරිලා. වරාය තමයි මේ හු`ගක් දේවල්වලට මුල් වුණේ්.’