රාවය

විනාශයේ මාවත තෝරාගැනීම

විනාශයේ මාවත තෝරාගැනීම

 

ජිනීවා මානව හිමිකම් කවුන්සිල යෝජනාව සම්බන්ධයෙන් ලංකාව ගන්නා පියවර ලංකාවේ පාලකයන්ගේ, ලාංකික සමාජයේ මෙන් ම දුර අර්ථයෙන් ගත් විට එක්සත් ජාතීන්ගේ ප‍්‍රමිතීන්හි අනාගතය පිළිබඳව ද තීරණාත්මක බව අමුතුවෙන් කිව යුතු නැත. මෙවැනි අතිශය බැ?රුම් අවස්ථාවක දී තීරණ ගැනීම ඒ සම්බන්ධයෙන් අවබෝධය ඇති අය සමග කෙරෙන දීර්ඝ සාකච්ඡුාවලින් ද, ගැටලූවේ සකල ආකාර පැති මානයන් ගැන කෙරෙන ප‍්‍රමාණවත් විශ්ලේෂණයකින් ද පසු කළ යුතු ව ඇති බව ද අමුතුවෙන් කිව යුතු නැත. දැන් ලංකාව, කවුන්සිල යෝජනාව සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප‍්‍රකාශ කොට තිබේ. ඒ ස්ථාවරයට ආවේ පෙර කී පරිදි සියලූ තත්ත්වයන් සලකා බලා දූරදර්ශීව ද යන්න පැහැදිලි නැත.

ලංකාවේ තීරණය, කවුන්සිල යෝජනාව අනුව පැවැත්වෙන්නට නියමිත මහකොමසාරිස්වරියගේ විමර්ශනය සම්බන්ධයෙන් සහයෝගය නොදී සිටීමට ය. ඇය කෙසේ වුවත් ඒක පාර්ශ්වික තීරණයක් ගන්නට නියමිත නිසා, විමර්ශනයට සහභාගි වීමෙන් එම ඒක පාර්ශ්වික තීරණයට වලංගුභාවයක් ලබා නොදිය යුතු ය යන්න ලංකාවේ ස්ථාවරයට පදනම වන බව පෙනෙයි. මහකොමසාරිස්වරියගේ විමර්ශනයේ සොයා ගැනීම ඒක පාර්ශ්වික ද යන්න තවමත් සිතන්නට නොහැකි නමුත්, ලංකාවේ ආණ්ඩුවට නම් තමන් ම අනුන්ට චෝදනා කරන ආකාරයේ ඒක පාර්ශ්වික තීන්දු තීරණ ගැනීම ගැන හොඳ පළපුරුද්දක් තිබේ. 43 වැනි අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙනා දෝෂාභියෝගයේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී ආණ්ඩු පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන්ට අනුගමනය කිරීමට නියම කළ හා ඔවුන් එහි දී කටයුතු කළ ඒක පාර්ශ්වික ආකාරය ආණ්ඩුවට හොඳින් ම මතක තිබෙනවා වන්නට පිළිවන. ඒ කාලයේ ස්වාභාවික යුක්තියේ මූලධර්ම යනු මොනවාදැ’යි නොදැන සිටි, සාධාරණ නඩු විභාග පිළිබඳ පිළිගත් මූලධර්ම අලූයම ලූ කෙළ සේ බැහැර ලූ ආණ්ඩුවකට අද ඒවා සොයමින් මතක් කරමින් සිටින්නට සිදුවීම ම දෛවයේ සරදමකි.

ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කෙතරම් ප‍්‍රඥාගෝචර ද යන්න පැහැදිලි වනු ඇත්තේ අනාගතයේ දී ය. දැනට කිව හැක්කේ විය හැකි දේ පමණකි.

ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාරම්භක සාමාජික රටක් හැටියට එහි පිළිගත් මූලධර්මයන්ගෙන් බැඳී සිටියි. සමූහයක් ලෙස එහි දී ගන්නා තීරණවලට අවනත වීමට ද බැඳී සිටියි. මානව හිමිකම් කවුන්සිලය ද, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ද ඒ සංවිධානයේ සාමූහික එකඟතා අනුව ස්ථාපනය කර ඇති ඒවා ය. එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට යම් රටක් වගකීමෙන් බැඳී සිටින්නේ යම් සේ ද මේ ආයතනවල ක‍්‍රියාකාරිත්වය පිළිගැනීමට ද ඒවාට ගරු කිරීමට ද ඒ රටවල් බැඳී සිටියි.

ලංකාව සම්බන්ධයෙන් කවුන්සිලයේ යෝජනාවක් සම්මත වූයේ එක් රටක දෙකක වුවමනාවට පෞද්ගලිකව හොර රහසේ නොවේ. සාමාජිකයන් හතළිස් හත්දෙනකුගෙන් බහුතරයකගේ කැමැත්ත ඇති ව ඒ ගැන ප‍්‍රමාණවත් තරම් වාද විවාද අවසානයේ දී ය. ඒ වාද විවාද තුළ ලංකාව ද සිය ස්ථාවරය පැහැදිලි ව ප‍්‍රකාශ කළේ ය.

ඒ බහුතරයේ කැමැත්තෙන් ලංකාව සම්බන්ධයෙන් සම්මත වූයේ බලහත්කාර ආක‍්‍රමණයක් සම්බන්ධ යෝජනාවක් නොව, ලංකාවේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් රැුකීම පිළිබඳව අතිශය වැදගත් වන යෝජනාවකි. ඒ යෝජනාව අනුව කටයුතු කැරුණ හොත් එහි යහපත අත් වන්නේ ලංකාවේ ම ජන කොටසකට ය. ඒ ජනකොටස පමණක් නොව, ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය අගයන විශාල පිරිසක් ද පසුගිිය කාලයේ රටේ සිදු වූ සහ සිදු වන නීති විරෝධී දේ ගැන පරීක්‍ෂණ පැවැත්වීම, වග කිවයුත්තන් නීතිය ඉදිරියට කැඳවීම, නඩු විභාග පැවැත්වීම හා වැරදිකරුවන්ට දඬුවම් දීම යනාදියෙහි ඇති අවශ්‍යතාව දිගින් දිගටම අවධාරණය කර සිටියහ. තවමත් එසේ ය. ඒ නිසා යෝජනාවේ ඇත්තේ හුදු බාහිර බලවේගයක බලපෑමක් නොවේ.

ඉතින්, ඒ අනුව සම්මත කරගත් යෝජනාවකට විෂය වන සාමාජික රටකට හුදු කැමැත්තෙන් සහයෝගය නොදී හෝ විරුද්ධ වී සිටිය හැකි ද යන්න ප‍්‍රශ්නයකි. එවැනි යෝජනා සම්මතයකට එරෙහිව විරුද්ධ වන අවස්ථාවක දී එක්සත් ජාතීන්ට ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර ගැන ද පූර්වාදර්ශ තිබෙනවා වන්නට පිළිවන.

ඒ පසුබිම මත එක්සත් ජාතීන් තුළ හා ජාත්‍යන්තර ප‍්‍රජාව තුළ ලංකාව අනාගතයේ දී කළු බැටළුවකු වන්නේ නම් ඒ වගකීම අද තීරණ ගන්නා පාලකයන් දැරිය යුතු ය.