ස්වෛරීයත්වය ආරක්ෂා කරගන්න කියලා මානව හිමිකම් කෙළෙසන්න බැහැ – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු


Nimalka Fernano

 

මානව හිමිකම් ක වු න් සි ල ය සම්මත කළ යෝජනාවට කිසිම ඉඩක් රට තුළ නොදිය යුතුයි කියලා ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් වගේම හිටපු තානාපතිවරයෙක් කියන බව පේනවා. මේක හරි පුදුම කතාවක්. යුද්දේ ඉවර වෙලා අවුරුදු පහයි. යුද්ධ කාලයේ සිදුවුණු මානව හිමිකම් කෙළෙසීම් ගැන තවම නිසි ස්වාධීන පරීක්ෂණයක් කෙරිලා නැහැ. එහෙම පරීක්ෂණයක් වෙන බවක් පේන්නවත් නැහැ. එහෙම තියෙද්දී කොහොමද අන්තර් ජාතික පරීක්ෂණයක් පැවැත්වීම වැරදියි කියන්නේ. සාදාකාලිකවම නිසි දේශීය පරීක්ෂණයක් නැත්නම් ඒත් බාහිර පරීක්ෂණයක් පැවැත්වීම වැරදි ද?

ආණ්ඩුව යුද්ධ කාලයේ ම පිහිටුවපු පරීක්ෂණ කොමිසම ගන්න. ඒ කොමිසම පත් කළේ විදේශ බලපෑම් නිසා. ඒ කොමිසමට සහාය වෙන්න විදේශීය විද්වත් කමිටුවක් පත් කළා රාජපක්ෂ ආණ්ඩුවෙන්ම. (ඒකත් එක්තරා විදියක විදේශීය අත පෙවීමක්!) හිටපු ඉන්දීය අගවිනිසුරු පී.එන්. බගවතී තමයි එහි ප‍්‍රධානත්වය දැරුවේ. ඒ කොමිසමට සිද්ධි 14ක් බාරදුන්නා, පරීක්ෂා කරලා කව්ද අපරාධකරුවො කියලා සොයන්න. අන්තිමේ දී ඒ විදේශ විද්වත් කමිටුවට පල නොකියා පලා බෙදලා රටින් පන්න ගත්තා. කොමිසමේ වාර්තාවට වෙච්ච දෙයක් තාමත් නෑ. කොමිසමත් අතරමඟ නැවතුණා. මම ඒ කොමිසම සමඟ ළඟින් වැඩ කළ නිසා දන්නවා සාක්ෂි දෙන්න ආපු බොහෝ දෙනෙකුට මුහුණ දෙන්න සිදුවුණු භයානක තත්ත්වය. සාක්ෂි දෙන්න ආ අයට තර්ජන ආවා. විදේශගතව ඉඳන් සාක්ෂි දුන් අය ඉන්නා රට කුමක්ද කියලා කියන්නේ නැත්නම් සාක්ෂි බාරගන්න බැහැ කිව්වා. එදා පොරොන්දු වුණා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතක් ගේනවා කියලා. තාමත් ඒ පනත නැහැ.

ආණ්ඩුවේ මානව හිමිකම් කොමිසමේ නොනිල සභාපති ආචාර්ය ප‍්‍රතිභා මහානාම පසුගිය පෙබරවාරි මාසයේ දී ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළා තොරතුරු දැනගැනීමේ පනත සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත මාසයක් ඇතුළත ගේනවා කියලා. ඒ මහත්වරු ජීනීවා ඇවිල්ලත් ගියා. ඒත් පනත තවම නැහැ. ඔන්න ඔය වගේ තමයි යුද්ධ කාලයේ සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් ගැන පරීක්ෂා කරනවාය කියන කතා. කවදාවත් නොවෙන දෙයක්.
වැලිවේරියෙ මැරුණේ සිංහල තරුණයෝ. වෙඩි තිබ්බේ හමුදාවෙන්. ආණ්ඩුවේ මානව හිමිකම් කොමිසම වැලිවේරිය ඝාතන ගැන කරනවයි කිව්ව පරීක්ෂණයට වෙච්ච දේකුත් නෑ. අඩු ගානේ කටුනායකදී වෙඩි තියලා මරපු නිදහස් වෙළෙඳ කලාප සේවක රොෂාන් චානක සම්බන්ධ පරීක්ෂණ වාර්තාවවත් ප‍්‍රසිද්ධ නොකරපු ආණ්ඩුවක් දෙමළ මිනිස්සුන්ට වෙච්ච අපරාධ ගැන වාර්තාවක් හදයි ද?

දැන් බලන්න, උතුරේ අම්මා කෙනෙක් ඉන්නවා නම් තමන්ගේ දරුවා පැහැරගෙන ගියේ කව්ද කියලා දන්න, නමුත් තවමත් සාධාරණයක් ලබාගන්න බැරිවෙච්ච, ඒ අම්මාට අයිතියක් නැද්ද අන්තර් ජාතික පරීක්ෂණයකට ගිහින් කරුණු කියන්න. එතකොට ස්වෛරීයත්වයේ නාමයෙන් ඒ අම්මාට අද සාක්ෂි දෙන්න තහනම්! අතුරුදහන්වීම් ගැන කොමිසමක් දාලා තියෙන බව ඇත්ත. නමුත් ඒ කොමිසම ගැන බොහොම විවේචන තියෙනවා.
රාජපක්ෂ ජනාධිපති විසින්ම පත්කළ පරීක්ෂණ කොමිසමට විමසන්න දුන් සිද්ධි 16 යටතේ තිබුණු මුතූර්හිදී සහන සේවකයන් 17 දෙනෙකු ඝාතනය කිරීමේ අපරාධය කෙළින්ම අන්තර් ජාතික සිදුවීමක්. ඒ සහන සේවකයන් වැඩ කළේ ‘කුසගින්නට එරෙහි ක‍්‍රියා’ Action Against Hunger කියන අන්තර් ජාතික ප‍්‍රංශ රාජ්‍ය නොවන සංවිධානයකට. ඔවුන්ගේ මරණ පිළිබඳ අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලන්න එම සංවිධානය වැඩ කරන්නේ වසර පහක් ගිහිල්ලාත් ලංකාණ්ඩුව වරදකරුවන්ට දඬුවම් නොකළ නිසා. දැන් ඒ සංවිධානය මෙම අපරාධයට යුද හමුදාව සම්බන්ධයි කියලා දීර්ඝ වාර්තාවක් ප‍්‍රසිද්ධ කරලා තියෙනවා.

ආණ්ඩුවේ නිල නොනිල හොරණෑකරුවන් ලොකුවට කියන්නේ මේ වගේ අන්තර් ජාතික කොමිසමකින් ශ‍්‍රී ලංකාවේ ස්වෛරීයත්වය විනාශ වෙනවා කියලා. ඇත්ත කතාව මේකයි. රටක් ස්වෛරීයත්වය ආරක්ෂා කර ගන්න කියලා මානව හිමිකම් කෙළෙසන්න බැහැ. මානව හිමිකම් විශ්වීයයි. හැමෝට ම හැම තැනකට ම හැම තත්ත්වයක් යටතේ ම අයිතියි. ශ‍්‍රී ලංකාව මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තීන්ට අත්සන් කරන කොටම ස්වෛරීයත්වයෙන් කොටසක් අඩු වෙනවා. ඒ මානව හිමිකම් සම්බන්ධයෙන්. මානව හිමිකම් සම්බන්ධයෙන් එකකට එකඟයි අනෙකට බැහැ කියනවා වගේ සාපේක්ෂතාවාදයක් තියෙන්න බැහැ.

සමහරෙක් කියනවා ඉරාකයේ හෝ ඇප්ගනිස්ථානයේ මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා නොකරනවා නම් ශ‍්‍රී ලංකාව ගැන මොකට ද පරීක්ෂණයක් කියලා. නැහැ, අපි කියන්න ඕනෑ ඒ රටවල අපරාධ ගැනත් පරීක්ෂා කරන්න කියලා. මා නම් හැමදාම හිටියේ ඒ මතයේ. අපි ඒ රටවල මානව හිමිකම් පිරිස් එක්ක වැඩ කරලාත් තියෙනවා. විරෝධතා පවත්වලාත් තියෙනවා. අරහේ ඝාතන ගැන පරීක්ෂණ නැත්නම් මෙහේ ඝාතනත් සොයන්න එපා කියන මතය අනුව කියන්නේ ලෝකෙ ඕනෑම රටකට කැමැති විදිහට ජනයා ඝාතනය කරන්න ඉඩ දෙන්න කියන එක නොවෙයි ද? අපි ඒකට විරුද්ධයි. එහේ නොකෙරුණත් මෙහේ කෙරන්න ඕනෑ.

ස්වෛරීයත්වය ගෙඩිය පිටින්ම, ඒ කියන්නේ සහමුලින්ම තියාගන්න ඕනෑ නම් ආණ්ඩුවට තියෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අයින් වෙලා හුදෙකලා ම්ලේච්ජ රාජ්‍යයක් පවත්වා ගෙන යන්න. ඒකට අද ඉඩක් නැහැ. අද ලෝකයේ ශිෂ්ටාචාරයේ ප‍්‍රධානතම පදනම තමයි මානව හිමිකම්. අද බෑනේ ලෝකේ කොහේවත් වංගෙඩියේ දාලා තමන්ගේ දරුවා කොටලා මරන්න කියලා අම්මාට නියෝග දෙන්න. නැත්නම් ඇතුන් ලවා පාගලා මරණ දඬුවම දෙන්න. (ගල් ගහලා මරන රටවල් තියෙනවා, ඒත් ලෝක අපවාදය මැද්දේ.)

ස්වෛරීයත්වය නැති වෙනවා විදේශීය ආක‍්‍රමණයක් ආවොත්? අද ලංකාවට එහෙම තත්ත්වයක් නැහැ. අනෙක් අතට බංග්ලාදේශයේ ජනයා බේරගන්න ඉන්දීය හමුදා ගියාම ඒක ආක‍්‍රමණයක් වුණේ නෑනේ. වියට්නාම් හමුදා පොල්පොට්ගෙන් කාම්බෝජ ජනයා බේරගන්න ගියාම ඒක ආක‍්‍රමණයක් වුණේත් නෑනේ. චිලි රටේ යුද්ධ හමුදා නායකයා වූ පිනෝචේ එරට මානව හිමිකම් කෙළෙසීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත්තේ එංගලන්තේදී. නැගෙනහිර ටිමෝරයට එක්සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත් වුණේ නැද්ද? මියන්මාරයේ හමුදා පාලකයන්ගේ මානව හිමිකම් කෙළෙසීම් ගැන සොයන්න මානව හිමිකම් කවුන්සිලය වසර ගණනාවක් විශේෂ නියෝජිතයෙක් පත් කරලා තිබුණා. එතකොට ඒ අවස්ථාත් ස්වෛරීයත්වය කෙළෙසීමක්ද? නැහැ, ජනයාගේ අයිතීන් වෙනුවෙන් කළ මැදිහත්වීම්.

මහා පරිමාණ මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය පරීක්ෂණයක් පැවැත්වීම ස්වෛරීයත්වය විනාශ කිරීමක්ය කියන කතාව බුද්ධිමය කුහකකමක්. ඔය කතාව කියන හිටපු (දේශපාලන) තානාපති යුද්ධ කාලයේ මානව හිමිකම් කවුන්සිලය තුළ යුද්ධය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කළා. යුද්ධ සමයේ ඝාතනය වුණු සිවිල් වැසියන්ගේ ලේ සංකේතාත්මකව ඔවුන්ගේ අත්වලත් තියෙනවා. මේ මරණවලට ඔවුන්ටත් එක්තරා විදියක සදාචාරාත්මක වගකීමක් තියෙනවා.

යුද සමයේ අපරාධ කියන කොට ඒ එක පාර්ශ්වයකින් කළ අපරාධ විතරක්නොවෙයි. හැම පාර්ශ්වයකින්ම කරපු අපරාධ ගැනයි මේ මානව හිමිකම් කවුන්සිලයේ පරීක්ෂණය සිද්ධ වෙන්නේ. ඒ වාගේම සර්ව සම්පූර්ණ පරීක්ෂණයක්. ශ‍්‍රී ලංකාණ්ඩුව එවැනි පරීක්ෂණයක් පවත්වන්නේ නැත්නම් එවැනි පරීක්ෂණයකට විරුද්ධ වෙන්නේ ඇයි? ආණ්ඩුව කියන්නේ මේ පරීක්ෂණය ලංකාවට විරුද්ධ එකක් කියලානේ. ඒ කතාවට අල්ලන අත්වැලක් තමයි ස්වෛරීයත්වය නැති වෙනවාය කියන කතාව.

පරීක්ෂණය පවත්වන්නේ මහ කොමසාරිස් කාර්යාලය යටතේද වෙනම ස්වාධීන කොමිසමක් විසින්ද කියන එක නොවෙයි ප‍්‍රශ්නය. මහ කොමසාරිස් කාර්යාලයේ පාරදෘශ්‍යභාවයක් නැතැ’යි කියන කතාවත් ඒ වගේම අභූතයක්. මේ යෝජනාව සම්මත වෙන අවස්ථාවේදීත් මහ කොමසාරිස් කාර්යාලයේ මුදල් භාර නිලධාරියා පැමිණ සිටියා. ඔහුගෙන් ඇහුවා මුදල් තියෙනවාද නැද්ද, මුදල් ලැබෙන්නේ යෝජනාව ගෙනෙන රටවලින්මද වගේ ප‍්‍රශ්න. ඒ වගේම තමයි මේ පරීක්ෂණය කෙරෙන්නේ මහ කොමසාරිස් කර්යාලයට සම්මත වූ යෝජනාවෙන් පැවැරෙන බලය උඩ. ඒ පරීක්ෂණය කෙරෙන්නේ පිළිගත් විද්වතුන් හෝ එම කාර්යාලයේ පරීක්ෂකයන් අතින්. අනෙක් රටවල් සම්බන්ධයෙන් පවත්වපු මෙවැනි පරීක්ෂණ දිහා බැලූවාම පේනවා එම පරීක්ෂණ කොතරම් විධිමත් ද, පාරදෘශ්‍යද කියන එක. මේක රහසේ සිදුවන පරීක්ෂණයක් නොවෙයි.

මේ පරීක්ෂණය මහ ලේකම් බැන් කි-මූන්, තමන් විසින් ම පත් කළ විද්වත් කමිටුවට වඩා වෙනස්. මේ සිද්ධ වෙන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල පරීක්ෂණයක්. එයයි වැදගත්. ඒ නිසයි එය පැහැර හැරීම ලංකාවට අවැඩක් බවට පත් වෙන්නේ.

ලංකාව සම්බන්ධ පරීක්ෂණය අතීතයේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන්. සිරියාව වගේ රටවල් සම්බන්ධයෙන් ඒ අපරාධ සිද්ධවන අවස්ථාවේ දී ම පරීක්ෂණය සිද්ධ වුණා. උතුරු කොරියාව සම්බන්ධයෙන් වුණත් එහෙමයි. ඒ නිසාම මේ පරීක්ෂණයට වැඩි කාලයක් ලැබෙනවා. සමහර විට අවුරුද්දක කාල පරිච්ඡෙදයක් මදි වෙන්නත් ඉඩ තියෙනවා.

පරීක්ෂණයේ නිර්ණායක මොනවා ද කියන එක වැදගත් කාරණයක්. මෙවැනි තත්ත්වයකදී යොදා ගැනෙන එක්සත් ජාතීන්ගේ නිර්ණායක ගණනාවක් තියෙනවා. අන්තර් ජාතික මානුෂීය නීති නිර්ණායකය, අන්තර් ජාතික මානව හිමිකම් නීති නිර්ණායකය, වර්ග සංහාර නිර්ණායකය, යුද අපරාධ නිර්ණායකය වගේ. ඒ අනුව සොයා ගැනීම් ප‍්‍රභේදගත කරන්නට ඉඩ තියෙනවා. හරියට සාමාන්‍යයෙන් නඩු නිමිත්තක දී බලනවා වගේ, අපරාධය සිදුවූ වටපිටාව කුමක්ද? අහම්බෙන් සිදු වූ අපරාධයක්ද? ආත්මාරක්ෂාවට කළ අපරාධයක්ද? සිතා මතා සැලසුම් කළ අපරාධයක් ද වගේ ප‍්‍රශ්න අප සලකා බලනවනේ. මා හිතන්නේ ලංකාවේ යුද සමය ගැන කෙරෙන මේ පරීක්ෂණයේ දී මුලින්ම එවැනි කාණ්ඩගත කිරීමක් සිදු වන්නට පුළුවන්.
උගත් පාඩම් සහ සංහිඳියා කොමිසම විසින් පරීක්ෂා කළ යුතු බවට නිර්දේශ කළ සිදුවීම් අනුව ඊට සීමා නොවී පරීක්ෂණය පැවැත්වෙන්නත් පුළුවන්. උගත් පාඩම් කොමිසමේ එම නිර්දේශවත් තවම ආණ්ඩුව ක‍්‍රියාවට දාලා නැහැ. ඔය ස්වෛරීයත්වය ගැන දේශනා කරන අයට ඒ ටිකවත් රාජපක්ෂ ආණ්ඩුවට කියලා කරවා ගන්න බැරිවෙලා තියෙන්නේ.

විදුලි පුටුව විහිළුවක්

මේ පරීක්ෂණය ජනාධිපති විදුලි පුටුවට ගෙන යෑමට කෙරෙන කුමන්ත‍්‍රණයක් කියන කතාව විහිළුවක්. අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයේ මරණ දඬුවම නැහැ. මේ පරීක්ෂණයේ සොයා ගැනීම් අන්තර් ජාතික අධිකරණ බලය අනුව ඉදිරියට ගෙන යන්නේ කෙසේ ද කියන එක දෙවනුව තීරණය කරාවි. සමහර විට අපරාධයන්ට වගකිය යුතු බවට තීරණය වන පුද්ගලයන්ට විරුද්ධව පියවර ගැනෙන්න පුළුවන්. ඔවුන්ට අන්තර් ජාතික ගමන් බිමන් තහනම් කරන්න එජා සංවිධානයට බලය තිබෙනවා. ඒ වගේම ඔවුන්ගේ බැංකු ගිණුම් තහනම් කරන්න පුළුවන්.

ඇත්තටම කිව්වොත් මේ වගේ දඬුවමකට යටත් වෙන්නේ විස්සක් විසිපහක් විතර වෙන්න පුළුවන්. මුළු රටම නොවෙයි. ඒ ටික දෙනා රැුකගන්න තමයි මේ බක තපස් කතා ඔක්කොම. හැබැයි අපරාධකරුවන් බවට තීන්දු වන පුද්ගලයන් අධිකරණ විභාගයකට ලක් කිරීමට ලංකාණ්ඩුව ඉඩ නොදුන්නොත් යම් විදියක ආර්ථික සම්බාධක පැනවෙන්නත් පුළුවන්. අන්තර් ජාතික පරීක්ෂණය සිද්ධ වෙනවා. ඒක වළක්වන්න ආණ්ඩුවේ නිල නොනිල වන්දි භට්ටයන්ට හෝ හොරණෑකරුවන්ට හෝ බැහැ.

(සාකච්ජාවකින් සකස් කෙරිණි.)