ලසන්ත ඝාතන පරීක්‍ෂණයට ඉහළින් බලපෑම්


Leed

තිවංක සපරමාදු

සන්ඬේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට රජයේ පාර්ශ්වයෙන් බලපෑම් එල්ලවීම නිසා එම විමර්ශන කටයුතු අතරමග නවතින තත්ත්වයක් උදාවී ඇති බව රාවයට වාර්තා වෙයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමට සම්බන්ධවී ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ යෙදී සිටි හමුදා සෙබළුන් 17 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් බවත්, ඝාතනය සඳහා ඔවුන් පිටත්ව ගොස් ඇත්තේ කොළඹ ටි්‍රපොලි හමුදා කඳවුරේ සිට බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක් පැවැත්වූ විමර්ශනවලින් හෙළිකර ගෙන ඇත. මේ තත්ත්වය මත ලසන්ත ඝාතනයට ආසන්න දින දෙක තුළ ටි්‍රපොලි හමුදා කඳවුරේ සේවයේ නියුතුව සිටි හමුදා නිලධාරීන් 270 ක පිරිසගේ නම් ලැයිස්තුව අධිකරණ නියෝගයක් හරහා ලබා ගැනීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇත.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කොට ඇත්තේ මේ හමුදා නිලධාරීන් වරකට 20 දෙනා බැගින් දෙපාර්තමේන්තුවට කැඳවා ඔවුන්ගෙන් ලසන්ත ඝාතනය ගැන ප්‍රශ්න කිරීමටය. ඒ අනුව ඔක්තෝබර් 26 වැනිදා පළමු 20 දෙනාගේ කණ්ඩායම අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට ගෙන්වා ප්‍රශ්න කොට ඇති අතර, 27 වැනිදා දෙවැනි 20 දෙනාගේ කණ්ඩායම ගෙන්වා ප්‍රශ්න කිරීමට නියමිතව තිබී ඇත. 27වැනිදා රජයේ ඉහළ බලධාරියකු විමර්ශනයට මැදිහත් වෙමින් පවසා ඇත්තේ, මේ ආකාරයෙන් හමුදා නිලධාරීන් කාණ්ඩ වශයෙන් ගෙනැවිත් ප්‍රශ්න නොකරන ලෙසය.
මේ තත්ත්වය මත, ඝාතනයට සම්බන්ධ හමුදා නිලධාරීන් 17 දෙනා නිශ්චිත වශයෙන් හඳුනාගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අභ්‍යන් තර ආරංචි මාර්ග මගින් රාවයට දැනගන්නට ඇත. ඒ පිරිස හඳුනාගන්නට නොහැකි වුවහොත් ලසන්ත ඝාතනය ගැන විමර්ශනය එතැනින් ඉදිරියට ගෙනයා නොහැකි තත්ත්වයක් උද්ගත වන බවද එහි නිලධාරීන්ගේ මතයයි.

ලසන්ත වික්‍රමතුංග 2009 ජනවාරි මස 8වැනිදා දෙහිවල අත්තිඩියේදී මෝටර් සයිකල් දෙකකින් පැමිණි ඝාතකයන් පිරිසකගේ ප්‍රහාරයට ලක්ව ඝාතනය විය. ඝාතනය වී අවුරුදු හතකට පසුව වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඔහුගේ දේහය පසුගිය සැප්තැම්බර් 27වැනිදා බොරැල්ල කනත්තේදී යළි ගොඩගන්නා ලදි. ■