Sunday, 20/8/2017 | 4:12 UTC+0
රාවය

හේමන්තගේ ගුලි ඇඹරීම

වික්ටර් අයිවන්

හේමන්ත වර්ණ කුලසූරිය හා ලෙනින් රත්නා යක යන තේමාව යටතේ මා ලියන ලද ලිපියට ඔහු ලබාදී තිබෙන පිළිතුර ඔහුගේ නියම ස්වභාවය පෙන්නුම් කරන පිළිතුරක් ලෙස සැලකිය හැකිය. ඒ මගින් ඔහු ජනාධිපති නීතිඥ කබායෙන් වසාගෙන සිටින ඔහුගේ අභ්‍යන්තරයේ සැබෑ ස්වරූපය පෙන්නුම් කර තිබේ. කොටින්ම ඔහුද ලෙනින් රත්නායක වර්ගයේම තක්කඩියෙකි. ඔහුගේ මෙම රචනය හා ඊට පෙරද ලෙනින් රත්නායක පිළිබඳ ලියා තිබෙන රචනා ආශ්‍රයෙන් ඔහුගේ වංචනික හා තක්කඩි ස්වරූපය හොඳින් සනාථ කළ හැකිය. මාගේ මෙම ලිපියේ අරමුණ වන්නේද ඒ බව පෙන්වාදීමය. හේමන්ත එම ලිපිය අවසන් කර තිබෙනුයේ විදේශගතවී සැඟවී හරඹ කරන ඔහු වැනිම තක්කඩි මාධ්‍යවේදියකු මට එරෙහිව එල්ල කරන ලද අවලාදයක්ද සිහිපත් කරමිනි.
මම මීට පෙර එම තක්කඩි මාධ්‍යවේදියා එල්ල කළ අවලාදයට විධිමත් ලෙස පිළිතුරු දී ඇත්තෙමි. මා මට තිබුණු කොටස් අයිතියෙන් කිසියම් පංගුවක් විකුණන ලද්දේ හොර රහසේම නොව ප්‍රසිද්ධියේය. විධිමත් ලෙස හා නීත්‍යනුකූලවය. ලබාගත් එම මුදලින් හරි අඩක් වැය කරන ලද්දේ රාවය කාර්යාලය ප්‍රතිසංස්කරණය කිරීම හා ඊට අවශ්‍ය ගෘහ භාණ්ඩ මිලදී ගැනීම සඳහාය. ඉතිරි අඩ මා යොදා ගත්තේ විශ්‍රාම වැටුපක් නැතිව විශ්‍රාම යන මාගේ විශ්‍රාමික ජීවිතයේ සුරක්ෂිතභාවය සඳහාය. මා හේමන්ත මෙන් පොදු අරමුදල් වංචාකර නැත. අහිංසක මිනිසුන්ගෙන් ලේ උරා බොන ප්‍රතිපත්තියක්ද අනුගමනය කර නැත. හේමන්තට මෙන් මට එරෙහිව වංචා දූෂණ විමර්ශන නැත.

අතුරු තහනම් නඩුව
ලෙනින් රත්නායක වෙනුවෙන් හේමන්ත දියත් කළ මාධ්‍ය මෙහෙයුමේ සැබෑ අරමුණ වූයේ ප්‍රසන්න විතානගේගේ ‘උසාවිය නිහඬයි’ යන චිත්‍රපටයට අදාළ වාරණ නඩුවේදී ලෙනින් රත්නායකට වාසිදායක වටාපිටාවක් හදාදීමය. මට මතක හැටියට එම වාර්තා චිත්‍රපටයට ලෙනින් රත්නායකගේ පළමු ස්ත්‍රී දූෂණ සිද්ධියේදී ලෙනින් රත්නායකගේ ආරක්ෂාව පිණිස හේමන්ත පෑන හැසිරවූ ආකාරයද ඇතුළත්ය. හේමන්ත ලෙනින් රත්නායක වෙනුවෙන් දියත් කරන ලද මාධ්‍ය මෙහෙයුමට ‘දි අයිලන්ඞ්’ පුවත්පතද හවුල් කරගෙන තිබුණි. එම පුවත්පතේ සී.ඒ. චන්ද්‍රප්‍රේම Usaviya Nihadai- A Documentry Based of Fiction යන තේමාව යටතේ නඩුව විභාගයට ගැනෙන්නට නියමිතව තිබු පළමු දිනයේම (ඔක්තෝබර් 21) දීර්ඝ ලිපියක් පළකොට තිබුණි. මට ඒ ගැන පළමුවෙන්ම අසන්නට ලැබුණේ බුද්ධදාස ගලප්පත්තිගෙනි. ඉන්පසු එය කියවන ලද පාඨකයෙකු එම ලිපියේ අන්තර්ගතය මට විස්තර කළේය. පසුව මම එම ලිපිය කියවන්නට පෙරම චන්ද්‍රප්‍රේමට කතා කළෙමි.
මා ඔහු කිසියම් දීර්ඝ කාලයක් තිස්සේ දැන සිටියෙමි. ඔහු සමාජ විද්‍යාත්මක වැදගත්කමක් ඇති පොත් දෙකකද, ගෝඨාගේ යුද්ධය නමැති පොතේද කතුවරයාය. ඔහු වැනි උගත් පුද්ගලයකු කරුණු සොයා බැලීමකින් තොරව මෙවැනි ලිපියක් ලීවේ කෙසේදැයි මම ඔහුගෙන් ප්‍රශ්න කළෙමි. මාගේ එම ප්‍රශ්නය ඔහු තුළ තිගැස්මක් ඇති කළ බව පෙනෙන්නට තිබුණි. මාගේ ‘නොනිමි අරගලය’ නමැති පොත ගැන සඳහන් කරමින් එය පළවී අවුරුදු 14ක් ගතවී ඇතත් මොනම පුද්ගලයකුවත් ඊට අභියෝග කර නැති බවද කීවෙමි. ඒ පොත නොකියවා එම ලිපිය ලිවීම වරදක් බව පිළිගනිමින් ඔහු පොත මිලදී ගෙන එය කියවන බවත් ඉන්පසු ඒ ගැන මට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන බවත් කීවේය.
ඔහු එම විචාරයට කරුණු ලබාගෙන තිබුණේ හේමන්තගෙනි. ඒ බව ඔහු එම ලිපියේ නොසඟවා ප්‍රකාශ කර තිබුණි. ඔහුද ඒ ලිපියෙහි තර්ක කර තිබුණේ ප්‍රසන්නගේ චිත්‍රපටය සත්‍ය කරුණු මත පදනම් වූ චිත්‍රපටයක් නොවන බව හා එය ප්‍රබන්ධයක් වන බවය. චන්ද්‍රප්‍රේම එම ලිපිය ලියන විට ඔහු මගෙන් ප්‍රශ්න නොකළේ ඇයිද යන්න මට තේරුම්ගත නොහැකිය. ලෙනින් රත්නායකගෙන් පටන්ගෙන අගවිනිසුරු සරත් නන්ද සිල්වා දක්වා දුරදිග ගිය එම අර්බුදයට සම්බන්ධ ප්‍රධාන පුද්ගලයා මාය. මා එවැනි අරගලයක නිරත වූයේ අධිකරණයට ගෞරවය ලබාදීමේ අරමුණින් මිස අධිකරණය කුඩුපට්ටම් කිරීමේ අරමුණින් නොවේ.

නිම නොවූ අරගලය
අධිකරණය අවලස්සන කිරීමට හේතුවූ කිසියම් අධිකරණ නිලධාරීන් පිරිසක් අධිකරණයේ සිටින බව මෙම අර්බුදය ආශ්‍රයෙන් මම තේරුම් ගෙන තිබුණි. මට අවශ්‍ය වූයේ අධිකරණය අවලස්සන කිරීමට හේතුවී තිබුණු එම දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන තත්ත්වයක් ඇති කොට අධිකරණය මහජන ගෞරවයට හේතුවන අධිකරණයක තත්ත්වයට ගැනීමය. ඒ අරමුණ වෙනුවෙන් මට දුරදිග ගිය ලොකු සටනක් කරන්නට සිදුවිය. සටන ආරම්භ වූයේ ලෙනින් රත්නායක සමඟය. අවසානයේ එය රටේ අධිකරණ නායකයා සමඟ කරන සටනක් දක්වාම දුර දිග ගියේය. එම අරගලයේ එක් අවස්ථාවකදී මට අගවිනිසුරුවරයා ජනාධිපති ඉදිරියේ දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා පළකරන තැනකට පවා යන්නට සිදුවිය. අහිංසකයකු ලෙස සැලකිය හැකි ටෝනි එම්මානුවෙල් හිරේට යවන ලද අවස්ථාවේදී මා විසින් ලියන ලද කතුවැකියක රටේ නීතියේ පාලනයක් තිබුණේ නම් හිරේ යායුතුව තිබුණේ ටෝනි නොව අගවිනිසුරුවරයා බව කියන්නට මට සිදුවිය. මා අගවිනිසුරුවරයාට එරෙහිව මහජනයා වෙත ඉදිරිපත් කළ දෝෂාභියෝගයක් ලෙස සැලකිය හැකි මාගේ ‘නොනිමි අරගලය’ නමැති පොත පළකරන ලද්දේද සරත් නන්ද සිල්වා අගවිනිසුරු ධුරයේ සිටියදීය. එම දුෂ්කර අරගලය මුළුමනින් ජයගැනීමට මා සමත් වූයේ නැතත් ඔවුන් කොතරම් බලවත් වුවත් ඔවුන්ට මා පරාජය කිරීමට හැකිවූයේද නැත.
මා විසින් කරන ලද එම දුෂ්කර අරගලයේදී ජනමාධ්‍ය අගවිනිසුරු ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියා නොකොට පැත්තකට වී නිශ්ශබ්දව බලා සිටින ප්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ඒ අරගලය ජයගැනීමේ හැකියාව මට තිබුණි. එහෙත් ජනමාධ්‍ය ආයතන තමන්ට තිබෙන නඩුහබ බේරා ගැනීමට එය අවස්ථාවක් කරගනිමින් එම දූෂිත අගවිනිසුරු ආරක්ෂා කරන බලපවුරක් ලෙස ක්‍රියා කළේය. ඒ නිසා කාලකණ්ණි වූයේ මා නොව රටය. මා එම අරගලය ජයගත්තේ නම් අධිකරණයේ ගමන් මග පමණක් නොව රටේ ගමන් මගද මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණේය.

අරගලය නිමා කිරීම
ප්‍රසන්න විතානගේගේ චිත්‍රපටි වාරණ නඩුවේදී ජනමාධ්‍ය වාර්තා නොකළ අපූරු සිද්ධියක් සිදුවිය. එහිදී පැමිණිලි පාර්ශ්වය අධිකරණයට කර තිබූ වංචාවක් හෙළිවිය. හේමන්තගේ රචනාවල ඇති වංචනික ස්වරූපයට යන්නට පෙර ඒ ගැනද ලිවීම වැදගත්ය. මෙම නඩුවේදී ප්‍රසන්න විතානගේ ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් කනගීශ්වරන් ඇතුළු ඉතා බලවත් නීතිඥ කණ්ඩායමක් පෙනී සිටියේය. එක් නීතිඥයෙක් (ජනක එදිරිසිංහ) තමන්ගේ දීර්ඝ දේශනය අතරවාරයේදී පැමිණිලි කරුවන් කර තිබෙන ලොකු වංචාවක් විනිසුරුවරයාට පෙන්වා දුන්නේය.
පැමිණිලිකාර ලෙනින් රත්නායකගේ නීතිඥයා (බී.සී. බාලසූරිය) සහතික කළ අත්සනින් වගඋත්තරකරුවන් බෙදා දී තිබුණු අතුරු තහනම් නියෝගය හා විනිසුරුවරයාගේ අතුරු තහනම් නියෝගය එකක් නොව දෙකක් බව විනිසුරුවරයා විස්මයට පත්කරමින් ඔහු පෙන්වා දුන්නේය. බෙදා දෙන ලද එම නියෝගයට මුල් නියෝගයේ නැති දේවල්ද එකතු කර තිබුණේය. එය ලොකු වංචාවක් වන අතර ඒ වරද පමණක් වුවත් පැමිණිලිකරුගේ හා නීතිඥයාගේ නම් නීතිඥ නාමලේඛනයෙන් ඉවත් කිරීමට ප්‍රමාණවත්ය.
එම නඩුවේ සිදුවූ තවත් වැදගත් දෙයක් වනුයේ සාමාන්‍යයෙන් මෙවැනි වාරණ නඩුවකදී වාරණ නියෝගයට අතිරේකව පැමිණිල්ලද නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටීමය. එහෙත් මේ නඩුවේදී විත්තිය විසින් ඉල්ලා සිටියේ වාරණ නියෝගය පමණක් නිෂ්ප්‍රභ කොට නඩුව පවත්වාගෙන යන ලෙසය. ඒ නිසා පලායෑමට නොහැකි ලෙස ලෙනින් රත්නායක කොටුවිය.
ප්‍රසන්න විතානගේ නමැති සිනමාකරුවා මෙම වාර්තා චිත්‍රපටය නිපදවීම මගින් කර ඇත්තේ නීතිය හා යුක්තිය ඉටුවීමකින් තොරව වළලා දමා තිබූ නඩුකරයක් මහජන උනන්දුවට හේතුවන ලෙස ගොඩදැමීමය. එය තාජුඩීන්ගේ වැළලූ මළසිරුර නැවත ගොඩගැනීමට සමානය. ඒ මගින් ප්‍රසන්න විතානගේ නිම නොවී අවසන්ව තිබූ අරගලය නිම කෙරෙන අරගලයක් බවට පත්කිරීමට අලුත් අවකාශයක් ඇති කර දුන්නේය. දැන් එය නිමාකරන අරගලයක් බවට පත් කළ යුතුය. ඒ සඳහා ඒ මහා සිද්ධිදාමයේ වැරදි කළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීමත් අයුක්තියක් සිදුවී ඇති සියලුදෙනාට යුක්තිය ඉටුකරන තත්ත්වයක් ඇතිකිරීමත් කළ යුතුය. මෙතැන් සිට මම ප්‍රසන්නගේ අතේ තිබෙන යෂ්ටිය නැවත බාර ගනිමි.

ජස්ටිස් ලෙනින් රත්නායක
හේමන්තගේ ජස්ටිස් ලෙනින් රත්නායකට මෙම සමස්ත අධිකරණ අර්බුදය තුළ ලැබිය යුතුව තිබෙන්නේ සංකේතාත්මක වැදගත්කමක් පමණය. ඔහු කර තිබෙන්නේ අධිකරණ පූජාසනයට මූත්‍රා කිරීමෙන් එය අපිරිසිදු කොට ගඳ ගැස්වීම පමණය. ඊට එහා ගිය බරපතළ වැරදි කළ එනම් අධිකරණ පූජාසනය මත මල පහ කළ වඩා බලවත් හා වැදගත් පුද්ගලයෝ සිටින්නෝය. නිම නොවූ අරගලය නිමා කළ යුතුව තිබෙන්නේ ලෙනින් රත්නායක වැනි පුංචි මිනිසකුට සීමා නොවී අධිකරණ පූජාසනය මත මල පහ කළ එම බලවතුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරවන තත්ත්වයක් ඇති කිරීමෙනි.
ලෙනින් රත්නායකට අදාළ හේමන්තගේ රචනාවල එන වංචාසහගත ස්වරූපය තේරුම් ගැනීම පහසු කිරීම සඳහා ලෙනින් රත්නායකගේ නිල ලේඛන ආශ්‍රයෙන් තනන ලද තොරතුරු ප්‍රස්තාරයක් මෙසේය.
ඔහු ඉපදී ඇත්තේ 1949 ජුනි මස 14 වැනි දින ගලගෙදර මාතෘ නිවාසයෙහිදීය.
උප්පැන්න සහතිකයේ සඳහන් වන නම ‘රත්නායක බණ්ඩාය.’ පියාගේ නම හෝ පෙළපත් නාමය උප්පැන්න සහතිකයේ සඳහන්වන්නේ නැත. ඒ වෙනුවට එම ශීර්ෂය සඳහා යොදා ඇත්තේ කෙටි ඉරකි. මව ලේකම් ගෙදර බාලමැණිකාය.
මව හා පියා කසාද බැඳ තිබෙන්නේද යන ශීර්ෂයට යොදා ඇත්තේ නැත යන්නයි. පියාගේ තරාතිරම, රක්ෂාව සඳහා වන ශීර්ෂයට යොදා ඇත්තේද කෙටි ඉරකි.
රත්නායක බණ්ඩා 1966දී අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනීසිට ඇත්තේ ‘ලේකම් ගෙදර රත්නායක බණ්ඩා’ නමිනි. එම විභාගයෙන් ලබාගෙන ඇති ප්‍රතිඵල මෙසේය.
සිංහල භාෂෘව (C) බුද්ධ ධර්මය (C), සිංහල සාහිත්‍ය (C), අංක ගණිතය (S) ඉතිහාසය (S) ප්‍රජාචාරය (S). භූගෝලය (S)
ලිපිකරුවෙකු වශයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට බැඳී ඇත්තේ 1974.08.01 වැනි දිනයේදීය. ‘එල්.ජී. රත්නායක බණ්ඩා’ යන නමිනි.
සුරංගනී ඩයස් සමඟ විවාහ වී තිබෙන්නේ 1980.08.05 වැනිදාය. විවාහ වී තිබෙන්නේ ගම්භීර කරන ලද අලුත් නමකිනි. එනම් බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ ලෙනින් රත්නායක බණ්ඩාර යන නමිනි. බණ්ඩා බණ්ඩාර වී ඇති අතර ‘ලේකම් ගෙදර රත්නායක’ ‘බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ ලෙනින් රත්නායක’ බවට පත්වී තිබේ. උප්පැන්න සහතිකයේ පියෙකු ගැන සඳහන් නොවෙතත් විවාහ ලියාපදිංචි සහතිකයට පියෙකුගේ නමද ඇතුළත්ය. ඒ පියාගේ නම බුලත්ගම ලේකම් මුදියන්සේ රාළහාමිලාගේ රත්නායක බණ්ඩාරය. රක්ෂාව ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඒ මගින් මෙම පුද්ගලයා තමන් කසාද බඳින බිරිඳටද වංචා කර තිබේ.
තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ වරදක් මත එල්.ජී. රත්නායක බණ්ඩාගේ වැඩ තහනම් කරන්නේ 1984 ඔක්තෝබර් 01 වැනිදාය. ඔහුට මෙම චෝදනා පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ 1985 පෙබරවාරි 6 වැනිදාය. ඉදිරිපත් කරන ලද චෝදනා 6ටම වරදකරු බව දැනුම්දෙමින් ඔහු සේවයෙන් පහකරන ලද බව ඔහු වෙත ලිඛිතව දැනුම්දී ඇත්තේ 1985 ඔක්තෝබර් 29 වැනි දිනය.
අධිකරණ සේවයට 1992දී අයැදුම් කර තිබෙන අතර දෙවැනි වරට 1994 ජනවාරි 17 වැනිදාට අයැදුම් කර තිබේ. සාමාන්‍යයෙන් අවුරුදු 40 සම්පූර්ණවීමෙන් පසු පුද්ගලයකු රාජ්‍ය සේවයට බඳවා ගන්නේ නැතත් මේ පුද්ගලයා අධිකරණ සේවයට බඳවා ගෙන ඇත්තේ 45 වැනි වියේදීය. දේවල් සිදුවී තිබෙන්නේ කවර ආකාරයකටද යන්න ඒ අනුව තේරුම්ගත හැකිය. අධිකරණ සේවයට එකතුවීම සඳහා ඉදිරිපත් කර තිබෙන දෙවැනි අයදුම්පතේ විස්තරවලට අනුව ඔහුගේ නම ‘ලේකම් ගෙදර රත්නායක බණ්ඩාරය.’ විවාහ ලියාපදිංචි සහතිකයේ එන නමට වඩා මුළුමනින් වෙනස්ය. එහි එන විස්තර අනුව ඔහු නීතිඥයකු ලෙස දිවුරුම් දී තිබෙන්නේ 1987.06.01 දිනයේදීය. තිබෙන අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ එහි එන විස්තරවලට අනුව ඔහුට පේරාදෙණිය විශ්විවිද්‍යාලයෙන් ලබාගත් බීඒ උපාධියක්ද (1981.10.01) කොළඹ විශ්විවිද්‍යාලයෙන් ලබාගත් එල්එල්බී උපාධියක්ද (1984.12.01) තිබෙන්නේය. උපාධි සහතිකවල පිටපත් අධිකරණ සේවා කොමිසමේ පුද්ගලික ලිපිගොනුවේ නැත. රක්ෂණ සංස්ථාවේ ඔහුට අදාළ පුද්ගලික ලිපිගොනුවද අස්ථානගතවී තිබෙන බව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව හමුවේ රක්ෂණ සංස්ථාවේ සේවක මණ්ඩල දෙපාර්තමේන්තුවේ විධායක නිලධාරි විල්ප්‍රඞ් මිහිඳු කුරුකුලසූරිය සාක්ෂි දෙමින් 1999.02.02 වැනි දින කියා තිබුණි.
මේ තොරතුරු අනුව පෙනෙන්නේ ලෙනින් රත්නායක හඳුනාගත් පියෙකු පවා නැති ඉතාමත් පීඩිත පසුබිමකින් පැමිණි වංචාවෙන් හා සටකපටකමින් කිසියම් ප්‍රමාණයකට ඉහළ නැග ගැනීමට සමත් වූ වංචාව හා සටකපටකම නිසාම හිමිකරගත් සියල්ල අහිමි කරගත් පුද්ගලයෙකු බවය.

සත්‍යය කණපිට හරවන හේමන්ත
දැන් අපට හේමන්ත ලෙනින් රත්නායක පිළිබඳව ලියා තිබෙන රචනාවල ඇති වංචාවන් ගැන සොයා බලන තැනකට යා හැකිය. ලෙනින් රත්නායක පිළිබඳව ලියන ලද පළමු රචනය තුළ ඇති වංචාවන්ගෙන් එම සොයා බැලීම ආරම්භ කළ හැකිය.
ලෙනින් රත්නායක පිළිබඳව රාවය පළමුවෙන්ම වාර්තා කරන ලද්දේ පළමු ස්ත්‍රී දූෂණ සිද්ධිය පිළිබඳව 1997 අගෝස්තු 17 වැනිදාය. මුල් පුවතක් ලෙස එය වාර්තා කර තිබුණේ ‘මහේස්ත්‍රාත් සැකකරුගේ බිරිඳ දූෂණය කරයි’ යන හිසිනි.
සාමාන්‍යයෙන් රාවය සතියේ ඉරිදා දිනය යොදා පළකරනු ලැබූවත් එය වෙළෙඳපොළට නිකුත් කෙරෙනුයේ ඉරිදා දින නොව සිකුරාදා දිනයේදීය. හේමන්ත ලෙනින් රත්නායකගේ ආරක්ෂාව පිණිස ී්බා්රුනය් ඨසඩැි අ්හ එද ක්‍ය්බාර්කැන්ය යන හිසින් ලියන ලද රචනය සන්ඬේ ටයිම්ස් පුවත්පතේ පළවන්නේද 1997 අගෝස්තු 17 වැනිදාය.
පත්තර දෙකේම යොදාගෙන තිබෙන දිනය එකක් වුවත් සන්ඬේ ටයිම්ස් පුවත්පත වෙළෙඳපොළට නිකුත් කෙරෙන්නේ රාවය වෙළෙඳපොළට නිකුත් කොට දින තුනකට පසුවය. එහෙත් හේමන්තට මේ ලිපිය ලියන්නට පැය ගණනක් මිස දින තුනක කාලයක් ලැබෙන්නේ නැත. සන්ඬේ ටයිම්ස් පුවත්පතේ මුල් පිටුව ඇතුළත් සෙක්ෂණය එනම් පිටු අංක 1, 2, 19 සහ 20 යන පිටු සෙනසුරාදා සවස් වනවිට මුද්‍රණය කෙරුණද අභ්‍යන්තර පිටු මුද්‍රණය කෙරෙන්නේ ඊට පෙරය. හේමන්ත සිය දීර්ඝ ලිපිය සෙනසුරාදා උදය වනවිටවත් එවිය යුතුය. එවිට ඔහුට රාවයට පිළිතුරු ලිපිය ලියන්න ලැබෙන උපරිම කාලය පැය 26ක්වත් නොවන තරම්ය. හේමන්ත රාත්‍රියට පැය 8ක් නිදාගතහොත් ඔහුගේ මහා පරීක්ෂණය සිදුකිරීමටත් ඒ ගැන ඔහුට ලියන්නටත් ලැබෙන්නේ පැය 18ක තරම් කාලයකි.
හේමන්තගේ ලිපියේ සම්පූර්ණ පරිවර්තනයක් මාගේ නොනිමි අරගලය නමැති පොතට ඇතුළත්ය. මා මෙහි උපුටා දක්වන්නේ තෝරාගත් කොටස් කිහිපයක් පමණය. ඔහු පළමු කොට එම ලිපියෙන් ලෙනින් රත්නායකට අතිවිශාල වැදගත්කමක් ලබාදෙයි. ලෙනින් රත්නායකට එරෙහිව එල්ල කරන ලද ස්ත්‍රී දූෂණ චෝදනාවෙන් ඔහු සසලවන්නේ නැත. ඔහු ලිපිය ලියන්නේ ලෙනින් රත්නායකගේ පාරිශුද්ධභාවය ගැන ඇති කරගත් අචල විශ්වාසයකිනි.
“මෙය රිමාන්ඞ් භාරයේ සිටි ඇතැම් පුද්ගලයන්ද බන්ධනාගාර නිලධාරියෙකුද මැදිහත්වීම මගින් අපරාධ කිරීමෙන් තොර ජීවිතයක් ගතකිරීමට අපරාධකරුවන් පොළඹවා ගැනීමෙන් ඔවුන් පුනරුත්ථාපනය කිරීමට මහේස්ත්‍රාත්වරයා කළ අතිවිශාල සේවය ප්‍රිය නොකළ උසස් තැන්වල සිටි වෙනත් පුද්ගලයන් දෙදෙනකු විසින් කරන ලද නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බව පරීක්ෂණවලින් පසු අපට පෙනීගියේය.” හේමන්ත මේ සමස්ත කතාව ගැන ලොකු පරීක්ෂණයක් කර තිබෙන බව පුවත්පත කියවන පාඨකයන්ට පෙන්වයි.

නිර්ලජ්ජිත කුමන්ත්‍රණය
හේමන්ත එම කුමන්ත්‍රණය තහවුරු කිරීම සඳහා අපූරු කතාවක්ද ඉදිරිපත් කරයි.
“මෙම සිද්ධියෙන් පසුව මහේස්ත්‍රාත්වරයා සියලු නඩු වෙනත් උසාවියකට මාරු කළේය. එහිදී අප්‍රේල් 23 වැනි දින නඩුව අඬගසනු ලැබූ අවස්ථාවේදී තමන්ට ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය බව විත්තිකරු මහේස්ත්‍රාත්වරයාට කීවේය. ඔහු එහිදී ඉතා වැදගත් ප්‍රකාශයක් කළේය. තමා බන්ධනාගාර රෝහලේ සිටියදී එම පුවත්පතෙන් පැමිණි බව කී යම් අයෙකු රෝහලේදී ඔහු හමුවී ඔහුගෙන් ප්‍රකාශයක් ගත් බවත්, පසුව ඔහු නොහඳුනන යම් අයෙකු මහේස්ත්‍රාත්ට ප්‍රකාශයක් කරන ලෙස ඔහුට කී බවත් ඉන්පසු එම ප්‍රකාශයට පුළුල් ප්‍රචාරයක් දීමට පුවත්පතට හැකියැ’යි කී බවත් චූදිතයා කීවේය.
මේ මිනිහා ඊට පෙර පොලිස් නිලධාරීන්ට, බන්ධනාගාර නිලධාරීන්ට හා නීතිඥයන් ඇතුළුව වෙනත් පුද්ගලයන්ට විරුද්ධව එබඳු පැමිණිලි කර ඇති බව දැන ඇතැම් බන්ධනාගාර නිලධාරීහු ඔහු කරන දේවල් ගැන විමසිල්ලෙන් සිටියෝය.
මෙම බොරු පැමිණිල්ල කරන ලෙස ඔහු තම බිරිඳට උපදෙස් දී තිබුණි. පැමිණිල්ල කළයුතු ආකාරය තේරුම් කරමින් හෝ වචනයෙන් වචනය කියාදෙමින් ඔහු ලියුම් වගයක් ලියා තිබුණි. බන්ධනාගාර නිලධාරීන් මෙම ලියුම් බිරිඳට ගෙන ගොස් දීමට සියතට ගෙන ඒවාහි ඡායා පිටපත් ගෙන තමන් ළඟ තබාගෙන තිබුණි.’
එම චූදිතයා විසින් ඇයට දෙන ලද කෙටුම්පත් පෙත්සමේ ‘ඡායා පිටපතක්’ අප ළඟ (හේමන්ත ළඟ) තිබෙන බවද හේමන්තගේ එම ලිපියේ සඳහන්ය.
මෙම මහේස්ත්‍රාත්වරයාට රාවය එල්ල කර තිබෙන චෝදනා කිසිදු සත්‍ය පදනමක් නැති බොරු බව හා එය මහේස්ත්‍රාත්වරයාට එරෙහිව ක්‍රියාවට නගන ලද නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් බව කීමෙන් නොනැවතී පුවත්පත එල්ල කර තිබෙන චෝදනා පිළිබඳව පරීක්ෂණයකට යෑම පවා සුදුසු නැති බව ඔහු සිය වංචාවෙන් පිරුණු ලිපිය අවසානයේ කියා ඇත්තේ මෙසේය.
“චෝදනා අසත්‍යයැ’යි තීරණය වී ඉන් නිදහස් කෙරුණත්, පරීක්ෂණයක් පැවැත්වුවහොත් මෙම සිද්ධිය ප්‍රසිද්ධියට පත්වීමෙන් පසුව ඔහුට ඇතිවිය හැකි චිත්ත වේදනාව, මානසික පීඩාව ඔහුගේ නිවැරදි කිරීම කොතරම් ප්‍රසිද්ධියට පත්කෙරුණත් මැකී නොයනු ඇත.”
දැන් අපට හේමන්තගේ එම ලිපියේ එන කාරණා පසුබිම් කාරණා සමඟ සලකා බැලිය හැකිය.
හේමන්ත මේ ලිපියේ කොතැනකවත් මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක තමන්ට කතා කළ බව කියන්නේ නැත. මෙම සත්ගුණවත් මහේස්ත්‍රාත්වරයා මීට පෙර දැනසිටි බව කියන්නේද නැත. එහෙත් ඉතාමත් කෙටි පැය ගණනක කාලසීමාවක් තුළ මෙම සත්ගුණවත් මහේස්ත්‍රාත්වරයා විනාශ කිරීම සඳහා නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක සියලු වැදගත් තතු සොයාගත් දූෂණයට ලක්වී යැයි කියන කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිය බිරිඳට යවන ලද ලිපි ලේඛන කිහිපයක්ද ඔහු සොයා ගනී. හේමන්ත මහේස්ත්‍රාත්වරයාගේ ආරක්ෂාව සඳහා ලිපියක් ලියන්න යන බව ඍද්ධියෙන් මෙන් දැනගෙන කුමන්ත්‍රණයේ සුලමුල දන්නා අය ආශ්චර්යවත් ආකාරයකින් හේමන්ත සොයාගෙන ඔහුගේ නිවසට පැමිණ ඒ සියලු තතු හේමන්තට ලබාදී තිබේ.
මහේස්ත්‍රාත්වරයා පිළිබඳව රාවයේ පළවූ වාර්තාවට ඒ සතියේ වෙනුවට ඊළඟ සතියේදී ද ලිපියක් ලියන්නට පුළුවන්කමක් තිබුණි. එහෙත් එසේ නොකොට එය වහ වහා තදියමේ කළ යුතු දෙයක් ලෙස සැලකුවේ ඇයි? මහේස්ත්‍රාත්වරයාට එල්ල වී තිබූ ස්ත්‍රී දූෂණ චෝදනාවේ කිසිදු සත්‍ය පදනමක් නැති බව ඔහු තීරණය කළේ කෙසේද? ඒ ගැන සාධාරණ කරුණු සොයා බැලීමක් ඔහු කළේද?
ඉතා හොඳ මහේස්ත්‍රාත්වරයකු විනාශ කිරීම සඳහා නිර්ලජ්ජිත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව ඔහු හොඳාකාරවම දැන සිටියේ නම් ඊට වගකිවයුතු පුද්ගලයන්ද ඔහු දැන සිටියේ නම් ඒ බව සනාථ කිරීමට අවශ්‍ය ලියකියවිලිද ඔහු ළඟ තිබුණේ නම් නීතිඥයකු වශයෙන් ඔහු ඒ ගැන, පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට, නීතිඥ සංගමයට හෝ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි නොකළේ ඇයි? ලෙනින් රත්නායකගේ පාරිශුද්ධභාවය පිළිබඳව එම ප්‍රකාශය පෙන්නුම් කර ඇති තරමේ විශ්වාසයක් තිබුණේ නම් හා එහි සඳහන් කර තිබෙන කුමන්ත්‍රණ කතාව සත්‍යයක් නම් ලෙනින් රත්නායක පිළිබඳව පැවති ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවේ පරීක්ෂණයට ඉදිරිපත් වී ලෙනින් රත්නායකගේ ආරක්ෂාව වෙනුවෙන් සාක්ෂි නොදුන්නේ ඇයි?

ආතුරයා නීච වීම
ඒ මොහොතේ හේමන්තගේ හැසිරීම කෙරෙහි බලපෑ ඇත්ත හේතු මොනවාද? මෙම කාන්තාවගේ පැමිණිල්ල රාවයට ලැබීමෙන් පසු රාවයේ ප්‍රවෘත්ති කතුවරයා මහේස්ත්‍රාත් ලෙනින් රත්නායකට දුරකතනයෙන් කතා කොට ලැබි තිබුණු පැමිණිල්ල පැහැදිලි කරදී ඒ ගැන කියන්න තිබෙන්නේ කුමක්දැයි විමසා සිටියේය. ලෙනින් රත්නායක කලබලයට පත්වී තමන්ගේ පැත්තෙන් කරුණු පැහැදිලි කිරීමක් කරනු ලැබුවද ඒ නිසා මේ සිද්ධිය ගැන වාර්තාවක් පළවීම වැළකෙන්නේ නැති බව තේරුම් ගන්නට ඇත. ඔහු වහා කොළඹට පැමිණ සිකුරාදා දිනයේදී (අගෝස්තු 15 වැනිදා) නීතිපති සරත් සිල්වා හමුවූයේය. නීතිපතිට ලෙනින් රත්නායක සමඟ දුර නෑකමක් තිබුණා සේ ම ඒ දෙදෙනා අතර දැනහැඳුනුම්කමක්ද තිබුණි. මහේස්ත්‍රාත් ලෙනින් රත්නායක සිය අධිකරණ බලප්‍රදේශයේ පැරණි පුස්කොළ ප්‍රදර්ශනයක් පවත්වා තිබුණු අතර ලෙනින් රත්නායක එම ප්‍රදර්ශනයට නීතිපති සරත් සිල්වාද ගෙන්වාගෙන තිබුණි. පෞරාණික වැදගත්කමක් ඇති වෙහෙර විහාරවල තොරතුරු එකතු කරන වැඩපිළිවෙළක් පවත්වාගෙන යමින් ලෙනින් රත්නායක ඒ ප්‍රදේශයේ පුරා වස්තු කොල්ලකන ව්‍යාපාරයක්ද පවත්වාගෙන ගොස් තිබෙන බව මාගේ ‘නොනිමි අරගලය’ පොතේ සඳහන් වේ. මේ සියලු කාරණාවලට අතිරේකව ලෙනින් රත්නායක හා සරත් සිල්වා අතර සදාචාරාත්මක අර්ථයෙන්ද ලොකු සමානකමක් තිබුණි. මහේස්ත්‍රාත්වරයෙකු තමා ඉදිරියේ ඇසෙන නඩුවක ස්ත්‍රියක සමඟ එකට බුදියාගැනීමේ සිද්ධියත්, නීතිපති සරත් සිල්වාගේ චර්යාව අනුව ඔහු තුළ කම්පනයක් ඇති කරන දෙයක් වන්නේ නැත. ඔහුගේ පැත්තෙන් ඔහුට දිය හැකිව තිබුණු හොඳම උපදේශය වී තිබුණේ සාපරාධී අපහාස නඩුවක් ආරම්භ කිරීම සඳහා මට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කරන ලෙස ඉල්ලා සිටීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියාට කතා කොට ලෙනින් රත්නායකට එහි යෑමට පසුබිමක් තනාදීම පමණය. ඒ අනුව ලෙනින් රත්නායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති වී.අයි. සුමනසේකර මහතා හමුවී මට එරෙහිව පැමිණිලි කළේය.

කට්ටඩියාද නීචවීමට නියමිතය
එහෙත් ඒ කාර්යයෙන් පමණක් ලෙනින් රත්නායක සෑහීමට පත් නොවන්නට ඇත. රාවයේ පළවී තිබෙන ප්‍රවෘත්තිය නිශේධ කිරීම සඳහා එම ප්‍රවෘත්තියෙන් ඇතිවන බලපෑම දුර්වල කිරීම සඳහා වහාම ප්‍රතිකතාවක් පුවත්පතක පළකරවා ගැනීමට ඔහුට අවශ්‍යවන්නට ඇත. සමහරවිට මෙම දෙවැදෑරුම් ප්‍රතිකර්මය නීතිපති සරත් සිල්වාම ඔහුට යෝජනා කළාද විය හැකිය. නැතහොත් දෙවැනි ප්‍රතිකර්මයට වෙනත් කෙනෙකු ලෙනින් රත්නායකට යෝජනා කළා විය හැකිය. ඒ නිසා ඔහු හේමන්ත වර්ණකුලසූරිය හමුවන්නට ගියේය. ඒ ගැන එන මගේ නිරීක්ෂණය මගේ ‘නිම නොවූ අරගලය’ පොතට ඇතුළත්ය. ඒ ගැන හේමන්ත මට අභියෝග කර නැත. ඒ අර්ථයෙන් මෙම නිශ්චිත ප්‍රශ්නයේදී ලෙනින් රත්නායක හේමන්තගේ සේවාදායකයාය. හේමන්ත නීතිඥ වෘත්තියේදී සිය සේවාදායකයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා නීතිඥයන්ට වෙනස්ව අධිකරණ මාර්ගය හා ජනමාධ්‍ය මාර්ගය යන මාර්ග දෙකත් පාවිච්චි කරයි. ඔහු එකවිට නීතිඥයකු ලෙසද, ජනමාධ්‍යවේදියකු ලෙසද ක්‍රියාකරයි. එම විෂය දෙකේදීම ඔහු ගෞරවයට හේතුවූ පුද්ගලයකු වන්නේ නැත. ඔහු සමහර සේවාදායකයන්ගේ ප්‍රශ්න විසඳීම සඳහා අධිකරණයට යනවිට තවත් සමහර සේවාදායකයන් සඳහා තමන් ලියන කොලම යොදා ගනී. සමහර සේවාදායකයන් සඳහා ඒ මාර්ග දෙකම යොදා ගත්තේය.
ලෙනින් රත්නායකගේ පළමු ස්ත්‍රී දූෂණ සිද්ධියේදී ඔහුට අවශ්‍ය වූයේ යුක්තිය සහ සාධාරණත්වය ඉටුකිරීම නොව තම ස්ත්‍රී දූෂණ සේවාදායකයාට එල්ල වී තිබුණු අභියෝගය නිෂ්ක්‍රිය කිරීම හෝ එහි සැර බාලකිරීමය. ඔහු ඒ සඳහා ලෙනින් රත්නායක සමඟ එකතු වී ගුලියක් ඇඹරුවේය. ඔහු හදිසියේ හා තකහනියේ කරන ලද ඇඹරීමක් විය. එය බොරුව, වංචාව හා සටකපටකම එකට එකතු කොට ඇඹරූ ගුලියක් විය. ඔහු එම ගුලිය සිය කොලම හරහා කරළියට ගෙනාවේය.
එහෙත් ඒ ගුලියට හැකිවූයේ සිය සේවාදායකයාට තාවකාලික සහනයක් ලබාදීම පමණය. ඔහුගේ එම ගුලිය නීතිඥ ආචාර ධර්මවලට සේ ම ජනමාධ්‍ය ආචාර ධර්මවලටද පටහැනිය. ඔහු ලෙනින් රත්නායක වෙනුවෙන් අඹරන ලද ගුලියෙන් ලෙනින් රත්නායකට තාවකාලික සහනයක් ලබාදීමට සමත් වුවත් ඔහු නීච තත්ත්වයට පත්වීම වැළකුණේ නැත. සමහර ගුලි ඇඹරිලි ආතුරයා කෙරෙහි පමණක් නොව කට්ටඩියා කෙරෙහිද විනාශකාරී ලෙස බලපායි. ලෙනින් රත්නායක වෙනුවෙන් කරන ලද ගුලි ඇඹරිල්ල ආතුරයා නීච කිරීමට හේතුවීමෙන් නොනැවතී කට්ටඩියාද නීච කිරීමට නියමිතය. ඊළඟ ලිපියෙන් ලෙනින් රත්නායක වෙනුවෙන් කරන ලද ඊළඟ ගුලි ඇඹරිල්ල ගැන කතා කිරීමට බලාපොරොත්තු වෙමි.■