රාවය

සිසුන්ගේ මරණ හා මාධ්‍යවල ලේ

සිසුන්ගේ මරණ හා මාධ්‍යවල ලේ

යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනාගේ මියයෑම රටේ අලුතෙන් අර්බුදයක් නිර්මාණය කර තිබෙන බව පෙනෙයි. මීට පෙර ත්‍රිකුණාමලයේ දී සිසුන් පස්දෙනකු ඝාතනය වූ අවස්ථාවේ දී එවකට තිබුණු ආණ්ඩුවට ඒ ඝාතනවල කිසිම වැදගත්කමක් තිබුණේ නැත. අද පවා ඒ ඝාතනවලට වගකිවයුත්තකු හොයා ගන්නට නීතිය ක්‍රියාත්මක කරන ආයතන සමත් වී ද නැත. ඊට පරස්පර ව, පසුගිය සතියේ සිදුවුණු යාපනයේ සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වහා ම අපක්‍ෂපාත පරීක්‍ෂණයක් පවත්වන ලෙසට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් නියම කොට තිබේ. ඒ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව අතර ඇති එක් වැදගත් වෙනසක් නම් එය යි.
එහෙත්, පරීක්‍ෂණයක් පැවැත්වුණු පමණින් එය සාධාරණ වේ යැයි සහතිකයක් නොලැබෙන බව අප මතක තබා ගත යුතු ය. අධිකරණ වෛi පරීක්‍ෂණවලින් හදිසි අනතුරක් යැයි නිගමනය කොට වල දමන ලද මළසිරුරු ඉන්පසු ඝාතනයක් යැයි සැක කොට යළි ගොඩ දැමෙන රටක ජීවත්වන අප පරීක්‍ෂණ ආරම්භ කළ පමණින් ඒ ගැන පමණට වඩා විශ්වාසය තැබිය යුතු නැත.
මිනිස් ජීවිතවලට හා මිනිස් අයිතිවාසිකම්වලට ගරු නොකරන ඉතාමත් අඳුරු අතීතයක් ගෙවා දමා ඇති ලංකාවේ පොලිසිය තවමත් ඒ අඳුරු මගෙහි ම යන බවට හොඳ උදාහරණයක් ලෙස මේ සිසුන්ගේ මරණ සැලකිය හැකි ය. පොලිසියේ මුල් පැහැදිලි කිරීම වුණේ, සිසුන් අණ නොතකා පලා යන විට අහසට වෙඩි තැබූ බව පමණෙකි. එහෙත් දැන් සිසුන්ගේ සිරුරු තුළ පතොරම් කොපු තිබෙන බව වෛi පරීක්‍ෂණවලින් පැහැදිලි වී තිබේ. මේ ආකාරයට අසත්‍ය හේතු දැක්වීම හා සටහන් කිරීම ලංකාවේ පොලිසියට අපහසු කටයුත්තක් නොවේ. පසුගිය කාලය පුරා ම තම අත්අඩංගුවේ සිටියදී මරා දමන ලද සැකකරුවන් සම්බන්ධයෙන් පොලිස් සටහන් පොත්වල ලියැවී තිබුණේ, පොලිසියට වෙඩි තබා හෝ බෝම්බයක් විසි කර හෝ පලා යන්නට උත්සාහ කළ බැවින් ආත්මාරක්‍ෂාව සඳහා මරා දැමීය යන ගජබින්නය යි. මේ බිහිසුණු විහිළුවල අවසන් ප්‍රතිඵලය වුණේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ලංකාව මානව හිමිකම්වලට ගරු නොකරන ම්ලේච්ඡයන්ගේ රටකට ආසන්න තත්ත්වයක ලා හංවඩු ගසනු ලැබීම යි.
එවැනි තත්ත්වයකට රට කෙසේවත් යළි පත්විය යුතු නැත. ඒ සඳහා කළ යුතු වන්නේ, හැම අතකින් ම අපක්‍ෂපාත පරීක්‍ෂණයක් පවත්වා ඒ සම්බන්ධ ඇත්ත තත්ත්වය එළිදරව් කිරීම යි. වගකිව යුත්තන්ට නිසි දඬුවම් දී යළි එවැනි දේ සිදුවීම අධෛර්යමත් කිරීම යි.
ඒ අතර, මේ සිදුවීම හරහා ජාතිවාදී බොරදියේ මාළු බාන්නන්ට ද අලුත් ඉඩක් පෑදී තිබේ. සමහර දේශපාලකයන්ට අනුව, වරද කර ඇත්තේ සිසුන් දෙදෙනා වන අතර, අණට අකීකරු ව පලා යන විට මැරෙන්නට වෙඩි තැබීමේ නීත්‍යනුකූල බලයක් පොලිසියට ඇති නිසා පොලිසිය නිර්දෝෂී ය. තවත් සමහර දේශපාලකයන්ට අනුව, සිසුන්ගේ මරණත් සමඟ උතුරේ ඇතිවී තිබෙන තත්ත්වය යළිත් එල්ටීටීඊය හිස එසවීමකි. එහි වගකීම මේ ආණ්ඩුව ගත යුතුය.
රට පුරා ජාතිවාදී හා ආගම්වාදී ගිනිදැල් ඇවිලවීම සිය වෘත්තීය ජීවිතය කරගත් සමහර මාධ්‍ය හා මාධ්‍යකරුවන්ගේ නින්දාසහගත අපේක්‍ෂාවන් ද මේ අතර මල්පල ගැන්වී තිබේ.
ඒ මාධ්‍ය ප්‍රතිරූපකයන්ට අනුව, තරුණයන් දෙදෙනා ගමන් කර ඇත්තේ එන්ජින් ධාරිතාව 1000ක් වන ලංකාවේ තහනම් අධිබල මෝටර් බයිසිකලයකිනි. එහෙත් ඒ බයිසිකලය බජාජ් වර්ගයේ, එන්ජින් ධාරිතාව 100ක් පමණක් වන කුඩා මෝටර් බයිසිකලයක් බව ඊට අදාළ ඡායාරූප සිහි බුද්ධියෙන් නරඹන ඕනෑ ම කෙනකුට වැටහෙනවා ඇත. මේ මාධ්‍ය ප්‍රතිරූපකයාට අනුව, ‘පසුගිය කාලය තුළ බි්‍රතාන්‍ය ඩයස්පෝරාව විසින් මේ වර්ගයේ අධිබල බයිසිකල උතුරේ විශ්වවිද්‍යාල සිසුන්ට ප්‍රදානය කර ඇතැයි ද අනාවරණය වී ඇත.’ මේ අරුම පුදුම අනාවරණය කර ඇත්තේ කවුරුන් විසින් ද, මේ අන්තවාදී මාධ්‍ය ප්‍රතිරූපකයා ම විසින් හැර?
සියල් හොඳින් දැන දැනම මේ අමූලික බොරුව ලියන මාධ්‍යකරුවාත්, එය පළකරන පුවත්පතත්, එහි කර්තෘවරයාත් (ඒ කර්තෘවරයා පසුගිය මාසයේ ජනාධිපතිවරයා සමඟ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්ෂික සැසිවාරයට ද සහභාගි වුණේ ය.) දැන දැනම මේ යෙදෙන්නේ රටේ ජාතිවාදී ගිනිදැල් අවුළුවා තමන්ගේ දවස් පතා භෝජනය සරි කර ගැනීමේ නිහීන උත්සාහයක බව අලුතෙන් කිව යුතු නැත.
ලංකාව පසුගිය දශක දෙක තුනේ මහා විනාශකාරී ජාතිවාදී ආගම්වාදී ගින්නක දැවෙමින් සිටියේ මෙවැනි මාධ්‍යකරුවන්ගේ පහත් මාධ්‍ය භාවිතාවන්ට ද පින් සිදුවන්නට ය.■