රාවය

පාපුරුවේ පාපන්දු ගැසීම

පාපුරුවේ පාපන්දු ගැසීම

 

යළිත් පාපන්දුව ගැන කතා බහක් දලූලන්නට පටන් ගෙනය. ඒ වත්මන් පරිපාලනය ගැනය. පරිපාලනය කීවද එහි සභාපති රංජිත් රුද්‍රිගු පිළිබඳව කීම ඊට වඩා හරිය. මෙය ඇතැම්විට ප‍්‍රශ්නයකට වඩා පිස්සුවක් ලෙස ද තැකිය හැකිය.

පිස්සු හැදුණේ කාටද? පිස්සු වැටුණේ ඇයි? මේවා කාට අරුමයක් වුව අපට නම් අරුමයක් නැත. මනිලාල් ප‍්‍රනාන්දු පාපන්දුව තම කුසින් ජාතක කළා යැයි උමතුවෙන් පෙළුණු අතර එය තමාගෙන් තොරව හුස්ම ගන්නේවත් නැතැයි ඇදහුවේය. එය මුලාවක් බවත් එයට මුවා වී සිටීම උමතුවකින් කෙළවර වී ඇති බවත් අද ප‍්‍රත්‍යක්ෂව අවබෝධ කරගත හැකිය. ඒ අවබෝධය ඇත්තේ ඔහුට නොව අපටය.

රංජිත් රුද්‍රිගුද මනිලාල්ගේ නඬේම මහගිරි දඹේ නැග්ග අයෙකි. එහෙත් ඔහුට සභාපතිකම හිමි වූ පසු ඔහු වන්දනාමාන කිරීම තනිව කර ගත්තේය. එය අවැඩක්ද?

රංජිත් රුද්‍රිගු පාපන්දු පුටුවේ හිඳගත්තේ නියම කල්හිය. මේතරම් ඉක්මනට රංජිත් පෙරළිකාරයෙකු වීමට සිහිනෙත්වත් නොසිතූ බව පැහැදිලිය. එහෙත් ෆිෆා හරහා මනිලාල් පාපන්දුව අහලකටවත් වැද්ද නොගන්නා අයුරින් අහකට කළ තවදුරටත් බොල්පිළිම වන්දනාව අතහැරී රංජිත් තනි අලියා සේ වැඩ කිරීම ඇරඹීය. එය මනිලාල් කල්ලියට දිරවාගත නොහැකි අහරක් විය. කළ හැක්කක් නැත. කළයුත්ත රංජිත් කළේය. යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද යන්න නොදත් වීරසේකරට වඩා රංජිත් වැඩකරුවෙකි. අවශ්‍ය මොහොතේ අවශ්‍ය බලය පාවිච්චි නොකරගන්නා අමුම අමු මෝඩයෙකි. එවැනි මෝඩයන් රොත්තක් මීට පෙර පාපන්දුවේ සභාපතිකම් දැරීය. එකී මෝඩ කැළ තවමත් පැරණි අමනකම් පෙන්වති. මනීගේ පදයට නටන රූඩක වූ එකී රූඩක තවමත් මනි අතම නැටවෙති. අප මේ අත්විඳිනුයේ එකී රූකඩ නාටකයමය. අපට නම් මේවාට සිනහ යන්නේවත් පුදුමය උපදවන්නේවත් නැති තරම්ය.

අද බොහෝ අය හොඳවුන් මෙන් ර`ගපාති. මිලියන ගණන් පාපන්දු සල්ලි මැතිවරණවලට යෙදවූ ජාති පේ‍්‍රමියෝ උමතු වී අමුතු වී ඇත. මේ අය තමන් සභාපති කමක් කලක් දැරූ බවත් එකල තමන්ට හිඳ ගන්නට පුටුවක් වත් නොතිබූ බවත් අද ඒ සියල්ල රංජිත් සතුවී ඇති බවත් සිතන කල සිහිවිකල්වී ඇත. එදා පුටුවක් නැතිව හෝ පොකට් පිරුණු මුත් අද ඒ කිසිවක් නැතිවීම නිසා ද හිස් බඳුන් බවට පත්වී ඇත්තේය. ඔවුහු අද දුව දුව රංජිත් එළවන්නට ගල් ගසති. දැන් පව්කාරයා වී ඇත්තේ රංජිත්ය. එබැවින් සැවොම පව්කාරයාට ගල් ගසති.

එදා පරිපාලනයේ අටඅනූවක් දොස් දුටු අය අද ඒ පරිපාලනය මෙහෙය වු ප‍්‍රනාන්දු නිදොස්කොට රංජිත්ගේ දොස්ම සොයති. කලකදී වහ කලකදී රහ කර ගෙන ඇති මොවුන් අසූචිද පි‍්‍රය භෝජනයක් බවට පත්කරගෙන ඇත්තේය.

එදා පරිපාලනයට බැණ වදිමින් රංජිත්ට ළංවූ අය තනතුරු ලාභ ප‍්‍රයෝජන රංජිත් හරහාද ළංකර ගන්නට දත කෑහ. එහෙත් ඒ සැමගේ දිව හැපී තරු පෙනී රංජිත් යනු කිසිදා ලාභ ප‍්‍රයෝජනයක් නැති මිනිසකු බැවින් පැරණි පුද්ගලයා සිටියා නම් කොතරම් අගනේදැයි සිතන තැනට තල්ලූ වී මෙල්ල වී ඇත්තේය. දැන් සැවොම එකම අත්තේ වහන කුරුල්ලෝය. රැුහෙන් කොන් කර ඇත්තේ රංජිත් පමණය. ඒ රංජිත් මනිලාල්ගේ රූකඩයක් නොවීම නිසාය. මනිලාල්ගේ පුතා එන විට නොනැගිටින නිසාය. ලොක්කාගේ පුතා බේබි ලෙස පිළිනොගත් නිසාය. පාපන්දු බූදලය මනිලාල්ගේ බවත් එය වෙන කාටවත් අත හෝ තැබිය නොහැකි බවත් නොඇදහූ නිසාය. දැන් සියල්ල විවෘතය. පාපන්දු නිධානය ඉබේම විවෘත වී ඇත. එය වටා සිටි බහිරවයන් පිස්සුවෙන් මෙන් පොරකන්නට නළියන්නට පටන් ගෙනය. සිදුවන පෙරළිය මෙයය.

ජෝෂප් බ්ලැටර්ට අන්නන්නට ගොස් තවමත් ඇනගන්නා මෙරට පාපන්දු පැරන්නෝ තමාට නැති තැන තම පුතාට හිමි නොවීම කියා දුක්වෙති. පොල් ගසති. ශාප කරති. කුල – මල වමාරති. බලය ඇති කල හොඳය. එය නැති කල කිචය. කිචවූවෝ එය වටහා නොගන්නා කල ඉබේටම පච වන්නෝය. පාපන්දු පරිපාලනය අරබයා ඇති ප‍්‍රශ්නයේ පිස්සුවද එලෙස පචවූවන්ගේ කිච වැඩය.

රංජිත් දැනට ගෙනයන වැඩ අගනේය. ඔහු ඒ මගම යා යුතුව ඇත. පාපන්දු ගහේ වසා සිටි වවුලෙක් එහි ඵල නැති කල පැරණි ගස් සොයා යන විට එය රංජිත් ප‍්‍රශ්නයක් කර ගත යුතු නොවේ. හිටපු පාපන්දු ලොක්කෝ තමන්ට අහිමි ලොව පුතාට හෝ එළිපෙහෙළි කරන්නට පැරණි කුලීකරුවන්ම යොදා ඇත. පාපන්දුවේ ප‍්‍රවේණිදාසයන් කුමක් කළ ද රංජිත් ඔහුගේ ගමන යා යුතුය. රංජිත් වැරදි නම් වැරදිය. ඒ ගැන විවාදයක් නොපවතී. එහෙත් මේ මොහොතේ තවමත් රංජිත් නිවැරදිය. සභාපතිකම් දරද්දී නාට්ටාමිලා වූ අය අද නැවත සභාපතිකමට එන්නේයැ’යි කෑමොර දෙති. රංජිත් දැනට කරගෙන යනු ලබන නිවැරදි ක‍්‍රමවේදයේම නියැළෙන්නේ නම් මේ මැටි හුඹස් මැටිම බව සමාජය ඉක්මණින් පසක් කර ගන්නවා නියතය.

පාපන්දුව තුළ අර්බුදයක් ඇතැයි ඒ පිළිබඳ යමක් නොලියන්නේ දැයි ඇතැම්හු අපෙන් අසති. අපට ඔවුන්ට කීමට ඇත්තේ අර්බුදයක් නැත. ඇත්තේ පැරණි හොල්මංම පමණක් බවය. හොල්මං විශ්වාස නොකරන බැවින් අපි ඒ ගැන වැඩි තැකීමක් නොකරමු.
අපට තක්කඩි ගුත්තිලලාට වඩා මූසිලලා හොඳය.

හොර තක්කඩින්ගෙන් මිදී මෙරට පාපන්දුව පාපන්දු කී‍්‍රඩකයන්ට උරුම කර දීමට රංජිත්ට හැකිවන්නේ නම් එයම ප‍්‍රමාණවත්ය. රංජිත් වැඩ කළ යුත්තේ ඒ සඳහාය. පැරණි පඹයන් නූතන ටොරිංටන් පෙදෙසට උචිත නොවේ. එබැවින් වෙට්ටු දමා හෝ මට්ටු කොට ගෝල් ගැසීම රංජිත්ගේ වැඩකි.