බලය ගල්ගැසුණු දෙයක් බවට පත් කළ ජේආර්ගේ ව්‍යවස්ථාව (ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය- 4)

1977 පාර්ලිමේන්තු මැතිවරණය ක‍්‍රමවත් ජාතියක් බවට පත්ව නොතිබුණු ජාතියේ එක් පැලූම් රේඛාවක වැදගත් වර්ධනයක් පෙන්නුම් කළ මැතිවරණයක් ලෙස සැලකිය හැකිය. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය දෙමළ ඊලාම් රාජ්‍යයක් සඳහා දෙමළ ජනතාවගෙන් ජනවරමක් ඉල්ලන මැතිවරණයක් බවට පත්කොටගෙන තිබුණේය. ඒ වනවිට දෙමළ ජනයාගේ පිළිගත් නායකයාව සිටි චෙල්වනායගම් මරණයට පත්ව සිටි අතර ඒ සමග දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නව නායකයා බවට පත්ව සිටියේ අමිර්තලිංගම්ය.

77 මැතිවරණ ප‍්‍රතිඵල

එම මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලැබෙන විට සාම්ප‍්‍රදායික වමේ පක්ෂ දෙක එකම පාර්ලිමේන්තු නියෝජනයක්වත් නැති තත්ත්වයකට පත්ව සිටි අතර ශ‍්‍රීලනිපයද ආසන 8කට සීමාවන ලෙස අන්ත පරාජයකට පත්ව තිබුණි. දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ ආසන 18ක් ලබාගනිමින් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂයේ නායකත්වය හිමිකරගෙන තිබුණේය. එහෙත් එම මැතිවරණයෙන් ඊලාම් රාජ්‍යයක් සඳහා ඔවුන්ට ජනවරමක් ලැබී තිබුණේ උතුරෙන් පමණය. එම පෙරමුණට උතුරෙන් ලැබී තිබුණු ඡුන්ද සංඛ්‍යාව 278293කි. එය පාවිච්චි කර තිබුණු ඡුන්ද සංඛ්‍යාවෙන් 68.50%කි. නැගෙනහිරින් ලැබී තිබුණේ ඡුන්ද 92163ක් පමණය. එය පාවිච්චි කරන ලද මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් 27.47%කි. දෙමළ නායකයන් ප‍්‍රඥාවන්ත පිරිසක් වී නම් අඩුම වශයෙන් මැතිවරණයෙන් ලැබී තිබුණු එම ප‍්‍රතිඵලයෙන් පසුව වුවත් ඊලාම් රාජ්‍යය පිළිබඳ අදහස නැවත සලකා බලන තැනකට යායුතුව තිබුණි. එහෙත් එවැන්නක් සිදු නොවීය.

පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් ලබාගෙන සිටි ජේආර් ජයවර්ධනට ව්‍යවස්ථාව වෙනස් කොට නව ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමට අවශ්‍ය වූයේ පොදු යහපත සඳහා නොව ඔහුගේ පුද්ගලික යහපත සඳහාය. රාජ්‍යයේ සකලවිධ බලය තමන්ට ලැබෙන ආකාරයට හා ලැබී තිබුණු ආණ්ඩු බලය වෙනස් නොවන ආකාරයේ ආණ්ඩුක‍්‍රමයක් ඇතිකර ගැනීමට ඔහුට අවශ්‍ය විය.

ඔහු අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදාගැනීමේදී එය ආරම්භ කොට සම්පූර්ණ කිරීමට ප‍්‍රථම කරන ලද පළමු කාර්යය වූයේ අගමැති ධුරයේ සිටි තමන්ට හදාගැනීමට අපේක්ෂා කළ ජනාධිපති තනතුරේ සියලූ බලතල සමග එම තනතුර වහාම ක‍්‍රියාත්මක වන ආකාරයට තමන්ගේ අතට ලැබෙන ආකාරයට පැරණි ව්‍යවස්ථාවට සංශෝධනයක් ඉදිරිපත් කිරීමය. ඒ මගින් ඔහු නව ආණ්ඩුක‍්‍රමයක් ඇති කරන්නට පෙර ඇති කරන්නට යන ආණ්ඩුක‍්‍රමයෙන් පාලකයාට ලැබෙන සියලූ බලතල සියතට ගත්තේය. එය ව්‍යවස්ථානුකූල දෙයක් ලෙස සැලකිය නොහැකිය.

ජේ.ආර්. ජයවර්ධන තිබුණු පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය යටතේ අගමැති වශයෙන් දිවුරුම් දෙන ලද්දේ 1977 ජූලි 23 වැනිදාය. අගමැති ජනාධිපති ලෙසත් ප‍්‍රධාන විධායකයා ලෙසත් පත්කිරීමට හේතුවන ලෙස පරණ ව්‍යවස්ථාවට දෙවැනි සංශෝධනය ඉදිරිපත් කරන ලද්දේ 1977 සැප්තැම්බර් 20 වැනිදාය.

ජනතාවට කොකා පෙන්වීම

සාමාන්‍යයෙන් කෙටුම්පත් පනතක් පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමට සතියකට පෙර මහජනයාගේ දැනගැනීම සඳහා රජයේ ගැසට් පත‍්‍රයේ පළ කළ යුතුය. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කෙටුම්පත් පනතක් න්‍යාය පත‍්‍රයට ඇතුළත් කිරීමෙන් පසුව දින හතක් යන තෙක් එම කෙටුම්පත් පනත විවාදයට ගත නොහැකිය. එසේ කරන්නේ මහජනයාගේ දැනගැනීමෙන් තොරව ඔවුන්ට මැදිහත්වීමට අවශ්‍ය වෙතොත් එසේ කිරීමට අවස්ථාවක් ලබාදීමෙන් තොරව අණපනත් රහසේ සම්මත කරගැනීම වැළැක්වීම සඳහාය. එහෙත් ඒ ආකාරයෙන් තොරව ව්‍යවස්ථාවේ 55 වැනි ෙඡ්දයේ එන විධිවිධාන අනුව හදිසියේ සම්මත කරගත හැකි අණපනත්ද තිබෙන්නේය. එම විශේෂ ගණයට අයත්වන්නේ හදිසියේම සම්මත කර නොගතහොත් රටට විශාල අලාභ ඇති කිරීමට හේතුවිය හැකි විනිමය අනුපාත වෙනස් කිරීම්, බදු වෙනස් කිරීම් වැනි කාරණාය.

එහෙත් පුදුමයට මෙන් ජේආර් ජයවර්ධන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පවා නැතිව මුළු මහත් ආණ්ඩුක‍්‍රමයම උඩු යටිකුරු කිරීමට හේතුවන ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කරගන්නේ මහජනතාව දැනුම් දීමකින් තොරව විරුද්ධවීමට අවස්ථාවක්ද නොලැබෙන පරිදි 55 වගන්තිය යටතේ හදිසි පනතක් සම්මත කරගන්නා ආකාරයටය. ව්‍යවස්ථා සම්පාදන විෂයට අපට සිටි ලොකුම විශාරදයෙකු ලෙස සැලකිය හැකි ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ඒ ගැන කීවේ ශිෂ්ටසම්පන්න ලෝකයේ ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ කොතනකවත් හදිසි කටයුත්තක් ලෙස සලකා ව්‍යවස්ථා සංශෝධනයක් ඉක්මන් කළ අවස්ථාවක් තමා අසා නැති බවය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා සලකා බැලීම සඳහා තේරීම් කාරක සභාවක් පත්කරගත්තේද එම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගැනීමෙන් පසුවය. තේරීම් කාරක සභාවට ශ‍්‍රීලනිපයෙන් නියෝජිතයන් දෙදෙනකු ඇතුළත් කරගෙන තිබුණද දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටීම හේතු කොටගෙන මෙම තේරීම් කාරක සභාවට සම්බන්ධ වූයේ නැත. ඔවුන් සම්බන්ධ කරගැනීමට බලවත් උත්සාහයක නිරත වූ බවක්ද පෙනෙන්නට නැත. අවසානයේදී ව්‍යවස්ථාව සම්පාදනය කෙරුණේ ව්‍යවස්ථා සම්පාදනයකදී අවශ්‍යයෙන්ම සම්බන්ධ කරගතයුතු ජන කණ්ඩායමකගේ නියෝජිතයන් සම්බන්ධ කරගැනීමකින් තොරවය. ශ‍්‍රීලනිපයේ නියෝජිතයෝද ඉක්මනින්ම තේරීම් කාරක සභාවෙන් ඉවත්ව ගියෝය. ඉන්පසු ව්‍යවස්ථා සම්පාදනය සිදුවූයේ ඒකපාර්ශ්වික ක‍්‍රියාදාමයක් ලෙසින්ය.

ව්‍යවස්ථාමය මැල්ලූම

මහාචාර්ය කේ.එම්. ද සිල්වා ඔහුගේ ජේ.ආර්. ජයවර්ධන චරිතාපදානයේ 78 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන කියා තිබෙන්නේ එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ශ‍්‍රී ලංකාවේ එතෙක් පැවති ව්‍යවස්ථා සහ ඇමරිකන්, ප‍්‍රංශ හා බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථාවල එන විවිධාංග අපූරු ලෙස සංකලනය කරමින් ශ‍්‍රී ලංකාවේ සුවිශේෂ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස සකස් කරගත් අපූරු ව්‍යවස්ථාවක් වන බවය. ඇත්ත එය නොව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කියා තිබෙන ආකාරයට එය සැලකියයුත්තේ මනා ගැළපීමකින් තොර හා අවුල්සහගත නිමාවකින් යුතු සංකලනය කළ නොහැකි ආණ්ඩුක‍්‍රම ගණනාවක් එකට එකතු කොට තනන ලද ව්‍යවස්ථා කැඳ හැළියක් ලෙසය.

අඩංගු කරගත් දර්ශනයෙහි හා ඒ මගින් තනන ලද ආයතන ක‍්‍රමයේ සීමාසහිතකම් තිබුණා වුවද එතෙක් පැවති පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය මනා ගැළපීමක් හා ඒකාබද්ධතාවක් තිබූ ආණ්ඩුක‍්‍රමයක් විය. ආණ්ඩුකාරයාගේ තත්ත්වය බි‍්‍රතාන්‍ය ව්‍යවස්ථානුකූල රජුගේ තත්ත්වයට සමාන විය. මහජන ඡුන්දයෙන් තේරී පත්වන නියෝජිතයන් අතුරින් තෝරාපත් කරගනු ලබන අගමැති හා කැබිනට් මණ්ඩලය පාලන බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක‍්‍රියා කළේය. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට බැඳී සිටියේය. ජනතාවගේ පරමාධිපත්‍යය බලය පැවරී තිබුණු පාර්ලිමේන්තුව රාජ්‍ය බලයේ උසස්තම ආයතනය විය. ජනතාව පරමාධිපත්‍යය බලය අභ්‍යාස කළේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම සඳහා පවත්වනු ලබන මහ මැතිවරණවලදී ඡුන්දය පාවිච්චි කිරීම මගිනි. මැතිවරණවලදී තමන් කැමති ආණ්ඩුවක් තෝරා පත්කර ගැනීමේ බලය මහජනයාට තිබුණා සේ ම බලයේ සිටින ආණ්ඩුවක් පරාජය කිරීමේ බලය පාර්ලිමේන්තුවටද තිබුණේය. විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ බලයේ සිටින ආණ්ඩුවල ජනප‍්‍රියභාවය උරගා බැලෙන වැදගත් මාපකයක් ලෙස ක‍්‍රියා කළේය. බොහෝ මැතිවරණවලදී බලයේ සිටින ආණ්ඩුව පරාජය වී විරුද්ධ පක්ෂය බලයට පත්වූයේය. එම ආණ්ඩුක‍්‍රමය විරුද්ධ පක්ෂයට බලයට පත්වීමට සාධාරණ අවස්ථාවක් ලබාදෙන ක‍්‍රමයක් බව හොඳින් සනාථ වී තිබුණි. මැතිවරණ සඳහා විධිමත් නීති තිබුණු අතර එවා උල්ලංඝනය කරන්නෝ බොහෝ විට මැතිවරණ පෙත්සම්වලින් දඬුවම් ලැබුවෝය.

1978 ව්‍යවස්ථාව විසින් පාර්ලිමේන්තුවට තිබූ උත්තරීතර තත්ත්වය අහෝසි කොට ඡුන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපති රාජ්‍ය බලයේ උත්තරීතර ආයතනය බවට පත්කරමින් පාර්ලිමේන්තුව ජනාධිපතිගේ රබර් මුද්‍රාවක තත්ත්වයට පත් කළේය. ජනාධිපති රජයේ ප‍්‍රධාන විධායකයා වන අතර ති‍්‍රවිධ හමුදාවල ප‍්‍රධාන අණදෙන නිලධාරියාද වෙයි. ඔහු ආණ්ඩුවේ ප‍්‍රධානියාද ජනාධිපති වශයෙන් තමන් විසින් පත්කර ගන්නා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියාද වෙයි. ඔහු පාර්ලිමේන්තුවේ අසුන් නොගනී. පාර්ලිමේන්තුවට වගකීමට බැඳී නැත. ජනාධිපති තනතුරෙන් ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කෙරෙන දෝෂාභියෝග යෝජනාවකදී හැර පාර්ලිමේන්තුවට වුවද ජනාධිපතිවරයා විවේචනය කළ නොහැකිය. ජනාධිපති නීතියටද යටත් නැත. ඔහු කරන ලද හෝ නොකර පැහැර හරින ලද වරදක් සඳහා කිසිදු උසාවියක් ඉදිරියේ නඩු පැවරිය නොහැකිය. කැබිනට් මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාවක් මගින් කැබිනට් මණ්ඩලය ඉවත් කළ හැකි වුවද ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා වුවද ඔහුට එවැනි විශ්වාසභංග යෝජනාවක් බලපාන්නේ නැත. ජනාධිපතිවරයාට සීමිත කාලයක් සඳහා තමන් කැමති ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව කල් තැබිය හැකි අතර පාර්ලිමේන්තුවට අවුරුද්දක කාලය සම්පූර්ණවීමෙන් පසු කැමති ඕනෑම අවස්ථාවකදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිය.

නීතියට යටත් නැති පාලනයක් ඇති කිරීම

කැබිනට් මණ්ඩලය පත්කිරීමේ බලය සේ ම තමන් කැමති ඇමති තනතුරු ඕනෑම ගණනක් තමන් වෙත හිමිකර ගැනීමේ බලයද ඔහු සතුය. උසස් විනිශ්චයකාරවරුන්, තානාපතිවරුන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ බලය තිබෙන්නේද ඔහුටය. රාජ්‍ය සතු දේපළ විකිණීමේ බදුදීමේ පවරාදීමේ හා ප‍්‍රදානය කිරීමේ බලයද ඔහු සතුය. ඔහු නීතියට ඉහළින් සිටීම හේතු කොටගෙන පොදු දේපළ භාරකාරත්වයේදී ඒ බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ බලයද ඔහු සතුය. ඔහුට ලැබී තිබෙන මුක්තියේ ආවරණය ඔහු සඳහා පමණක් නොව ඔහු කැමති වෙනත් අය සඳහාද යොදාගත හැකිය. මේ ආකාරයට රාජ්‍යයේ සකලවිධ බලය ඔහු සතුය. එය කවර පාලනයකටවත් යටත් නැති පරම බලයක් ලෙස සැලකිය හැකිය.

මේ ආකාරයට ජේ.ආර්. ජයවර්ධන විසින් ඇතිකර තිබෙන විධායක ජනාධිපති ක‍්‍රමය සැලකිය හැක්කේ සමහර රටවල ක‍්‍රියාත්මක වන ආකාරයේ විධායක ජනාධිපති ක‍්‍රමයේ සම්භාව්‍ය ආකෘතියක් ලෙස නොව ශ‍්‍රී ලංකාවට පමණක් ආවේණික රස්තියාදුකාර ආකෘතියක් ලෙසය. ලෝකයේ සිටින බලවත්ම ජනාධිපති ලෙස සැලකිය හැක්කේ ඇමරිකන් ජනාධිපතිය. එහෙත් ඇමරිකන් ජනාධිපතිද නීතියට යටත්ය. ව්‍යවස්ථාවට පටහැනි ඔහුගේ ඕනෑම නියෝගයක් හෝ ක‍්‍රියාවක් බලරහිත කිරීමේ බලය ඇමරිකන් ශ්‍රේෂ්ඨාධිකරණය සතුය. ඇමරිකන් ජනාධිපතිට තමන් කැමති අවස්ථාවකදී කොංග‍්‍රසය විසුරුවා හැරිය නොහැකිය. ධුර කාලය අවසන් වන තෙක් තමන් කැමති අවස්ථාවක ජනාධිපතිවරණයක් පැවැත්විය නොහැකිය. ඇමරිකාවේ උසස් තනතුරු සඳහා පුද්ගලයන් පත්කරනු ලබන්නේ ජනාධිපති වුවත් එසේ පත්කරන පුද්ගලයන් දැඩි ලෙස පරීක්ෂාවට ලක් කොට නුසුදුසු පුද්ගලයන් සිටී නම් එම පත්වීම් අනුමත නොකිරීමේ බලය කොංග‍්‍රසය සතුය.

ජේ.ආර්. ජයවර්ධනගේ 78 ව්‍යවස්ථාව ආණ්ඩුක‍්‍රමයක් තුළ සංවරණය හා තුලනය සඳහා තිබිය යුතු සංවිධාන ක‍්‍රම නොසලකා ජනාධිපති නීතියට යටත් නැති තත්ත්වයකට පත් කිරීමෙන් නොනැවතී ඔහුට අතිවිශාල අත්තනෝමතික බලයක් ලබාදීමේ අරමුණින් සකස් කරන ලද ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. ඇමරිකන් ව්‍යවස්ථාව සැලකෙනුයේ මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යොදාගත් ව්‍යවස්ථාවක් ලෙසය. මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය අනුව නීති සම්පාදනය, ඒවා ක‍්‍රියාත්මක කිරීම හා විනිශ්චය කිරීම එකිනෙකට ස්වාධීන බලමණ්ඩල තුනක් අත තිබිය යුතුය. එම බලමණ්ඩල සකස් වියයුත්තේ එක බලමණ්ඩලයකට අනෙක් බලමණ්ඩල ග‍්‍රහණයට ගත නොහැකි ආකාරයටය. ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව මොන්ටෙස්කියුගේ බලතල බෙදීමේ සිද්ධාන්තය කණපිට හරවන ලද ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකිය. එය සකස් කර තිබෙන්නේ විධායකයට, ව්‍යවස්ථාදායකයට හා අධිකරණයට ඉහළින් සිටිමින් ඒ බලමණ්ඩල දෙකම සිය ග‍්‍රහණයට ගතහැකි ආකාරයටය.
ව්‍යවස්ථාමය කෝණයකින් බලනවිට 78 ව්‍යවස්ථාව ඉතාමත් ප‍්‍රතිගාමී හා පසුගාමී ව්‍යවස්ථාවක් ලෙස සැලකිය හැකි වුවද මානව හිමිකම් හා සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් යන කෝණයෙන් බලන කල එය කොල්වින්ගේ ජනරජ ව්‍යවස්ථාවට වඩා ඉදිරිගාමී ව්‍යවස්ථාවක් වීයැ’යිද කිව හැකිය.
ව්‍යවස්ථා සම්පාදනයට දෙමළ නියෝජිතයන් සම්බන්ධ කරගැනීමක් සිදුවී නොතිබුණද එම ව්‍යවස්ථාව දෙමළ ප‍්‍රශ්නයට විසඳුම් ලබාදීමට උපරිම උත්සාහයක්ද දරා තිබෙන බව කිව යුතුය.

ඔහු සිංහල භාෂාවට හා බුද්ධාගමට ලබාදී තිබුණු ප‍්‍රමුඛතාව ඉවත් කළේ නැතත් සිංහල නොවන බෞද්ධ නොවන සුළු ජනයාගේ තත්ත්වය උසස් මට්ටමකට ගැනීමට සියුම් උත්සාහයක යෙදී තිබෙන බව පැහැදිලිව දැකිය හැකිය. ඒ අනුව තවදුරටත් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව ලෙස පවත්වාගෙන යන අතර (18 වැනි වගන්තිය) දෙමළ භාෂාව ජාතික භාෂාවක් ලෙස පිළිගත්තේය. (19 වැනි වගන්තිය (14 (i) B)වගන්තියෙන් තමන්ගේ භාෂාව පාවිච්චි කිරීමේ නිදහසද තහවුරු කළේය. 27 (6) වගන්තිය මගින් ‘‘කිසිදු පුරවැසියකු භාෂාව නිසා කිසිදු දුෂ්කරතාවකට භාජනය නොවිය යුතුය.’’ කියන ප‍්‍රතිපත්ති රාජ්‍ය ප‍්‍රතිපත්තියක් බවට පත් කළේය.

වෙනම දෙමළ රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් කරන තැනකට තල්ලූවී යමින් සිටි සටන්කාමී දෙමළ තරුණ පරපුර යළි යථාර්ථවාදී තැනකට ගැනීමට තරම් ජයවර්ධනගේ එම ප‍්‍රතිසංස්කරණ ආකර්ෂණීය නොවූ බවද කිව යුතුය.