රාවය

චීවරය අපරාධයට බලපත‍්‍රයක් ද?

චීවරය අපරාධයට බලපත‍්‍රයක් ද?

 

බුද්ධ චීවරය දරන්නට නම් ඒ සඳහා සුදුසුකම වන ප‍්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය හෙවත් චීවරය දැරීමට අවශ්‍ය වන නීති රීති රකින්නට හැකි විය යුතු ය. එහි තේරුම එවැනි ශීලයක්, නීති රීති රකින්නට නොහැකි පුද්ගලයකු බුද්ධ චීවරය නොදැරිය යුතු බව ය. කෙසේ වෙතත්, බුදුදහමේ එන පරිදි අරහත්, අනාගාමී, සකෘදාගාමී හෝ සෝවාන් පලයට පත් වූවා යැ’යි කියන පුද්ගලයකුගේ මට්ටමෙන් චීවරය දැරීමට අවශ්‍ය සංවරයක්, ශීලයක් සමකාලීන භික්‍ෂුවකගෙන් බලාපොරොත්තු වීම අසාධාරණ ය. එය පිළිගත හැකි තත්ත්වයකි. අනෙක් අතට, ඒ ශීලයේ තරම මැන ගැනීම ඒ ඒ භික්‍ෂුව අයත් සංඝ සංස්ථාවට අයත් කාර්යයකි.

එහෙත්, ඒ සෑම භික්‍ෂුවක ම රටේ නීතියට යටත්විය යුතු ය යන්නට විවාදයක් තිබිය නොහැකි ය. රටේ සෑම භික්‍ෂුවක ම, පැවිද්දකු ම ගිහි ජනතාව මෙන් ම රටේ නීතියට එක හෙළා යටත් විය යුතු ය. ගරු කළ යුතු ය.

ප‍්‍රාතිමෝක්‍ෂ සංවර ශීලයට තබා රටේ පොදු නීතියට වත් යටත් නැති කලහකාරී භික්‍ෂු සංඝයක් දැන් රටේ සැරි සරයි. වරින් වර තැන් තැන්වලට බලහත්කාරයෙන් කඩා පනියි. ගිහියනට පමණක් නොව භික්‍ෂූන්ට ද මරණ බිය ඇති කරයි. තිරිසනුන්ට කරන ආමන්ත‍්‍රණයන්, හැඳින්වීම් මිනිසුන් සඳහා යොදයි. අනෙක් ආගම්වලට අගෞරව කරයි. ආගමික නායකයන්ට, ආගමික ඉගැන්වීම්වලට අපහාස කරයි. ආගමික අන්තවාදය වපුරයි. ආගමික ගැටුම් සඳහා මිනිසුන් උසි ගන්වයි.

පසුගිය සතියෙක ඔවුහු කොළඹ පැවැති මාධ්‍ය සාකච්ඡුාවකට කඩා පැන තමන්ගේ ම්ලේච්ඡුත්වය ලෝකයටම ප‍්‍රදර්ශනය කළෝ ය. මාධ්‍ය සාකච්ඡුාවට සූදානම් ව එහි සිටි වටරැුක විජිත නම් තවත් භික්‍ෂුවකට අතින් පයින් මරණ බිය ඇති කළෝ ය. සාමණේර භික්‍ෂූන්ට පරිභව කළෝ ය. එහි සිටි මුස්ලිම් ආගමික නායකයන්ට පරුෂ වචනයෙන් පෙළා කතා කොට පලවා හැරියෝ ය. ඉන්පසු මහියංගණයට ගොස් වටරැුක විජිත හිමියන්ගේ ශරීරය ඉල්ලමින් ප‍්‍රාදේශීය සභාව ඉදිරියේ කලහ කළෝ ය. වටරැුක හිමියන් එහිදී සිය ජීවිතය බේරා ගන්නට මර බියෙන් දිව ගිය හැටි දැන් රටේ ජනතාව දෑසින් දැක තිබේ.
ඉන්පසු පසුගිය බදාදා ඔවුහු කොළඹ අමාත්‍යාංහයකට කඩා වැදුණාහ. එහි කාමරයක් කාමරයක් පාසා බලහත්කාරයෙන් පරීක්‍ෂා කරමින් ගමන් කළහ. ඊට එරෙහි ව නීතිය ක‍්‍රියාත්මක කරන්නට ආ පොලිසියේ නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන අපහාස කළහ. ඒ අතර සමහර පොලිස් නිලධාරීන් යටහත් පහත් ව රිසි සේ නීතිය කඩන්නට මේ භික්‍ෂූන්ට පහසුකම් සැපයූ බවත් සටහන් කර තැබිය යුතු ය. මේ සියල්ල වටරැුක විජිත හිමියන් එහි සඟවා සිටිතැ’යි සැකය නිසා ය. එවැනි සැකයක් තිබූ පමණින් රජයේ අමාත්‍යාංශයකට පැන රිසි සේ බලහත්කාරකම් පා ඔබමොබ යන්නට මේ පිරිසට ඇති හැකියාව කුමක්ද?
මේ කතා කරන්නේ භික්‍ෂු ශීලය ගැන නොවේ. රටේ නීතිය ගැනය. පසුගිය කාලය පුරා ම මේ භික්‍ෂු පිරිස, රටේ නීතියට අනුව පැහැදිලිව ම අපරාධ ලෙස සැලකිය යුතු ක‍්‍රියාවල ප‍්‍රසිද්ධියේ ම නියැළෙමින් සිටිති. අන්‍යයන්ට අඩන්තේට්ටම් කිරීම්, මරණ තර්ජන කිරීම්, ස්ථානවලට බලහත්කාර ඇතුළුවීම්, ආගමික හා ජාතික අසමගිය ඇති කරන උසි ගැන්වීම් කිරීම්, අන්‍යාගම්වලට අපහාස කිරීම්, මහජන සාමයට හානි කිරීම් ඉන් කිහිපයකි. එහෙත් ප‍්‍රශ්නය මේ කිසිදු අවස්ථාවක දී වත් රටේ නීතිය මේ කලහකාරී භික්‍ෂුන්ට එරෙහිව ක‍්‍රියාත්මක නොකිරීම ය. ඒ බොහෝ අවස්ථාවල දී නිහඬව සිටින හෝ ඔවුන්ට හැම අතින් ම අනුග‍්‍රහය සපයන පොලිසියකි අප දකින්නේ. එහි රහස කුමක් ද?

විය හැකි එක ම දෙය මොවුන් විෂයයෙහි නීතිය ක‍්‍රියාත්මක කරන්නට පොලිසියට ඉඩ නොදෙන බලයක් ඉහලින් සිට ක‍්‍රියාත්මක වීම යි. මේ නීති විරෝධී හැසිරීම ඒ බලය විසින් අනුමත කැරෙන බවත්, ඔවුන් හැසිරෙන්නේ එහි අනුදැනුම මත බවත් සමහර අවස්ථාවල දී නිරුවත් ව පෙනෙයි. එවැනි තැනක දී පොලිසියට බල කැරෙන්නේ නිහඬ ව සිටින්නට ය. නැතහොත් කලහකාරීන්ට සහාය දෙන්නට ය.

රටේ මාධ්‍ය පවා මේ කලහකාරී භික්‍ෂූන් ගැන වාර්තා කරන්නේ ඔවුන් සමාජයට අත්‍යවශ්‍ය කාර්යභාරයක් කරන්නේ ය යන අදහස පේළි අතර සටහන් වන පරිද්දෙනි. ඒ මාධ්‍ය භාවිතාවෙන් පෙනෙන්නේ, මේ භික්‍ෂූන් තරමට ම අපේ රටේ මාධ්‍ය බහුතරයක් ද අන්තවාදී බව ය. ජාතිවාදී, ආගම්වාදී බව ය. අනෙකාගේ රුධිරය ඉල්ලන බව ය. අනෙකා නැති සිංහල බෞද්ධ සමාජයක් ලංකාව තුළ ප‍්‍රාර්ථනා කරන බව ය.