රාවය

කිනිහිරේ දිවිසැරිය

කිනිහිරේ දිවිසැරිය

ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් මිටිපාර කරකැවිලා එන්නේ දෙන්නගේ ඔළුවලට.
දෙන්නෙක් එක්ව යකඩයක් හෝ වානේ කෑල්ලක් තුනී කිරීම රිද්මයානුකූල වැඩකි. අපිට පැත්තක සිට බැලූ බැල්මට පෙනෙන්නේ යකඩය තුනී කරන එනම් යකඩය තලා ගන්නා දෙදෙනාම සිය මිටි හා තුනී කිරීමට බඳුන්වන යකඩයේ කෙළවර තදකොට අල්ලාගෙන සිටින බවකි. එහෙත් ඔවුහු ඒ දෙකම තදකොට අල්ලා නොගනිති. මිටි මෙන්ම යකඩයද සැහැල්ලූවෙන් අල්ලාගෙන සිටින ඔවුන් එසේ කරන්නේ සීරු මාරු මිටි ප‍්‍රහාරයකදී ඉලක්කය වැරදී ගියහොත් මිටි මෙන්ම යකඩය පැත්තකට විසිවී යාම පහසු කරනු පිණිසය.

නවරත්නගේ කිනිහිරේ ගිනි මලක් පිපී තිබුණි. එය ගිනියම් වූ හිරමණා තලයකි. නවරත්න සීරුවෙන් තලමින් එය තුනී කර ගනියි. ගිනියම්ව තිබුණු ගිනිමල කෙමෙන් නිවී යයි. අනතුරුව ඇත්තේ හිරමණ තලයේ දැති ටික නිසි පරිදි කැති පීරෙන් පීරිගා ගැනීමය. ඊටත් පසුව අසල තිබුණු කම්මල් ඔරුවේ ඇති සිසිල් දියෙහි බහා හිරමණා තලයට පණ තබා ගැනීමය.

ප‍්‍රශ්න දෙකක්

අපි සිටියේ උතුරු වෑබඩ නවරත්නට අයිති පාරම්පරික කම්මලේය. වෑබඩට කිට්ටුම නගරය උඩුපිලය. කම්මල් කෙමෙන් වැසී යන අවධියක සිය පාරම්පරික වෘත්තියෙහිම නිමග්න නවරත්න ඇතුළු වෑබඩ කම්මල්කරුවෝ මේ වනවිට බරපතළ ප‍්‍රශ්න තුනකට මුහුණපා සිටිති. එකක් නම් කැති, පොරෝ, තල, පිහියා, ගල්ඉනි ආදී වශයෙන් වූ නිෂ්පාදනවලට නිසි වෙළෙඳපොළක් නොමැතිකමය. දෙවැන්න මෙම නිෂ්පාදන සඳහා අවශ්‍ය වානේ මිල ඉහළ යෑමය. තෙවැන්න සමස්ත වෘත්තියම අනතුරෙහි වැටෙන එකක් වන අතර එය නම් ඔවුන්ගේ තරුණ පරම්පරාව කම්මල් කර්මාන්තයට දෙවරක් නොසිතා පිටුපෑමය. පළමුවැනි සහ දෙවැනි ප‍්‍රශ්නවලට ඍජුව බලපාන කාරණය වී තිබෙන්නේ වානේ මිල පිළිබඳ ප‍්‍රශ්නයයි. වානේ කිලෝ එකක වර්තමාන මිල රු. 150/-කි. අලවංගු නිෂ්පාදනය සඳහා භාවිත කරන ජම්පර් ස්ටීල් නමැති වර්ගයෙහි අඩියක මිල රු. 190කි. මේ නිසා සාමාන්‍ය මට්ටමේ වානේ පිහියක මිල රු. 450/-ක්ද, කැති තලයක් රු. 700/-ක්ද, පොරෝ තලයක් රු. 600/-ක් පමණද වෙයි. ප‍්‍රමිතියෙන් තොර භාණ්ඩ මීට වඩා අඩු මිලට වෙළෙඳපොළෙන් ගතහැකි නිසා වානේවලින් තැනූ ප‍්‍රමිති නිෂ්පාදන පිළිබඳව ඇති ඉල්ලූම අවම වී තිබේ. ඊට අමතරව ඉන්දියාවේ නිෂ්පාදිත හැඩවැඩ දැමූ පිහි වර්ග ලංකාවට ආනයනය කිරීමද සාම්ප‍්‍රදායික කම්මල්කරුවන්ගේ වෙළෙඳපොළ අර්බුදය උග‍්‍ර කරන්නක් වී තිබේ. වෑබඩ ගමෙහි පවුල් හාරසියයක් අතරින් බහුතරය කැති පිහියා නිෂ්පාදනයෙහි යෙදෙන අතර ඒ බහුතරය මයිනහම වෙනුවට ඉලෙක්ටි‍්‍රක් මෙවලම් භාවිත කරයි. එහෙත් නවරත්න පාරම්පරික උරුමය වූ මයිනහමත් කිනිහිරයත් අත් නොහැර තවදුරටත් සිය කර්මාන්තය ගැන අපේක්ෂා වඩවයි.

මල්හාමිගේ ඔරුව

නවරත්නගේ කම්මලේ පසෙක කුඩා ගල් ඔරුවක් තිබුණි. පිහි, කැති, මන්නා, පණ පෙවීම සඳහා භාවිත කළේ මෙම කම්මල්ඔරුවේ වතුරය. ඔරුවේ පිටපැත්තේ යූ.ඒ. මල්හාමි යනුවෙන් කොටා තිබුණු අතර මල්හාමි, නවරත්නගේ මුත්තා එනම් පියාගේ සීයා බව හෙතෙම කියයි. යූ.ඒ. යනු උග්ගල්ල ආචාරිගේය. මල්හාමිගේ භාවිත ප‍්‍රකට නාමය වූයේ මනුවෙල් නයිදේය. මෙම ගල්ඔරුව වසර තුන්සියයක්වත් පැරණියැ’යි සිතිය හැකි වන අතර උග්ගල්ල ආචාරිගේ පරම්පරාව කෝට්ටේ රාජ්‍යය හා සමීප සබඳතා පැවැත්වූවෝ වෙති.

කෝට්ටේ යුගය

කෝට්ටේ යුගය 1415-1597 කාලය දක්වාය. අතීත තොරතුරුවලට අනුව වෑබඩ 1521න් පසු කාලය තුළ කෝට්ටේ රාජ්‍යයේ අවශ්‍යතාවක් මත ස්ථාපිත කළ ගමක් ලෙස සැලකෙයි. වෑබඩ නිර්මාණය වන්නේ වැවබඩ ඇසුරිණි. වෑබඩ දකුණු දෙසට වන්නට අදත් වැවක අඩකිනුත් අර්ධයක් දක්නට ලැබෙන අතර බොහෝ දුරට එය මේ වනවිට ගොඩවී ඇති අයුරු දිසේ. වැව බඩ වෑබඩ වූ බව ගමේ පැරැුන්නෝ පවසති. එමෙන්ම වෑබඩ ගලේ පන්සල යනුවෙන් හැඳින්වෙන විහාරස්ථානයද කෝට්ටේ යුගයට අයත් පන්සලකි. සැළලිහිණියේ හා මයුර සඳෙසේ ¥ත මෙහෙවරේදී කෝට්ටේ සිට පද්මාවතී පිරිවෙනට යන ගමනේදී වෑබඩ හමුවෙයි. සංදේශ කාව්‍යයන් ලියවුණු ඒ අවධිය වනවිටත් වෑබඩ කෝට්ටේ රාජ්‍යයේ ප‍්‍රකට සලකුණක් වූ බව ඉන් හෙළිවෙයි.

ගල් ගාන මුතු අප්පුලා

හොන්නන්තර දොන් වීරසිංහ ගල්ගාන මුතු අප්පුලාගේ පරම්පරාවේ මුල්ගම කළුතර කළමුල්ලට කිට්ටුව තිබෙන උග්ගල්ලය. ගල්ගාන මුතු අප්පුලාගේ පම්පරාව ලෝහවැඩ, රිදී වැඩ, තඹ කර්මාන්තයෙහි නිපුණයෝ වෙති. දහසය වැනි සියවසෙහි කෝට්ටේ රජ කළ හත්වැනි බුවනෙකබාහු රජුගේ (1521-1550* සමයේ උග්ගල්ලේ විසූ මුතු අප්පුලාගේ පරම්පරාවේ කිහිපදෙනකු සුවිශේෂ හේතුවක් මත වෑබඩ පදිංචි කැරුණි. ඊට බොහෝ දුරට හේතු සාධක වූ බව දැනගන්නට ලැබෙන්නේ 1505න් පසුත් අනතුරුව එළැඹෙන බුවනෙකබාහු රජු සමයේදීත් පෘතුගීසි ආක‍්‍රමණ බලවත්වීමය. එනම් යුද්ධයට අවශ්‍ය අවි ආයුධ නිපදවුණු රහසිගතව ගොඩනැගූ ගමක් ලෙස වෑබඩ සැලකිය හැකිය. වෑබඩ වර්තමාන භූ පිහිටීම ගත්තත් උඩුපිල කිරිඳිවැල, වැලිවේරිය, දෙල්ගොඩ, ඇඹරලූව වැනි ගම්මාන රැුසකට මැදිව වෑබඩ පිහිටියේ වෙයි.

කම්මල්කාර අයියා මලෝ

මුල්වරට එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වෑබඩ පදිංචි වූ බව ගමෙහි පැරැුන්නන්ගේ විශ්වාසයයි. එම කාලය නිශ්චිතවම කිවනොහැකි අතර පළමුව ඔවුන් වැව බැඳ වර්තමානයේදී ගලේ පන්සල යනුවෙන් හැඳින්වෙන විහාරස්ථානය ඉදිකර තිබේ. අනතුරුව ලෝහ කර්මාන්තයෙහි නිරත වූ බව ප‍්‍රකටය. මෙම දෙසොහොයුරන් කළුතර උග්ගල්ලෙන් පැමිණි නිසා පසුකාලීනව උග්ගල්ල ආචාරිගේ යන වග වාසගම පටබැඳුණු අතර අපට හමුවූ නවරත්නගේ නමෙහි මුලට යූ.ඒ. ලැබෙන්නේ ඒ අනුවය. ඔහු කියන පරිදි තමන් එම මුල් දෙසොහොයුරන්ගේ වැඩිමලාගේ පරම්පරාවේ අයකු වන අතර බාල සොහොයුරාගෙන් පැවත එන්නෝද ඒ ආසන්නයේ පදිංචි වී සිටිති. දැනට නවරත්න කම්මල් කර්මාන්තය සඳහා භාවිත කරන මයිනහම සකස් කර ඇත්තේ එකී බාල සොහොයුරාගේ පරම් පරාවේ කෙනෙකි.

මයිනහම

මයිනහම හරි අපූරු උපකරණයකි. වටිනා පියානෝවක ඕවලාකාර පෙදෙස බඳු ස්ථානයකින් මයිනහමෙහි මූලික ක‍්‍රියාවලිය සිදුවෙයි. එනම් සුළං නිපදවාදීමය. මයින හමෙහි මෙම කොටස සෑදීම සඳහා පදම් කළ හරක් සම් පහක් පමණ අවශ්‍ය වන අතර ඕවලාකාර හැඩැති ලී පට්ටම්වලට හරක් සම් තබා ඇණ ගසා බෙරයක් බඳු අභ්‍යන්තරයකින් යුතුව මෙම මෙවලම සාදා ගනියි. එම ඕවලාකාර සැකැස්ම ඇතුළත සුවල්දරය නමින් යුත් පැනල් රෙදි ගසා සෑදූ පියනක් ඇත. මයිනහමකට සුවල්දර දෙකකි. ඊට අමතරව ඕවලාකාරය ඇතුළත ලීයෙන්ම සෑදු දුනු දෙකක්ද තිබේ. පියනක් බඳු සුවල්දරය දැව පියනක් ඇරෙන වැසෙන හඬින් එම ක‍්‍රියාවලියම සිදුකරන උපකරණයකි. එය ඇරෙන්නේ වැසෙන්නේ සුළං නිපදවා දීම සඳහාය. සුවල්දොර තොල් වැනිය. තොල් වසා අරින විට හුළං පිටවන ආකාරය මෙහිදී සිහියට නගාගත හැකිය. හුළං නිපදවීමට උපකාරීවන්නේ හම්පොල්ල නමින් යුත් සාමාන්‍ය මිනිසකුගේ උසට වඩා අඩි දෙකක් පමණ උසින් ඉහත ඕවලාකාර කොටසට සවිකර ඇති ලී ආධාරකය ඉහළ පහළ ඇදීමෙනි. ඕවලාකාර කොටසින් ලබාදෙන සුළං එහි කෙළවරට සම්බන්ධ යකඩ බටයක් දිගේ හම්පොල්ල අදින ස්ථානයේ මයිනහමට සමාන්තර උසකින් ඇති ‘උෂ්ණය’ වෙත වේගයෙන් ළඟාවෙයි. උෂ්ණය හා මයිනහම කෙටි වරිච්චි බිත්තියකින් වෙන්ව එහෙත් එකිනෙකට සම්බන්ධව තිබේ. උෂ්ණය තුළ ඇති පොල්කටු අඟුරු ඇවිලෙන්නේ මෙසේ එන සුළං පහරිනි. උෂ්ණය යනු යකඩය හොඳින් රත්කරගන්නා ස්ථානයයි. කිනිහිරය ඇත්තේද උෂ්ණය අසලය. එය සකස් කර ඇත්තේ මිනිසකු සිටගත් විට ඉනහරියට වන්නට පිහිටන පරිදි සිටවූ කිනිහිරි කොටය මතය. රත්වූ යකඩය නිවෙන්නට පෙර තලාගන්නේ මේ කිනිහිර මතදීය.

නවන්දන්නෝ

යකඩ පිළිබඳ දැනුම භාරතයේ අතිපුරාතන යුගයට අයත් බව ආනන්ද කුමාරස්වාමි මහතා මධ්‍යකාලීන සිංහල කලා කෘතියෙහි දක්වයි. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන පරිදි වානේ සාදන්නෝ නවන්දන්නෝය. ඔවුන් තමන්ට අවශ්‍ය යකඩ මුදල් පිණිස සපයන යමන්නන්ට වඩා උසස් කුලයකට අයත්ය. වානේ සාදනු ලබන්නේ දිග අඟල් 8ක් පමණද විශ්කම්භය අඟල් 2ක් පමණද වූ ඝනකම අඟල් කාලක් වූද මැටි කෝවවලය. යකඩ රත්කර සංකීර්ණ ක‍්‍රියාවලියකින් වානේ තනා ගන්නා ආචාරින්ගේ ප‍්‍රධාන කාර්යය නම් අවි ආයුධ හා ගොවි උපකරණ තැනීමයි.

එකිනෙක රාජකීය ගබඩා ගමට ආචාරියකු බැගින් පත් කළ බවත් නිල පංගුකාරයන්ට අවශ්‍ය ආයුධ තැනීම ඔහුගේ කාර්යය බවත් කුමාරස්වාමි දක්වයි. එකිනෙක ගබඩා ගමේ නිලපංගුකාරයන්ට අනෙකකු වෙත නොව තම ආචාරියා වෙතම යෑමට නියම කරනු ලැබූ හෙයින් මේ ආචාරීහු සුරක්ෂිත වූහ. නිලපංගුකාරයන් වනුයේ බොහෝ විට රජයේ අදිකාරම් වැනි තනතුරු දරන්නන්ය. වසරකට දෙවතාවක් පෙනුම් දැකුම් වශයෙන් ගිරය හා හොඳ පිහියක් බැගින් නිලපංගුකාර පාර්ශ්වය වෙත ආචාරීන් විසින් ඔප්පු කිරීම ප‍්‍රමාණවත්ය. නැතහොත් ගිරයක් හිරමණයක් හෝ කතුරක් ඔප්පු කිරීම උචිතය. වෑබඩ ආචාරීන්ගේ වත් පිළිවෙත්ද මීට වෙනස් විය නොහැකිය. කුමාරස්වාමි දක්වන පරිදි නිල පංගුකාරයන් වෙතින් වෑබඩදීද ආචාරි පරම්පරාව ආරක්ෂාව ලද බව පරිසර සාධකවලින්ද ඔප්පුවෙයි.

වැඩකාරයින් නැත

මේ වෙනකොටත් පාරම්පරික ක‍්‍රම නැහැ. මහදේවල් නෙවෙයි, කරත්තයක ගරාදියක් ගහගන්න බැහැ. වානේ කෑල්ල කපලා නම් කැත්තෙ හැඬේ ගන්නෙ එහෙම ආචාරින්ගේ වැඩක් නැහැ. මේක වෙනම කලාවක්. කරත්තෙකට නියම විදියට පට්ටමක් ගහන එක, කැත්තකට හැඩයක් දෙන එක ඒකට ආවේනික කලාවක්. උග්ගල් ආචාරිගේ නවරත්න නම්වූ පාරම්පරික කම්මල් වෘත්තිකයා තම විෂය ප‍්‍රදේශය නිරීක්ෂණය කරන්නේ කලාකාමී ඇසකිනි. හෙතෙම නගුලට අවශ්‍ය තල සංයුතිය කපා පිහිටුවීමටද අතිදක්ෂයෙකි. නගුල් මල, හීවැල සහ කන එහි ප‍්‍රධාන අංග බවත් ඒවා කපා සවි කිරීම සූක්ෂ්ම වැඩක් බවත් හෙතෙම වැඩිදුරටත් කීවේය.

පේ‍්‍රමසේන සහ චන්ද්‍රදාස

පේ‍්‍රමසේන සහ චන්ද්‍රදාස වෑබඩ පදිංචිකරුවෝ වෙති. පේ‍්‍රමසේන පාරම්පරික කම්මල් භූමිකාවෙන් ඉවත් වී විද්‍යුත් උපකරණවලින් කර්මාන්තයේ නියැලෙයි. මයිනහම වෙනුවට ඔහු භාවිත කරන්නේ බ්ලෝවරයකි. කිනිහිරය වෙනුවට ඇත්තේ යකඩ කුට්ටියකි. පේ‍්‍රමසේන හදන අඩි දෙකේ දිග වකය සහිත මාළු කපන මන්නයක මිල රු. 1400කි. චන්ද්‍රදාස මේ වනවිට කම්මල් කෙරුවාව නවත්වා පිහියා, කැති, පොරෝ, උදලූ තල විකිණීමෙහි නිරත වෙයි. ඔහු කර්මාන්තයෙන් විතැන් වූයේ වානේ මිල ඉහළයෑමත්, නිෂ්පාදන සඳහා ඒ සා ඉල්ලූමක් නොමැතිවීමත් වියපත්වීම නිසා තවදුරටත් මහන්සි වී යකඩ සමග හැපෙන්නට තිබෙන නොහැකියාවක් නිසාය.

නව පරපුර

මුං මෙතනට එන්නෙ වැඩ ඉගෙන ගන්න නෙවෙයි. මගේ අඬුවක් හරි මොකක්හරි කඩල යන්නයි. සෙල්ලම් වයසේ පසුවන තම මුණුබුරන් දෙසට අත දිගු කළ නවරත්න එසේ කීවේය. සැබැවින්ම බොහෝ පාරම්පරික වෘත්තීන්ට යන කල දවසම කම්මල් කර්මාන්තයටද යමින් තිබේ. තරුණ පරම්පරාවේ කිසිවකුත් මේ රාජකාරියට බසින්නේ නැත. නවරත්නගේ ගේ තුළ හොණ්ඩර 4 1/2ක් පමණ බරැුති කිනිහිරයක් තිබේ. එයින් කොපමණ වැඩ අරන් ඇත්දැ’යි ප‍්‍රත්‍යක්ෂ කරගත හැක්කේ කිනිහිර මත යකඩ තලන කලාපය වක්වී තිබෙන ස්වරූපයෙනි. නවරත්න කීවේ එය සීයලා මුත්තලා පාවිච්චි කළ කිනිහිරය වන බවය.

ඒත් මගෙන් එහාට මේක කරන්න කෙනෙක් නෑ. මං තමයි වෑබඩ අන්තිම පාරම්පරික කම්මල්කාරයා.
නවරත්න අන්තිමට එසේ කීවේ මහත් දුකකින් නම් නොවේ. එක්තරා උපේක්ෂාවක් පෙරදැරිවය. ඒ උපේක්ෂාව හා නොසැලෙන ස්වභාවය ඔහුට ලැබුණේ වානේ ඇසුරින්ම විය හැකිය.