රුහුණු කතරගම දේවාලයට ඡන්දයක් නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

 

අවසන් වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයන්හිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහජනයා වෙත යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ යැයි කියන්නේ කොහොමද යන්නය. ඊට හේතු වූයේ ඒ වන විට ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ ශී‍්‍ර ලංකාවට එරෙහිව යෝජනාවක් සාකච්ඡුාවට ගැනෙමින් පැවතීමත් ඒ තුළින් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ගති ලක්ෂණ ප‍්‍රශ්න කරමින් පැවතීමත්ය.

මහජනයා වෙත යොමු කළ ඉහත ප‍්‍රශ්නයට ජනාධිපතිවරයාගේ පිළිතුර වූයේ නියමිත පරිදි රටේ මැතිවරණ පවත්වන බවත්, ඒ තුළින් මහජනයාට තමන් කැමති පාලකයන් තෝරාපත්කර ගැනීමට ඉඩප‍්‍රස්ථා ඇති බවත් ඒ නිසා රටේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදයක් නැති බව කියන්නට කිසිවකුට බැරි බවත්ය.
කල් දැමීමකින් තොරව පමණක් නොව නියමිත කාලයට පෙර ද පසුගිය කාලයේ මැතිවරණ පැවැත්වූ බව අප දන්නා සත්‍යයකි. ඒ සඳහා හේතුවූයේ මහජනයාට තමන් කැමති පාලකයන් තෝරාපත්කර ගැනීමට අවස්ථාව සලසාදීම නොව ජනමතය තමන්ට වාසිදායක මොහොතක මැතිවරණ පවත්වා බලය තහවුරු කර ගැනීමය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා රටේ මැතිවරණ නියමිත කාලයට පවත්වනවා යැයි කියන හා නියමිත කාලයට පෙර මැතිවරණ පවත්වන ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ රාජපක්ෂ පවුල එක් ඡුන්දයක් සඳහා වසර ගණනාවක් තිස්සේ බියෙන් සංත‍්‍රාසවී සිටිති. ඒ රුහුණු කතරගම මහා දේවාලයේ හෙවත් කතරගම දේවාලයේ ඡුන්දය පැවැත් වීම සම්බන්ධයෙන්ය.

රුහුණු කතරගම මහා දේවාලයේ ගිහි භාරකරුවා වන බස්නායක නිලමේ වරයා අවසන් වරට තෝරාපත්කර ගෙන ඇත්තේ 2006 වසරේ මාර්තු 17 වැනිදා සිට කි‍්‍රයාත්මක වන පරිදිය. විහාර දේවාලගම් ආඥාපනත අනුව එම පනත යටතට වැටෙන දේවාලයක ඡුන්දයෙන් පත්වන බස්නායක නිලමේ වරයකුගේ ධුරකාලය අවුරුදු පහකි. ඒ අනුව රුහුණු කතරගම මහා දේවාලය සඳහා ඊළ`ග ඡන්දය පැවැත්විය යුතුව තිබුණේ 2011 වසරේ මාර්තු මාසයේදීය. එහෙත් 2014 වර්ෂයේ අපේ‍්‍රල් මස වනවිට ඉන් වසර තුනක කාලයක් ඉකුත්වීත් රුහුණු කතරගම මහා දේවාලයට බස්නායක නිලමේවරයකු තෝරා පත්කර ගැනීම සඳහා නියමිත කාලයට පෙර කෙසේ වෙතත් නියමිත කාලයටවත් ඡන්දයක් ලබාදී නැත.

ජනාධිපතිවරයාට ඇති බලතල යටතේ ඔහු එම දේවාලයේ ඡුන්දය වසරින් වසර කල් දමමින් සිටී. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට අනුව අවසන් වරට එම ඡුන්දය කල් දමා ඇත්තේ 2014.03.16 දින ජනාධිපතිවරයා ලබාදුන් නියෝගය පරිදිය. ඒ අනුව එම නියෝගය තව වසරක කාලයක් හෙවත් 2015 වර්ෂයේ මාර්තු 16 දින දක්වා වලංගු වන්නේය. එහි අදහස නියමිත දිනෙන් වසර හතරක කාලයක් යන තෙක්ම රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා ඡුන්දයක් නොලැබෙන බවය. 2015 වසරෙන් පසු තවත් වසරක කාලයක් සිය බලතල යටතේ ජනාධිපතිවරයා එම ඡුන්දය කල් දමනු ලැබුවහොත් වසර පහක් ධුර කාලයකට ඡුන්දයෙන් තේරී පත්වී වසර දහයක කාලයක් හෙවත් ධුරකාල දෙකක් ධුරය දැරීමේ වාසනාව එහි වත්මන් බස්නායක නිලමේවරයාට හිමිවනු ඇත.

දැනට මෙම වාසනාව ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් හිමිවී ඇත්තේ ඔහුගේ වැඩිමල් සහෝදරයා වන කථානායක චමල් රාජපක්ෂගේ පුත් ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂටය. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයට වසර පහකට ඡුන්දයෙන් තේරී පත්වූ ඔහු සිය බාප්පා වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පිහිටෙන් ධුර කාලයෙන් පසුව තවත් වසර හතරක් ධුරය දැරීම සඳහා වාසනාව හෙවත් ජනාධිපති බාප්පාගේ සැලකීම මේ වනවිට ලබා ඇත.

ජනාධිපති බාප්පා ලබාදුන් වාසනාවේ මහිමය එපමණකින් නවතින්නේ ද නැත. 2006 වසරේ මාර්තු 17 දින සිට රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ධුරයට පත්වන ශෂින්ද්‍ර රාජපක්ෂ ඉන් වසර තුනකට පසු එනම් 2009 වර්ෂයේදීම ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍යධුරයට තේරීපත් වීමෙන් පසු විහාර දේවාලගම් ආඥා පනත අනුව ඔහුට බස්නායක නිලමේ ධුරය අත්හැරිය යුතු නිමිත්තක් පහළ වන්නේය. ඒ රජයෙන් වැටුප් හෝ දීමනා ලබන කිසිවකුට විහාර දේවාලගම් ආඥාපනත යටතට ගැනෙන දේවාලයක බස්නායක නිලමේ ධුරය හෝ දියවඩන නිලමේ ධුරය දැරිය නොහැකි බවට ඇති කොන්දේසියක් නිසාය. එහෙත් එම මුල් අවස්ථාවේදීද ශෂින්ද්‍ර රාජපක්ෂ ඌව මහඇමතිවරයාගේ පිහිටට එන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ නම්වූ බාප්පාය.
2009 අගෝස්තු 14 දින අංක 1614/30 දරන අතිවිශේෂ ගැසට් පත‍්‍රය නිකුත්කරමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ එම අවස්ථාවේ සිදුකරන්නේ බෞද්ධ විහාරගම් ආඥාපනතෙන් ඔහු වෙත පැවරී ඇති බලතල ප‍්‍රකාරව රුහුණු කතරගම මහා දේවාලයේ එම ආඥා පනතේ 14 වගන්තියේ (ඇ ඇ* ෙඡ්දයේ විධිවිධානවලින් නිදහස් කිරීමය.

විහාර දේවාලගම් ආඥාපනතේ 14 වැනි වගන්තියේ (ඇ ඇ) ෙඡ්දයේ සඳහන් වන්නේ රජයේ වැටුප් හෝ දීමනා ලබන කිසිවකුට ඒ යටතේ ඇති දේවාලවල බස්නායක නිලමේ ධුරය හෝ දියවඩන නිලමේ ධුරය දැරිය නොහැකි බවය.

එම ගැසට් පත‍්‍රයෙන් ජනාධිපතිවරයා සිදුකරනු ලැබූයේ සිය ඥාති පුත‍්‍රයාට විශේෂ ආකාරයෙන් සලකා ඌව මහඇමති ධුරයත් බස්නායක නිලමේ ධුරයත් යන ධුර දෙකම එකවර දැරීමේ භාග්‍යය ශෂින්ද්‍ර රාජපක්ෂට උදාකර දීමය. නොඑසේනම් ශෂින්ද්‍ර රාජපක්ෂට ඌව මහ ඇමතිවරයා වශයෙන් පත්වීමෙන් පසු තීරණය කිරීමට තිබුණේ බස්නායක නිලමේ ධුරයේ තවදුරටත් ඉන්නවාද නැතහොත් ඌව මහඇමතිධුරයේ ඉන්නවාද යන දෙකින් එකක් ය.
රටේ ජනතාව අමතමින් කුමක් කීවද නීතිය තම ඥාති පුතාට පමණක් වෙනස් කිරීමෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්නුම් කර ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොවේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඇති නම් නීතිය සැමට සමාන විය යුතුය. තවදුරටත් වසරින් වසර රුහුණු කතරගම මහා දේවාලයේ ඡුන්දය කල්දමමින්ද ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්නුම් කරන්නේ ඥාති පුත‍්‍රයා වෙනුවෙන් සිය බලතල අවභාවිතයේ යොදවන බවයි. එයද ප‍්‍රජාතන්තවාදය නොවේ.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැනකතා කිරීමට නම් ජනාධිපතිවරයා පළමුව සිදුකළ යුත්තේ රුහුණු කතරගම මහා දේවාලය සඳහා ඡුන්දයක් පැවැත්වීමය. ඒ සමගම එම දේවාලය සඳහා පමණක් සිදුකර ඇති නීතියේ වෙනස්කම අහෝසි කිරීමය. නොඑසේනම් සිදුවන්නේ එම ධුරය සඳහා ඉදිරිපත් වීමට සිටින බොහෝ පිරිසකට අසාධාරණයක් සිදුවීමය. වෙනත් දේවාලවලද බස්නායක නිලමේ ධුරය හෝ දියවඩන නිලමේ ධුරය දැරීම සඳහා ඉදිරිපත් වීමට කැමති දේශපාලනඥයන්ට අසාධාරණයක් සිදුවීමය.