ඇමතිගේ කීමට ක්‍රීඩකයන්ට ගල් ගහමුද?


ministre

ඒ. වික්‍රමසුරිය

ක්‍රීඩා අමාත්‍යවරයා සමග කළ සම්මුඛ සාකච්ඡා වක් සතිඅග පුවත් පතක විය. දේශපාලන වේදිකාව මෙන් සතර අත නෙළීමක් ඇමතිවරයා එහිදී සිදුකර තිබුණි. එහිදී ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවට ඉදිරි සැලසුම් වෙනුවට අමාත්‍යවරයා කර තිබුණේ හිතේ හැටියට ඇරියස් යැවීමය. මෙහිදී ඔහු ක්‍රිකට් ආයතනයෙන් අසාගත් කරුණු වහරන ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය ලේකම්වරයා වී තිබුණි.
මේ තොරතුරු තිලංග සපයන දැ විය යුතුයැයි අපගේ නිගමනය. මෙහිදී ඔහු ක්‍රීඩා ඇමතිවරයාට අවශ්‍ය වේදිකා කතාවක් ලියා දෙනුයේ ක්‍රිකට් ක්‍රීඩක ගෙවීම් පිළිබඳවය. එහි පිටපත අපුරුවට අඩුම කුඩුම දමා කියවන ක්‍රීඩා ඇමතිවරයා ඔලුවේ අත ගසාගෙන කියනුයේ පසුගිය වසරේ එක් ක්‍රිකට් ක්‍රීඩකයකුට රුපියල් මිලියන පනස් හතක් ගෙවා ඇති බවය. ඔහු පසුගිය වසරේ අසාර්ථක වූ බවත් තරග පහකදීම අඩුම ලකුණු ගණනකට දැවී ගිය බවත් පවසන අමාත්‍යවරයා ඒ අනුව මේ ක්‍රීඩකයා ලබාගත් ලකුණුත් ඔහුට ගෙවු මුදලත් බෙදා එක් ලකුණකට ඔහුට ගෙවා ඇති මුදල රුපියල් 57,000ක් බව කියනුයේ නළල රැළි ගන්වමිනි. එසේනම් මේ පිටපත තිලංගගේ බවත් ඉදිරිපත් කිරීම දයාසිරිගේ බවත් පැහැදිලිය.
මේ ක්‍රීඩා අමාත්‍යවරයකුගේ කාර්ය යද? ක්‍රිකට් ක්‍රීඩකයන්ට කිසි වගකීමක් නැතැයිද තරගයක් පරාජය වුවද ඔවුන්ට මුදල් ලැබෙන බැවින් ඔවුන් කරන කැපකිරීම අවම බවත් ක්‍රීඩා අමාත්‍යවරයාගේ කතාවය. මේ නිසා ක්‍රිකට්ලෝලීන් තරග යක් පරාජය වූ විට හඬාදොඩා පලක් නැත, මේ ක්‍රීඩකයන්ට ගල් ගැසිය යුතුයි යන තැනට ඇමති කතාව ගෙන එන්නේය.
ක්‍රිකට් ක්‍රීඩකයන්ට මුදල් ලැබුණේ අද ඊයේ නොවේ. ක්‍රිකට් ක්‍රීඩකයන් යනු හැම රටකම කෝටිපතියන්ය. එය එලෙස වී ඇත්තේ ක්‍රිකට් යනු විශාල ලෙස ආදායම් උපයන ව්‍යාපාරයක් වී ඇති බැවිනි. අමාත්‍යවරයා නොදන්නා දේ නම් ක්‍රිකට් වෘත්තියක් වී බොහෝ කල් වන බවය. අප කියනුයේ අනෙක් ක්‍රීඩාවලට උදාවිය යුත්තේද මෙම තත්ත්වයමය. එවිට ක්‍රීඩකයන් නියම වෘත්තිකයන් ලෙස ක්‍රීඩා කරනු ඇති බැවිනි. ක්‍රීඩකයකු ජාතික කණ්ඩායමට එන්නට කරන කැපකිරීම මෙන්ම ඒ වෙනුවෙන් වියදම් කරන මුදලද විශාලය. අද දවසේ පුහුණුවටද විශාල මිලක් ඇත. ක්‍රිකට් රස්සාව වනවාට එය රැකගන්නට ඔහු උපරිම කැප කිරීම කරන මුත් ක්‍රීඩාවේදී ඕනෑම ක්‍රීඩකයකු විටෙක සාර්ථක වීමත් තවත් විටෙක අසාර්ථකවීමත් සාමාන්‍ය ලක්‍ෂණයකි. එක් ක්‍රීඩකයකුගේ ලකුණු සහ ඔහු ලබන ආදායම කතා කිරීම ක්‍රීඩා ඇමතිවරයකුට තරම් නොවේය. මේ හරහා ඇමතිවරයා පෙන්නුවේ ඔහුගේ දේශපාලන ළාමකකමය. පහළ ගණයේ දේශපාලන භාවිතාවක්ය.
මව් සංගමයෙන් ක්‍රිකට් ආයතනයට වාර්ෂිකව ලැබෙන මුදල විශාලය. විදෙස් තරගාවලිවලදී ලැබෙන මුදලද එලෙසමය. මෙරට තරගවලදී ප්‍රවේශපත්‍ර විකිණිම හරහාද අනුග්‍රාහකයන් හරහාද ක්‍රිකට් ආයතනය උපයන මුදල අතිවිශාලය. ඒ ගැන කතා කරන්නට ක්‍රීඩා ඇමතිවරයාට හයියක් නැත. ක්‍රිකට් ක්‍රීඩකයකුට එතරම් මුදලක් ගෙවන්නේ නම් ක්‍රිකට් ආයතනය කොතරම් මුදලක් උපයන්නේද යන්න කතා කරන්නට ඇමතිවරයාට හයියක් නැත. ක්‍රීඩකයන් යම් කාලයක් ක්‍රීඩා කර යන මුත් ක්‍රිකට් පරිපාලනයේ නියුතු පුද්ගලයන් වසර ගණනාවක් මරාගෙන හෝ ක්‍රිකට් මුල් පුටුවලට එන්නේ ඇයිද යන්න ක්‍රීඩා ඇමති ප්‍රශ්න නොකරයි. මේ අර්ජුන රණතුංග කුහකයෙක් යැයි කියන දයාසිරිගේ කුහකකමය. දයාසිරි කතා නොකරන දෑ අර්ජුන කතා කරන විට දායාසිරිට පෙනෙනුයේ අර්ජුන කුහකයකු ලෙසය. වත්මන් ක්‍රිකට් පරිපාලකයන් පවුල් පිටින් රට යන බව කියු විට ඒවාට පිළිතුරු බැඳිය යුත්තේ ක්‍රිකට් පරිපාලකයන් වුවත් ක්‍රීඩා ඇමතිවරයා ඊට පිළිතුරු බඳිමින් රණතුංගලාගේ කැරට්ටුව කියාදෙමින් සිටී. රණතුංගලාගේත් තිලංගලා ගෙන් ධර්මදාසලාගෙත් කැරැට්ටුව අමුතුවෙන් දයාසිරි පෙන්වා දිය යුතු නැත. එහෙත් අර්ජුනට බැණවදිමින් ක්‍රීඩා අමාත්‍යවරයා වැළඳ ගන්නේ තිලංගවය. තිලංග ක්‍රිකට්වලට මේවා අතැර නොයනුයේ ක්‍රිකට්වලට ඇති ආදරය නිසාද? අර්ජුනගේ ක්‍රිකට් වෙනුවෙන් පෙනීසිටීමද අවංකම නැති බව අපි දනිමු. එහෙත් එය තිලංග සුදනෙකු කිරීමට ප්‍රමාණවත් නොවේ. අද ක්‍රිකට් පරිපාලනයේ සිටිනුයේ මෙරට ක්‍රිකට් විනාශ කළවුන්ය. දැන් ඒ ගොඩටද ක්‍රීඩා ඇමතිද රිංගා ක්‍රීඩකයන් හෑල්ලු කරමින් සිටී. ක්‍රිකට් රස්සාවක් බවත් ක්‍රිකට් ක්‍රීඩකයන් යහමින් උපයන බවත් මේ රටේ නොදන්නේ කවුද? සනත් ජයසුරියලා කෝටිපතියන් වුණේ කොහොමද? දේශපාලකයන් කොටිපති යන් වනවාට වඩා එය නම්බුය.
ක්‍රීඩා ඇමතිවරයා කළ කී බොහෝ දේ කතා කළ යුතුව ඇත. මන්ද එයින් පිළිබිඹු වන්නේ ඔහුගේ දැක්මේ ප්‍රමාණය වන බැවිනි. එය එකින් එකට ලියා ගත යුතු දෑය. අපට දයාසිරි ජයසේකර මහතා සමග ප්‍රශ්නයක් නැතිමුත් ක්‍රීඩා විෂයභාරව එන ඇමැත්තා සමඟ ගැටලුවක් පවතී. ඒ ක්‍රීඩාව කෙසේ හෝ ඉදිරියට ඔහු ලවා රැගෙන යා යුතු බැවිනි. එබැවින් වත්මන් ඇමතිවරයාද මේ මොහොතේ ක්‍රීඩාව වෙනුවට වෙනත් සෙල්ලමක් කරගෙන යන්නේය. එය ක්‍රීඩාවේ යහපතට නම් නොවන බව කිව යුතුය. ඇමතිවරයා සංදර්ශකයකු වී ඇත්තේ ක්‍රීඩකයා වෙනුවෙන් නොව ක්‍රීඩාවේ පාලකයන් වෙනුවෙනි. එය භයානකය. දැන් හෝ ක්‍රීඩකයා සහ ක්‍රීඩාව වෙනුවෙන් පෙනීසිටින තැනට ක්‍රීඩා අමාත්‍යවරයා තල්ලු විය යුතුව ඇත.■