ඉහළ අධිකරණවලට පත්කැරෙන අන්තේවාසිකයෝ

 

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු ධුරවල තිබෙන පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය මේ දිනවල අධිකරණ හා නීති ක්‍ෂෙත‍්‍රයේ බලවත් අවධානයට ලක්වී තිබේ. 18වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට විනිසුරන් පත්කිරීමේ බලය මුළුමනින්ම ඇත්තේ ජනාධිපතිවරයා වෙත වන අතර, ඔහු යෝජනාකරන නම් පාර්ලිමේන්තු සභාවට දන්වා යැවීමෙන් පසු පත්කිරීම කළ හැකිය. අඩුගණනේ එවැනි ගෞරවනීය ධුරයකට පත්වීමට කෙනකුට තිබිය යුතු අවම සුදුසකමවත් ලංකාවේ නීතියෙහි කිසිම තැනක සඳහන් නොවේ. ඒ නිසා ජනාධිපතිවරයාට බැලමෙහෙකම් කරන, ඔහුගේ අන්තේවාසිකයන් අධිකරණයේ ඉහළම තනතුරුවලට පත්කොට ජනාධිපතිවරයාටත් ආණ්ඩුවටත් වුවමනා විදියට අධිකරණ තීන්දු ලබාගැනීම පහසුවෙන් කළ හැකිය. කෙසේ වෙතත් ඒ පත්කිරීම් රටේ නීතියට එකඟය. එහෙත් ඉන් වළපල්ලට යන්නේ රටේ අධිකරණ නිදහසයි.

පසුගිය දෝෂාභියෝගයෙන් අනීතික ලෙස අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමෙන් පසු අගවිනිසුරු ධුරයට ජනාධිපතිවරයා විසින් පත්කරන ලද ජනාධිපති නීතිඥ මොහාන් පීරිස් නීතිපතිවරයාව සිටි කාලයේදී රාජපක්‍ෂ ආණ්ඩුව සමග කෙතරම් සමීපව කටයුතු කළේද යන්න මුළු රටම දනියි. ආණ්ඩුවේ හෙංචයියන්ට විරුද්ධව තිබූ මිනීමරුම් චෝදනාවලින් ඔවුන් නිදහස්කොට යැවුණේ ඔහු නීතිපතිව සිටි කාලයේදීය. නීතිඥයකු ලෙස ඔහු කටයුතු කර ඇති දුර්වර්ණ ආකාරය ගැන රාවයේ ම මීට පෙර වාර්තාකොට තිබේ. ආචාර්ය බණ්ඩාරනායක ධුරයෙන් ඉවත්කොට තමන්ගේ හිතෛෂියකු වූ මොහාන් පීරිස් ජනාධිපතිවරයා විසින් අගවිනිසුරුධුරයට පත්කරන ලද්දේ, තමන්ට කරදුන් වැඩවලට කළගුණ සලකන්නට මෙන්ම තමන්ට වුවමනා දේ අධිකරණය හරහා කරගන්නට බව පැහැදිලිය. ජනාධිපති ජේආර් ජයවර්ධනද අගවිනිසුරුධුරයට පත්කළේ සිය පෞද්ගලික මිතුරකු වූ නෙවිල් සමරකෝන්ය. එහෙත් ධුරයට පත්වූ පසු ජනාධිපති ජයවර්ධනට වුවමනා විදියට අධිකරණය කෙළිිමඬලක් කරගන්නට නොදී කොන්ද කෙළින් තබාගෙන සිටිය නිසා සමරකෝන් මහතා වීරයකු ලෙස ඉතිහාසයට එක්වී තිබේ. එහෙත් වත්මන් අගවිනිසුරුවරයාට ඒ තත්ත්වයට කිසිදා පත්විය නොහැකිවනු ඇත. පසුගිය අලූත් අවුරුදු දා තංගල්ල කාල්ටන් නිවසේ පැවැති අලූත් අවුරුදු ගනුදෙනු කිරීමට අගවිනිසුරු මොහාන් පීරිස්ද සහභාගිවීමෙන් ඒ බව නැවතත් ඔප්පු කොට තිබේ.

මේ දිනවල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධුර තුනක පුරප්පාඩු තිබේ. අවසානයේ සේවයෙන් විශ‍්‍රාම ගියේ ශිරානි තිලකවර්ධන මහත්මියයි. දැන් ජනාධිපති නීතිඥ ප‍්‍රියන්ත ජයවර්ධනගේ නම එක් පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා විසින් නම්කොට පාර්ලිමේන්තු සභාවට දැනගැනීම සඳහා යවා ඇති බව වාර්තා වෙයි. ප‍්‍රියන්ත ජයවර්ධන මහතා අධිකරණ හා නීති ක්‍ෂෙත‍්‍රයේ කවුරුත් දන්නා පරිදි ආණ්ඩුවේ සමීපතමයෙකි. විශේෂයෙන් ඇමති බැසිල් රාජපක්‍ෂගේ සමීපතමයෙකි. කලක් නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු පසුගිය දෝෂාභියෝගයේදී, කැළෑ නීතිය යටතේ දෝෂාභියෝග චෝදනා ඔප්පුවී ඇති බවට එක් රැුයකින් පාර්ලිමේන්තු කාරක සභා වාර්තාව සැකසීමට මහත් දායකත්වයක් දුන් කෙනෙකි. පසුගිය කාලයේ බලවත් විවාදයට පාත‍්‍රවූ දිවි නැගුම පනත් කෙටුම්පත සකස්කිරීමටද ඔහු දායක වූ බව වාර්තාවෙයි. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ හෙංචයියන්ට නිර්ලෝභීව පිරිනමන ජනාධිපති නීතිඥ නාමයෙන් පසුගිය කාලයේ පුද ලද ඔහු කන්තලේ, අඟුණකොළපැලැස්ස වැනි ඈත දුර බැහැර මහේස්ත‍්‍රාත් අධිකරණවල නඩු කැඳවීම් දිනවලට පවා යන එනු පසුගිය කාලයේ දැකගත හැකිවිය. දැන් ජනාධිපතිවරයා රටේ ඉහළම අධිකරණයේ විනිසුරුවරයකු ලෙස පත්කරන්නට යන්නේ එවැන්නෙකි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයද මෙවැනි පත්කිරීම් සම්බන්ධයෙන් සිය බලවත් අවධානය දැන් යොමුකොට තිබේ. ජනාධිපතිවරයා ඉදිරියේදී කරන්නට යන මෙම පත්කිරීම් සම්බන්ධයෙන් සිය අදහස් හා නිරීක්‍ෂණ වහාම දන්වා එවන ලෙස නීතිඥ සංගමය සිය ප‍්‍රාදේශීය නීතිඥ සංගම්වලට මේ වන විටත් දන්වා තිබේ. ඔවුන්ගේ අදහස් ලබාගෙන ඒ සම්බන්ධ ඉදිරි පියවර ගැනීමට නියමිතය.