රාවය

පැකර් එන්නේ දාගැබක් හදන්නද?

පැකර් එන්නේ දාගැබක් හදන්නද?

2008 අංක 14 දරන ක‍්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ ගැසට් පත‍්‍ර තුනක් පසුගිය සතියේ ආණ්ඩුව සම්මත කර ගැනීමේ ප‍්‍රධාන අරමුණ වූයේ ඕස්ටේ‍්‍රලියාවේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන ජේම්ස් පැකර් රතු පලස් එළා ලංකාවට කැඳවා ගැනීම ය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ද මේ වසරේ ජනවාරි මාසයේ දී ද මීට අදාළ ගැසට් පත‍්‍ර පාර්ලිමේන්තුවට ගෙන එන්නට සැරසෙන විට රටේ බලවත් විරෝධයක් ඊට එරෙහි ව පැන නැගිණි. ජනවාරි මාසයේ දී මහානායක හිමිවරු කීවෝ ඒ ගැසට් පත‍්‍ර සම්මත කළ හොත්, සංඝයා වහන්සේ සමග පාරට බසින බව ය. ආණ්ඩුව ගැසට් අකුළා ගත්තේ ය. මෙවර එහි හැඳින්වීම වෙනස් කොට සම්මත කර ගත්තේ ය. මීට පෙර අකුළාගත් ගැසට් පත‍්‍රයේ සඳහන් ‘සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම්වලින් ද යුත්’ යන වචන වෙනුවට අලූත් ගැසට් පත‍්‍රයේ ඇත්තේ ‘ඊට ආනුශාංගික පහසුකම් ද සහිත ව’ යන්නයි. ආණ්ඩුව කීවේ මේ ගැසට්වලින් සූදු හා ඔට්ටු ඇල්ලීමේ පහසුකම් යන්න ඉවත් කර ඇති නිසා කැසිනෝවලට ඉඩ නැති බව ය. එහෙත් සිංහල භාෂාව ගැන සාමාන්‍ය දැනුමක් තිබෙන කෙනකු පවා ‘ආනුශාංගික’ යන්නෙන් ‘ඊට අදාළ ඕනෑ ම දෙයක්’ අදහස් වන බව හොඳින් දනිති.

ආණ්ඩුව කළේ කොළේ වසා ගැසීමක් බව පැහැදිලි ය. කැසිනෝ ප‍්‍රතික්‍ෂෙප කර ඇති නිසා ජේම්ස් පැකර් ලංකාවට ඒම ගැන තවමත් දෙගිඩියාවෙන් පසුවන බව මාධ්‍ය වාර්තා කළත් ඔහුට ලංකාවට එන්නට බැරි කිසි ම දෙයක් ආණ්ඩුව කර නැත. ඒ වෙනුවට ඔහු ඉල්ලන ඕනෑම දෙයක් දෙන්නට ආණ්ඩුව මේ ගැසට් පත‍්‍රවලින් ඉඩ හදාගෙන ඇත. ඇත්තටම කැසිනෝ තහනම් කරනවා නම්, ආණ්ඩුව කළ යුතුව තිබුණේ ‘කැසිනෝවලට ඉඩ දෙනු නොලැබේ’ යන අදහස ගැසට්වලට ඇතුළත් කිරීම ය. විපක්‍ෂයෙන් ගෙනා ඒ යෝජනාව බොරු තර්කයක් ගෙනැවිත් ප‍්‍රතික්‍ෂෙප කළේ කැසිනෝවලට ඉඩ තබා ගැනීම සඳහා බව පැහැදිලි ය.

ජේම්ස් පැකර් ලංකාවට එන්නේ ලංකාවේ ප‍්‍රධාන කැසිනෝ ව්‍යාපාරිකයකු සමග හවුලේ ය. ඕස්ටේ‍්‍රලියානු කැසිනෝ රජා සහ ලංකාවේ කැසිනෝ රජකු එක්ව දාගැබක් හදන්න යනවා විය නොහැකි ය. තවමත්, පැකර්ගේ ‘ක‍්‍රවුන් ශ‍්‍රී ලංකා’ වෙඞ් අඩවියට ගිය හොත් ඔහු ලංකාවේ හදන්නට යන්නේ සූදු සහ ඔට්ටු ඇල්ලීමේ පහසුකම් සහිත ව්‍යාපෘතියක් බව පැහැදිලි ව පෙනෙනවා ඇත. ඒ නිසා ජනාධිපතිවරයාත්, ආණ්ඩුවේ අයත් කැසිනෝ නැතැ’යි කියන්නේ බොරුවට බව පැහැදිලි ය.

ඇත්ත නම් සූදු ව්‍යාපාරය නැති අනාගතයක් ආණ්ඩුවට නැති බව ය. කැසිනෝවලට රට එරෙහි වූ විට වෙනත් නමකින් එය ම ගෙනෙන්නට හදන්නේ මේ කැසිනෝ ව්‍යාපාරිකයන් කොහොම හරි ලංකාවට ගෙන්වා ගන්නට ය. යුද්ධයෙන් පසු රටේ ජාතික ආර්ථිකය සංවර්ධනය වේයැ’යි යුද්ධයට ආවැඩුවෝ ම අනාගත වාක්‍ය කීහ. නිෂ්පාදන ආර්ථිකය දියුණුවනු ඇතැ’යි ද කීහ. කිසිවක් නොවී ය. ඉන්පසු ලෝකයේ විශාල අයෝජකයෝ ලංකාවට වහා එති’යි උදම් ඇනූහ. එය ද නොවී ය. ඊළඟට සංචාරක ව්‍යාපාරය නැග එනු ඇතැ’යි කීහ. ඒ නිසා දැන් හැම තැනම සංචාරක හෝටල් හැදෙයි. එහෙත් තව වසර දෙක තුනකින් මේ හැදෙන සංචාරක හෝටල් නැවත ලාබෙට විකුණන අවස්ථාවක් ආවොත් පුදුම විය යුතු නැත. කිසිම ආර්ථික උපක‍්‍රමයක් හරි නොගිය තැන ආණ්ඩුවට හිතුණේ සූදු ක‍්‍රීඩාවෙන් තෝන් ගෙන සල්ලි හොයාගනිමු කියා ය. ඒ සඳහා ලෝකයේ ලොකුම සූදුකාරයන් ගෙන්වන්නට රතු පලස එළුවේ ය. පසුගිය පොදු රාජ්‍ය මණ්ඩල සැසියේ දී ලංකාවේ ආර්ථිකය ගැන වර්ණනා කරන්නට ආණ්ඩුවේ ආරාධනයෙන් කතාව පැවැත්වූයේ ජේම්ස් පැකර් නම් අංක එකේ කැසිනෝ රජා බව අමතක නොකළ යුතු ය. ඉතින්, දැන් ලංකාව රඳා පවතින්නට යන්නේ සූදු ක‍්‍රීඩාවෙන් තෝන් ගැනීම මතය. සූදු ක‍්‍රීඩාවට එන්නෝ සංචාරකයෝ නොවෙති. ඒ දෙක දෙකකි. රටතොට බලා විනෝද වීමට අහිංසක, වැදගත් පන්නයේ සංචාරකයන් එන විට සූදු ක‍්‍රීඩාවට එන්නෝ සූදුකාරයෝ ය. පාතාලයෝ ය. කළු සල්ලිකාරයෝ ය. තමන්ගේ කළු සල්ලි ටික යොදා සූදු කෙළවා සුදු පැහැති චෙක්පතක් ලබාගෙන යන්නට ඔවුහු එති.

බුදුදහම හා බෞද්ධ සංස්කෘතිය ගැන පැය විසි හතරේ ම කතාකරන ආණ්ඩුව රටේ මහානායක හිමිවරුන් ද රවටා, පරාභවයට හේතුවක් බව බුදුදහමේ ම පැහැදිලි ව කියන සූදුව ලංකාවට පාවාඩ එළා පිළිගනියි. එය ම රටේ ප‍්‍රධාන ජීවන මාර්ගය බවට පත් කරයි.