ආදර ගඟ මතින් මිතුරු වැල්ලට පිම්මක්

 

වර්ෂාව ඇද වැටෙමින් තිබිණ. වෙලාව සවස තුනටත් ආසන්නය. එහෙත් දුෂ්කර ක‍්‍රියාව නොනැවැත්වූ ඔවුහු බෝට්ටුවේ තිබුණු වැලි, කට ලොකු පිරමීඩාකාර බාල්දිවලට පුරවා ගං ඉවුරෙන් ඔබ්බෙහි ගොඩ ගැසූහ. තෙත සමග වැලි බර දෙගුණ තෙගුණ වී තිබුණත් බෝට්ටුවේ වැලි අවසන් වනතුරුම ගංදියත් වැලි තොටුපළත් අතර වෙහෙසකර ගමන නතර නොවුණි. ඒ කොච්චර වුණත් ජීවිතේ තරම් වැලිබර නැති නිසා විය යුතුය.
අවසන් වැලි වඩිය කළු පැහැ ගැන්වී තිබුණි.

වැලි නැහැ ගෙඟ් අඩිය ඔය එන්නේ. තරුණ වැලි මුදලාලි කීවේය. වැස්සේම සවලකුත් අතට ගෙන දුවපැන ඇවිදිමින් සිටි ඒ වැලි තොටුපළ හිමියා විටෙක වැස්ස නිසා ගොඩබිමින් එන වතුර පාර ගඟට යන්නට මග පාදයි. හදිසියේම කොහේ හෝ තිබුණු කුඩයක් දිගහැර අපට දුන් හෙතෙම තෙමෙමින් සිටි බලූ පැටවන් හතරපස් දෙනකු විල්බැරෝවක් නොපිට පෙරළා ආවරණය කරන්නටද අමතක නොකළේය. ඔහු කතාවට ඉසිඹුවක් ගත්තේ ඉන් අනතුරුවය. තව අවුරුද්දකට වඩා ගෙඟන් වැලි ගන්න බැරිවෙයි. මේ වෙනකොට අඩි 18-20ක් ගඟ පතුළට බැහැලත් ගන්න වැලි නැහැ. ගඟ දිගටම තත්ත්වෙ ඒකයි. අවුරුදු ගාණක් ඉවක් බවක් නැතුව වැලි හාරනකොට මේක කවදහරි වෙන්න තිබුණු ප‍්‍රශ්නයක්.

දින තුනක්

අපි සිටියේ පූගොඩ පැත්තේ වැලි තොටුපළකය. ඕනෑම වැලි තොටුපළක් පවත්වාගෙන යා හැක්කේ දින තුනකි. එනම් වැලි ගොඩ දැමීම සඳහා බලපත‍්‍ර ලැබෙන්නේ සඳුදා, බදාදා සහ සිකුරාදා යන දින තුන සඳහා පමණි. අන් දිනවලදී වැලි ගොඩදැමීම නීති විරෝධී ක‍්‍රියාවක් වන අතර පොලිසිය සහ භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය නීතිය කඩ කරන්නන් වැටලීමට ක‍්‍රියාකරන අයුරුද දැකිය හැකිය. අපට හමුවූ වැලි තොටුපළේ මුදලාලි කීවේ වැලි ගොඩ දැමීම දින තුනකට සීමා කිරීමේ නීතිය මීට වසර 10කට පෙර සිටවත් ක‍්‍රියාත්මක කළ හැකිව තිබුණි නම් ගඟ ඛාදනය මෙතරම් ඉක්මන් නොවන බවයි. වැලි සමග ගොඩට එන ගල් ඉවුරෙහි දමා යෑම ඉවුරට මීටර් කිහිපයක් ඈතින් වැලි ගැනීම වැලි තොටුපළක් හිමියකු බෝට්ටු දෙකක් සහ සේවකයන් සිව්දෙනකු පමණක් සේවයේ යෙදවීම වැනි නීති වැලි ගොඩ දමන්නන් වෙනුවෙන් පනවා තිබෙන අතර එම කොන්දේසි ඔවුහු බොහෝ දුරට ඉටු කරති.

බලපත‍්‍ර

වැලි තොටුපළක් පවත්වාගෙන යෑම සඳහා භූ විද්‍යා සහ පතල් කැණීම් කාර්යාංශයෙන් ලබාගත යුතු බලපත‍්‍ර ගාස්තුව මාසිකව රුපියල් දාහතර දහසකි. මෙම බලපත‍්‍ර නිකුත් කරන්නේ මාස තුනෙන් තුනටය. ගෙඟ් වතුර වැඩිවී වැලි ගොඩ දැමිය නොහැකි තත්ත්වයක් උදාවුවත් බලපත‍්‍ර නොගෙන සිටිය නොහැකිය. බලපත‍්‍ර නොගෙන සිට එය කැන්සල් වුවහොත් යළි බලපත‍්‍ර ලබාගැනීම පහසු නැත. සාමාන්‍යයෙන් වසරකට වතාවක් සෑම වැලි තොටුපළක්ම පරීක්ෂා කර බැලීම සඳහා ප‍්‍රාදේශීය ලේකම්වරයා පැමිණෙයි. මේ වනවිට වැලි ගොඩ දැමීම සඳහා අලූතින් බලපත‍්‍ර නිකුත් කරන්නේද නැත.

පාන්දර වැඩ

වැලිගොඩ දමන්නන්ගේ රාජකාරිය ඇරඹෙන්නේ පාන්දර හතරටය. හතරට නැගිට වැලි තොටුපළට එන අයකු එහි රංවල දෙවියන්ට පහනක් දල්වයි. මේ සඳහා කුඩා පහන් ගෙයක් සෑම වැලි තොටුපළකම තිබෙන අතර බෝට්ටුව සහ වැලි ගොඩ දැමීම සඳහා අවශ්‍ය වන ආම්පන්න රැුගෙන ගඟට බසින්නේ රංවල දෙයි හාමුදුරුවන්ට කරන වතාවතෙන් අනතුරුවය. ඒ වනවිට වේලාව පාන්දර පහට ආසන්න විය හැකිය. පාන්දර කිරිඳිවැල සිට කොළඹ යන බසයක් තිබේ. මේ බස්රියේ එන මගීන්ගෙන් භාගයක්ම ගෙඟ් වැලි රස්සාව කරන්නෝ වෙති. ඒ බොහෝ දෙනකු කිරිඳිවැල සිට එන ගමනේදී ගිරිදර, පූගොඩ, කපුගොඩ, කුමාරිමුල්ල ආදී වැලි තොටුපළවල්වලින් බැස ගඟ දෙසට විහිදී ගිය සුපුරුදු පටු පාරවල් දිගේ නොපෙනී යයි. ඒ කවුරුත් යළි මතුවන්නේ වැලි තොටුපළෙනි. වැලි තොටුපළට මන්දාලෝකය ගලාඑමින් තිබේ. ඒ වනවිට එකා දෙන්නා පැමිණ ආම්පන්න අතට ගෙන ගඟ මැදට යන්නට සූදානමිනි. වැලිගොඩ දැමීම පාන්දර පටන්ගෙන දහවල් දෙක තුන වනවිට අවසන් කර දැමෙන රස්සාවකි.

බහින ක‍්‍රමය

ගඟ මැදට බෝට්ටුව රැුගෙන යන්නේ රිටක් ආධාරයෙනි. අනතුරුව බෝට්ටුව වැලිගොඩ දැමීමට නියමිත ස්ථානයේ රිටි දෙකක් උපකාරයෙන් නවතා අඩි 15ක් පමණ දිග කුඤ්ඤයක් බෝට්ටුවේ සිටම ගඟ පතුලේ සිටුවා ගනියි. කුඤ්ඤයේ සිටුවන පැත්ත තියුණු ලෙස උල් කොට තිබේ. එවිට එහි උඩට සිටින පැතලි මුදුනත කොටස ගඟ දිය මට්ටමේ සිට අඩි 3 1/2ක් පමණ යට පිහිටන සේ තිබිය යුතුය. කුඤ්ඤයේ උඩ මිනිසකු සිටගත් විට ගෙඟහි වතුර මට්ටම ඔහුගේ හින පෙදෙසට තිබිය යුතුය. එමෙන්ම ගඟ මතුපිට තිබෙන බෝට්ටුවේ පත්ත කුඤ්ඤය මත සිටගත් මිනිසාගේ පපුව හෝ බඩ පෙදෙසට සමීපව තිබීම වැදගත්ය. එසේ මෙම අත්‍යවශ්‍ය අංග සකස්වීමෙන් අඩි 18-20ක් දියයට කිමිදී වැලි බාල්දිය රැුගෙන එන්නාට පහසුවෙන් එය බෝට්ටුවට දැමිය හැකිය.

තත්පර 40ක්

මේ වනවිට කැලණි ගෙඟහි බොහෝ තැන්වල වැලි ඇත්තේ අඩි 18-20ක් යට ගඟ පතුළෙහිය. සාමාන්‍යයෙන් වැලි හාරන්නන් කරන්නේ දිගු හුස්මක් ඉහළට ගෙන අණ්ඩ සහිත බාල්දිය සමග වේගයෙන් ගඟ පතුළට ගොස් එක සැරෙන්ම වැලි බාල්දියක් පුරවාගෙන එය වමතට ගෙන දකුණත ආධාරයෙන් කුඤ්ඤය දිගේ ඉහළට බඩගා එහි මුදුනත සිටගෙන බෝට්ටුවට වැලි බාල්දිය හැලීමය. පූගොඩ වැලි තොටුපළේදී හමුවූ කළු මල්ලී කීවේ මේ ක‍්‍රියාව තත්පර 40ක් වැනි කෙටි කාලයකින් කළයුතු වැඩක් බවය. දිය යට යන වැලි හාරන්නන්ට කුඤ්ඤය සිටුවා ඇති තැනින් වැලි ගෙන ඒම කළ නොහැකිය. එවිට කුඤ්ඤය ටික වේලාවකින් ගැලවී යන බැවිනි. ඒ නිසා කුඤ්ඤයට තරමක් ඈතින් වැලි බාල්දියකුත් රැුගෙන තවත් තත්පර කිහිපයකින් අඩි 18-20ක් යට සිට බරක් රැුගෙන උඩ මතුවීම අතිශයින්ම අසීරු එමෙන්ම අනතුරුදායක කටයුත්තකි. සාමාන්‍යයෙන් එකවර වැලි කිමිදෙන්නේ දෙදෙනකු පමණි. බෝට්ටුවකට පිරවිය හැක්කේ වැලි කියුබ් 1/2ක් වැනි ප‍්‍රමාණයකි. වැලි කියුබ් එකක් ගොඩ ගැනීම සඳහා එක් අයකු 75 වාරයක්වත් දළ වශයෙන් ගඟ පතුළට යාම් ඊම් කළ යුතුය.

අනතුරු

‘‘මේ තත්පර 40-45 ටයිම් එක පැන්නොත් ලෙඬේ. දියයටදී බාල්දිය කොට කෑල්ලක හරි, අත්තක හරි පැටලූණොත් අපිට මුත‍්‍රා යනවා. එක තැනකදි හරි අපේ ස්පීඞ් එක බාල වුණොත් හරි භයානක තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. මේක හරියටම කාලය මැනලා කරන්න ඕනෙ වැඩක්.’’
එසේ කී කළු මල්ලී සීරුවෙනුත් ශීඝ‍්‍රයෙනුත් වැඩ කරන්නෙකි. ඔහු කියන පරිදි වැලි රස්සාවේදී විය හැකි බරපතළම හදිසි අනතුර වැලි පිටින් බෝට්ටුව ගිලීයෑමය.

බෝට්ටුවෙ තැල්ලට නිතර වතුර පිරෙනවා. ඒක අයින් කර කර ඉන්න වෙලාවට වැලි බරට බෝට්ටුව ගිලෙන අවස්ථා තියෙනවා. ඒ වෙලාවට බෝට්ටුව කොයි පැත්තට බරවෙලා කෙනෙක් හෝ දෙන්නම යටවෙයිද කියලා කියන්න බැහැ. වැලි පිටින් ගිලෙන බෝට්ටුවක් අල්ලා නවත්තන්නයැ. ගිලෙන්න දීලා පැත්තකට පනින්න වෙනවා. ඊට පස්සේ ඉතිං ගං පතුළෙදි වැලි හිස් කරලා කඹ දාලා බෝට්ටුව ගොඩ ගන්න 10-15ක් සෙනඟ ඕන වෙනවා.
ඊට අමතරව නිතර ගං පතුළට බහින වැලි හාරන්නෙකුට කර්ණ ආබාධ සුලබය. කනට නිරන්තරයෙන් සිහින් වැලි ඇතුළුවීම නිසා මෙවැනි ආබාධ හටගන්නා අතර ඇතැම්හු හෘදයාබාධවලටද ලක්වෙති. සමහර විටෙකදී දිය යටදී කෙණ්ඩ පෙරළීමද බරපතළ තත්ත්වයක් උදාකරන්නකි. සාමාන්‍ය යෙන් ගෙඟ් බසින්නට පෙර දින ඔවුහු බොහෝ විට මද්‍යපානයෙන් වැළැකී සිටිති.

වැලි ජීවිතේ

වැලි හාරන ජීවිතේ වැදගත්ම කර්තව්‍යය ආහාරවේල් කිහිපයක් ගැනීමය. ඒ දියයට කිමිදීමටත් යළි බරක් රැුගෙන උඩ මතුවීමටත් අධික ශක්තියක් වැය කරන්නට සිදුවී තිබීම නිසාය. සාමාන්‍යයෙන් වැලි හාරන්නකු පාන්දර පහට පමණ දියයට කිමිදෙන්නේ කිරි තේකක් පානය කිරීමෙනි. උදෑසන හත අට වෙද්දී හොඳ ආහාර වේලක් ඔහුට අවශ්‍ය වන අතර යළි දහයට තේ විවේකයේදීද තරමක් බර ඇති ආහාර වේලකින් සප්පායම් විය යුතුය. අනතුරුව දොළහමාර වෙද්දී යහමින් සැදුණු දහවල් බතක් අවශ්‍යය.

අපට හමුවූ වැලි තොටුපළ හිමිකරුවා කීවේ වැලි හාරන්නෙකුට මේ කාලය තුළ අවම මට්ටමින් ආහාර වේල් තුනක් සඳහා රුපියල් 500ක්වත් වැයවන බවය. කෙතරම් බර ආහාරවේලක් අවශ්‍ය වුවත් ඔවුහු වැලි තොටුපළට කිසිවිටෙකවත් ඌරු මස් හෝ හරක් මස් නොගෙනෙති. පිලී වර්ග අතරින් තොටුපළට කැපවන්නේ මාළු හෝ කරවල පමණි. සීතල නිසා සිගරැුට් සහ බීඩි නම් වැඩ කරන වෙලාවට වැඩිපුර අවශ්‍යය.

ගොඩ යන්නේ කොහොමද?

ඔවුන්ට වසරකට මෙම රැුකියාව කළ හැක්කේ මාස 3ක් හෝ 4ක් පමණය. ඉතිරි මුළු කාලයේම වර්ෂාව හෝ ගඟ පිරී තිබීම නිසා වැලි හෑරීම කළ නොහැකිය. එවිට මෙසේ මාස තුන හතරක් වැඩ කර ඉතිරි කරගන්නා මුදලක් වැඩ නැති කාලය ගෙවීම පිණිස අර පරිස්සම් කරගත යුතුය. එහෙත් වැලි කිමිදෙන්නකුට සාමාන්‍යයෙන් දවසකට ඉපැයිය හැකි මුදල රු. 1500/- 1750/-ක් වැනි ප‍්‍රමාණයකි. කිමිදී වැලි හාරන්නට නොහැකි බෝට්ටුවේ සිට ගොඩට වැලි ඇදීම පමණක් කරන අයකුට ලැබෙන්නේ රු. 500/- 750/-ක් වැනි දෛනික ආදායමකි. වැලි හාරන්නාගේ බඩගින්නද වැඩි තත්ත්වයක් තුළ ඔහුට අනාගතය සඳහා මුදලක් ඉතිරි කරගැනීම පහසු නැත. කුඩා පරිමාණ වැලි මුදලාලි කෙනකුගේ දෛනික ඉලක්කය වැලි කියුබ් තුනක් පමණ ගොඩගැනීමය. ඔවුන් තොටුපළෙන් පටවන වැලි කියුබ් එකක මිල රු. 5000/-කි. ඒ සයිස් වැල්ලය. කපරාරුවට ගන්නා සිහින් වැල්ල නම් රු. 6000/-ක් පමණ වෙයි.

පූගොඩ බිස්නස්

පූගොඩ නගරයේ ව්‍යාපාර දියුණුවීමටද වැලි ආර්ථිකය හේතුවී තිබේ. ඒ වැලි ගොඩදමන්නන් සිය බොහෝ අවශ්‍යතා ආසන්න නගරයෙන් ඉටුකර ගන්නා බැවිනි. පූගොඩ නගරයේ ගඟ දෙසට විහිදුණු මාවත්වල ඇතැම් කෑම කඩ විවෘත කරන්නේත් සඳුදා බදාදා සහ සිකුරාදා පමණි. අන් දිනක වැලි මිතුරන් නැති බැවින් කෑම කඩවලට බිස්නස් නැත. වැලි නැතිනම් එගම පෙදරේරුවන්ටද වැඩ නැත.

රංවල දෙයි හාමුදුරුවෝ

ගඟ සමග රස්සාව කරන්නෝ වර්ෂයක් පාසා රංවල දෙයි හාමුදුරුවන් සිහිකර තම තමන්ගේ වැලි තොටුපළවල දානමය පිංකම් කරති. එය සියනෑකෝරළයේ ගඟබඩ පත්තුවේ වැසියන්ගේ දිගුකාලීන චාරිත‍්‍රයක්ද වෙයි. හාල් මිටි 2-3ක් උයා පිහා වැඩ කරන අය සමග ගම් පළාතේ සෙස්සන්ට මෙම දානය දෙන අතර බදාදා හා සෙනසුරාදා වැනි කෙම්මුර දිනවල පුහුල් පහන් 7ක් 14ක් හෝ 21ක් තොටුපළෙහි පත්තු කර රංවල දෙවියන් සිහිකර ආරක්ෂාව හා සශ‍්‍රීකත්වය ප‍්‍රාර්ථනා කරති. ඇතැම්විටෙක ගොක් කොළවලින් පුහුල් ගෙඩියේ ස්වරූපයට තැනූ මෙම මනරම් පහන් කෙසෙල් කොට පහුරක ඇටවූ කෝටුවක් මත එල්ලා ගෙඟහි පාකර යවයි. රංවල දෙවියන්ට පුදන දානයෙහි තවත් අංගයක්වන්නේ කැවිලි පෙවිලි හදා ඒවා වට්ටි මත තබා බුලත් කොළ සමග ගඟ පහළට පාකර යැවීමය. එවිට උදේ පාන්දර ගඟ පහළ වැලි ගොඩ දාන ඇත්තෝ මහත් භක්තියෙන් යුතුව එසේ පාවී එන කැවිලි පෙවිලි ආහාරයට ගනිති. ඇතැම්හු රංවල දෙවියන් වෙනුවෙන් මසකට වරක් වැලි තොටුපළෙහි පුහුල් පහන් පත්තු කරති.

දේශපාලනඥයන්ට නීති නැත

අපිට හමුවූ වැලි තොටුපළේ හිමිකරුවා කීවේ දේශපාලනඥයකුට අයත් රංවල තොටුපළක වැලි හෑරීමට දවස් තුනේ නීතිය බලනොපාන බවය. ඔවුන් දින හතේම වැලි හාරන බවත් කී හෙතෙම හංවැල්ල පාලමට මඳක් පහළින් නාවික හමුදාවෙන් සතියේ දින පහක් වැලි හාරන බවද කීවේය. දේශපාලනඥයාගේ වැලි කොල්ලය හමුවේ පොලිසිය හා විශේෂ කාර්ය බලකාය මුනිවත රකින බවට කී ඔහු ඔවුන්ට වැලි බලපත‍්‍ර නොමැති බවද කීවේය. සාමාන්‍ය වැලි හාරන්නන්ට පමණක් නීතිය අකුරටම ක‍්‍රියාත්මක වන බව පැවසූ ඔහු අවම වශයෙන් තමන්ට ඇති දින තුනේ කාලය දින හතර දක්වාවත් වැඩි කරදෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවද කීවේය.

වැඩ අවසන්

වැස්ස තුරල්වෙමින් තිබුණි. ගංඉවුරේ රිටක් සිටුවා බෝට්ටු ගැට ගසා දැමිණි. බාල්දි සහ සවල් ටික දම්වැලක් ආධාරයෙන් ළඟ ඇති ගස් දෙබලක ගැට ගසා ඉබි යතුරු දැමිණි. අනෙකුත් ආම්පන්න අස්පස් කර වැඩ අවසන් කරමින් සිටි ඔවුහු යළි ගඟට පැන නා ගත්හ. හෙට දවස අනිවාර්ය නිවාඩුවකි. යළිත් අනිද්දා මහ පාන්දරම අමාරුවෙන් හරි වැලි දෙන මේ ආදර ගඟ වෙතට පැමිණිය යුතුය. වෙනදා පරිද්දෙන්ම ගං පතුලේ ඇති මිතුරු වැල්ලට පය ගැසිය යුතුය. නැත්නම් ජීවිතය අල්ලා ගත නොහැකි වනු ඇත.