දැන් වුණත් යන්නම් ඉන්න තැනක් දෙන්න.

”එදා මහ වැස්ස. කුඩයක් යටින්වත් යන්න බෑ. වැස්සට තෙමෙන ගෙට බාල්දි අල්ල අල්ල අපි හිටියේ. ඒ වැස්සේ තෙමි තෙමී ඇවිත් අපිට මේ ලියුම දුන්නා. ඇත්තමයි හෙණයක් ගැහැව්වාට වැඩි ගින්දරක් පපුවට දැනුණා.”
ඇය අතවූ ලිපිය මා අත තැබීය. ඇය ඇනී ක‍්‍රිෂාන්තිය.

එය කෙටි කොට ගත් කල සියලූ ලට්ට ලොට්ට අකුළාගෙන මැයි 27 වැනිදාට කලින් මේ නිවෙස් අතහැර යායුතු බවට වන අනතුර ලිඛිතව එහි සටහන් කොට තිබුණි. දුම්රිය දෙපාර්තමේන්තුව ලියුමේ වගකීම දැරීය.

මේ මහරගමය. නාවින්න දේවානන්ද පාරේ දුම්රිය රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන්ය. කොළඹ සිට අවිස්සාවේල්ලට ඇදෙන පීලි දෙක දෙපැත්තේ සෑම තැනකම පාහේ ගෙවල්ය. පැල්පත්ය. එකටෙක ඇලූණු මේ ගෙවල් කෝච්චිය වසාගත් තාප්ප මෙනි. එහෙත් මේ දේවානන්ද පාරේ රේල්පාර දෙපස ගෙවල් කිහිපයකට එන ලියුම ඉහත කී හැම නිවසකටම ලැබෙන්නේ නැත. මේ ලිපිය ලැබෙනුයේ නිවාස 33කට පමණය. දේවානන්ද දුම්රිය මාවතේ නිවාස 33ක් පමණක් මීට අයත්ය. මේ සියල්ල අනවසරය. ලියුම ලද නොලද සියල්ල අනවසරය. ඒ ගැන විවාදයක් නැත. මේ කිසිවකු ඊට එරෙහිද නොවෙති. මේ අය විරුද්ධ නොවනමුත් අයදිනුයේය. ඒ කබලෙන් ළිපට නොදාන ලෙසටය.

”අපිට ඉන්න හිටින්න තිබුණා නම් යන්න එන්න තැනක් තිබුණා නම් මේ රේල්පාරේ මායිම්වල ලගින්නේ නැහැ. අපේ අම්මා ළමයි හයක් අරගෙන මෙහේ ඇවිල්ලා තියෙන්නේ යන එන මං නැති වුණහම. ඉටිකොළ ගහගෙන මුලින් ඉඳලා තියෙන්නේ. ඒ මීට අවුරුදු හතළිහකට ඉස්සර. අද අපිත් බැඳලා අපේ දරුවොත් මේවායේ ඉන්නවා. අපි එනකොට මේ අවට කැලෑ. සමහර ඉඩම් අපිට බලෙන් අල්ල ගන්න වුණත් තිබුණා. එහෙම කළේ නෑ. අපිත් කැමති හෙට වුණත් මේවා අත ඇරලා යන්න. අපේ ළමයි යාළුවෙක් ගෙන්න ගන්න වුණත් කැමති නෑ. මේ ගෙවල්වලට. ඒ අය හොඳට ඇඳලා කරලා නම්බුවට ඉන්නවා. එහෙනම් ඇයි අපි මේවයේ ඉන්නේ. යන්න තැනක් තියෙනවා නම් අවුරුදු හතළිහක් පුළුවන් විදියට මේවා හදාගෙන ඉන්නවද? හෙට වුණත් යන්නම්, අපිටත් බිම් අඟලක් දෙන්න. එතකොට අපේ දරුවන්ට හරි හොඳ අනාගතයක් තියෙනවා. අපිත් මේවයේ කැමැත්තෙන් ඉන්නවා නෙමෙයි. කරන්න දෙයක් නැතිකමට ඉන්නෙ. ඒ ශාන්තිගේ හඬය. සැබැවින්ම ඇගේ හඬ ප‍්‍රබලය.

අපි මහ උගත්තු නෙමෙයි. ඒ වුණාට අපි අපේ දරුවන්ට උගන්වනවා. ළමයෙක් කොටහළු වුණත් තියන්න තැනක් නැහැ. පාරේ හට් එක ගහන්න වෙන්නෙ පොලිසියෙන් අහලා. අපිට මිදුල කියන්නේ මේ පාර. අපිව එලවන්න ඕන නෑ. අපි යන්නම්. හැබැයි අපිට කියලත් පර්චස් දෙකක් හරි දීලා අපිට යන්න කියන්න. අවුරුදු හතළිහක් අපි මේවයේ හැදුණා. ලයිට්, වතුර, වරිපනම්, ඡුන්ද හැමදේම අපිට තියෙනවා. මේවා අනවසර වුණාට හැමදේම අපිට තියෙනවා. අපි ඉල්ලන්නේ අපිත් මිනිස්සු. අපිට සාධාරණයක් කරන්න. බලහත්කාරයෙන් ඉඩම් අල්ල ගන්න අපිට වුවමනාවක් නැහැ. එහෙම අල්ල ගන්නව නම් ඒ කාලේ මේ කැලෑවල් අල්ල ගන්න තිබුණනේ. රේල්පාරේ අයිනේ ලගින්නේ නැතිව. අපි අවුරුදු හතළිහක්ම ජීවත් වුණේ මේ පර්චස් එකයි පොයින්ට් හතක. ඉතින් අපිට ලොකු සිහින නෑ. කොහේ හරි පදිංචි කරලා, අපේ ගෙවල් කඩන්න. අපේ අම්මලා, තාත්තලා ලෙඩ. ලොකු ළමස්සියෝ පොඩි ළමයි මේ ගෙවල්වල පිරිලා. එහෙමනම් මේ ලියුම් එව්වට අපි කොහේද මේ ළමයි අරගෙන යන්නේ. මැරෙන්න තමයි තියෙන්නේ. අපිත් මිනිස්සු නෙමෙයිද?”

හැමෝටම හරියන්නට ඇය කතා කළාය.

”අපි පාර අයිනෙ තියෙන කුණු නෙමෙයි, හිතුණ ගමන් අහක් කරගෙන යන්න. අපිත් මිනිස්සු. අපිත් ආසයි අපිට කියලා තැනක ඉන්න අවුරුදු 35ක් විතර නොලැබුණු දේ අපේ දරුවන්ටවත් දෙන්න. මට ඉන්නේ දුවලම තුන්දෙනෙක්. ඒ අය ළමිස්සියෝ. මේ ගෙවල්වල ඒ ළමයිට ඇඳුමක්වත් මාරු කරගන්න බෑ. අපිට ඉඩම් අරගෙන ගෙවල් හදන්න බෑ. හැමෝම කුලී වැඩ කරන්නේ. අපිට කොහේ හරි තැනක් දෙන්න අපි අද වුණත් යන්නම්.” වර්ජිනියා කියන විට අනෙක් හැමදෙනාමද එය එක හඬින් අනුමත කළෝය.

දේවානන්ද පාරේ වෙසෙන මේ මිනිසුන් තමන් පදිංචිව ඇත්තේ අනවසර ඉඩමක බව හොඳාකාරවම දනිති. ඒ දැන දැන වුව එලෙස කළේ වෙන විසඳුමක් නොමැති තැන බවද ඔවුහු කියති. කෝච්චි පාරට මායිම්ව දිවිගෙවන මොවුන් බැලූ බැල්මට යෙහෙන් ජීවත් වන වුන්ට අසුබ දසුනකි. එහෙත් ඒ තමන් සුබයැ’යි සිතන නිසාවෙනි. ඊට වඩා මේ මිනිසුන් සුබයැ’යි පෙනේ. ඉඩම් ගැනීම සඳහා පැල්පත් ඩෝසර් වන මෙකල කොළඹ සහ කොළඹ අවට හැම බිම් අඟලක්ම රන් මෙන් වටිනේය. ඒ ඉඩම් වෙනුවෙන් ඒවායේ පදිංචිකරුවන් අවසරද? අනවසරද? අහකට කරනුයේ පාර දෙපස කුණු පරිද්දෙන්මය. දේවානන්ද පාරේ නිවාසවලට එකී ප‍්‍රශ්නය වෙනස් මුහුණුවරකින් පැමිණ ඇත්තේය. ඒ මෑත කාලයේ ඒ අවට ඉදිවන විසල් නිවාස නිසාය. ඒවාට පදිංචියට එන ඉහළයැ’යි සිතාගන්නා මහත්වරු නිසාය. ඔවුන්ගේ ජීවිතවලට මෙවැනි පැල්පත් දැකීම අසුබ නිමිත්තක් වී ඇත. එබැවින් තම ඉහළ ජීවිතය සපුරා ගනු වස් තම නිවෙස් අවට මේ නිවාස කුණු ගොඩවල් මෙන් දකින මොවුහු කැඞී යන නිවාස ලැයිස්තුවට මේ නිවාසද රිංගවන්නට පොර බදිති. දේවානන්ද පාරේ හුටපටයද එවැන්නකි. රේල් පාර අවට දිගටම ඇති නිවාසවලට නොදෙන ලියුම මේ ගෙවල් 33ට පමණක් ලැබෙනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසය.
මේ පිළිබඳ සාකච්ඡුා කරන්නට දුම්රිය බලධාරීන් හමුවූ කල මේ ජනතාවට අසන්නට ලැබෙනුයේ සාක්ෂිය. එනම් අවට ප‍්‍රභූන් මේ පැල්පත් නිසා ඒ අයගේ ජීවිතවලට කරදර බව පැමිණිලි කොට ඇති බැවින් ඒවා කඩා දමන්නට තීරණය කළ බවය. මේ නම් කැකිල්ලේ තීන්දුවකි. නඩු කතා කරනවුන්ගේම පැමිණිලිය. ඒවාට ඇති වලංගුභාවය පවුල් පනහකට හැටකට වින කටින්නේය.

විමල් වීරවංශ ඇමතිවරයා හමුවුවද තත්ත්වය එයය. එනම් අහළ පහළ විරෝධතාය. එහෙත් ඇමතිවරයා පොරොන්දු වී ඇත්තේ මේ නිවාස රැුකදෙන බවය. එහෙත් එය පරම සත්‍යය ලෙස අදහන්නට මොවුන් බියය. ඒ බැකෝ රථයට හිත්පිත් නැති බව නිදසුන් සහිතව ඕනෑතරම් මොවුන් අත්විඳ ඇතිවා සේ ම අත්විඳින බැවිනි. උපාලි කොඩිකාර පළාත් සභා ඇමතිවරයා ලිඛිතව ලියුමක් දෙනුයේ කඩන්න එන අයට එකී ලියුම දෙන ලෙස පවසමිනි. එවිට නිවාස නොකඩෙ සිටීමට ඉඩ ඇති බව ඔහුගේ දේශපාලන පොරොන්දුවය. ඒ සියලූදෙනා අවසානයේ සිට ගනුයේ ප‍්‍රභූ පිරිස් ඉදිරියේය. එසේ නොවන්නට මේ ලියුම් නොඑනු ඇතිිය.

පවුල් 33ක් එකවර මහමගට ඇද දැමීමට මේ ආණ්ඩුවට කළ නොහැක්කක් නොවේ. එහෙත් ඊට පෙර මේ මිනිසුන්ට සාධාරණයක් ඉටුවිය යුතුය. අවසරද, අනවසරද යන්න ජීවිතයකට වලංගු නොවේ. මේ හැම මිනිස්සුය. මේ රටේ මිනිස්සුය. රට ගැන කතා කරන රට ගැන පපුවට ගසා ගනිමින් අගයන නායකයා රටේ මිනිසුන් පැල්පත්වාසීන්, අනවසර පදිංචිකරුවන් ලෙස හංවඩු ගසා පන්නා දමති. මේවා ආශ්චර්යමත් විය නොහැකිය. දෙන්නට තැනක් නැත්නම් මේ මිනිසුන් පාරට ඇද දමන්නට පෙර අනන්තවත් සිතිය යුතු බව බලධාරීන්ට එත්තු යා යුතුය. මැයි 27 කුමක් සිදුවේදැ’යි මොවුන් සැම දෙගිඩියාවෙනි. මොවුන්ට මේ ලියුම මරණ වරෙන්තුවක් මෙනි. ඒ මොවුන්ට ඉන්න හිටින්නට යන්නට තැනක් නැති නිසාය. පවුල් පිටින් පාරට බසින්නට බැරි නිසාය. මන්ද දැනටමත් ඔවුන් සිටිනුයේ පාර අයිනේ නිසාය. තවත් කොහේ නම් යන්නද? බිම් අඟලක් නැති මේ මිනිසුන් වසර 35කට 40කට පෙර මේ තැන්වල ලැගුම් ගත්තේ යන එන මං නැති නිසාය. එය වරදක් විය හැකිය. එහෙත් ඒ වරද නැවත නොවිය යුතු නැද්ද? එසේ නම් මොවුන් පාරට ඇද නොදමා ඉන්න හිටින්න තැනක් සකසාදීම රට කරවන අයගේ යුතුකමක් මෙන්ම වගකීමක් නොවේද? මොවුන්ගේ ඉඩම් අනවසර විය හැකිය. එහෙත් මේ ජීවිත අනවසර නැත. එසේ නම් ඒවාට ජීවත්වීමට අවසරදීම ආණ්ඩුවක යුතුකමක්ම බව පසක් කොට සිටිමු.