රාවය

මෙතැන පැල්පත් මෙතැනට ඉඩදෙන්න

මෙතැන පැල්පත් මෙතැනට ඉඩදෙන්න

ඔය අලූතින් හදන ගෙවල් අපිට නොදී කාට දෙන්නද? අනෙක මහත්තයෝ මේ වතුවල මොන එකාද අකමැති ඔය ගෙවල්වලට යන්න. එක පයින් යන්නේ. මේ ගෙවල් ඇතුළට එබිලා බලන්න. අපි ජීවත්වෙන හැටි. ඉතින් අපි කැමති නැද්ද මහල් නිවාසවල ඉන්න. අපේ දරුවන්ටත් හොඳයිනේ. හැබැයි රුපියල් පනස්දහක් ගෙවන්න නම් මේ වතුවල එකෙකුටවත් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේකේ ඔක්කොම ඉන්නේ එදා දවස මොනවාහරි කරලා ගාණක් හොයාගන්න එවුන්. උන්ට පනස්දාහ තියා ඔය මාසෙට ගෙවන්නැ’යි කියන රුපියල් හාරදහවත් ගෙවාගන්න අතේ පිච්චියක් නැහැ.”

අපිට එහෙම කිව්වේ විජේරත්නය. බැලූ බැල්මට පේන ලකුණ ඔහු ගණන්කාරයෙක් වගේය. කාලවර්ණ ශක්තිමත් ශරීරයකට හිමිකම් කියන ඔහු අප සමගද කතා කළේ අරියාදුවට මෙනි. අප සිටිනුයේ දෙමටගොඩ වැලිගොඩ වත්තේ මායිමකය. මේ ප‍්‍රදේශයේ කොයි පාරක ගියද සුපුරුදු දසුන කුඩා ගෙවල්ය. එක දිගට ඇටවූ කඳවුරු වැනි ගෙවල්ය. ලෑලිවලින් වටකොට තහඩු සෙවිළි කළ මේ නිවාසවල මිනිස්සු ගිනි මද්දහනේ කරෝල මෙන් වේලෙති. ඒ නිසාමදෝ මේ ප‍්‍රදේශයේ බොහෝ අය රැුකියාවක් විදිහට පපඩම් හදති. ඒ නිසාම මේ ඇතැම් වතුවලට පපඩම්වත්තද කියති. බිම දිගේ අතුරා ඇති පපඩම් අව්වේ කරවෙයි. පාරක් පාරක් ගාණේ හිටගෙන ඉන්නා බොහෝවුන්ගේ ඇස් ගෙඩි ලොවි ගෙඩි මෙන්ය. එකවර අප දකින ඔවුන් ගැස්සෙනුයේ පොලිසිය අපගේ ශරීරවලට ආදේශ කොටගෙනය. වැස්සට මඩ ගොහොරුවක් වී ඇති මේ ප‍්‍රදේශවල වැසි නැතිද සමහර තැන් මඩවළය. කාණුවලින් යන ජලය කළු පාටින්ම පාට කර ඇත. කොටින්ම ක්ලීන් සූට්කාරයන්ට නම් මේ පැති සෝමාලියාවක්මය. ඒ නිසාදෝ මේ ප‍්‍රදේශය සෝමාලියාවයැ’යිද හැඳින්වේ. මේ ප‍්‍රදේශ ඇත්තටම ගැළපෙනුයේ ඉඩදෙන්නයැ’යි කියමින් ආරක්ෂක අමාත්‍යාංශය පෙන්වන දැන්වීමේ මුඩුක්කු ගෙවල්වලටමය. අනවසර පැල්පත්වලටමය. කොටින්ම අඩු ආදායම්ලාභී නිවාස වලටමය. කොම්පඤ්ඤ වීදිය, දෙමටගොඩ නිවාස කඩනවාට එරෙහිව අකුරු කළ අය ආරක්ෂක අමාත්‍යාංශයට ආරක්ෂක ලේකම්තුමාට භක්තියෙන් ලියා අයදිනුයේ ඇත්තටම මේ අයට ඉඩදෙන්න කියාය. හතරවටේ ඉදිකරන මහල් නිවාස පදිංචිවන්නට මේ අයට ඉඩ දෙන්න. මහල් නිවාසවල පදිංචි කළයුතු සැබෑ අඩු ආදායම්ලාභීහු මොවුහුය. සැබෑ පැල්පත්වාසීහු මොවුහුය. ලස්සන කොළඹකට, ලස්සන ජීවිතයකට අත දිය යුතු සැබෑ මිනිසුන් මොවුන්ය.

”මේවායේ රජයේ රැු කියා කරන අය නෑ. ඉන්නවා නම් ඉන්නේ කුණු අදින කිහිපදෙනා විතරයි. ඔක්කෝම කුලීවැඩ කරන්නේ. ගෑනිත් වැඩ. මිනිහත් වැඩ. ළමයි අනාථයි. බාගෙට බාගයක් ඉස්කෝලේ යන්නේ නැහැ. අපි එදා ඉඳලා මේ කොළඹ ඉන්නේ. මේ කාටවත් කොළඹ ඉඩම් නැහැ. ඇත්ත කියන්න එපැයි. මේ අවට අපේ තාත්තලා පදිංචි වුණා. අපිව හම්බවුණා. අපිත් පවුල් වුණා. දැන් අපේ ළමයිනුත් මෙහේ. අපි හිටියේ ෆර්ගියුසන් පාරේ කම්මල්වත්තේ. ඒ ඉඩම්වලින් යන්න කිව්වා. අපි අවුරුදු පනහක් හැටක් හිටියට ඔප්පු තිරප්පු තියෙන අය නෙමෙයි. හැබැයි අපේ ගෙවල් කඩනකොට මේ නාගරික සංවර්ධන අධිකාරියේ මහත්වරු අපිට රුපියල් පනස්දහක ණයක් දුන්නා. දැන් මේ ඉන්න ගෙවල් හදාගන්න කියලා. පනස් දහකින් මේ ලෑලි ගෙයක් හදන්නත් බෑ. ගෙවන්න ඕන නැහැ කියලායි දුන්නේ. ඒත් අපි අර ගෙවල්වලට යනකොට ඒ පනස්දාහ ගෙවන්න ඕනෑ. අපි දැන් ඇවිල්ලත් අවුරුදු දෙකක් තුනක් වෙනවා. පළමු මහලේ නිවාස අපට දෙනවා කිව්වා. දුන්නේ නැහැ. හැමදාම දෙනවා කිය කිය යනවා. ෆෝම් එහෙම පුරවලා බාර දුන්නා. ඒත් තවම නැහැ. මේවගෙන් හරි දෙනවා නම් ලොකු දෙයක්.”

නම ගම් මොකටද ඇසූ ඔහු ගේ දොරකඩට බැස්ස කල හතර වටෙන් දිස්වෙන අලූත ඉදිවන දැවැන්ත මහල් නිවාස දෙක දෙසට දෑත් දිගු කොට කීවේ මේ හදන්නේ අපේ ගෙවල් යන සතුටෙනි. මේ වතුවල නිවාසවලින් එළියට බහින ඕනෑම කෙනකුට ඉහළට එසවෙන මහල් නිවාස පෙනේ. ඒවායේ සිට බලන කල මේ පැල්පත් ගිනිපෙට්ටි තරම් කුඩා බව සහතිකය. ඒ නිවාස ලබන්නට මේ ගිනිපෙට්ටිවල ගිනිකූරු ලෙස සිරවී සිටින මිනිස්සු ඇඟිලි ගනිති. මේ හැම නිවසක්ම අඩි 10-15 නිවාසය. ඔවුන්ගේ හිතට ගැළපෙන සේ ඒ මැදින් ලෑලි ගසා කාමරය, සාලය, කුස්සිය යන ඕනෑම එකකට පාවිච්චි කරති. අවම පවුල පස්දෙනකුගෙන් සමන්විත වන විට ඇතැම් නිවෙස්වල දාහත පහළොව සිටිති.

එක දිගට ඇලූණු ලෑලි නිවාස තිහ, හතළිහකට ඇත්තේ වැසිකිළි හතරකි. ඒ ආකාරයට නිවාසවලට වෙනම වැසිකිළි හතර බැගිනි. ඒවායේ අපද්‍රව්‍ය කාණු දිගේ ඇළට මුසුවේ. වතුර ටැංකි ඇතැම් තැන්වල බැඳ ඇති අතර සමහර තැන්හි නිකං පයිප්පය. මේ නිවාසවලට විදුලිය නැතත් නිවෙස් නම් වයරිං කොටය.

”අපිට කිව්වා ලයිට් දෙනවා වයිරිං කරගන්න කියලා. අපි ණයවෙලා දඩි බිඩි ගාලා වයිරිං කළා. දැන් ඒ කරලත් සෑහෙන කල්. ලයිට් දෙන පාටක් නැහැ. මේ එක ගෙයක කුප්පි ලාම්පුවක් පෙරලූණොත් යායම ඉවරයි. මහල් නිවාසවලට හෙට යන්න කිව්වත් අපි යනවා. ගේ ඇතුළෙම ටොයිලට් තියෙනවා. වතුර තියෙනවා. ඇත්තටම අපිට ඒවා ඉස්තරම්. මෙහේ උදේම පෝලිමේ ඉන්න ඕන ලැට් එකට යන්න. ගෙවල් තිහ හතළිහට ලැට් හතරයි. එක ගේක සමහර වෙලාවට දහයක් ඉන්නවා. උදේට ඇවිල්ලයි පෝලිම බලන්න ඕන. දන්සලක වගේ.”

මේ වතුවලට එන්නට බොහෝවුන් බයය. ඒ වතු සමග ඔළුවෙහි හැදී ඇති බොහෝ නරක චිත‍්‍ර හේතුවෙනි. ඒවායේ සත්‍යයක් නැතිවාද නොවේ. මග දෙපස මත්කුඩට ඇබ්බැහි වූවන් අනන්තවත් දැකගත හැකිය. මේ ඔවුන්ගේ රජ දහනය. කුඩු මුදලාලිලා, දේශපාලකයන් කුඩු නිසා යෙහෙන් වැජඹුණද කුඩුවල විපාක දකින්නට නම් මේ වතුවලට යා යුතුය. කුඩු වැඩිපුර විකිණිය හැක්කේද මේ වතු නිසා බව පැහැදිලිය. බොහෝවුන්ට ඇත්තේ කුඩු නිසාම දිරාපත් වූ ශරීරය. බොහෝ අය කතා නොකළද කතා කරන අය එකහෙළාම මේවා අතහැර මහල් නිවාසවලට යෑමට කැමතිය. එමෙන්ම ඒවා තමන්ට හිමිවෙතැ’යිද කවදාවත් හිමි නොවෙනු ඇතැ’යි ද විශ්වාසය බොහෝ්වුන් තුළ ඇත. පනස්දහසක් එකවර ගෙවා නිවාස ගන්න මේ අයට හැකිදැ’යි අපි නොදනිමු. මේ ජීවිත දෙස බලන කල එසේ හංගා ගොඩ ගසාගත් මුදල් ඇතියවුන් ඇතැ’යි සිතිය නොහේ. එසේ නම් ඔවුන්ට පනස්දාහ පෙන්නා පන්නා නොදමා ලස්සන ජීවිතයකට ඉඩදෙන ක‍්‍රමයක් සෑදිය යුතුය. එයටද ඉඩදිය යුත්තේද ආරක්ෂක අමාත්‍යාංශයමය. මේ ප‍්‍රදේශයේ පමණක් පැල්පත් නිවාස 1200-1500 අතර ප‍්‍රමාණයක් පවතී. මේ මුළු වට ප‍්‍රමාණය අක්කර දහස් ගණනක් විය හැකිය. මේ සියලූ ඉඩම් ආණ්ඩුව අත්පත් කරගන්නට නියමිතය. එහෙත් මේ පැල්පත්වාසීන්ට මහල් නිවාසවල ඉඩ ලැබෙනු ඇතැ’යි යන ස්ථිර විශ්වාසය නම් බැලූ බැල්මට නොමැතිය. එහෙත් ඒ ඉඩ ඔවුන්ට ලැබිය යුතුමය යන තැන අපි සිටිමු. සැබැවින්ම ඉඩදිය යුත්තේ ඔවුන්ටමය. එබැවින් ඔවුන්ට ඉඩ දෙන්න.

අව් කාස්ටකයට පිච්චෙමින් බ්ලූමැන්ඩල් රේල්පාර දිගේද අපි ඇවිද්දෙමු. රේල්පාර මහලූ වී ඇති සැටිය. ඒ රේල්පීලි මත නගින කෝච්චි අද නැතිය. ඒ වෙනුවට රේල් පාරට යාබදව ඉදිවුණු ගෙවල් පේළිවල මිනිසුන්ගේ පශ්චාත් භාග රේල්පීලි බදාගෙනය. මේ ද අප මුලින් කතා කළ පන්නයේම තවත් තැනකි. හොඳ වුවද නරක වුවද හීන්සීරුවේ කතා කළ හැකි මිනිසුන් මෙහි නැතිය. මගේ ගමන් සගයා මෙහි ඇතැමුන් දැන හැඳින නොගන්නට මේවායේ ඇවිදීම ඇඟට අගුණය. ”මේ මල්ලි දන්න හින්දා. නැත්නම් ෆොටෝ ගන්න දෙන්නේ නැහැ” එසේ උත්තර බැන්දේ ගැහැනියකි. ඇගේ වයස අවුරුදු පනහකි.

”අලූතින් හදන නිවාස ලැබෙනවා නම් ලොකු දෙයක්. ඒත් සතපහක විශ්වාසයක් නැහැ. මොකද දැන් මට අවුරුදු පනහක් වෙනවා. මේ පනහට පුංචි කාලේ ඉඳලම අපිව මෙතනින් යවන කතාව මම අහලා ඇති පනස්පාරට වඩා. ඇත්තටම අපිට තමයි ඕවා දෙන්න ඕන. වැස්සහම මේ ගෙවල් වතුරේ. අපා දුක් විඳින්නේ. අපි හෙට වුණත් යනවා ඔය හදන මහල් නිවාස දෙනවා නම්. ඒත් ඕවා ලැබෙනකම් විශ්වාසයක් නැහැ.”

”අනේ එහෙම ගෙවල් ලැබෙනවා නම් පිනක්. මේවයේ ඉඳලා ළමයි කාලකණ්ණි වුණා. හැම එකාම කුඩු ගහනවා.” තවත් ගැහැනියක් රහසින් මෙන් කීවාය.

මේ නිවාසද කඩා දමනවායැ’යි නිතර නිතර කියා ඇතත් මේ නිවාස කඩන බවට කරන සලකුණද තබා නැත. එබැවින් මේවා කොයි කපේ සිදුවේදැ’යි ටක්කෙටම කිව නොහැකිය. අප කියනුයේ වනාතේ ගෙවල් නොව මහල් නිවාස ඉල්ලා සිටින මිනිසුන් පදිංචිව ඇත්තේ මේ ගෙවල්වල බවය.
රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට අනුව මෙරට ප‍්‍රධාන වාණිජ නගරය වන කොළඹ පදිංචිකරුවන්ගෙන් සියයට පනහක්ම අඩු පහසුකම් සහිත අනවසර පදිංචිකරුවන්ය. ඒ නිසාම පැල්පත් හා වතු සංස්කෘතියක් බිහිවී ඇත. වතු සංස්කෘතියක් ඇති කරමින් මේ අය අත්පත් කරගෙන ඇති භූමි ප‍්‍රදේශ ඉහළ වාණිජ වටිනාකමකින් යුතු මෙන්ම පාරිසරික සංවේදීතාවෙන් යුතු ස්ථාන වන ඇළ මාර්ග, ගංගා ඉවුරු ආශ‍්‍රිත ප‍්‍රදේශය. අප ලියන මේ ප‍්‍රදේශද ඒ අච්චුවේමය. අඳෝමැ’යි එහෙත් තවමත් ඒ මිනිසුන්ට ඉඩ නොදෙන්නේ මන්ද?

හිතටත් ඉඩදෙන්න

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය මේ දිනවල ලක්ෂ ගණනක මුදල් වැය කොට මනරම් දැන්වීම් පළකරනු ලැබේ. ඒ ලස්සන නගරයකට, ලස්සන ජීවිතයකට ඉඩදෙන්නයැ’යි කියමිනි. මේ යට සැඟවුණු ලස්සන කතාවක් ඇති බව නොරහසකි. මේ ලස්සන නගරය කාටද? ලස්සන ජීවිත කාටද? ඉඩදිය යුත්තේ කාටද? යන්න බුද්ධිමත්ව සිතිය යුතු කාලය එළැඹ ඇත.

අනවසර සහ පැල්පත් ලේබලය යටතේ ඊට විසඳුම් ලෙස රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය ලහි ලහියේ මහල් නිවාස ඉදිකරති. එහි පළමු අදියර මිහිඳු සෙන්පුරය. ඊට අමතරව මයුර පෙදෙස නිවාස 120ක්, දෙමටගොඩ පළමු අදියර නිවාස 500ක් දෙවන අදියර නිවාස 600ක්, සාලමුල්ල නිවාස 1008ක්, පනස්හතර හා හැටහය වතුවල නිවාස 1152ක්, හේනමුල්ල පළමු හා දෙවන අදියර නිවාස 1637ක්, මාලිගාවත්ත පළමු අදියර යටතේ නිවාස 768ක්, දෙවන අදියර 1388ක්, අලූත් මාවත 1248ක්, කොළොන්නාරව 696ක්, සිරිල් සී. පෙරේරා මාවත 366ක්, ෆර්ගියුසන් පාර 872ක්, එදිරිසිංහ වත්ත 546ක්, ප‍්‍රදීපා මාවත 266ක්, කොළඹගේ මාවත 1777ක්, කාලිගෙ මාවත 816ක්, 31 වත්ත 36ක්, නාච්චිවත්ත 66ක්, ඔරුගොඩවත්ත 1500ක්, අංගොඩ නිවාස ඒකක 500ක් ඉදිවේ.

ඉහත මහල් නිවාස පළමු අදියරටම තෝරා ගතයුතු පැල්පත් හා අනවසර පදිංචිකරුවන් නම් මේ දැන් අප කියන අයය. එහෙත් ඔවුන්ට මේ තැන් නොදෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශය අතපසුවීමකින්ද? නැත. ඕනෑකමින් අතපසු කිරීමකිනි. ඒ අල්ලා ගතයුතු ඔප්පු තිරප්පු සහිත බොහෝ තැන් අල්ලා ගන්නට ඇමට දැමියයුතු අනවසර පැල්පත් මොඩලය මොවුන් නිසාය. මොවුන්ගේ ඉරණම තීන්දු වන්නේ අවසානයේදීය. ඒ මොවුන් පෙන්නා බොහෝ තැන් අල්ලාගත යුතු බැවිනි. මොවුන් මහල් නිවාසවල පදිංචි කළහොත් අනවසර පැල්පත්වාසීන් ලෙස පෙන්වනුයේ කාවද? ඉඩ ඉල්ලනුයේ කෙලෙසද? ලස්සන ජීවිත, ලස්සන නගර කියමින් ඉල්ලන ඉඩ ඒ තරම් ලස්සන නැති බව ඉතා ගැඹුරට සිතීම වටිනේය.